පසුබෑම පරම්පරාවක්ම පැවතිය හැකි යයි එංගලන්ත මහ බැංකු අධිපති අනතුරු අඟවයි

Downturn to continue for a generation, Bank of England governor warns

By Nick Beams , 24 October 2012

23දා සවස වේල්සයේ කාඩිෆ්හිදී පැවැත්වූ කතාවකදී කිං, “අක්‍රමික” ප්‍රසාරනයේ අවධියකට පසුව වර්ධනය වන වෙලඳ හිගයන්, ඉහල යන නය මට්ටම් හා බිඳ වැටෙන බැංකු ක්‍රම හමුවේ “ලෝකය පුරා දියුනු ආර්ථිකයන් දැවැන්ත ප්‍රතිව්‍යුහකරනයකට මුහුනපා සිටින” බව පැවසීය. මාරුවන පරිමාවෙහි අර්ථය, ශ්‍රම බලකායට එක්වන පරම්පරාවක්ම “එහි සෙවනැල්ල යට දීර්ග කාලයක් ජීවත්වනු ඇති බවයි.”

පසුගිය වසර පුරා “ආර්ථික ආකාසය අඳුරුවී තිබේ” යයි කිං අනතුරු ඇඟවීය. යුරෝ කලාපයෙන් ඇදී එන වලාකුලු පහව ගොස් නැති අතර චීනය, බ්‍රෙසීලය හා ඉන්දියාව යන විශාලතම “නැඟී එන ආර්ථිකයන් තුන” පසුබෑමක් අත් විඳින තතු හමුවේ අලුත් වලාවන් නැඟී එයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ප්‍රක්ෂේපනයන්ට අනුව මේ වසරේදී යුරෝපීය ආර්ථිකයන් 10ට නොඅඩු ගනනක නිමැවුම පහත වැටෙනු ඇත.

තමන් මූල්‍ය ප්‍රතිපත්තිය හා මුදල පාලනය කරන්නේය යන කාරනය තිබියදීම බ්‍රිතාන්‍ය, යුරෝපයේ සිදුවෙමින් තිබෙන ක්‍රියාවලීන්ගෙන් ස්වාධීන නැත. දල දේශීය නිෂ්පාදිතය දෙවසරකට පෙර පැවතියාට වඩා යාන්තමින් ඉහල නැඟ ඇත ද 2007ට පෙර ක්‍රියාත්මකවූ ධාරාවන් ට වඩා සියයට 15කට අඩුවෙන් පවතියි.

ලෝකය පුරා අනෙකුත් මහ බැංකු මෙන්ම එංගලන්ත මහ බැංකුව ද සිය පොලී අනුපාතය ඉතිහාසයේ අවම අගයකට පහත හෙලා ඇති අතර ආර්ථිකයට මුදල් එන්නත් කිරීමේ අටියෙන් පවුම් මිලියන 350ක මූල්‍ය වත්කම් මිලට ගෙන තිබේ. මෙම පිලිවෙත “ප්‍රතිව්‍යුහකරනයේ” පරාසය ලිහිල් කරනු ඇත ද එය අනියමිත කාලයක් පවත්වාගත නොහැකිවන අතර “පෞද්ගලික අංශයේ වියදම් උත්තේජනය කිරීමේ හැකියාවට සීමාවන් පවතින්නේයයි” කිං අවධාරනය කලේය.

“දිගු කාලයේදී දේශීය වියදම් වෙතින් අපගේ ආර්ථිකය, අපගේ වෙලඳ හිගය අඩුකරන නිර්යාත දෙසටත්, අපගේ නය ගෙවාදැමීමේ හා ජාතික ඉතිරිකිරීම් හා ආයෝජන ඉහල නැංවීමේ දිසාවටත් ප්‍රති තුලනය කල යුතුය.” මෙම සීරුමාරුවේ ඇඟවුම් ගැන කිං කතා නොකල නමුත් එහි අර්ථය වන්නේ, බ්‍රිතාන්‍ය ධනවාදය ජාත්‍යන්තරව වඩා තරඟකාරී කිරීමේ අටියෙන් තවදුරටත් ජීවන තත්වයන් සැලකිය යුතු තරම් පහල දැ‍මෙනවාය යන්නයි.

වත්මන් ප්‍රතිපත්තියේ “පරස්වාචකය” වන්නේ, හෙට දවසේ පිරිවැය අද දිනය කරා ගෙන ඒමට දරන උත්සාහය, අනාගතයේ ආර්ථිකය තවදුරටත් උත්තේජනය කිරීම පිනිස වඩාත් විශාල උත්තේජනයන් අවශ්‍ය වන්නේය යන්නයි. “පසුබෑමකට තුඩුදෙන සාධක දිගු කලක් පවතින කල අඛන්ඬ උත්තේජක එන්නත් සැබෑ ක්‍රියාකාරිත්වයයේ මට්ටම තිරසාර කිරීමට පමනක් සෑහෙන්නේය. නිසැකවම මෙය අනියම්ව පවත්වාගෙන යා නොහැකිය.”

අර්බුදයට පූර්වයෙන් සිදුකල ආයෝජන දැන් ලාභදායී නොවන්නේය. පහත් වත්කම් අගය නය මට්ටම් ඕනෑවට වඩා ඉහලින් පෙන්වන අතර “වානිජ්‍ය වීදිවල තිබුනු සාප්පු පේලි 1000ක් පමන වසරේ පලමු භාගය තුල වැසී තිබේ” යයි කිං පැවසීය.

නය ඉහලට පිම්බී තිබීම, නය අවමකර ගැනීම නැත්නම් “වත්කම් විකිනීමේ” ක්‍රියාවලිය විශේෂයෙන්ම, බැංකු ක්ෂේත්‍රය තුල පැතිර තිබීම නිසා අලුතෙන් නය දීම සීමාවී තිබේ. බැංකු ද්‍රවශීලතා වත්කම් වලින් පිරී තිබුන ද ප්‍රාග්ධන හිගයකට මුහුනපා සිටියි. “හරියටම 2008දී මෙන්, ලෝකයේ බොහෝ කොටස් තුල බැංකු පද්ධතියේ ප්‍රග්ධනීකරන හිගයේ පරිමාව පිලිගැනීමට දැඩි අකැමැත්තක් පවතියි.” කිං පැවසීය.

නය ආපසු ගෙවිය හැකියයි මවාපෑම දිගු කලක් පවත්වා ගැනීම නිසා 1930 ගනන්වල “වැරදි” පුනර්කරනය වීමේ අන්තරායක් පවතියි. “තවදුරටත් සිදුවිය හැකි පාඩු, වත්කම් අගයේ සැලකිය යුතු කපාහැරීම් වලට තුඩුදෙන බවත්, ඔවුන්ගේ මූල්‍ය ක්‍රම ප්‍රති ප්‍රාග්ධනීකරන‍යේ අවශ්‍යතාවයත් නය හිමියන් විසින් පිලිගත යුතුය.”

කිංගේ අනතුරු ඇඟවීම්, “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” ගෝලීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ලබාදී ඇත්තේ සුලු දායකත්වයක් නැත්නම් දායකත්වයක් කොහෙත්ම ලබාදී නැතැයි යන කාරනය පිලිබඳව නිකුත්වී ඇති අනතුරු ඇඟවීම් මාලාවකින් එකක් වන අතර එය සැබවින්ම 2008 අර්බුදයටත් වඩා විශාල නව මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කල හැකි බව ඇඟවුම් කරයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් මාධ්‍යවේදිනියක වන හැනී සෙන්ඩර් 19දා සඳහන් කල පරිදි, බෙන් බෙනන්කි හා අනෙකුත් නිලධාරීන් සිය “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” වැඩසටහ‍නේ සාර්ථකත්වය හුවා දැක්වුව ද “පුලුල් ආර්ථිකයේ ‍ප්‍රකෘතියක් හා ආර්ථිකය පිලිබඳව බලාපොරොත්තු තැබිය හැකි කිසියම්ම ප්‍රගතියක් අතර සම්බන්ධයක් පිලිබඳව හෝ ප්‍රබල හෝඩුවාවක් ඇත්තේ නැත.”

“ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” තුන්වන වටය මගින් අවුලුවනු ඇතැයි සැලකෙන ආර්ථික ක්‍රියාකාරිත්වයක් තවමත් “දකින්නට නැතුවා” පමනක් නොව එහි බලපෑම පිලිබඳ සලකුනු “දැනටමත් මැකී යමින්” තිබේ.

“තුන්වන කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වල වැටීමෙන් අදහස් කරන්නේ ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රතිපත්තිය ව්‍යාපාරික ආයෝජනයන් සඳහා මොනම වාහකයක් හෝ වී නැති බවයි,” ඇය සඳහන් කලාය.

මහ බැංකු පිලිවෙත, දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය යන බියක් ද පවතියි. ජපාන මහ බැංකුවේ අධිපති මසාකි ෂිරකාවා මේ මස මුලදී “අසාධාරන ගෝලීය ලිහිල් කිරීමේ පිලිවෙත 2000 ගනන්වල දැවැන්ත නය බුබුලක නැඟීමට බලපෑ වාතාවරනය සමග සමාන්තරව ගමන් කරයි,''යනුවෙන් අනතුරු ඇඟවීය.

එක්සත් ජනපදය තුල “තෙත බරිත නය වෙලඳපොලවල් හා කොරගසන ආර්ථිකය” අතර සම්පූර්න ප්‍රතිවිරෝධය සමග හටගත් 2007 තත්වයන් කරා කසල බැඳුම්කර වෙලඳපොල යලි අවතීර්නවී ඇති බව සෙන්ඩර් පැහැදිලි කලාය. ඔක්තෝබරයේ පලමු සති දෙ‍කෙ‍් දත්ත, මධ්‍යය තුල සංවිධානයවී ඇති ඉහල ප්‍රතිලාභ සහිත මෙන්ම, ව්‍යාපාර වස්තු සඳහා නය සපයන වෙලඳපොලවලට ද ප්‍රතිමූල්‍යකරනය සඳහා ආයෝජන ආයතන මගින් වාර්තාගත නය සැපයුමක් කර තිබෙන බව පෙන්වයි. “එම සංඛ්‍යා, ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රතිපත්තිය මගින් විශේෂයෙන්ම තැන්පතු කරුවන් වන කුටුම්බයන් හෝ ව්‍යාපාරික සමාගම් වලට වඩා පෞද්ගලික ව්‍යාපාරවස්තු සමාගම් ලොකුම වාසි සලසාගෙන ඇති තරම සලකුනු කරයි.”

“ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” වැඩපිලිවෙලෙහි අනෙකුත් විවේචකයින් පෙන්වා දෙන්නේ, එහි එක් බලපෑමක් වශයෙන් ඉහල නඟින වත්කම් මිලගනන් වලින් වාසි ලැබීමේ හැකියාව ඇති ධනවතුන්ට වාසි සලසන අතර දුගීන් මත බෙහෙවින් බලපාන මූලික පාරිභෝගික භාන්ඩ මිල ඉහලට තල්ලු කරන බවයි.

Share this article: