එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි

Currency war warnings follow US Fed’s “quantitative easing”

By Nick Beams , 24 September 2012

මහ බැංකුව ගෙන ඇති පියවරෙහි එක් ප්‍රතිවිපාකයක් වශයෙන් ඩොලරයේ අගය පහත වැටේ. එමගින් ජාත්‍යන්තර වෙලඳපොලවල් තුල අනෙකුත් ප්‍රමුඛ රටවල තරගකාරිත්වය හීනවනු ඇත.

මසකට ඩොලර් බිලියන 40 බැගින් උකස්කරයන්ගෙන් පිටුබලය ලබන සුරැකුම් මිලට ගැනීම පිනිස මහ බැංකුව පිලින දෙන මෑතම තීන්දුවෙන් පසුව, බ්‍රසීලයේ මුදල් ඇමති ගයිඩෝ මැන්ටිගා, මූල්‍ය යුද්ධයක් පිලිබඳ ඔහුගේ මුල් අනතුරු ඇඟවීම් යලි අලුත් කලේය.

පසුගිය 20දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මැන්ටිගා, "ආරක්ෂනවාදී” වූ එක්සත් ජනපද පියවරෙන්, අවශේෂ ලෝකයට බරපතල ප්‍රතිවිපාක ඇතිකල හැකි බව කියා සිටියේය. බැංකුවේ පියවර මගින් ලැබෙනු ඇත්තේ අවම වාසියක් පමනක් බවත් දැනටමත් වෙලඳපොලවල ඉහල ද්‍රවශීලතාවක් පවතින නමුත් ඒවා නිෂ්පානය කරා ගමන් නොකරන බවත් ඔහු පැවසීය. මෙම පියවරයන්හි සැබෑ අරමුන ඩොලරයේ අගය පහත හෙලා එක්සත් ජනපද අපනයන සඳහා තල්ලුවක් ලබාදීම බව ද ඔහු පැවසීය.

පසුගිය සතියේ ජපාන මහ බැංකුව, තමන්ගේම ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ සංස්කරනයක් සහිතව මූල්‍ය වෙලඳපොලවලට මැදිහත් වීමට ගත් තීන්දුව, ගෝලීය ආතතීන් පිලිබඳ තවත් සලකුනක් බව මැන්ටෙගා පෙන්වා දුන්නේය. "එහි අර්ථය මූල්‍ය යුද්ධයයි.”

යෙන් මුදලේ අගය පහත හෙලා නිර්යාත වැඩිකිරීමේ පැහැදිලි අරමුනක් ඇති මෙම පියවර මගින් ජපාන මහ බැංකුව සිය වත්කම් මිලටගැනීමේ වැඩසටහන සඳහා ඩොලර් බිලියන 128ක් යෙදවීමට තීරනය කලේය. තම ක්‍රියාවට එක් හේතුවක් ලෙස බැංකුව සඳහන් කලේ "මූල්‍ය හා විදේශ විනිමය හුවමාරු වෙලඳපොලේ වර්ධනය” කෙරෙහි එහි බලපෑමයි.

පසුගිය මාසයේ ජපාන වෙලඳාම පිලිබඳ සංඛ්‍යා මගින් ගෝලීය මූල්‍ය කලබැගෑනියෙහි බලපෑම පිලිබඳව තවත් සාක්ෂි මතුකර තිබේ. වසරකට පෙර තත්වය හා සසඳන කල බටහිර යුරෝපයට කරන ජපන් අපනයන සියයට 28න් වැටී ඇති බවත්, චීනයට කරන අපනයන එක දිගට තෙවැනි මාසයටත් පහත ගොස් ඇති බවත් මෙ මගින් පෙන්නුම් කලේය.

චීනය ද ෆෙඩරල් මහ බැංකුව ගත් පියවරේ බලපැම පිලිබඳව කනස්සල්ල පලකොට තිබේ. එරට මහ බැංකුවේ ප්‍රධානියා වන ෂිඕයු ෂියෑචුආන් "ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැඩසටහන පිලිබඳව පසුගිය අප්‍රේල් මාසයේදී පලකල විවේචන යලි මතකයට නැංවීය. ලාභ නය එක දිගටම එන්නත් කිරීම පලදායි නොවන බවත්, මුදල් අවශ්‍ය තැන්වලට යෙදවීම සඳහා වඩා නිශ්චිත පියවර කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වන බවත් ඔහු පැවසීය.

ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීම පිලිබඳව චීනයට උත්සුකයන් දෙකක් ඇත. එය යුආන් මුදලේ අගය ඉහලට තල්ලු කරයි. එයින් චීන අපනයන වෙලඳපොලවල් කෙරෙහි බලපෑමක් ඇති කරන අතර බීජිනය සතු ඩොලර් ට්‍රිලියන 1.2කට වැඩි එක්සත් ජනපදයේ භාන්ඩාගාර බිල්පත්වල අගය පහත හෙලයි.

සිය වැඩසටහන යුක්තිසහගත කරන එක්සත් ජනපද මහ බැංකුවේ තර්කය නම්, ද්‍රවශිලතාව එන්නත් කිරීමෙන් පොලී අනුපාත පහත හෙලා ආයෝජන දිරිමත් කිරීමේ ප්‍රතිපල වශයෙන් රැකියා අවස්ථා වැඩිකර විරැකියාව අඩුකරන බවයි. එහෙත්, ඩියුක් විශ්වවිද්‍යාලය මගින් විශාලතම සමාගම්වල මූල්‍ය කලමනාකරුවන් 887ක් අලලා කරන ලද මෑත සමීක්ෂයකින් සොයාගෙන ඇත්තේ, පොලී අනුපාත පහත හෙලීමක් ඔවුන්ගේ තීරන ගැනීම කෙරෙහි කිසියම්ම හෝ බලපෑමක් ඇති කරන්නේ නැත යන්නයි. එම විශ්ලේෂනයට අනුව, "ප්‍රධාන මූල්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මූල්‍ය පියවර විශේෂිත බලපෑමක් ඇති නොකරන බවයි. සමාගම් වලින් සියයට 91ක් කියා සිටින්නේ පොලී අනුපාතය සියයට එකකින් අඩු කලත් ඔවුන්ගේ ආයෝජන සැලසුම් වෙනස් නොවන බවයි. සියයට 84ක් පවසන්නේ පොලී අනුපාත සියයට 2න් පහත දැමුවත් සිය ආයෝජන තීන්දු වෙනස් නොවන බවයි.”

වෙනත් වචන වලින් කිවහොත් තත්‍ය ආර්ථිකය සැලකිලිමත්වනතාක් දුරට ෆෙඩරල් මහ බැංකුවේ ක්‍රියාවන් නූලක් මත කරන තල්ලුවකට සමාන වන්නේය. සැබවින්ම මෙම තත්වය මූල්‍ය ක්ෂේත්‍රයන් විසින් හඳුනාගෙන තිබේ.

පසුගිය 19දා නිව් යෝර්ක්හි හාවඩ් සමාජය හමුවේ කථා කරමින් මහ බැංකුවේ මෑතම ප්‍රතිපත්ති තීරනය කල ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුවේ ඡන්දය හිමි නොවන සාමාජිකයෙක් වන රිචඩ් ෆිෂර්, ෆෙඩරල් මහ බැංකුව නන්නාඳුනන ජල ප්‍රවාහයක ගැඹුරට යාත්‍රා කරමින් සිටින බව පැවසීය. අවංක පිලිගැනීමක් සමඟ ඔහු මෙසේ ද පවසයි. "යථාර්තය නම්, කමිටුව තුල හෝ බැංකු 12 හා එහි පාලක මන්ඩලය තුල අපගේ නිලධාරි මන්ඩලයේ කිසිවෙකුත් ආර්ථිකය සැබවින්ම පසු පසට අදින්නේ කුමක් විසින්දැයි හරියටම නොදනිති. ආර්ථිකය නිසි මගට යලි ඇදගනු ඇත්තේ කුමක් විසින් දැයි කිසිවෙකුත් දන්නේ නැත. සැබවින්ම මෙම ග්‍රහ ලෝකයේ කොතැනකවත් ඇති මහ බැංකුවක් හෝ අන් කවරෙකු හෝ දැන් අප සිටින ස්ථානයෙන් ආපසු නිවෙස් බලා සාර්ථක ලෙස යාත්‍රා කල හැකි ආකාරය දන්නේ නැත. කිසිදු මහ බැංකුවක්, අඩුම තරමින් ෆෙඩරල් මහ බැංකුව හෝ මෙම චාරිකාවේ මීට පෙර යෙදී නැත.”

එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආර්ථිකයන් උත්තේජනය කිරීමට ප්‍රමානාත්මක ලිහිල් කිරීම් තවදුරටත් පිටුවහලක් වනු නැතැයි අවධාරනය කරන ගොඩට හිටපු ෆෙඩරල් මහ බැංකු සභාපති පෝල් වෝකර් ද එක්ව සිටියි. සති අන්තයේ ස්කොට්ලන්ත‍ෙයහි පැවති සමුලුවක දී ඔහු මෙසේ පැවසීය. "වෙලඳපොලෙහි ඕනෑවටත් වඩා ද්‍රවශීලතාව ඇති බැවින් එය වැඩි කිරීමෙන් ආර්ථිකයෙහි වෙනසක් සිදු නොවනු ඇත.”

ලෝක ආර්ථිකය යලිත් කූරියමක් ගැසීමට යන බවට පවතින වැඩෙන අවබෝධය, ලෝක වෙලඳ සංවිධානයේ නවතම අනාවැකිය මගින් තවත් ශක්තිමත් කර තිබේ. මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය සියයට 3.7ක් වනු ඇති බවට එය කලින් පලකල පුරෝකථනය දැන් සියයට 2.5ක මට්ටමට පහත හෙලා ඇත.

ෆෙඩරල් මහ බැංකුවේ පියවර ආයෝජන හා රැකියා මත කිසිදු වෙනසක් ඇති නොකරන අතර එය මූල්‍ය වෙලඳපොලවල් පමනක් උත්තේජනය කරනු ඇත. 2008 සැප්තැම්බර් කඩාවැටීමේ තැන් පටන් මහ බැංකුව පැහැදිලි න්‍යායපත්‍රයක් අනුව වැඩකර තිබේ. සමහර සාපරාධී ස්වභාවයක් පවා ගනු ලැබූ සමපේක්ෂන ක්‍රියාවලියක නිමග්නව සිටි, අර්බුදය මුදාහරින ලද එම බැංකු හා මූල්‍ය ආයතනවලටම නිමක් නැතිව අතිශයින්ම ලාභයට අරමුදල් සපයා තිබේ. මහ බැංකුව තව තවත් එන්නත් කල මුදල් නිසා මූල්‍ය වත්කම්වල මිල ඉහල නංවමින් ලාභ උපයා ගැනීමේ හැකියාව ලබා දුන්නේය.

කෙසේ වුවත් තත්‍ය ආර්ථිකයෙහි එකතැන පල්වීම හා පසුබෑ‍‍මෙහි තේරුම, මෙම ක්‍රියාවලිය අනිශ්චිත ආකාරයකින් සිදුවීගෙන ය‍ා නොහැකි බවත් සැකිල්ල බිඳ වැටෙනු ඇති බවත්ය. එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව, යුරෝපීය මහ බැංකුව හා ජපාන මහ බැංකුව යන ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු තු‍නෙහි මැදිහත්වීමෙහි අර්ථය, තවත් ඇපදීමේ අරමුදල් සම්පාදනයට ඇති හැකියාවට වඩා එම බැංකුම සුලිය තුලට ඇදගෙන එනු ඇති බවයි.

Share this article: