ජවිපෙ වෘත්තීය සමිතිවල බොරු වැටුප් උද්ඝෝෂනය

By W.A. Sunil, 25 October 2012

මෙවර අයවැයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන්ට රුපියල් 13,442.50 මාසික වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ආන්ඩුවට බල කිරීමේ උද්ඝෝෂනයක් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහයවනු ලබන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) විසින් ආරම්භ කරනු ලැබ ඇත.

ඔක්තෝබර් 22 අම්පාරෙන් පටන් ගෙන රටේ හැම නගරයක් තුල ම සිය වැටුප් උද්ඝෝෂනය ගෙන යන බව ජාවෘසම ප‍්‍රකාශ කර තිබේ.

ජාවෘසම උද්ඝෝෂනය කම්කරු පන්තියට ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සැබෑ අරගලයක් සංවිධානය කිරීමේ උවමනාවෙන් කරන එකකැයි කම්කරුවන් මුලා නොවිය යුතු ය.

එහි සැබෑ අරමුන වනාහි පසුගිය වසරවල දී අයවැය ඉලක්ක කර ගනිමින් ගෙන ගිය උද්ඝෝෂනවල දී මෙන්ම ආන්ඩුවට බලපෑමක් දමා අයවැයෙන් සොච්චම් ගතමනාවක් වැඩිකර ගත හැකි වෙතැයි කෙරෙන කුජීත වෘත්තීය සමිතිවාදී හා අවස්ථාවාදී ගනන් බැලීමක් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජමුඅ) විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තියේ කැකෑරෙන කෝපය වාෂ්පකර දැමීමය.

තම වැටුප් ඉල්ලීම දීමට අසමත් වුනොත් මහා වැඩ වර්ජනයක් කරන බවට ජාවෘසම සභාපති කේ.ඩී. ලාල්කාන්ත ආන්ඩුවට තර්ජනය කරයි. "ආන්ඩුවට තේරෙන එකම භාෂාව ජෙනරල් ස්ට‍්‍රයිකය නිසා වැටුප් ඉල්ලීම් දිනා ගැනීමේ වෙනත් ක‍්‍රමයක් නැතැයි” මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ප‍්‍රකාශ කලේය.

කම්කරුවන්ට සටන්කාමිත්වයක් පෙන්වීමේ මෙම බොරු තර්ජනය පසුගිය අවුරුදු කීපය තුල ලාල්කාන්ත හා ජාවෘසම සෙසු නායකයන් ගෙන් අසන්නට ලැබුනි. එහෙත් එවැන්නක් සිදු නොවූ බව කම්කරුවෝ හොඳින් ම දනිති.

ලාල්කාන්තගේ මහ වර්ජන ගෝරනාඩුව පචයක් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුරකුමාර දිසානායක ඔක්තෝබර් 13 දා ඩේලි මිරර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකින් එලිදරව් වී තිබේ. "ජෙනරල් ස්ට‍්‍රයිකයක් වුමනාය කියන අදහසේ අපි කවදාවත් හිටියේ නැහැ. ....මේ අවස්ථාවේ ජවිපෙ ජෙනරල් ස්ට‍්‍රයිකයක් සඳහා සුදානම් වෙලා නැහැ”යි ඔහු එහිදී ප‍්‍රකාශ කලේය.

මෑත අවුරුදු කිහිපය තුල ම ආන්ඩුව අය-වැය ඉදිරිපත් කරන විට ජාවෘසම ඊනියා වැටුප් උද්ඝෝෂන ගෙන ගොස් තිබේ. 2008 දී හා 2009 දී රාජ්‍ය අංශය සඳහා රුපියල් 5,000 ක මාසික වැටුප් වැඩි වීමක් ඉල්ලූ ඔවුහු, 2010 දී රාජ්‍ය අංශය සඳහා රුපියල් 10,000 ක හා පුද්ගලික අංශය සඳහා සියයට 40 ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ හ. 2011 දී රාජ්‍ය හා පුද්ගලික දෙකොටසම රුපියල් 9,000ක් ඉල්ලා අය-වැය යෝජනාවක් ඉදිරිපත් කල හ. ඒ හැම අවස්ථාවකම ඉල්ලීම් නොදුන්නොත් ජෙනරල් ස්ට‍්‍රයිකයක් කරන බවට පාරම් බෑ ජාවෘසම ආන්ඩුව වෘත්තීය සමිතිවල වැටුප් ඉල්ලීම් කුනු කූඩයට දැමූ විට ලැබුන සොච්චම ජයග‍්‍රහනයක් ලෙස හුවාදක්වමින් උද්ඝෝෂනය ඇත හැර දැමී ය.

පුද්ගලික අංශය තුල "විවිධ වැටුප් ක‍්‍රමයන්” තියෙන නිසා අයවැයෙන් වැටුප් වැඩි කිරීමක් කල නොහැකියයි ප‍්‍රකාශ කරමින් ඔවුන් සඳහා වැටුප් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ජාවෘසම මෙවර අතහැර තිබේ.

මුදල් ඇමති ද වන ජනාධිපති රාජපක්ෂ මේ හැම වසරක දී ම, සිය අය-වැය ඉදිරිපත් කිරීමේ දී ජාවෘසම හා වෘත්තීය සමිති එකමුතුව ඇතුලු සෙසු සමිතිවල වැටුප් ඉල්ලීම් මුලුමනින් ම ඉවත දැමී ය. පසුගිය වසරේ අයවැයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන් සඳහා ලැබුනේ මූලික වැටුපට අනුව සියයට 10 ක හෙවත් රුපියල් 1,500 නො ඉක්මවන දීමනාවක් පමනි. එය විශ‍්‍රාම වැටුපට ගනන් නො ගැනෙන එකකි.

ජාවෘසම ඇතුලු සමිති මෙම වැටුප් කප්පාදුව හා ජාමුඅ විසින් නිර්දේශිත කප්පාදු පිලිගනිමින් වැටුප් උද්ඝෝෂනය අකුලා ගත් හ.

සමන් රත්නපි‍්‍රය හා ඇන්ටන් මාර්කස් ඇතුලු සමිති නිලධරය විසින් මෙහෙයවන වෘත්තීය සමිති එකමුතුව හා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජාතික සේවක සංගමය (ජාසේස) මුලුමනින්ම වගේ නිහඬය. රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ඉල්ලා වෘත්තීය සමිති එකමුතුව පුවත්පත් ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමය (ජාසේස) ද පුවත්පත් සාකච්ඡාවක දී එම ඉල්ලීම ම ඉදිරිපත් කර ඇති අතර කම්කරු පන්තියේ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ මොනම අරගලයක්වත් කිරීමට මේ සමිති සුදානම් නැත. ජවිපෙට හෝ එජාපයට ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් මූලික මතභේදයක් නැත.

ජවිපෙ "සමාජවාදී විප්ලවයක් සඳහා අවශ්‍ය මූලික කටයුතු සුදානම් කරමින් සිටින” බව දිසානායක ඩේලි මිරර් පුවත්පතට ප‍්‍රකාශ කලේය. ලාල් කාන්තගේ ජෙනරල් ස්ට‍්‍රයික් කතාව මෙන්ම මෙයද තුච්ඡ මුසාවකි.

මෙම පක්ෂය කෙදිනකවත් සමාජවාදය සඳහා සටන් කලේ හෝ කරන්නේ නැත. එය සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ සුලුධනේශ්වර ජාතිකවාදී පක්ෂයකි. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආන්ඩුවේ කොටස් කරුවෙකු වූ ජවිපෙ පාර්ලිමේන්තුව තුල දී ඇගේ ආන්ඩුවේ අය-වැයවලට හා වෙනත් ප‍්‍රතිපත්තිමය තීරනවලට ඡන්දය දුන්නේය. ඉක්බිතිව එය 2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කලේය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමට පෙර ජාවෘසම හා ජවිපෙ රාජපක්ෂ යලි ඇරඹූ වාර්ගික යුද්ධයට කෙලින් ම සහයෝගය දුන් අතර වැටුප් ඉල්ලීම් මත හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට පහර දීමට එරෙහිව පැන නැගුනු හැම අරගලයකට ම විරුද්ධ වූ හ. එම අරගල දේශද්‍රෝහී හා රටේ ආරක්ෂාව අනතුරේ හෙලන ඒවා ලෙස ආන්ඩුව හා ධනපති ජන මාධ්‍ය ගෙන ගිය ප‍්‍රචාරයේ නිර්ලජ්ජිත කොටස් කරුවෝ ලෙස ඔවුහු කි‍්‍රයා කල හ.

රාජපක්ෂ 2005 බලයට පත් වීමෙන් පසු වැටුප් කැටිකර තැබීම රාජ්‍ය පිලිවෙතක් ලෙස පවත්වා ගෙන යයි. බෙදුම්වාදී එල්ටීටීඊය 2009 දී මිලිටරිමය වසයෙන් පරාජය කල පසු යුද්ධයේ නය බර පැටවීම හා ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය තුල ලෝකයේ සෙසු ධනපති ආන්ඩු කි‍්‍රයාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත් ලංකාව තුල කි‍්‍රයාවට දැමීම රාජපක්ෂ ආන්ඩුව විසින් තීව‍්‍ර කලේය.

ඔහු බලයට පත්වී ගත වූ වසර හය තුල ජීවන වියදම තවදුරටත් ඉහල ගොස් තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2006/2007 වාර්තාවට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ආදායම රුපියල් 26,286 ක හා වියදම 22,962 කි. 2009/2010 වාර්තාවට අනුව එවන් කුටුම්භයක මාසික ආදායම රුපියල් 36,451 කි. සාමාන්‍ය වියදම 31,331 කි. මේ සංඛ්‍යා ලේඛන ආන්ඩුවේ වුවමනාවට කප්පාදු කල ඒවා බව සැලකිල්ලට ගත යුතුය. ජීවන වියදම ඉහල නැගීමේ සැබෑ මට්ටම වහංගු කිරීමට ආන්ඩුව ජීවන වියදම් දර්ශකය, 2002 දී හා 2007 දී දෙවරක් ම සංශෝධනය කලේ ය. ඒ වංචාව තිබිය දී ම, 2010 පසුව ආන්ඩුවේ බදු සහ මිල වැඩි කිරීම් යටතේ ජීවන වියදම තවදුරටත් ඉහල ගොස් ඇත. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මේවනවිට හතර දෙනෙකුගේ පවුලක් සඳහා මාසික වියදම රුපියල් 46,000 දක්වා ඉහල ගොස් තිබේ.

2007 දී සමස්ත මාසික වියදමෙන් සියයට 37.6 ක් වූ ආහාර සඳහා වියදම 2010 දී සියයට 57.7 දක්වා ඉහල ගියේ ය. 2007 දී කොලඹ පාරිභෝගික මිල දර්ශකය 100 ක් ලෙස යලි සංශෝධනය කිරීමෙන් පසුව 2012 සැප්තැම්බර් වන විට එය 165.5 දක්වා දර්ශක 65.5 න් ඉහල නැගුනි. 2010 දී 6.7 ක වූ වාර්ෂික උද්ධමනය 2011 දී 7,0 කි. මූර්ත වැටුප් අගය 2010 දී සියයට 2.7 න් පහත වැටුනි. 2011 දී නාමික වැටුප් සියයට 6.7 න් ඉහල ගිය නමුදු මූර්ත වැටුප එක තැන පල් විය.

ලෝක අවපාතයට ප‍්‍රතිචාර ලෙස ලෝක බැංකුව හා ජාමුඅ විසින් කම්කරු පන්තියට විරුද්ධව වඩා රුදුරු කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම සදහා ලෝකයේ සෑම රටකම පාලක පන්තීන් මෙහෙයවනු ලබයි. ලංකාවේ දී ජාමුඅ නිර්දේශවලට අනුව මෙම වසරේ අයවැය පරතරය සියයට 6.2 හා ලබන වසරේ 5.8 දක්වා කප්පාදු කිරීම රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කයයි. විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා හා දේශීය මහා ව්‍යාපාරිකයන්ගේ ලාබ රැක දීමේ නව යෝජනා කි‍්‍රයාවට දැමීමට නියමිත ය.

මෙහි තේරුම, වැටුප් කැටි කිරීමෙන් හා මිල සහන සහ සමාජ සුබසාධන තවදුරටත් කැපීමෙන් හා බදු වැඩි කිරීමෙන් ආන්ඩුව අය-වැය පරතරය අඩු කිරීමට පියවර ගනු ඇත. ආන්ඩුව අය-වැයට පෙරාතුව ම සිගරට්, මත් පැන්, සිමෙන්ති මිල හා ජල ගාස්තු වැඩිකර තිබේ. සෙසු අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා ගාස්තු වැඩිවීමට නියමිත ය.

රාජ්‍ය අංශයේ කම්කරුවෙකුගේ අවම මාසික වැටුප රුපියල් 11,700ක් හා පුද්ගලික අංශයේ 6,000 කි. වතුකම්කරුවෙකුගේ ඒකාබද්ධ දෛනික වැටුප රුපියල් 520 කි. වැඩ දින ගනන් අඩුවීම සහ වෙනත් කොන්දේසි යටතේ වතු කම්කරුවෙකු ගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 10,000 ට අඩු ය. ජීවන තත්වයන්ට එල්ල කෙරෙන නව වටයක ප‍්‍රහාර මාලාවක් කම්කරු පන්තියේ ජීවන තත්වයන් මත බරපතල ප‍්‍රතිවිපාක ඇති කරනු ඇත. වියදම් කප්පාදුවේ කොටසක් ලෙස අතිකාල සහ සෙසු දීමනා, රාජ්‍ය හා පුද්ගලික දෙඅංශයේ ම වඩවඩා කප්පාදු කෙරෙන හෙයින් එම තත්වය තවත් දුෂ්කර කරනු ලැබ ඇත.

ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා "ජාත්‍යන්තර ශ‍්‍රම වෙලඳපොලේ” මට්ටමට පුද්ගලික අංශයේ වැටුප් පහත මට්ටමක රඳවා තබන ලාබ ශ‍්‍රම කොන්දේසි ආන්ඩුව විසින් තහවුරු කල යුතු ය.

මෙම සන්දර්භය තුල ජාවෘසම විසින් පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම අත හැරීම සමපාත වන්නේ ආයෝජන හිතැති ආන්ඩුවේ පිලිවෙත් සමග ය.

ජීවන වියදමට සරිලන වැටුපක්, රැකියා හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් රැක ගැනීම සඳහා අරගලයේ දී කම්කරු පන්තිය සියලුම කොටස් ඒකාබද්ධ කරගත් දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය වී පෙරට ඒම අවශ්‍ය ය. පාලක පන්තියේ හා ප‍්‍රාග්ධනයේ උපකරන ලෙස කි‍්‍රයාත්මක වන වෘත්තීය සමිතිවලින් හා ධනපති හා ව්‍යාජ වාම හා සුලුධනේශ්වර පක්ෂවලින් බිඳීම එහිදී අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. වැඩපොල කමිටු ඇතුලු නව සංවිධාන රූප හරහා බලගතු අරගලයකට උචිත ආකාරයට කම්කරු පන්තිය සිය සංවිධාන ශක්තිය ගොනු කර ගත යුතු ය.

අන් සියල්ලටමත් වඩා එය රාජපපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. විදේශ නය ගෙවීම අහෝසි කිරීම, බැංකු, කර්මාන්ත ඇතුලු මූලික ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් මත ආර්ථිකය යලි ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කරන දැනුවත් දේශපාලන අරගලයක් සමග වැටුප් හා සෙසු අයිතීන් රැක ගැනීමේ අරලගලය බද්ධ කල යුතු ය.

මෙම දේශපාලන අරගලය සඳහා නායකත්වය දෙන විප්ලවවාදී පක්ෂයක් කම්කරු පන්තියට අවශ්‍යවේ. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තිය සංවිධානය කොට බලමුලුගැන්වීමට ලංකාව තුල සටන්වදින්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට පෙරට එන ලෙස දේශපාලනිකව හිතනමතන සියලුම කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ට සසප ආරාධනය කරයි.

Share this article: