ජවිපෙ ඉතිහාසය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 23

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක තුන් වන කොටසයි. පලමු වන සහ දෙවන කොටස් 20, 21 දිනයන්හි පලවිය..

ෆෆෆ

1990 දශකයේ පටන් ජවිපෙ තියුනු දක්ෂිනාංශික පරිහානියක් තුලට ගමන් කලේ ය. පෙසප මෙම වෙනස්කම් ගැන සිය දක්ෂිනාංශික උපාමාරුවට ගැලපෙන සේ ආවරනය කරයි, නැතහොත් ව්‍යාජ විවේචන දමයි.

1990 ගනන්වල ලංකාවේ පාලක ප‍්‍රභූව ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටියේ ය. උතුරු නැගෙනහිර යුද්ධයේ බර ද ගම්බද තරුනයන් දසදහස් ගනන් ඝාතනය කිරීම ද වැඩ කරන ජනතාවගේ ජීවන තත්තවයන්ට පහර දීම ද නිසා යූඇන්පී ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ඇවිලෙමින් තිබුනි. ආතති තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න ගැන යූඇන්පීය තුල උද්ගත වූ ප‍්‍රතිවාදී කන්ඩායම් අතර ගැටීම් ආන්ඩුවේ බිඳ වැටීම සලකුනු කරමින් එවක ජනාධිපති වූ පේ‍්‍රමදාස ඇතුලූ මූලික නායකයන් මැරීමෙන් කුලු ගැන්වුනි. මේ මිනීමැරුම් පිලිබඳ වගකීම එල්ටීටීඊය මත පැවරුන ද යූඇන්පීය තුල යුද වැදුනු කන්ඩායම්වල වගකීම පිලිබඳ කරුන නොතකා හැරිය නොහැකි ය.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, "සාමය” ද "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ද ගෙන එන බවට පූච්චානම් දෙඩ වූ, ශී‍්‍රලනිප නායිකාව බවට පත්ව සිටි චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් තීන්දු කල අතර ම, මහජනයා අතර අසන්තුෂ්ටිය වාෂ්ප කර දැමීමේ ආරක්ෂක ඉපියාවක් ලෙස පාවිච්චි කිරීම සඳහා තහනමේ පැවැති ජවිපෙන් ඉතිරි වී සිටි කොටසට විවෘත දේශපාලනයට කැඳවීමට ද කි‍්‍රයා කලේය. ජවිපෙ පලමු වන දේශපාලන කි‍්‍රයාව වූයේ කුමාරතුංගට බලයට ඒමට උදව් කිරීමට ඇය සමග කුජීත ගනුදෙනුවකින් තම ජනාධිපති අපේක්ෂකයා ඉවත් කර ගැනීම යි.

ජවිපෙ දක්ෂිනාංශික හැරීම, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රයන් වැටීමෙන් අනතුරුව 1991 සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග ලෝකය පුරා ජාතික ධනපති හා සුලු ධනපති ව්‍යාපාර දකුනට තල්ලු කලා වූ ගෝලීය සන්තතියක ප‍්‍රකාශනයකි. සෝවියට් සමූහාන්ඩු සංගමයට හා ස්ටැලින්වාදයට සමීපව සිටි අවස්ථාවාදී හා රැඩිකල්වාදී සංවිධාන රොත්තක් ස්ටැලින්වාදය හා සමාජවාදය අනන්‍ය කරමින් ප‍්‍රකාශ කර සිටියේ සෝවියට් සංගමය දියකර දැමීම "සමාජවාදී කඳවුරේ” බිඳ වැටීමක් සලකුනු කර ඇති බව යි.

සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් නියෝජනය කෙරුනේ සමාජවාදය බිඳ වැටීමක් නොවන බව ද ඉන් සලකුනු වූයේ ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප‍්‍රතිඝතිතාව තීව‍්‍රවන තතු තුල ජාතිකවාදී ස්ටැලින්වාදී "තනිරටේ සමාජවාදය” නමැති පරාගතවාදී ව්‍යාපෘතිය බිඳ වැටීම යයි ද අවධාරනය කලේ හජජාක සහ විකොස / සසප ඇතුලු එහි ශාඛා විසින් පමනකි. සෝවියට් සංගමය බිඳ වැටීම ධනවාදී සමෘද්ධියක නව කාල පරිච්ඡෙදයක් ගෙන නො එන බවත් ලෝක ධනපති අර්බුදයේ නව කාල පරිච්ඡෙදයක් සටහන් කරන බවත් ප‍්‍රකාශ කලේ අප පමනි. සීතල යුද්ධයේ දේශපාලන පර්යාය තුල සෝවියට් සංගමය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර තුලනය වෙමින් සිටි පලස්තීන විමුක්ති සංවිධානය බඳු කන්ඩායම් රොත්තක් ම සන්නද්ධ අරගලය අත්හැර සීග‍්‍රයෙන් වොෂිංටනයට හැරී ගත්හ.

මෙම දේශපාලන වර්ධනයන්ට අනුගත වීම පිලිබඳව පෙසප හා ජවිපෙ අතර වෙනසක් නැත. සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් "බල තුලනය” ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට හිතකර ලෙස වෙනස් වී "එක්සත් ජනපද ආධිපත්‍යය තරගයකින් තොරව ම තහවුරු වී ඇත”යි පෙසප පවසයි. පක්ෂය දියත් කිරීමෙන් පසුව ජනරල පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී පෙසප ප‍්‍රධාන නායකයෙකු වන කුමාර් ගුනරත්නම් ප‍්‍රකාශ කලේ, "ඒ වගේ ම සමාජවාදී කඳවුරක් දැන් නැහැ. සෝවියට් දේශය නැහැ. චීනය පිරිහිලා. අධිරාජ්‍යවාදය ඉතාමත් ශක්තිමත්. ඒ තත්වය තුල සන්නද්ධ අරගලය වලංගුවීමට ඉඩක් නැහැ” යනුවෙනි.

ගුනරත්නම් පැවති සමාජවාදය ලෙස සඳහන් කරන්නේ ස්ටැලින්වාදය යි. ඔහු එවක ජවිපෙ කි‍්‍රයාකාරිකයෙක් ලෙස හා දැන් පෙසප නායකයෙක් හැටියට එකතු වී සිටින්නේ "සමාජවාදය අසාර්ථක වී ඇත,” අධිරාජ්‍යවාදය සකල වසයෙන් ම ශක්තිමත් ය යනුවෙන් කෙරෙන ප‍්‍රතිගාමී ප‍්‍රචාරක රැල්ල බදාගෙන මධ්‍යම පන්තික අසාරදර්ශනය වැපිරීමට යි.

2001 සැප්තැම්බර් 11 දා නිව්යෝක් නගරයට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ සැනෙකින් එක්සත් ජනපද බුෂ් පරිපාලනය ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප‍්‍රකාශ කිරීමත් සමග ලෝක දේශපාලන තත්වය තියුනුව වෙනස් විය. බුෂ් පාලනයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ප‍්‍රශංසා කරමින් ජවිපෙ නිකුත් කල ප‍්‍රකාශය කියා සිටියේ එක්සත් ජනපදය "තමන්ගේ විද්‍යාත්මක ඥානය ද ආර්ථික හැකියාවන් ද මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදවන්නේ නම්” එයට "කිසිම අමාරුවක් නැතිව ලෝක නායකයා බවට” පත්විය හැකිය යනුවෙනි.

එක්සත් ජනපද හා අනෙකුත් ප‍්‍රධාන බලයන් ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය සඳහා ගෙන යන ප‍්‍රහාරය හමුවේ තමන් කොන් වී යතැයි බියට පත් එල්ටීටීඊය, එවක යූඇන්පී ආන්ඩුව සමග "සාම කි‍්‍රයාවලියකට” එකඟ වෙමින් 2002 පෙබරවාරි මාසයේ වෙඩි නැවැත්වීමේ ගිවිසුමකට ඇතුලූ විය. ජවිපෙ මෙම ගිවිසුමට තරයේ ම සතුරු වූයේ, යූඇන්පිය රට බෙදා එල්ටීටීඊයට උතුරු-නැගෙනහිර පාවා දීමට සැලසුම් කරන බවට චෝදනා කරමින් ගිවිසුම අහෝසි කරන ලෙස කියා සිටියේ ය. මෙය, වර්ගවාදය ඇවිස්සීම සඳහා ප‍්‍රචාරය කල අමු බොරුවකි. යූඇන්පියේ සැලසුම වූයේ එල්ටීටීඊය කනිෂ්ට සහකරුවෙකු කර ඉතා සීමිත බලතල කීපයක් ලබා දී තම අධිරාජ්‍යගැති වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීම සඳහා එහි ආධාරය ලබා ගැනීමයි.

මිලිටරිය මෙන් ම ජවිපෙ ද වෙඩි නැවැත්වීමේ ගිවිසුමට එරෙහිව සිටි ජනාධිපති කුමාරතුංගට "සාම ගිවිසුම” බිඳ දමන ලෙස බල කලේ ය. 2003 නොවැම්බරයේ දී ආරක්ෂක, අභ්‍යන්තර සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ඇය යටතට පවරා ගත් කුමාරතුංග 2004 පෙබරවාරියේ දී යූඇන්පී ආන්ඩුව නෙරපා දැමුවා ය. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් ජවිපෙ විසින් අමන්දානන්දයෙන් අනුමත කලේ, "මාතෘ භූමිය” රැකීමට ගත් නිර්භීත පියවර ලෙස ය.

ජවිපෙ කුමාරතුංග නායකත්වය දුන් ශී‍්‍රලනිපය සමග සන්ධානයකට ගියේ 2004 අපේ‍්‍රල් මාසයේ ඒ යටතේ පාර්ලිමේන්තු මැතිවරනය තරග කලේ ය. සන්ධානය මැතිවරනය ජයගත් පසුව ජවිපෙ නායකයන් හතර දෙනෙක් කුමාරතුංගගේ කැබිනට්ටුවට රිංගා ගත්තෝ ය. ධනපති දේශපාලන සංස්ථාපිතයට සම්පූර්නයෙන් ම බද්ධවෙමින් ජවිපෙ ගත් මෙම පියවර එහි තීරනාත්මක දක්ෂිනාංශික සන්ධිස්ථානයකි.

ජවිපෙ සියලු සාපරාධී කි‍්‍රයාවලට සහයෝගය දුන් පෙසප නායකයෝ, 2004 ශී‍්‍රලනිපය සමග සන්ධානගත වීම, "එහි තීරනාත්මක සන්ධිස්ථානය” ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නො වේ, යයි යැයි ප‍්‍රකාශ කර ඇත.

පෙසප වහංගු කරන්නේ මේ පියවර ජවිපෙ දේශපාලනයෙන් තර්කානුකූලව ගලා ආ බවයි. 1970 දී විජේවීර ශී‍්‍රලනිප නායකත්වය දුන් සභාගයට සහයෝගය දුන්නේ ය. 1977 දී ජවිපෙ ජයවර්ධනගේ යූඇන්පීය බලයට ගෙන ඒමට රහසේ උදව් කලේ ය. 1994 දී ජනාධිපතිවරනයෙන් කුමාරතුංග බලයට ගෙන ඒමට ජවිපෙ ඇය සමග ගනුදෙනුවකට එලැඹුනේ ය.

තමන් ප‍්‍රතිගාමී වෙනස්කමක් ඇති කර ගත් බව ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට දැනුම් දීමට 2005 අපේ‍්‍රල් මාසයේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ එරට දකුනු හා මධ්‍යම ආසියාව භාර උප රාජ්‍ය ලේකම් කි‍්‍රස්ටිනා රොකා කොලඹ දී බැහැදැක ලිපියක් භාර දුන්නේ ය. අමරසිංහ ප‍්‍රමෝදයෙන් තම ලිපියේ මෙසේ සඳහන් කර තිබුනි: "පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ලෙසට ද මිශ‍්‍ර ආර්ථිකය පිලිගැනීමට ද සංක‍්‍රාම වූ ප‍්‍රථම විප්ලවවාදී පක්ෂය බවට පත්වීමට අපි අපේක්ෂා කලෙමු.” බුෂ්ගේ ඊනියා ත‍්‍රස්ත විරෝධී යුද්ධයට සහයෝගය යලිත් පුදකර සිටි අමරසිංහගේ ලිපිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයට වොෂිංටනයේ ආධාරය ලබා දෙන ලෙස රොකාට ආයාචනා කලේ ය.

ජවිපෙ යලිත් තහවුරු කලේ තම පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග කෙලින්ම ගනුදෙනු කිරීමට සැදී පැහැදුනු පක්ෂයක් බවට පත්ව සිටින බවයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ යයි විටින් විට එහි කොලඹ තානාපති කාර්යාලය ඉදිරිපිට ජවිපෙ පවත්වන විරෝධතා තුච්ඡම ගනයේ වංචනික කි‍්‍රයාවන් ය.

කුමාරතුංගගේ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම සඳහා ඉඳුරා සහාය දුන් මෙම පක්ෂය 2005 ජූනි මාසයේ ආන්ඩුවෙන් එලියට බැස්සේ විසකුරු ලෙස සිංහල වර්ගවාදය අවුලුවමිනි. තවමත් වෙඩි නැවැත්වීමේ ගිවිසුමට බැඳී සිටි එල්ටීටීඊය සමග 2004 දෙසැම්බරයේ ආසියානු සුනාමියෙන් ව්‍යසනයට ගොදුරු වී සිටි දෙමල මුස්ලිම් ජනයාට "ආධාර ලබාදීමේ” යාන්ත‍්‍රනයක් හැදීමට කුමාරතුංග ගෙන ආ යෝජනාවට ජවිපෙ එකහෙලා විරුද්ධ වූයේ ය.

මහජනයා අතර අපකීර්තියට පත්ව තමන්ගේ පදනම් සීග‍්‍රයෙන් ඛාදනය වී යන තත්වය තුල ආන්ඩුවෙන් එලියට බැස්ස නමුත් ජවිපෙ 2005 සැප්තැම්බර් මාසයේ ශී‍්‍රලනිප ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ සමග සන්ධානයකට පැන ගත්තේ ය. සන්ධානගතවීමට ඉදිරිපත් කල මූලික කොන්දේසිය වූයේ බලයට ආ පසු එල්ටීටීඊය සමග ඇති කර ගෙන තිබූ වෙඩි නැවැත්වීමේ ගිවිසුම යලි විමර්ශනය කිරීම යි. එහි තේරුම වූයේ යුද්ධය යලි ඇරඹිය යුතුය යන්න යි. ප‍්‍රකෝපකිරීම් මාලාවකට පසු 2006 ජූලි මාසයේ රාජපක්ෂ යුද්ධය යලි ඇරඹීමෙන් පසු ඊලඟ අවුරුදු තුනේ ජවිපෙ සිටියේ යුද්ධයේ පෙරමුනු රාල ලෙස යි.

පක්ෂය එහි ඊනියා රතු හමුදාව මිලිටරියට යුද අගල් කපා දීමට මෙහෙය වූයේ ය. මිලිටරි බුද්ධි අංශය සමග වැඩ කල ජවිපෙ සිංහල ජනයා අතර යුද්ධයට විරුද්ධව සිටි අය අල්ලා ගැනීමට තොරතුරු සම්පාදනය කලේ ය. කම්කරුවන්ගේ අරගල මැඞීමට යොදාගත් ආයුධය වූයේ, "පලමුව මාතෘ භූමිය” යන්න යි. මෙම සාපරාධී කි‍්‍රයා ගලා ආවේ පක්ෂය පදනම් වී සිටින දේශපේ‍්‍රමය පිලිබඳ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයෙනි. ජවිපෙ රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධවලට සහය දී ඒවා ආරක්ෂා කලේ ය. පෙසප නායකයෝ ජවිපෙ සිටිමින් මෙම ක‍්‍රියාවන් නිර්ලජ්ජිතව අනුමත කලහ.

2008 දී ජවිපෙ ආන්ඩුවට සහාය දීම "නතර කරන බව” ප‍්‍රකාශ කලත් යුද්ධයට අඛන්ඩව සහාය දුන්නේ ය. ආන්ඩුවට සහාය දීම නතර කිරීමේ උප්පරවැට්ටිය දැම්මේ වැඩකරන ජනයා අතර පක්ෂය තව තවත් කුජීත වන තතු තුල ය. යුද්ධය දිනීමෙන් පසු ආන්ඩුවට යලි ඇතුලූවීමට තැත් කරමින් එය දූෂනයෙන් සුද්ධ කර ගැනීමේ යෝජනා සමග ජවිපෙ ඉදිරිපත් වුවත් එය වැලකුනේ රාජපක්ෂ එම ඉල්ලීම කුනු කූඩයට දැමූ නිසා ය. 2010 ජනාධිපතිවරනයේ දී, ජවිපෙ යූඇන්පිය සමග එක්ව රාජපක්ෂගේ යුද්ධය කි‍්‍රයාවට දැමූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තවත් අධම සන්ධානයකට ඇතුලූ විය.

පෙසප නායකයන් ජවිපෙන් වෙන්වූයේ මෙම දක්ෂිනාංශික ප‍්‍රතිගාමී කි‍්‍රයාවන් එකක් නෑර අනුමත කර ඒවාට සහාය දීමෙන් පසුව ය. මෙම භේදවීම අහම්බයක් නො වේ.

ඊජිප්තුවේ විප්ලවවාදී අරගලවලින් සලකුනු වූ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවවාදී නැගිටීම්වල කාල පරිච්ඡෙදයක් උදා වී ඇත. ලංකාවේ පාලක පන්තියේ දේශපාලන අර්බුදය දිග හැරෙමින් තිබේ. ජාත්‍යන්තර විප්ලවවාදී උද්ගාමකය ලංකාව තුල දෝංකාර දෙනු ඇතැයි පාලක පන්තිය ද එහි රාජපක්ෂ ආන්ඩුව ද භීතියට පත්ව ඇත. වර්ධනය වන ලෝක අර්බුදය තුල එල්ල වන ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ, දුගීන්ගේ සහ තරුනයන්ගේ ප‍්‍රතිරෝධය වැඩෙමින් පවතී.

ලෝක ධනවාදය බිඳ වැටීමක් තුලින් ගමන් කරයි. ධනපති පන්තිය, කම්කරු පන්තියෙන් ආරක්ෂා වීම සඳහා නව ආයුධ සොයමින් හා තනමින් සිටියි. පෙසප වනාහී මෙම කි‍්‍රයා කලාපය ඉටු කිරීමට ලංකාව තුල පෙරට ආ දක්ෂිනාංශික උපාමාරුවක් නියෝජනය කරයි. පෙසප ඉදිරිපත්ව සිටින්නේ තමන් හා සමාන ව්‍යාජ වම්මු හා ධනපති කන්ඩායම් ගලතා ගත් යලි කාන්ඩ ගැසීමක් මගින් ධනවාදයට එරෙහි කම්කරු පන්ති විප්ලවය මග අවුරා මැඩලීමට කොටු පවුරක් සැදීමේ ප‍්‍රතිවිප්ලවවාදී කාර්යය ඉටු කිරීම සඳහා ය.

Share this article: