බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෝ පොලීසිය සමග ගැටෙති

Bangladeshi garment workers clash with police

By Sarath Kumara and Wimal Perera, 20 September 2012

ඩකා අගනුවරට කිලෝ මීටර් 20 ක් දකුනෙන් පිහිටි නාරායන්ගන්ජ් කර්මාන්ත ප‍්‍රදේශයේ ඉරිදා විරෝධතා උද්ඝෝෂනයක යෙදුන දස දහස් සංඛ්‍යාත ඇඟලූම් කම්කරුවෝ පොලීසිය සමග ගැටුනහ. කම්කරුවෝ පොලිස් මුරපොලකට සහ පොලිස් වාහන හතරකට ගිනි තැබූහ. පැය කිහිපයක් පුරා පැවැති මෙම විරෝධතාවය යටපත් කිරීම සඳහා ආන්ඩුව පොලීසිය සමග කුප‍්‍රකට හදිසි ක‍්‍රියාත්මක බලකාය (Rapid Action Battalion) යෙදවීය. ඔවුන් කම්කරුවන් විසිරවීම සඳහා රබර් උන්ඩ සහ කඳුලු ගෑස් ප‍්‍රහාරයක් දියත් කල අතර 50 දෙනෙකුට තුවාල සිදු විය.

මෙම විරෝධතා පුපුරායාමට හේතු වූයේ ඇඩම්ජි අපනයන කලාපයේ ෆැක්ටරි කම්කරුවකු මංකොල්ල කා මරාදැමූ බවට පැතිර ගිය කටකතාවකි. සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි නොවූව ද කම්කරුවන් පැවසුවේ විරෝධතාවලට පෙරාතුව දින 10 තුල මැර ප‍්‍රහාර 15ක් සිදු වූ බවය. ආරක්ෂාව ප‍්‍රමානවත් නොවන බව ඔවුන් පොලීසියට පැමිනිලි කලද ඉන් ප‍්‍රතිඵලයක් නොවී ය.

එපික් ගාමන්ට් හි කම්කරුවන් සිය ගනනකින් විරෝධතාවය ආරම්භ වූ නමුත් ඉක්මනින්ම ලක්ෂයක් දක්වා එහි සහභාගිත්වය පුලුල් විය. කම්කරුවන් විසින් චිතගොන් ඩැකා - සිල්හෙට් සහ ඩකා - නාරායන්ගන්ජ් හි මහා මාර්ග පැය කිහිපයක් අවහිර කරගෙන සිටි අතර පහරදීම් නැවැත්වීම සඳහා පොලීසිය මැදිහත් විය යුතු යයි ඔවුහු ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් වැඩ පැය ගනන අඩු කිරීම සහ අනෙකුත් කොන්දේසි වැඩිදියුනු කිරීම ඇතුලුව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ක්ෂනිකව පුලුල් විය

හදිසි විරෝධතා පිපිරීම පෙන්නුම් කරන්නේ ඇඟලුම් කම්කරුවන් තුල කැකෑරෙමින් පැවැතුනු අසංතුෂ්ටියයි. රටේ ඇඟලුම් අපනයනයෙන් සියයට 20 ක් නිපදවනු ලබන අෂුලියා කලාපයේ කම්කරුවෝ සියයට 50 ක් වැටුප් වැඩිවීම් ඉල්ලා සිටිමින් ජුනි මාසයේ සතියක් පුරා උද්ඝෝෂනවල නිරත වූහ. අවාමි ලීග් ආන්ඩුවේ පිටුබලය ලත් කම්හල් හිමියෝ කලාපයේ ඇති කම්හල් 350ම වසා දමා කම්කරුවෝ 500,000 පමන ලොකවුට් කලහ. වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම නොතකා හැරී හිමිකරුවෝ අගමැති හසීනා වජෙඞ් විසින් ආරක්ෂාව තර කරන බවට පොරොන්දු වූ පසු කම්හල් යලි විවෘත කලහ.

බංග්ලාදේශයේ ඇඟලුම් වලින් සියයට 57ක් ඇමරිකාවටත් සියයට 23ක් යුරෝපයටත් අපනයන කරයි. මෙම රටවල ආර්ථික අවපාත ප‍්‍රවනතාවය වඩා නරක අතට හැරීම කර්මාන්තය මත බරපතල බලපෑමක් ඇති කර තිබේ. අපනයන ප‍්‍රවර්ධන බියුරෝවට අනුව 2011-12 මුදල් වර්ෂයේ ඇමරිකාවට සිදු කෙරුනු අපනයන සියයට 1.7 කින් පහත වැටුනු අතර යුරෝපයට කෙරෙන අපනයන මාර්තු මස පහත වැටමින් පවතී.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දොට්ට දැමීම් මාලාවක් සිදුවිය. බංග්ලාදේශයේ අපනයන ප‍්‍රවර්ධන කලාප අට තුල ජුලි 1 දා වනවිට සමස්ථ කම්කරු බලකායෙන් සියයට 23 කපා හරින ලදී. එනම්, 1983 සිට කලාප පිහිටුවායින් පසු සිදු කෙරුන වැඩිම රැකියා කප්පාදුවයි.

ඉහල යමින් තිබෙන බඩු මිල කම්කරුවන්ගේ මූර්ත ආදායම් ගිලදමමින් තිබේ. වාර්ෂික උද්ධමනය 2010 දී සියයට 8.1 සිට 2011 දී සියයට 10.7 දක්වා ඉහල ගිය බව ලෝක බැංකු වාර්තා පෙන්වා දුන්නේය. වෘත්තීය සමිති වලට අනුව පසුගිය 18 මාස පුරා කම්කරුවන්ගේ ජීවන වියදම සියයට 30 කින් ඉහල ගියේය. කිසිදු අමතර දීමනාවකින් තොරව කම්කරුවන්ට දිනකට පැය 10 සිට 16 දක්වාත් සතියකට දින 6 ක් ද වැඩ කිරීමට සිදුවී ඇත.

ඇඟලුම් කම්කරුවන් සඳහා ප‍්‍රථමයෙන්ම අවම වැටුපක් ස්ථාපිත කෙරුනේ 1994 දී ය. වැටුප් මට්ටම් දෙවරක් වැඩිවූයේ 2006ත් 2010 දීත් දරුනු පොලිස් මර්දන වලට මුහුන දෙමින් සති ගනන් කෙරෙනු අධිෂ්ඨාන සහගත අරගල වලින් පසුව පමනි.

ඔවුන්ගේ භාන්ඩ නිපදවනු ලබන ශ‍්‍රම වධකාගාරවල දරුනු කොන්දේසි එලිදරව් වීමෙන් විදේශ සංගත ප‍්‍රකුපිත වී සිටිති.

අගෝස්තු මස එම් සහ එම් ස්වීඩ්න් බහුජාතික සමාගමේ විධායක නිලධාරියා වන (CEO) කාර්ල් ජෝන් පර්සන් රටේ නිදහස් වෙලඳ කලාපවල වර්ධනය වන පුපුරන සුලූ තත්වය හසුරුවන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම සඳහා අගමැති හසීනා මුන ගැසුනේ ය. එම් සහ එම් සමාගම බංග්ලාදේශයේ කම්හල් 250 සමග වෙලඳ ගනු දෙනු වල නිරත ව සිටී.

"අපනයන බලාගාරවලට කම්කරු ගැටුම්වල වේදනාව දැනෙයි” යන මාතෘකාව යටතේ අගෝස්තු 23 නිව් යෝර්ක් ටයිම්ස් සඟරාවේ පල වූ ලිපියකින් ඒ හා සමාන ප‍්‍රශ්න උලූප්පා දැක්වීය. එය සඳහන් කලේ ජූලි අග වර්ධනය වෙමින් පැවති කම්කරු නොසන්සුන්තාවයෙන් තැති ගැන්වූ ප‍්‍රධාන වෙලඳ සලකුනු (brnds) සහ සිල්ලර වෙලඳ නියෝජිතයන් වැටුප් ඉල්ලීම් ගැන බංග්ලාදේශ ආන්ඩුව පෙලඹවුව ද එම යෝජනාව කම්කරු ඇමති විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. මැයි මාසයේ බංග්ලාදේශය තුල සංචාරයක යෙදුන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් "කම්කරු ප‍්‍රශ්නත් ඉස්ලාම් ඝාතන නඩුවත්” ගැන මතු කල බව මෙම ලිපිය පෙන්වා දුන්නේය. රටේ ආරක්ෂක අංශ හවුල් වී ඇති බවට ඇඟවුම් කෙරෙන තතු තුල අපේ‍්‍රල් මස වෘත්තීය සමිති සංවිධායක අමිනුල් ඉස්ලාම් පැහැර ගෙන ගොස් වධ දී ඝාතනය කලේය.

වොෂින්ටනයේ සැබෑ කනස්සල්ල වන්නේ කම්කරුවන් මුහුන දෙන පීඩාකාරී තත්වයන් නොව තම සංගත වල ලාභ වලට සිදු විය හැකි විභවීය හානිය ගැන බව ටයිම්ස් සඟරාව නොදැනුවත්වම ප‍්‍රකාශ කලේ ය. "කම්කරු අයිතීන් කප්පාදු කිරීමක් පිලිබඳ යම් හැඟීමක් සංගත බිය ගන්වා පලවා හැරීමට ඉඩ තිබේ” යයි ඇමරිකානු තානාපති ඩැන් මොසෙනා ජුනි මස බංග්ලාදේශ කම්හල් හිමිකරුවන්ට අනතුරු හඟවා තිබුනු බව එය පැහැදිලි කලේ ය. මෙම වර්ධනයන් ඇමරිකාව තුල බංග්ලාදේශ වෙලඳ ලකුනු තර්ජනයට ලක් විය හැකි පරිපූර්න චන්ඩ මාරුතයක් තුලට ඒකරාශි විය හැකි යනුවෙන් ඔහු පැවසී ය.

බංග්ලාදේශ ඇඟලූම් කම්කරුවන්ට දෙනු ලබන යම් සහනයක් "ජාත්‍යන්තර තරගකාරීභාවය”ට වල කැපෙනු ඇතැයි භීතියට පත් හසීනා ආන්ඩුව මෙම යෝජනා ප‍්‍රතික්ෂේප කලාය. බංග්ලාදේශ අපනයන වලින් සියයට 80 ක් ඇඟලුම් ය. ජුලි මස 1 ආරම්භ වන මුදල් වර්ෂය තුලදී ඩොලර් බිලියන 18 සිට ඩෝලර් බිලියන 28 දක්වා අපනයන වැඩි කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇත.

කම්කරු නොසන්සුන්තාවයට ප‍්‍රතිචාර වශයෙන් ටයිම්ස් සඟරාව පැහැදිලි කලේ: "කම්හල් සුමටව පවත්වා ගෙන යාම සඳහා බංග්ලාදේශ නායකයන් රජයේ ආරක්ෂක හමුදා යොදවා ඇත. ඇඟලූම් කර්මාන්තය අධීක්ෂනය කරනු ලබන ඉහල මට්ටමේ ආන්ඩුවේ කොමිටි වලට හමුදාවේ, පොලීසියේ සහ ඔත්තු සංවිධානවල නිලධාරින් ඇතුලත් කරනු ලැබ ඇත. බොහෝ කර්මාන්ත ප‍්‍රදේශවල නව විශේෂ පොලිස් බලකායන් සංචාරයේ යෙදෙයි. දේශීය ඔත්තු සංවිධාන සමහර කම්කරු සංවිධායකයන් කෙරෙහි විමසිල්ලෙන් සිටිති” යනුවෙනි.

තම අධිෂ්ඨානය සහ සටන්කාමීත්වය ප‍්‍රදර්ශනය කල ප‍්‍රධාන ලෙසම පිටිසර ප‍්‍රදේශවලින් පැමිනි තරුන කාන්තාවන් ගෙන් සමන්විත මිලියන 3.5 ට අධික කම්කරුවන්ගේ පුපුරන සුලු මතුවීම යටපත් කිරීමට මෙම පොලිස් රාජ්‍ය ප‍්‍රතිකර්ම අපොහොසත් වේයයි යන බිය ක්ලින්ටන් සහ ඇමරිකානු තානාපති මොසෙනාත් පිලිබිඹු කලහ.

වැටුප් සහ සේවා තත්වයන්වල අවම වර්ධනයන් සඳහා ඉල්ලීම් වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන වලට වඩා කර්යක්ෂම ලෙස ඇගලුම් කම්කරු අරගල යටපත් කිරීම සඳහා ඉඩ ලබා දෙයි. මෙම කටයුත්ත කිරීම සඳහා ඩකා සහෝදරත්ව කේන්ද්‍රය වැනි බංග්ලාදේශ කම්කරු සංවිධාන කිහිපයන් සමග ඇමරිකානු ඒඑෆ්එල්-සීඅයි ඕ සමිති සම්මේලනය සමීපව වැඩ කරයි.

බංග්ලාදේශ වෘත්තීය සමිති ව්‍යාපාරිකයින්ගේත් ආන්ඩුවේත් අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කූප‍්‍රකට ය. ජුනි මස අරගලවලදී ඇඟලූම් කම්කරු වෘත්තීය සමිති කේන්ද්‍රය (පීඩබ්ලිව්ටීයූසී) හි ප‍්‍රධාන ලේකම් කාසි රුහුල් අමින් "එකිනෙකා සතුරන් ලෙස නොසලකාගන්නා ලෙස” සේවා යෝජකයින් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙම පීඩබ්ලිව්ටීයූසීය අනුබද්ධ වී ඇත්තේ ස්ටැලින්වාදී බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය (බංකොප)ට ය. පසුගිය මහ මැතිවරනයේ දී අගමැති හසීනාගේ අවාමි ලීගයට සහය දුන්නේ ය.

ඇඟලුම් කම්කරුවන් මුහුන දෙන පීඩාකාරී තත්වයන් බංග්ලාදේශයට සුවිශේෂ නොවන අතර ආසියාව සහ ලෝකයේ අනෙකුත් ප‍්‍රදේශවල ද පවතී. නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය විසින් වෙලඳපොල තරගය තීව‍්‍ර කරන අතර ශ‍්‍රම වියදම් තව දුරටත් කැපීම සඳහා පීඩනය ඇති කරයි. මෙම භයංකර සූරාකෑම අවසන් කිරීමේ එකම මාවත වන්නේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී පදනම මත ලාභ පද්ධතිය අහෝසි කිරීම සඳහා කරනු ලබන කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයන් මගින් පමනි.

Share this article: