දෙනුවරක අන්දරය

A tale of two cities

2013 අප්‍රේල් 23

එක දිගට ම ඇමරිකානු මාධ්‍ය වසා ගෙන තිබෙන්නේ, අප්‍රේල් 15 බොස්ටන්හි බෝම්බ පිපිරීමේ සිද්ධියෙනි. නගරයේ වාර්ෂික මැරතන් ධාවනයේ සමාප්ති රේඛාව අසල සිදුවූ ද්විත්ව පිපිරීමෙන්, පුද්ගලයින් තිදෙනෙක් මියගොස් 170 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබී ය. බොහොමයකට බරපතල තුවාල සිදු විය.

එහෙත් ටෙක්සාස්හි බටහිර ග්‍රාමීය නගරයක බටහිර පොහොර සමාගමේ කම්හලෙහි අප්‍රෙල් 17 දා සිදුවූ ඊට වඩා බෙහෙවින් මාරකවූ පිපිරීම, ප්‍රවෘත්තිවලින් මුලුමනින් ම පාහේ ඉවතට තල්ලු කර තිබේ. සියලු ආකාරයෙන් ම සිදු වීමට තිබුනු කාර්මික අනතුරක් ලෙස පෙනෙන්නට ඇති එම සිද්ධියෙන්, පුද්ගලයින් 14දෙනෙක් මියගොස්, 200කට තුවාල සිදු විය. සමහරෙකුට බරපතල තුවාල සිදු විය.

කම්හලට යාබද ව තිබුනු කාන්ඩ පහකින් යුත් නිවාස ප්‍රදේශය හා නිවාස 50 කට වඩා මුලුමනින් ම පාහේ බිමට සමතලාවූ අතර නිවාස ඒකක සහිත ගොඩනැගිල්ල ගිනි ගෙන ද්වීතීයික පාසැලට හා සාත්තු සේවා නිවාසයට බරපතල හානි සිදු විය. එක්සත් ජනපදයේ නගරයක පෙර නොවූ විරූ මිලිටරි-පොලිස් වැටලීමක්වූ බොස්ටන් නාගරික ප්‍රදේශයේ පනවන ලද රාජ්‍ය වැටලීම සඳහා, ජනතාවගේ ආරක්ෂාව සැලසීම ය යි කියන ලද කඩතුරාව යොදා ගැනින. දහනව හැවිරිදි තරුනයෙකු දඩයම් කිරීම පිනිස දහස් ගනන් පොලිස් හා හමුදා භටයින් ද සන්නද්ධ රථ හා බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යෙදවූයේ මන්ද යන ප්‍රශ්නය නඟනවා වෙනුවට මාධ්‍ය විසින් කරන ලද්දේ හා තවමත් කරමින් සිටින්නේ, නීති විරෝධී ව හා වරෙන්තු නො මැති ව නිවෙසක් පාසා සෝදිසියට ලක් කිරීම ද ඇතුලු පොලිස් රාජ්‍ය පාලන මෙහෙයුමට හුරේ දැමීම හා භීතිය පැතිරවීම සඳහා එයට කල හැකි සියල්ල ය.

බොස්ටන් මැරතන් ධාවනයේ බෝම්බ පිපිරවීම සාපරාධී ක්‍රියාවක් වන අතර ඊට වගකිව යුත්තන් නීතිය හමුවට පමුනුවා චෝදනා ඉදිරිපත් කල යුතු ය. එහෙත් ටෙක්සාස් බටහිර ඉරා දමන ලද පිපිරීමට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිනවීම සඳහා දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය තුල එවන් උත්සුකයක් ඇත්තේ නැත. එම ඛේදවාචකය දැනටමත් සලකා ඇත්තේ, තවත් එක් කාර්මික අනතුරක් ලෙස ය. ඒ, සෑම වසරක ම මිලියන 4 ක් පමන කම්කරුවන් රැකියාවට සම්බන්ධ අනතුරුවලින් තුවාල ලබන හා 2011 වසරේ එවන් සිද්ධිවලින් 4600 කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත්වූ රටක ය.

ටෙක්සාස්හි වැකෝ ප්‍රදේශයට ආසන්න බේලර් විශ්ව විද්‍යාලයෙහි 25 දා පැවැත්වීමට නියමිත, පොහොර කම්හලේ පිපිරීමෙන් මියගියවුන්ගේ අනුස්මරන සේවයට ඔබාමා කතාවක් පවත්වන බව 23 දා ධවල මන්දිරය නිවේදනය කලේ ය. ඩලාස්හි දී 24 දා සවස අරමුදල් රැස්කිරීමේ පියවරක් ද 25 දින ඩලාස්හි ජෝර්ජ් ඩබ්ලිවු. බුෂ් පුස්තකාලයේ කැපවීමේ උත්සවයකට සහභාගි වන බව ද දැනටමත් නිවේදනය කර ඇති ඔබාමාගේ කාලසටහන කාලෝචිත ය.

ආරක්ෂක හා සෞඛ්‍ය නීති රෙගුලාසි ‍නො තකා හරින සමාගම් හා, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් හා උවමනාවක් නොමැති ආන්ඩුවේ ආයතන ද, කම්කරුවන් මරා දමන හා අංග විකල කරන තතු හමුවේ, ඒ පිලිබඳ ව තැකීමක් නැති දේශපාලකයින් හා මාධ්‍ය, බොස්ටන්හි මිනිසුන්ගේ ආරක්ෂාව ගැන පෙන්වන උත්සුකයේ ඇති ප්‍රෝඩාකාරිත්වය කැපී පෙනෙයි.

ටෙක්සාස් බටහිර කම්හලේ පිපිරීමෙන් මියගිය අය සඳහා ‍කිඹුල් කඳුලු හෙලීමට ඔබාමා බේලර්හි පෙනී සිටින එම දිනයේ ම ධවල මන්දිරයේ ඔහුගේ පූර්වගාමියාවූ මිනිසාට ගෞරව දැක්වීම පිනිස ද යනු ඇත. ඔහු නම්, තම සේවකයින්ගේ ජීවිත හා අං‍ගෝපාංග කෙතරම් අහිමි වුවත් නීති රෙගුලාසි නො තකන ලෙස අයිතිකරුවන්ට විවෘත ව කියා සිටින, "ස්වේච්ඡා ස්වයං යටත්වීම" යන පිලිවෙතක් පනවමින්, ෆෙඩරල් ආන්ඩුවේ හා සෞඛ්‍ය ආයතනවල ආරක්ෂන ක්‍රම කපා හල පුද්ගලයා ය.

ව්‍යාපාර ලාභ අවශ්‍යතා හමුවේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂන නීතිරීතිවලට වල කැපීමේ දශක ගනනාවක් දිග ද්විපාර්ශවීය පිලිවෙත් ඔබාමා විසින් ද අඛන්ඩ ව ඉදිරියට ‍ගෙන ගියේ ය. ඔහුගේ නව අයවැයෙන් ඕඑස්එච්ඒ ආයතනය විසින් ගෙන යනු ලබන ආධාර වැඩසටහන් කපා හැරී‍මට යෝජනා කර තිබේ. එම ආයතනයේ වැය ශීර්ෂය ද මාර්තු වේ දී ඔබාමා අත්සන් කල කප්පාදුවල ප්‍රතිපල වශයෙන් සියයට 8 කින් කපා හැර තිබීම තත්වය තවත් අසාධ්‍ය කරයි.

එය හා රසායනික ආරක්ෂක මන්ඩලය වැනි තවත් මධ්‍යම ආන්ඩුවේ ආයතන ද එසේ ම කැපිල්ලට මුහුන පා සිටියි. ඕඑස්එච්ඒ ඇතුලු රාජ්‍ය ආයතනවල, එක්සත් ජනපදයේ කම්කරුවන් මිලියන 130 කගේ ආරක්ෂාව ගැන කටයුතු කිරීමට සිටින්නේ පරීක්ෂකයින් 2,200 ක් පමනි. 1977 දී එම ආයතනයට සෑම කම්කරුවන් මිලියනයකට ම පරීක්ෂකයින් 37 දෙනා බැගින් සිටියේ ය. අද සිටින්නේ 22 ක් පමනි. සංඛ්‍යාව සියයට 40 කටත් වැඩි ප්‍රමානයකින් අඩු කිරීමකි. එහි ප්‍රතිපල වශයෙන් ඕඑස්එච්ඒ ආයතනය නිතිපතා වැඩපොලවල්වල කරන පරීක්ෂාවන් මුලුමනින් ම පාහේ අතහැර දමා ඇත.

බටහිර පොහොර කම්හල වැනි විභව කාල බෝම්බ, පුරුද්දක් වශයෙන් ම ආරක්ෂක නීති කඩකරන අතර පරික්ෂාවට ලක් නො කෙරෙන හෝ ඉඳහිට සඳහන් කෙරෙන හා නාමික දඩ ගැසීම්වලට ලක් කෙරේ. පොහොර ගබඩා හා සිල්ලර පහසුකම් පිරිහීම නිසා පුපුරන සුලු ඇමෝනියම් නයිට්‍රේට් රාත්තල් 540,000 ක් ගොඩගැසී තිබුනි. 1995 දී ඔක්ලහෝමා නගරයේ ෆෙඩරල් ගොඩනැගිල්ලට බෝම්බ තැබීම සඳහා ටිමොති මැක්වේ විසින් යොදාගත්තේ එම රසායනික ද්‍රව්‍ය ය. එය ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අනවධානය නිසා ඇවිලී යා හැකි යයි සලකන ලද ප්‍රමානය මෙන් 1,350 ගුනයකි. කම්හල පුපුරන සුලු ඇන්හයිඩ්‍රස් ඇමෝනියා රාත්තල් 110,000 ක් ද ගබඩා කර තිබුනි.

පසුගිය දශක දෙක පුරා බලපත්‍ර රහිතව කටයුතු කිරීම හා ආරක්ෂක විධිවිධාන උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් එම සමාගමට දඩ ගසා තිබේ. ස්වයංක්‍රීය ව වසා දැමෙන ක්‍රමයක්, ආරක්ෂක වැටක් හා හදිසි කලමනාකරන සැලසුම් එය සතු ව නැත. අවසාන වරට ඕඑස්එච්ඒ ආයතනය කම්හල පරීක්ෂාකර ඇත්තේ 1985 වසරේ ය. ඔවුන් "බරපතල නීති උල්ලංගනයන්" සොයාගත් අතර අයිතිකරුවන්ට නියම කල දඩය ඩොලර් 30 කි.

වෙලඳ සංවිධානයක් වන පොහොර ආයතනයට අනුව රට පුරා එවැනි සිල්ලර පොහොර මධ්‍යස්ථාන 6000 ක් ඇත. ටෙක්සාස් වෙස්ට්හි සිදුවීම් පිලිබඳවත් බොස්ටන්හි සිදුවීම් පිලිබඳවත් රාජ්‍යයේ හා මාධ්‍යයේ ආකල්ප අතර ඉමහත් වෙනස සඳහා ආර්ථික මෙන් ම දේශපාලන හේතු ද ඇත. ආර්ථික වශයෙන් රාජ්‍යය, පෞද්ගලික අයිතිය ආරක්ෂා කිරීමට කැප වී සිටියි. එමෙන් ම කර්මාන්තය පාලනය කිරීමට හා උපරිම ලාභ මිරිකා ගැනීම පිනිස සේවා තත්වයන් හඳුන්වා දීමට හාම්පුතුන්ට ඇති "අයිතියට" බාධා පමුනුවන කුමන පියවරකට හෝ ආන්ඩුව විරුද්ධ වෙයි. දේශපාලනික ව පාලක පන්තිය බොස්ටන්හි දී අනුගමනය කරන්නේ, භීතිය හා වික්ෂෝභය වැපිරවීම, මෙන් ම ජනතාව අවමංගත කිරීම, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ගෙන් අවධානය ඉවතට හැරවීම හා "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" නාමයෙන් එය ගෙන යන මිලිටරිවාදයේ හා යුද්ධයේ පිලිවෙත යුක්තිසහගත කිරීමේ න්‍යාය පත්‍රය යි.

පාලක පන්තිය වෙලාගෙන ඇත්තේ, වැඩෙන සමාජ නොසංසුන්තාව පිලිබඳ භීතියෙන් ද තවත් මූල්‍ය බිඳ වැටීමක් ඇවිලවිය හැකි හා මහජන සමාජ අරගල පැන නැ‍ගිය හැකි ගෝලීය මූල්‍ය වෙලඳ පොලවල අස්ථාවර තත්වයෙනි. එවන් තත්වයන්ට මුහුන දීම සඳහා එය, පසුගිය සතියේ බොස්ටන්හි දී අත්හදා බැලූ ආකාරයේ පාලනයේ ආඥාදායක ක්‍රමවේදයන්ට සූදානම් වෙයි.

බැරී ග්‍රේ

Share this article: