ගාසාවේ බෝම්බ ප්‍රහාරය මැදපෙරදිග තවත් සාපරාධි යුද්ධ ඇඟවුම් කරයි

Bombardment of Gaza portends further criminal wars in Middle East

23 November 2012

ඊස්රායල් ආරක්ෂක හමුදා දින අටක් පුරා ගාසා තීරය මතට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් විනාසය පතිත කලේ ය. ලමුන් 40 ක් ඇතුලු 150 ට වැඩි පලස්තීන ජීවිත අහිමි වූ අතර නගරයෙන් වැඩි කොටසක් නටබුන් කෙරී ඇත.

වර්තමාන සටන් විරාමය පැවතියත්, තවදුරටත් පීඩාවන් ඇතිවීම අනිවාර්ය වේ. තුවාල ලද්දෝ දහස් ගනනකි. මරන සංඛ්‍යාව ඉහල යාමට ඉඩ තිබේ. මිලියන එකහමාරක් ජනයා යැපෙන යටිතල පහසුකම් විනාස වී ඇත. විශේෂයෙන් ම එලෙස විනාස වී ඇත්තේ බෝම්බ සහ මිසයිල් 1,500 ක මූලික ඉලක්ක බවට පත්වූ ප්‍රධාන සිවිල් ගොඩ නැගිලි ය. ජනාවාස හා වානිජ ගොඩනැගිලි විනාස වීම මගින් ඩොලර් සිය දහස් ගනනක අලාබයක් සිදු වී තිබේ. සරනාගත වූ 11,000 ක් එක්සත් ජාතීන්ගේ රැකවරන යටතේ සිටිති. ගසා ආර්ථිකය අඩපන වී ඇත.

නීති විරෝධීව භාන්ඩ ප්‍රවාහනය කෙරෙන උමන් මාර්ග 140 ක් බෝම්බ හෙලා විනාස කිරීම හා ගාසා දේශසීමාවට දැඩි පොලිස් රැකවරන යෙදීමට ඊජිප්තුව පොරොන්දුවීම නිසා උත්කර්ෂනීය හිර කඳවුරක් ලෙස දිගු කාලයක් සැලකු බිම් තීරුවකට ඇතුලුවීම වැලැක් ‍වෙනු ඇත.

පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාරය ද දිගට ම කෙරෙනු ඇත. සටන් විරාමය බලාත්මක වූ රාත්‍රියේ ත්‍රස්ත මෙහෙයුම් කරුවන් ලෙස එය විසින් විස්තර කරන ලද 55 දෙනෙකු බටහිර ඉවුරේ දී ඊස්රායල් ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගත්තේ ය.

ගාසාව වටලා තැබීමේ ඊස්රායලයේ හැකියාව රඳා පවතින්නේ වොෂින්ටනයේ සහයෝගය මත ය. සටන් විරාමයක් පිලිබඳව ඔබාමා ආන්ඩුව කල්පසු වී කල අවධාරනය යොමු වූයේ ගොඩබිම් ආක්‍රමනයක් වැලැක්වීම කෙරෙහි ය. එම ආස්ථානය සඳහා වොෂින්ටනය පොලඹවනු ලැබුවේ සිරියාව තුල පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමේ අරමුන සාක්ෂාත් කර ගැනීම හා තෙල් සම්පත් බහුල මැදපෙරදිග මත අනභියෝගී අධිපතිතත්වයක් තහවුරු කර ගැනීම සඳහා ඉරානය හුදකලා කිරීමේ මුලෝපාය විසිනි.

ගාසාව, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා අරාබි ලෝකයේ විශ්ලේෂකයන් හා දේශපාලන නායකයන් විසින් විවෘතව සාකච්ඡා කෙරුන, සුදානම් කෙරමින් පවතින දැවැන්ත යුද අපරාධවල පුර්ව අත්දැකීමක් පමනි. "එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් ඊස්රායලයට ගාසා තීරය තුල යුද මෙහෙයුම් කිරීමට කොල එලිය විහිදුවීම, ඉරානයට එරෙහිව ලෝක පරිමානව අප දැන් යෙදී සිටින සටන සමග සම්බන්ද බව පෙනෙන්නට තිබේ. ...මෙය 'ඔව් ගාසාව තුල ඉරාන බන්ධනයන් ගෙන් නිදහස් වී ඉරානයට එහි ක්‍රියාත්මක විය නොහැකි ආකාරයට එය පිරිසිදු කරනු'. යයි කියන බටහිර මුලෝපායාත්මක ගනන් බැලීමේ කොටසක් බව ඉතා හොඳින් පෙනෙන්නට තිබේ " යයි නව සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා වූ පදනමේ පර්යේෂන උප සභාපති ජොනතන් ශාන්ෂර් ලියුවේ ය.

සවුදි රජ පවුල විසින් වක්‍රව මුදල් සපයන වැඩියෙන් ම කියවන අරාබි පත්‍රය වන අල්-අසාක් අල්-අව්සාත් කතුවැකියේ මෙසේ සඳහන් විය: " ගාසාවට විසඳුම .... සිරියාවට ආපසු පැමිනීමයි".

ලෙබනනය, සිරියාව, ඉරාකය හා ගසා තුල මැදිහත් වීමේ දී "අතිශයින් ම නිෂේධනීය" වීම ගැන ටෙහෙරානයට චෝදනා කිරීමට පෙර "මෙහි දී ඉරාන වගකීම අතිශයින් ම බරපතල" යයි ප්‍රන්සයේ විදේශ ඇමති ලෝරන්ට් ෆෙබියස් බදාදා ප්‍රකාශ කලේ ය.

දැන් සිරියානු විප්ලවවාදී ජාතික කවුන්සිලය හා විරුද්ධ බලවේගවල නායකත්වය විසින් මෙහෙයවනු ලබන එක්සත් ජනපද රැකවරන යටතේ නොවැම්බර් 11 දෝහා කටාර්හි දී පිහිටුවන ලද සිරියානු විරුද්ධ පක්ෂය මුලින් ම පිලිගනු ලැබුවේ ප්‍රන්සය විසිනි. බ්‍රිතාන්‍යය විසින් දැන් ප්‍රන්සය සම්බන්ද කරගෙන තිබේ.

එවිට බටහිර බලවේගවලට "සිරියාව තුල ගැටුම" දෙසට වඩාත් බලහත්කාරී ලෙස හැරී ගත හැකි නිසා ගාසා සටන් විරාමයට දවසකට පෙර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සටන් විරාමයක් ඉල්ලා සිටියේ ය. නීත්‍යානුකුල ආන්ඩුවක් ලෙස සිරියානු විරුද්ධ පක්ෂය පිලිගැනීම වග කීම් පවරන" බවත් "සිරියාවේ අහිංසක ජීවිත ආරක්ෂා කරන හා එක්සත් රාජධානියේ ආරක්ෂාවට තීරනාත්මක වන කලාපයක් අස්ථාවරවීම වැලැක්වීම සදහා ජාත්‍යන්තර නීතියට අනුව ගත හැකි සෑම පියවරක් ම ගැනීම එක්සත් රාජධානිය ප්‍රතික්ෂේප නොකරන" බවත් ඔහු ප්‍රකාස කලේ ය.

මසා කිහිපයක් තුල දී බ්‍රිතාන්‍යයට සිරියාවට මැදිහත් විය හැකියි ආරක්ෂක කාර්යමන්ඩල ප්‍රධානි සර් ඩේවිඩ් රිචර්ඩ්ස් නොවැම්බර් 11 ප්‍රකාශ කලේ ය."මා හිතන්නේ මානුෂික තත්වය මේ සීත සෘතුවේ දී පිරිහෙනු ඇත. සීමිත ආකාරයක මැදිහත්වීමකට එමගින් ඉඩ සලසාවී. අවසානයේ දී මිලිටරි පියවරයන් නො ගැනීමට හේතුවක් නැත. මෙම සියලුම පියවරයන් ඉතාමත් ම නිවැරිදිව පරීක්ෂා කර ඇති බව මම දනිමි. යයි ඔහු ඔහු බීබීසී ලෝක සේවයට කීවේ ය.

එය දිගුකලක් අපේක්ෂාවෙන් සිටි මිසයිල් නාශක පේට්රියට් මිසයිල නේටෝව විසින් එයට සැපයිය යුතු යයි ගාසා සටන් විරාමයට දවසකට පෙර තුර්කිය ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ගැන සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 28 තානාපතිවරු එදින බ්‍රසල්ස් හි දී රැස් වූ හ. එක්සත් ජනපදය වෙනුවෙන් ආදේශක තුන්වන පාර්ශවයක් ලෙස සිරියාවට එරෙහිව යුද්ධයක් ගෙන යාමට වඩාත් හැකියාවක් ඇති කලාපීය බලයක් වන්නේ තුර්කියයි. ඉරාකයට එරෙහි එක්සත් ජනපද යුද්ධය පැවති කාලයේ දී 1991 හා 2003 දී නේටෝව තුර්කිය තුල ගුවන් යානා නාශක මිසයිල් තැන් ගත කලේ ය. සිරියාවට එරෙහි ප්‍රහාරයක දී මිසයිල අවශ්‍ය වනු ඇත. බර්ලිනය තුර්කියේ ඉල්ලීම අනුමත කර ඇතැයි ජර්මන් විදේශ ඇමති ගීදෝ වෙස්ටර්වෙල් බදාදා ප්‍රකාශ කල අතර ජර්මානු සොල්දාදුවන් ද ඊට සමබන්ධ වනු ඇතියි ආරක්ෂක ඇමති තෝමස් ඩි මැසියර් අවධාරනය කලේ ය.

මැදපෙරදිග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන රඳා පවතින්නේ ඊස්රායල් මිලිටරි බලයට වඩා තුර්කිය හා ඊජිප්තුවත් ගල්ෆ් රාජ්‍යයනුත් විසින් මෙහෙයවන අරාබි බලයන්ගේ සභාගය සමග එහි ඇති සන්ධානය මත ය. ගසා හි දී දැනටමත් ප්‍රදර්ශනය කෙරී ඇති පරිදි ඊස්රායලයේ මැදිහත් වීමකින් ඇතිවන මහජන කෝපය වලක්වා ඉරානයට හා සිරියාවට එරෙහිව ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සුදුසුම බලයන් වන්නේ ඔවුන් යයි වොෂින්ටනය ගනන් බලයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ මුරුසි විසින් ලිපියක් තුල දී ඔහුගේ "විස්වාසවන්ත මිතුරෙකු" ලෙස විස්තර කරන ලද ඊස්රායල් අගමැති බින්යමින් නෙතන්යාහු සමග ගැ‍ටෙමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ දී ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ සභාපති මොහමඩ් මුරුසි ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ ඒ නිසාය. පරදුවට තැබී ඇත්තේ වාර්ෂිකව කයිරෝවට සපයන ඩොලර් බිලියන 1.3 එක්සත් ජනපද මිලිටරි හා ආර්ථික ආධාර පමනක් නොව; රට තුල මහජන විරුද්ධත්වය මැඩීමේ දී වොෂින්ටනයෙන් ලැබෙන සහයෝගය සහ සිරියාව තුල අලුතෙන් අටවනු ලබන රූකඩ තන්ත්‍රයක ප්‍රධාන සභාගයක් පිහිටුවීමට මුස්ලිම් සහෝදරත්වයට ඇති අවස්ථා ද වේ.

ගාසාවට එරෙහි ප්‍රහාරය ලොව පුරා කම්කරු පන්තියට අනතුරු අඟවීමකි. සිරියාව හෝ ඉරානයට එරෙහි ප්‍රහාරයක දී ඊස්රායලය එය විසින් සිදුකරන ලද විනාසය කුරු මේට්ටහියක් බවට පත් වනු ඇත. යුද අපරාධ කරුවන්ගේ ආන්ඩු හා සැම රටක් තුලම අධිරාජ්‍යවාදී මංකොල්ල කරුවන් පෙරලා දැමීමට හා කම්කරුවන්ගේ ආන්ඩු මගින් ඒවා විස්ථාපනය කිරීමට කරන සටනේ දී එවැනි සියලු සාපරාධි යුද ආක්‍රමනයන්ට විරුද්ධවන යුද විරෝධී නව ව්‍යාපාරයක් කම්කරු පන්තිය විසින් බලමුලු ගැන්විය යුතුය.

එවැනි ව්‍යාපාරයක් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය හා ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය (නිව් ඇන්ටි-කැපිටලිස්ට් පාර්ටි) වැනි ව්‍යාජ වම්මුන්ගේ බලපෑමෙන් දේශපාලනිකව නිදහස් කර ගත යුතු ය. ගාසාවට එරෙහි ඊස්රායල් ප්‍රහාරය ගැන කඩිමුඩියේ සංවිධානය කල ඔවුන්ගේ විරුද්ධත්වය ඊස්රායලයේ ලේවැකි ප්‍රහාරයට මග හෙලි කල ලිබියාවට එරෙහි යුද්ධයට හා සිරියාව අස්ථාවර කිරීමට ඔවුන්දුන් සහයෝගය වසන් කිරීමේ නරුම උත්සාහයක් පමනි.

ටියුනීසියාවේ බෙන් අලි හා ඊජිප්තුවේ හොස්නි මුබාරක් 2011 බලයෙන් පහ කිරීමේ දී පලමුව ප්‍රකාශයට පත් වූ විප්ලවවාදී ව්‍යාපාරය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පදනම් මත පුනර්ජීවනය කල යුතු ය. කයිරෝ, අන්කාර්, රියාද් සහ දෝහා වල මෙන් ම ටෙල් අවිව් සහ ඩමස්කස්වල පවතින කලාපයේ සියලුම ධනපති තන්ත්‍රයන් දමමින් මැදපෙරදිග එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් පිහිටුවීම එහි එල්ලය විය යුතු ය.

මෙහිදී ලෝක සමාජවාදී විප්ලවයේ මුලෝපාය මත පදනම් වූ නව නායකත්වයක් එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගිය යුතු ය.

ක්‍රිස් මාර්ස්ඩන්

Share this article: