මන්දෝත්සාහී හා අතෘප්තියට පත් ඡන්දදායකයෝ

The disillusioned and dissatisfied electorate

8 November 2012

ඇමරිකානු මාධ්‍යයේ මඳ අවධානයට ලක්වූ, 06දා ජනාධිපතිවරනයේ ප්‍රතිපල පිලිබඳ ආරම්භක විමසුමකින් හෙලිවන ප්‍රමුඛ කාරනය, විශේෂයෙන්ම ජනාධිපති බරක් ඔබාමාට ලැබුනු ඡන්ද ද අතුලුව ඡන්දය දුන් සංඛ්‍යාව මහත්සේ පහත වැටීමයි. අන් සියල්ලටත් වඩා මෙය, සමස්ත ද්වි පක්ෂ දේශපාලන ක්‍රමයම ඡන්දදායකයා තව තවත් මන්දෝත්සාහී හා හුදෙකලා කර තිබිම පිලිබඳ ප්‍රකාශනයකි.

විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ලිබරල් හා "වාම” මාධ්‍ය ආධාරකරුවන් ද ඇතුලුව මාධ්‍යය, ඔබාමා යලි තෝරාපත්කර ගැනීම ප්‍රධාන ජයග්‍රහනයක් ලෙස හුවාදැක්වීමට යුහුසුලු වූහ. නිදසුනක් ලෙස ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සිය කතුවැකිය පටන්ගන්නේ මෙසේය. "බරක් ඔබාමා යලි තේරී පත්වීමෙන් ජය ගත්තේය. ඒ ජනාධිපතිට ජයගැනීමට අවශ්‍යවූ සෑම තැනක දී ම ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන්ගේ දැඩි සහභාගිත්වයට පින්සිදුවන්නට ය.”

සැබවින්ම නම් ඔබාමා, මිලියන ගනනක් ඇමරිකානුවන් ඡන්දය නොදීමට තීරනය කල තතු හමුවේ, පුලුල් වශයෙන් සිය ඡන්ද සැලකිය යුතු පරිදි වැටී තිබෙන බව දුටුවේය. බුෂ් පාලනය කෙරෙහි පලවූ ජනතා විරුද්ධත්වයේ රැල්ල මත ඔබාමා බලයට ඔසවා තැබුනු 2008 වසරේ මෙන් උද්‍යෝගයක් පැවතියේ නැත.

ඔබාමා ලැබූ මුලු ඡන්ද ප්‍රමානය 2008 වඩා දල වශයෙන් මිලියන 9න් අඩු විය. එය මිලියන 69.5 සිට 60.5 දක්වා පහත වැටුනි. එනම් සියයට 13නි. සිය පාර්ශවයෙන් රොම්නි ලබාගත්තේ 2008දී ජෝන් මැකේන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් මිලියන 2.5 අඩු මිලියන 57.5ක් පමනි. එනම් ඔබාමා ලබාගෙන ඇත්තේ සිව් වසරකට පෙර සිය රිපබ්ලිකානු තරඟකරුවා ලබාගත්තාට වඩා සුලු වැඩි ඡන්ද ප්‍රමානයක් බවයි.

නව මාසයක් දිගට ඇදුනු මැතිවරන ව්‍යාපාරය, නිමක් නැති දැන්වීම් හා මාධ්‍ය ප්‍රකාශ, ඩොලර් බිලියන ගනනක දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කිරීම මගින් අංඟලක්ෂිත විය. පසුගිය සිව් වසර තුල ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකිය. කෙසේ වුව ද අවසානයේදී, ඡන්දය පාවිච්චිකල අයගේ සංඛ්‍යාව මිලියන 11න් පමන පහත වැටී තිබේ. විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ බලකොටුවක් වන කැලිෆෝනියාවේදී ඡන්දය දුන් සංඛ්‍යාව 2008දී මිලියන 13.2 සිට 2012දී මිලියන 9.2ක් දක්වා ම පහත ගියේය. එම ප්‍රාන්තයෙන් ඔබාමාට ලැබුනේ 2004 ඩිමොක්‍රටික් අපේක්ෂකයා වූ ජෝන් කෙරී ලබාගත් ඡන්ද ප්‍රමානයට මිලියනයකටත් වඩා අඩුවෙනි.

ඇමරිකානු ඡන්දදායකයින් පිලිබඳ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මධ්‍යස්ථානයේ කර්ටිස් ගෑන්ස්ට අනුව, සෑම ප්‍රාන්තයකම ඡන්දය දීම පහත වැටී ඇත. "මෙය ජාතික වශයෙන් ගත්කල විශාල කඩාවැටීමකි.” ඔහු පැවසීය.

සිය දෙවෙනි ධුර කාලයට තේරී පත්වීමේදී ඔබාමාට ලැබුනු ඡන්ද සංඛ්‍යාවේ වැටීම, ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ තර‍මේ සිද්ධියකි. සැබවින්ම නම් දෙවෙනි වාරයේ දිනන ජනාධිපති ඔහුගේ පලමු ජයග්‍රහනයේදී ලැබුවාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබීම දුර්ලභ දෙයකි. නිදසුනක් ලෙස ජොර්ජ් ඩබ්ලිව් බුෂ් 2000 ලබාගත් ඡන්ද ප්‍රමානය මිලියන 50 සිට 2004 මිලියන 62 දක්වා වැඩිකර ගත්තේය. ක්ලින්ටන් 1992 ලැබූ ඡන්ද ප්‍රමානය මිලියන 44 සිට 1996දී මිලියන 47.5 දක්වා වැඩිකර ගත්තේය. රීගන්ට 1980 වසරේදී ලැබූ ඡන්ද මිලියන 44 සිට 1984දී මිලියන 54.5 දක්වා වැඩිවිය.

සැබෑවටම ජනාධිපතිවරයෙක් මීට පෙර අඩු ඡන්ද ප්‍රමානයක් ඇතිව යලි තේරී පත්වූයේ, ෆ්‍රෑන්ක්ලීන් ඩිලානෝ රූස්වෙල්ට් 1932දී ලත් දැවැන්ත මැතිවරන ජයග්‍රහනයෙන් පසුව, රිපබ්ලිකානු තරඟකරුවන්ට වඩා ඔහුට පැවති ඉමහත් වාසිදායක තත්වය, 1944 හා 1940 වසරවලදී තෙවෙනි හා සිව්වැනි වරට ජනාධිපතිවරන වලට ඉදිරිපත් වීමේදී පිරිහී ගිය තතු හමුවේය.

කෙසේ වෙතත් ඔබාමාගේ පරිහානියේ පරිමාව හා වැදගත්කම වටහා ගැනීමෙහිලා රූස්වෙල්ට්ගේ ඡන්ද සංඛ්‍යාවන් හා සසඳා බැලීම උපදේශාත්මකය. 1929 වෝල් වීදියේ බිඳවැටීමෙන් පසු වසර හතක් ඉක්ම ගිය තැන මහා අවපාතය මධ්‍යයේ රූස්වෙල්ට් 1936දී දෙවන වතාවට තේරීපත්විය. එම මැතිවරනයේදී ඔහුගේ ඡන්ද සංඛ්‍යාව මිලියන 23 සිට 28 දක්වා වැඩිවූ අතර එය සියයට 20ක් වර්ධනයකි. ඔහුගේ රිපබ්ලිකානු තරඟකරුවා වූ ඇල්ෆ් ලැන්ඩන් ඡන්ද වලින් ලබාගත්තේ සියයට 36.5ක් පමනි. ඡන්දදායක පාසැලේ අටක්වු එකතුවෙන් ඔහු දිනාගත්තේ වර්මොන්ට් හා මේන් යන දෙක පමනි. අනෙක් මැතිවරන දෙකේදී රූස්වෙල්ට්ගේ ඡන්ද සංඛ්‍යාවන් පිලිවෙලින් මිලියන 27.3ක් හා මිලියන 25.6ක් දක්වා පහත වැටුනි.

රූස්වෙල්ට් මෙන්ම ඔබාමා ද බලයට පත්වූයේ ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයක කොන්දේසි යටතේ එක්සත් ජනපද ඉතිහාසයේ බෙහෙවින්ම පිලිකුලට ලක්ව සිටි ජනාධිපති ජෝර්ජ් බුෂ් පරදවමිනි. කෙසේ වෙතත් සිව් වසරක ඇවෑමෙන් ඔහු සිය රිපබ්ලිකානු තරඟකරුවන්ට වඩා අත්කරගෙන සිටි සියලු වාසිදායක තත්වයන් මුලුමනින්ම පාහේ අහිමිකර ගත්තේය.

අපේක්ෂකයින් දෙදෙනාගේ වෙනස්වූ ඡන්දදායක පරාවක්‍රයන් පිටුපස ඇති මූලික සාධකය වන්නේ, සමාජ විප්ලවය පිලිබඳ බියෙන් හා ඇමරිකානු ධනවාදය සතුව තවමත් පැවති සැලකියයුතු සම්පත් කැටුව ගමන්ගත් රූස්වෙල්ට්, වැදගත් සමාජ ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් දියත් කිරීමයි. ඊට සහමුලින් පටහැනි ලෙස ඔබාමා තම නතුරේ සිව් වසර ගතකලේ සිය පූර්වගාමියාගේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති පුලුල් කරමින් හා ගැඹුරු කරමිනි.

එහි ප්‍රතිපලය වශයෙන් ඔබාමා, මහා අවපාතයේ පටන් ඇතිව තිබෙන දැවැන්තම ආර්ථික අර්බුදයට වගකිවයුතු මූල්‍ය කතිපයාධිකාරයේ කෑදර කමෙහි වඩාත් ගොරතර හා නග්න රූපාකාරය නියෝජනය කල රිපබ්ලිකානු අපේක්ෂකයා යාන්තමින් පරාජය කිරීමට පමනක් සමත්ව ඇති බව දැකගත්තේය.

මැතිවරන ප්‍රතිපලය ඔබාමා පාලනයේ දේශපාලන බංකොලොත්කම පිලිබඳ ප්‍රකාශනයක් පමනක් නොවන අතර එය සමස්ත ද්වි පක්ෂ ක්‍රමයේම අර්බුදයෙහි ප්‍රකාශනයකි. කප්පාදු, යුද්ධ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වැනසීම හැරෙන්නට අන් කිසිවක් හෝ ඇමරිකානු ජනතාවට අත්කර දිය නොහැකි තුනී මූල්‍ය වංශාධිපතිත්වයේ අවශ්‍යතාවන්ට සේවය කිරීමට පක්ෂ දෙකම කැපවී සිටිති.

පත්වූයේ කුමන පුද්ගලයා ද යන්න නොතකා එම ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කෙරෙනු ඇත. ජයග්‍රාහකයා බවට පත්වුන ඔබාමා දිගටම බුෂ්ගේ හා රොම්නිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත. එසේම සියලු අවශ්‍යතාවන් සහිතව ඔහු ඔබාමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත.

සත්කින්ම මැතිවරනයෙන් පසුව ඔබාමාගෙන්ම පටන්ගෙන, මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය තුල සාධුකාරවත් වූයේ, කම්කරු පන්තියට එරෙහිව පක්ෂ දෙකේම ඒකාබද්ධ ප්‍රහාරය ඇඟවුම් කරන "හවුල්කාරිත්වය” සඳහා කරන කැඳවුමයි. ඔවුන් කියන්නේ මැතිවරනය, "ජාතියේ ප්‍රශ්න විසඳීම පිනිස” ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන්ට එකතුවීම සඳහා ලැබුනු "වරමක්” බවයි.

06දා රාත්‍රියේ තමන්ගේම අදහස් හෙලිකරමින් ඔබාමා කියාසිටියේ, "අපට එකතුවී පමනක් විසඳිය හැකි අභියෝග ජයගැනීමට පක්ෂ දෙකේම නායකයින් සමග වැඩකිරීම සඳහා එලියට බැසීමට මම බලාපොරොත්තු වන්නෙමි” එය පටන්ගනු ඇත්තේ "හිඟය අවම කිරීමේ” අවශ්‍යතාවය සමගයි. වසර අවසන් වනවිට "මූල්‍ය ශිඛරයට” පිලිතුරු වශයෙන් සෞඛ්‍ය සේවා හා රක්ෂන ද අනෙකුත් සමාජ වැඩසටහන් ද ඩොලර් ට්‍රිලියන ගනනකින් කැපීම පිනිස එකඟත්වයක් ඇතිකර ගැනීම තමන්ගේ "පලමු රාජකාරිය” වනු ඇති බව ඔබාමා පැවසීය. 07දා රිපබ්ලිකන් නායකයින් ඊට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේ තමන් ද එකඟත්වයකට පැමිනීමට කැපවී සිටින බවයි.

ඇමරිකානු දේශපාලනයේ නිල අර්ථකතනයට අනුව, "වම” මෙන්ම දකුන ද බෙදාහදා ගන්නා අර්ථකතනය වන්නේ, ජනතාව වර්ගය, ලිංගිකත්වය, ජාතිය හා ලිංගික දිශාවනතිය යන අනන්‍යතාවන්හි සෑම කාරනයක් ඔස්සේම බෙදී සිටින බවයි. මේ විශ්ලේෂනය අනුව ඔබාමා ජයගත්තේය. මක්නිසා ද යත්, ඔහු "කාන්තාවන්ගේ ඡන්දය” හෝ "හිස්පැනික් ඡන්ද” (ලතින් ඇමරිකානු සම්භවයකින් යුත්) ලබාගැනීමට සමත්වීම නිසාය. අති මූලික ප්‍රශ්නය වුවත් පන්තිය යන්න කොතැනකවත් සඳහන් නොවේ.

06දා මැතිවරනයේ වැදගත්ම ඇඟවුම නම්, අදාලම හේතු නිසා සමස්ත දේශපාලන සැකැස්මෙන්ම කම්කරු පන්තිය තවතවත් හුදෙකලාවී ඇතැයි යන්නය. 1920 ගනන් වලින් පසුව දක්නට නොතිබූ මට්ටමකින් පැතිර පවතින සමාජ අසමානත්වය තුල මුල්බැසගත් දැවැන්ත සමාජ ආතතීන්, එක්සත් ජනපදය තුල ගොඩනැඟෙමින් තිබේ. එහෙත් පවත්නා මැතිවරන ක්‍රමය තුල මෙම ආතතීන්ට පිටවීමේ මගක් සොයාගත නොහැකිය.

එලඹෙන මාසවල එක්සත් ජනපදයේ කම්කරු පන්ති අරගල පැනනැ‍ඟෙනකල, ඒවා පවත්නා දේශපාලන පද්ධතිය සමග සෘජු ගැටුමකට එලඹෙනවා ඇත. ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන අධිකාරය පවත්වාගෙන යාමේදී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකරන ලිබරල් හා ව්‍යාජ වාම සංවිධාන ද මීට ඇතුලත් වෙයි. විරුද්ධත්වය තවත් රූපාකාරයක් ගත යුතු හා ගනු ඇත. එනම්, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක පැනනැඟීමයි.

ජෝසෆ් කිෂෝර්

Share this article: