එක්සත් ජනපදයේ සමාජ අර්බුදය හා 2012 මැතිවරන

The social crisis in the US and the 2012 elections

4 May 2012

එක්සත් ජනපදයේ දිස්ත්‍රික්ක සිය ගනනක පෙර පාසැල් දරුවන්ට ලෝකයේ දුප්පත්ම රටවල් සමහරක දරුවන්ට වඩා වැඩි කාලයක් ජිවත්වීමේ අපේක්ෂාවන් නොතිබෙනු ඇතැයි අලුත් වාර්තාවකින් හෙලිවී ඇත

ආර්ථික අර්බුදයේ වසර තුන හමාරක කාලය තුල එක්සත් ජනපදයේ දශලක්ෂ ගනනක් මුහුනදෙන ජීවිතය විනාශකාරීය. ආර්ථික "ප්‍රකෘතියක් පිලිබඳ කුමන කතා පැවැත්වුන ද දුප්පත්කම, නිත්‍ය විරැකියාව හා නොඉවසිය හැකි නයගැතිකම ඇමරිකානු සමාජය වසාගෙන ඇත.

මෑතක පලවූ වාර්තාවක් රටේ විශාල කොටසක පවතින "තුන්වන ලෝකයේ” තත්වය පිලිබඳව පැහැදිලි චිත්‍රයක් සපයා ඇත. වාර්තාවට අනුව, බොහෝ ප්‍රදේශවල පෙර පාසැල් ලමුන්ගේ ජීවිතාපේක්ෂාව ලෝකයේ අතිශයින්ම දුප්පත් රටවල් සමහරක දරුවන්ට වඩා වැඩි නොවේ. දිස්ත්‍රික්ක සිය ගනනක මෙම තත්ව‍ෙය් කිසිදු ප්‍රගතියක් සිදුවී නැත. නොඑසේ නම් වඩාත් නරක අතට හැරී තිබේ.

වොෂින්ටන් විශ්වවිද්‍යාලය පාදක කරගත් සෞඛ්‍ය ප්‍රමිති හා අගැයීම් පිලිබඳ ආයතනය (අයිඑච්එම්ඊ) එක්සත් ජනපදයේ සෑම දිස්ත්‍රික්කයක ම දත්ත සම්පාදනය කර ඇත. 1989 සිට 2009 දක්වා සැම වසරකම ජීවිතාපේක්ෂාව ගනනය කරමින් ඒවා ලොව වටා අනෙකුත් රටවල් සමග සසඳා ඇත. අවම ජීවිතාපේක්ෂාවක් සහිත ප්‍රදේශ බොහොමයක ජීවන තත්වයන් පසුගිය වසරට වඩා මෙම වසරේදී වඩාත් නරක අතට හැරී ඇතැයි යන්න පිලිබඳ කිසිදු සැකයක් නැතැයි වාර්තාව පෙන්වා දෙයි.

ආයතනයේ සොයාගැනීම් කාරනා දෙකක් සම්බන්ධයෙන් තැතිගන්වන සුලුය. බටහිර යුරෝපයේ, ස්කැන්ඩිනේවියානු රටවල, ඔස්ට්‍රේලියාව, ජපානය හා තවත් තැන්වලට වඩා එක්සත් ජනපදයේ ජීවිතාපේක්ෂාවන්ගේ ප්‍රගතිය පසුපසින් පවතිනවා පමනක් නොව, ඇමරිකානුවන් ජීවිත් වීමට අපේක්ෂා කරන කාලය රටින් රටට වෙනස් වන අතර සමහර විට එය වසර 16ක් තරම් වෙයි.

එක්සත් ජනපදයේ පිරිමියෙකුගේ ජීවිත අපේක්ෂාවේ සාමාන්‍යය 1989 පටන් වසර 4.6න් ඉහල ගොස් 2009 වසරේ එය අවුරුදු 76.2ක්ව තිබේ. මෙම කාලය තුලම කාන්තාවකගේ ජීවිතාපේක්ෂවේ කාලය වැඩිවි ඇත්තේ වසර 2.7න් අවුරුදු 81.3 දක්වා පමනි. එහෙත් අයිඑච්එම්ඊහි විලියම් හේසෙල් කියා ඇත්තේ, මෙම නව වෙනස්කම් "විශාල ප්‍රගතියක් ලෙස සැලකිය නොහැකි” බවයි. "එය හොඳ ප්‍රගතියක් පෙන්වූ රටවලට වඩා බොහෝ පසුපසින් පවතින්නේය.”

2009 වසරේ උපන් දරුවෙකුට කොපමන කලක් ජීවත්විය හැකි ද යන්න ඔහුගේ හෝ ඇයගේ උපන් බිම අනුව නාටකාකාර ලෙස වෙනස් වෙයි. කැලිෆෝනියාවේ මේරින් දිස්ත්‍රික්කයෙහි මධ්‍යම මට්ටමේ පවුලක වාර්ෂික ආදායම 2009 වසරේදී ඩොලර් 91,792ක් වූ අතර පිරිමියෙකුට වසර 81.6ක කාලයක් ජීවත්වීමේ බලාපොරොත්තුව තැබිය හැකිය. එහෙත් මිසිසිපිහි ක්විට්මාන් හා ටියුනිකා දිස්ත්‍රික්කවල පිරිමියෙකුගේ ජීවිතාපේක්ෂාව යන්තම් වසර 66කි. එය පකිස්ථානයේ තත්වයයි. 2009 වසරේ ඉහත කී දිස්ත්‍රික්ක දෙකෙහි ම්‍ධ්‍යම මට්ටමේ පවුලක වාර්ෂික ආදායම පිලිවෙලින් ඩොලර් 24,491 හා 27,218ක් විය.

ෆ්ලොරිඩාහි කොලියර් දිස්ත්‍රික්කයේ කාන්තාවකගේ ජීවිතාපේක්ෂාව 2009දී වසර 85.8ක් විය. බටහිර වර්ජිනියාවේ මැක් ඩොවෙල් දිස්ත්‍රික්කයේ එම අපේක්ෂාව වසර 74කි. එය ඇල්ජීරියාවේ තත්වයට සමානය. යලි වතාවක් ජිවිතාපේක්ෂාව මධ්‍යම පවුලක ආදායමට අනුකූල වන්නේය. කොලියර්හි එය ඩොලර් 52,988ක් වූ අතර මැක් ඩොවෙල්හි එය 21,474ක් විය.

කැන්සාස් සිටිහි නාගරිකයේ දිස්ත්‍රික්ක අනුව ජීවිතාපේක්ෂාව වර්ධනය වන සමාජ බෙදීම්වලට අනුකූල වන බව පෙන්නුම් කරයි. මිසෝරිහි කැන්සාස් සිටි සෞඛ්‍ය දෙපාර්මේන්තුව කල සමීක්ෂනයකින්, එක් කොටසකගේ ජීවිතාපේක්ෂාව වසර 85ක් හා තවත් කොසකගේ එය වසර 69ක් පමනක් බවත්, එනම් වසර 16ක දැවැන්ත වෙනසක්, සොයාගෙන ඇත.

අයිඑච්එම්ඊ සමීක්ෂනය පෙන්වන්නේ, සෞඛ්‍ය විෂමතාවන්ගේ ප්‍රධාන හේතු කාරක අතර දුම්කොල භාවිතය, ඉහල කොලස්ටරෝල් තත්වයන්, අධි රුධිර පීඩනය, තරබාරුකම හා අධික මත්පැන් භාවිතය දැකගත හැකි බවත් ඒවා වැලැක්විය හැකි මරනීය හේතු බවත්ය. කෙසේ වෙතත් එවන් මරන "වැලැක්විය හැක්කේ” ප්‍රථමයෙන්ම මෙම තත්වයන් වැලැක්වීමට සෞඛ්‍ය සේවා පද්ධතිය ක්‍රියාත්මක වන තාක් දුරට හා ඒවා පැතිර යන්නේ නම් මනා වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා මැදිහත්වීමක් ඇත්නම් පමනකි.

සැබවින්ම පැතිර පවත්නා දුප්පත්කම, අයහපත් සේවා කොන්දේසි මත ඇතිවන ආතතිය, රැකියා අහිමිවීම, නිවාස අත්පත්කර ගැනීම් හා නැඟී යන කුටුම්භයන්ගේ නයගැති භාවය එක්සත් ජනපදයේ දශ ලක්ෂ සංඛ්‍යාත පවුල්වල පිරිහෙන සෞඛ්‍ය තත්වයට හේතු සාධක වන බව දැක්වේ. මෙම තත්වය ආර්ථික පසුබෑම නිසා උග්‍ර අතට පත්කර තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ලිපි මාලාවකින් පෙන්වාදී ඇති ආකාරයට මිලියන 50ක් හෙවත් සැම ඇමරිකානුවන් හයකට එක් අයෙක් දැන් සාගින්න සමග සටන් කරන අතර වාර්තාගත සංඛ්‍යාවන්ගෙන් නොමිලයේ ආහාර ලබාදෙන ස්ථාන කරා ඇදී යති.

සෞඛ්‍ය අර්බුදයක් ලෙස පමනක් සැලකිය හැකි තත්වය හමුවේ පසුගිය වසරේ ඇමරිකානුවන් වෛද්‍යවරයෙක් වෙත ගමන් කල වාර ගනන අඩුවී තිබේ. බොහෝ මිනිසුන් සෞඛ්‍ය සේවා සඳහා ගෙවීමේ අරගලයක නිරතවීම නිසා එය 2010 වසරට වඩා සියයට 5ක පිරිහීමකි. ඔවුන්ට නිකුත්කර ඇත්තේ ද අඩු බෙහෙත් වට්ටෝරු ප්‍රමානයකි. දිගු කලක් රැකියාවක් නොමැතිව සිටීමේ ප්‍රතිපලයක් වශයෙන් හාම්පුතා විසින් සලසන සෞඛ්‍ය ආරක්ෂන බොහෝ කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අහිමිව යාම මෙයට ප්‍රධාන හේතුව විය.

මෙම සංඛ්‍යාවන්ගෙන් පිලිබිඹු වන දැවැන්ත සමාජ අර්බුදය ප්‍රධාන ව්‍යාපාරික පක්ෂ දෙකේ 2012 ජනාධිපතිවරන ව්‍යාපාරය තුල යාන්තමින් හෝ ප්‍රකාශයට පත් නොවීම කැපී පෙනෙන කාරනයකි. පුලුල්ව පැතිරුනු දුප්පත්කම, විරැකියාව හා ඇමරිකානුවන් අති මහත් බහුතරයකගේ පිරිහෙන ජීවන කොන්දේසි යන මේ කිසිවක් දේශපාලන සංස්ථාපිතයේ පැත්තෙන් සරලව ම ප්‍රශ්න නොවේ.

මීට පූර්ව අවධියක දී නම් පාලක පන්තියට සීමිත ආකාරයකින් හෝ මහජන දුප්පත්කම හා විරැකියාව පවත්නා බව අඩුම තරමින් පිලිගැනීමට හෝ බලකෙරුනි. ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් 1964දී සිය රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් "දුගී භාවයට එරෙහි යුද්ධය” වැඩසටහනක් වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ අනුව අවසානයේදී සෞඛ්‍ය රැකවරන, සෞඛ්‍ය සේවා හා අනෙකුත් ආන්ඩුවේ ප්‍රතිසංස්කරන ඇතිකරන ලදී. වත්මන් දේශපාලන වාතාවරනය තුල මේවා පිටස්තර සංසිද්ධීන්ය. ජනාධිපති අපේක්ෂක තරගකරුවන් තමන්ගේ අක්ත පත්‍ර මූල්‍ය ප්‍රභූ පැලැන්තියට ඉදිරිපත් කරමින් තමා සුදුසුම අපේක්ෂකයා බවට දිව්රන කල, දැන් මෙම වැඩසටහන් යුද්ධයක් මගින් විස්ථාපනය කර ඇත.

මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙක අතර කෙරෙන "විවාදය” සැබවින්ම ප්‍රෝඩාවකි. කවුරු දිනුවත් පාලක පන්තිය, සෞඛ්‍ය සේවය ද ඇතුලු සමාජ වැඩසටහන් මත, මෙතෙක් එල්ල කල ප්‍රහාරයන්ට වඩා බොහෝ දුර දිග යන ප්‍රහාර සඳහා සුදානම් වෙමින් සිටිති. මැතිවරනයෙන් පසුව, වසර 10ක දී ෆෙඩරල් අයවැයෙන් ඩොලර් ට්‍රිලියන 5ක් කපාහැරීමට ඉඩ සැලැසෙන පරිදි නීති ගෙන එන බව කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයින් දැනටමත් ඇඟවුම්කර තිබේ.

මෙම ප්‍රතිපත්තීන්ට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය, වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත්කොට තිබේ. අප කියා ඇත්තේ, රැකියා හා ජීවන තත්වයන් රැකගත හැක්කේ ද දුප්පත්කම හා සමාජ අසමානතාවේ වැඩි වර්ධනය වීමට එරෙහිව සටන්කල හැක්කේ ද සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පමනක් බවයි. මේ ක්‍රියාමාර්ගය මත පදනම් වුනු කම්කරුවන්ගේ ආන්ඩුවක පලමු කර්තව්‍ය වනු ඇත්තේ, දුප්පත්කමට හා ආදායම් විෂමතාවට අවසන් තිත තැබීමයි.

කර්තව්‍ය වන්නේ, කම්කරු පන්තියේ මූලික අවශ්‍යතා මිස පරපුටු මූල්‍ය පැලැන්තියේ සමපේක්ෂනයේ අවශ්‍යතා සන්තර්පනය නොකරන ආකාරයට ආර්ථික ක්‍රියාවලිය සංවිධානය කිරීම ලෝක පරිමානයකින් තීරනය කරන සමාජයක් නිර්මානය කිරීම යි. මේ සඳහා කම්කරු පන්තිය, දේශපාලන බලය ගැනීම හා සමාජයේ ආර්ථික බලවේග ප්‍රජාතන්ත්‍ර පාලනයක් හා විද්‍යාත්මක සැලැස්මක් යටතේ තැබීම අවශ්‍ය කෙරෙයි.

ප්‍රධාන ව්‍යාපාරික පක්ෂ දෙකටත් ඔවුන් ආරක්ෂා කරන ලාභ පද්ධතියටත් එරෙහිව කම්කරු පන්තිය තුල මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප ජනාධිපති අපේක්ෂක ලෙස ජෙරී වයිට් ද උප ජනාධිපති අපේක්ෂක ලෙස ෆිලිස් ෂරර් ද ඉදිරිපත්කොට ඇත. අපි සියලුම කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලන්නේ අපගේ ක්‍රියාමාර්ගය සැලකිල්ලට ගනිමින් සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමේ තීන්දුව ගන්නා ලෙසයි.

කේට් රැන්ඩෝල්

Share this article: