වැලිවේරිය ස්වාධීන කම්කරු පරීක්ෂනයට මහජන සහයෝගය පලවෙයි

විලානි පීරිස් විසිනි, 2013 දෙසැම්බර් 10

ගම්පහ දිස්ති‍්‍රක්කයේ, වැලිවේරිය, රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් ඩිප්ට් ප‍්‍රඩක්ට්ස් කම්හල මගින් පරිසරයට ඇති කෙරෙන හානි දායක තත්වයන් සොයා බැලීම මුල් කර ගෙන, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයට පලාතේ මහජනයාගේ ද කම්කරුවන්ගේ ද සහයෝගය ගොනු වෙමින් පවතී.

කම්හලේ අපජලය මගින් තම ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව වැඩිවී ඇතැයි චෝදනා කරමින්, එය වසා දමන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කල මහජනතාවට එරෙහිව හමුදාව හා පොලිසිය මෙහෙයවූ ආන්ඩුව, තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කලේය. පසුගිය අගෝස්තු 1 දා එල්ල කෙරුනු මෙම රුදුරු ප‍්‍රහාරයෙන් තවත් 40 කට පමන බරපතල තුවාල සිදු කෙරින. මීට එරෙහිව රට පුරා නැගුන මහජන විරෝධය මධ්‍යයේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා රජයේ කාර්මික හා තාක්ෂනික ආයතනය (අයිටීඅයි) ඇතුලූ රාජ්‍ය ආයතනයන්හි විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවකට ප‍්‍රදේශයේ භූගත ජලය පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙසට නියෝග කල ආන්ඩුව කම්හල තාවකාලිකව වසා දැමුවේය. වෙනිග්‍රොස් හිමි හේලීස් සමූහ ව්‍යාපාරය, ආන්ඩුවේ පූර්න සහයෝගය සහිතව කම්හල යලි විවෘත කිරීමට උත්සාහ දැරූවද මහජන විරෝධය හමුවේ එය යලියලිත් කල් දැමීමට සිදුව ඇත.

ව්‍යාජ වාම පක්ෂයක් වන නව සමසමාජ පක්ෂයේ ද සහභාගිත්වයෙන් අටවා ගෙන තිබෙන "සියනෑ ජලය සුරැකීමේ සංවිධානය” (සිජසුස) හරහා මෙම මහජන විරෝධය ගසා කමින් ලඟ එන පලාත් සභා මැතිවරනය ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. කම්හල වෙනත් ස්ථානයක විවෘත කලයුතුයයි ඉල්ලා සිටින මෙම සංවිධානය, ආන්ඩුවේ පිටුබලය සහිතව රටපුරා ෆැක්ටරි හිමියන් විසින් රසායනික ද්‍රව්‍යය පරිසරයට මුදා හරිමින් කරගෙන යනු ලබන පරිසර දූෂනය වහංගු කිරීමට කටයුතු කරයි. v

දෙසැම්බර් 1 දා, මිරිස්වත්ත සනස ශාලාවේදී ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (කපක) සමග සාකච්ඡාවකට එක්වු ප‍්‍රදේශවාසීහු හමුදා ප‍්‍රහාරය සිදු වූ ආකාරය විස්තර කලහ. හමුදාව මහජනයාට වෙඩි තැබූයේ ”විසිරීමට වත් අවස්ථාවක් නොදෙමින්” බව ප‍්‍රහාරයේදී වෙඩි වැදී තුවාල ලැබූ ජුඩ් නැමති ත‍්‍රී රෝද රථ රියදුරා පැවසීය. "හමුදාව පලමුවම කලේ මාධ්‍යවේදීන් පලවා හැරීමයි. මහජනයාට ඉවත්වන ලෙස හමුදා ඛන්ඩයේ අනදෙන නිලධාරි ලෙස කටයුතු කල බි‍්‍රගේඩියර් දැනුම් දුන්නා. අපි ඊට එකඟව පැය භාගයක් ඉල්ලුවා. ඒ වේලාවෙ ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනා. ඒ සමගම වෙඩිහඬ පැතිරෙන්න පටන් ගත්තා. පලමුවම වෙඩි තැබූවේ පහන් කනුවලටයි. එවිට පලාතම අඳුරු වුනා.”

වෙඩි වැදී මියගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේදී සාක්කිකරුවකු ලෙස නම් කෙරී සිටින මර්වින් රෝයල් ගේ ද ජූඩ් ගේ ද අදහස වූයේ පිටත සිට ලැබුනු දුරකථන අමතුම වෙඩි තැබීම සඳහා ලැබුනු විධානයක් බවට සෑම අතින්ම සැක මතු වෙන බවයි.

අධිකරනයට ඉදිරිපත් කොට ඇති, රජයේ ආයතනයන්හි පරීක්ෂන වාර්තා සියල්ලම සමාගම වෙනුවෙන් සකස්වී ඇති ව්‍යාජ ලේඛන බවත් ඒවා ප‍්‍රතික්ෂේප කරන බවත් ප‍්‍රකාශ කල ජූඩ්, කම්හලෙන් සිදුවන දූෂනය ගැන සොයා බැලීමට "අපේම පරීක්ෂනයක්” අවශ්‍ය බව සඳහන් කලේය. "මං හිතන්නෙ මේ ස්වාධීන කම්කරු පරීක්ෂනයෙන් ඇත්තටම සිදු වෙන්නෙ මොකක්ද කියල දැන ගන්න පුලුවන් වෙයි.”

මහජනතාවගේ උද්ඝෝෂනය බිඳ විසුරුවා හැරීම සඳහා ෆැක්ටරි පාලකයන් ගෙනයන වැඩ කටයුතු ද ඔහු හෙලිකලේ ය. තමාද ඇතුලු, හමුදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සියල්ලන්ට, රු. 25,000 ගනනේ ලබාදුන් පාලකයන් මාධ්‍යයට විස්තර නොදෙන ලෙසට ද කම්හල යලි විවෘත කිරීමට ඉඩ දෙන ලෙස ද ඉල්ලා සිටි බැව් ඔහු පැවසීය.

සාකච්ඡාවක් සඳහා ජනතාව කැඳවූ පාලකයන් විවිධ පොරොන්දු දෙමින් කම්හල යලි විවෘත කිරීමට එකඟ වන ලෙස ඉල්ලා ඇත. ”එහෙම එකඟ වෙනවනම් ප‍්‍රදේශයේ තරුනයන්ට රැකියා ලබා දෙන බවටත් සිසුන් සඳහා පරිගනක සහ ඉංග‍්‍රීසි ඉගැන්වීමේ පන්ති ආරම්භ කරන බවටත් පාලකයො පොරොන්දු උනා.” මේ සියලු දීමනා මහ ජනයා විසින් ප‍්‍රතික්ෂේප කල බවද ඔහු පැවසීය. කම්හල වෙනත් තැනක විවෘත කිරීමට සිජසුස කරන ඉල්ලීම විවේචනය කල ඔහු, ඒ පලාත්වල මහජනයා ඊට කැමති වේදැයි ප‍්‍රශ්න කලේය.

අධිකරන කි‍්‍රයාදාමය පිලිබඳ තම විරෝධය හා සැකය පල කල මර්වින් රෝයල් කියා සිටියේ පසුගිය දා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයේදී පැවති පරීක්ෂනය පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය. නඩුවේ දී හමුදාවෙන් සාක්කි කැඳවන බවක් කලින් ප‍්‍රකාශ කලද එවැන්නක් සිදු නොවූ බව ඔහු පෙන්වාදුන්නේය. ”හමුදාවෙ සාක්කි කඩන්න මම සූදානම් වෙලා හිටියෙ. අන්තිමට මගේ සාක්කිය ගත්තෙත් නෑ. මගේ සාක්කිය වලක්වන්න වෙන්න ඇති හමුදාවෙන් සාක්කි ගත්තෙ නැත්තෙ”.

තරුනයන් දෙදෙනෙකු සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේ තුවාලකරුවන්ට උදව් කලේ කම්හල් පාලකයින් පමනක් බව හා කම්හලෙන් පිට වන අපද්‍රව්‍ය නිසා ජලය අපිරිසිදු වූ බවට සාක්කි නොමැති බවයි. කම්හල් පාලකයන්, ආන්ඩුව හා මාධ්‍යය විසින් ගෙනයන ප‍්‍රචාර හේතුවෙන් ඔවුහු ව්‍යාකූලව සිටි බවක් පෙනෙන්නට තිබූ නමුදු කපක සාමාජිකයන් කල දීර්ඝ පැහැදිලි කිරීම් වලින් පසු ස්වාධීන කම්කරු පරීක්ෂනයක අවශ්‍යතාවය පිලි ගත්හ.

මෙහිදී, පසුගිය අගෝස්තු 21 දින ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට රාජ්‍ය ආයතනයන් විසින් ඉදිරිපත් කොට ඇති වාර්තාවන්හි පරස්පර විරෝධී ස්වභාවය කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. 1997 නොවැම්බර් මස මධ්‍යම පරිසර අධිකාරිය විසින් වෙනිග්‍රොස් කම්හල පිලිබඳව ඉදිරිපත් කොට ඇති සංක්ෂිප්ත පාරිසරික වාර්තාවක පිටපතක් ප‍්‍රදේශවාසීන් විසින් අධිකරනයට ඉදිරිපත් කොට ඇති අතර එම ලිපියට අනුව 1996 දී කම්හල අරඹා පවත්වා ගෙන ගොස් ඇත්තේ නිසි ප‍්‍රතිකාරක පද්ධතියක් නොමැතිවය. වාර්තාව මෙසේ පවසයි: "නමුත් හරියාකාර ප‍්‍රතිකාර පද්ධතියක් නොමැතිව කර්මාන්තයේ කි‍්‍රයාකාරිත්වය ආරම්භ කර ඇති බව මෙම අධිකාරිය මගින් සිදු කරන ලද ක්‍ෂේත‍්‍ර පරීක්ෂන වලදී පැහැදිලි වී ඇත.එමෙන්ම මෙම කර්මාන්තයේ කි‍්‍රයාකාරිත්වය නිසා හට ගන්නා අපජලය බාහිර පරිසරයට යොමු කර ඇති බවද ඔප්පු වී ඇත.”

පවතින ප‍්‍රතිකාර පද්ධතියට සුළු සුළු වෙනස් කිරීම් සිදුකර තිබුනද බාහිර පරිසරයට නිකුත් කෙරෙන අපජලයේ ගුනාත්මකබව ප‍්‍රමිතීන් වලට අනුකූල නොවන බවද තමා විසින් වරින් වර කරන ලද විශ්ලේෂන වලදී පෙනී ගිය බවද අධිකාරිය තවදුරටත් පවසයි. එමෙන්ම ප‍්‍රතිකාර කරන ලද අපජලය වාරි ජලයට එකතු කිරීම නතර කරන ලෙසද එම වාර්තාව කම්හල් පාලකයිනට උපදෙස් දෙයි.

නමුදු 2012 අගෝස්තු මාසයේ දාතමකින් එම පරිසර අධිකාරියම කරන ලද පරීක්ෂනයක වාර්තාවක් අධිකරනයට ඉදිරිපත් කෙරී ඇති අතර, ඉහත අවවාදයෙන් පසු මෙම ප‍්‍රතිකාරක පද්ධතිය නිසියාකාරව සකස් කෙරී ඇත්ද, එසේ නම් ඒ කවදා සිටද යන්න සඳහන් කෙරී නැත. මෙවැනි කම්හල් පරීක්ෂනයක වැදගත්ම අංශයක් වන ප‍්‍රතිකාරක පද්ධතිය පිලිබඳ විස්තර මෙම දෙවන වාර්තාවේ සඳහන් නොවීමම අසාමාන්‍ය සහ සැක සහිත කරුනක් බව මේ පිලිබඳ විශේෂඥයන්ගේ මතයයි.

කම්කරු පරීක්ෂනය සඳහා උද්ඝෝෂනයේ යෙදෙන සසප සාමාජිකයන්ට කම්හලේ සේවයේ යෙදී සිටි කම්කරුවෙකු පැවසුවේ දිනකට ලීටර් 40,000 කට ආසන්න අපජලය ප‍්‍රමානයක් කම්හලෙන් පිට වුවද ප‍්‍රතිකාරක පද්ධතිය තුලින් ගමන් කරනුයේ ඉන් කොටසක් පමනක් බවයි. ඔහුට අනුව අනෙක් අපජලය පිට වනුයේ ප‍්‍රතිකාරයක් නොමැතිවමය.

පරිසර අධිකාරිය සහ ජාතික ජලසම්පාදන හා ප‍්‍රවාහන මන්ඩලය ඉදිරිපත් කොට ඇති වාර්තා දෙකෙන්ම ප‍්‍රදේශයේ භූගත ජලය ආම්ලික බව පිලි ගන්නා නමුදු එය කෙරෙහි කම්හලේ අපජලය බලපා ඇතැයි තහවුරු කෙරෙන සාක්ෂි නොමැති බව පවසයි. මෙම අපජලය මගින් නයිටේ‍්‍රට් සහ සල්ෆේට් පරිසරයට නිකුත් විය හැකි බැව් පරිසර අධිකාරිය පිලි ගන්නා නමුදු මෙය මහජනයාගේ සෞඛ්‍ය තත්වයට අහිතකර මට්ටමක නොපවතින බව ඔවුනගේ මතයයි. මේ අතර කම්හල උස් බිමක පිහිටා ඇති හෙයින් අපජලයේ යම් අහිතකර රසායනික ද්‍රව්‍ය වෙතොත් එය පහලින් පිහිටි භූගත ජලයට ගලායාමේ ප‍්‍රවනතාව වැඩි බව ද ජලාපවහන මන්ඩලය පවසයි.

කෙසේ වෙතත්, ප‍්‍රදේශවාසීන් කියා සිටින්නේ කම්හලේ අපජලය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවී තිබෙන බවයි. කම්හලේ නිෂ්පාදන අංශයේ වසර 11ක් සේවය කල කම්කරුවෙක් කියා සිටියේ, දිය නෑමෙන් පසු බොහෝ දරුවන්ගේ ඇ‍‍ෙඟ් පලු දමන බවයි. මෙම පලු දැමීමට හේතුව ජලයේ ඇති රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවට වෛද්‍යවරු සැක පහල කරන බව ඔහු තව දුරටත් පැවසීය.

වෙනිග්‍රොස් කම්හලේ දැනට සේවයේ යෙදෙන කම්කරුවෙක් කම්හල තුල රසායනික ද්‍රව්‍ය පාවිච්චියට ගන්නා ආකාරය විස්තර කලේය. "රසායනික ද්‍රව්‍ය ජලය සමග මුසු කර එලියට දැමීමෙනුයි පලාතේ ජලය අපවිත‍්‍ර වන්නේ. බොයිලේරුවට දවසකට දර ටොන් 45ක් පමන පුලුස්සනවා. දින හතරකට වරක් අත් ට‍්‍රැක්ටරයකින් අලු අයින් කරනවා. මෙම අලූ ඇඟට වැටුනාට මුකුත් වෙන්නෙනෑ. නමුත් වතුර සමග මිශ‍්‍ර වු විට ඇඟ කසනවා. වැඩි වේලාවක් තිබුනොත් ඇඟ හිල් වෙනවා.”

මුත‍්‍රාශයේ ගල් සෑදීම හේතුවෙන් මාස දෙකකට ප‍්‍රථම ශල්‍ය කර්මයකට භාජනය වී ඇති එල්.ඩී. පේ‍්‍රමවතී පැවසුවේ ඇයගේ පුත‍්‍රයා ද එවැනිම ශල්‍ය කර්මයකට මුහුන දීමට නියමිත බවයි. ඔවුන් දැන් බීම සඳහා ජලය ගෙන එන්නේ කිලෝ මීටර් පහක පමන දුර සිට බැව් ද ඇය කියා සිටියාය.

ඉදිරිපත් කොට ඇති පර්යේෂන වාර්තාවන්ගේ අසම්පූර්න සහ පරස්පර විරෝධී ස්වභාවය ද අධිකරන කි‍්‍රයාදාමයේ පාක්ෂිකත්වය ද ඉඳුරාම පෙන්නුම් කෙරෙන තතු තුල මෙවන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක වැදගත්කම සහ අදාලත්වය වඩාත් ඉස්මතුවේ. මෙම කම්කරු පරීක්ෂනය සඳහා ප‍්‍රදේශවාසීන්ගෙන් හා කම්හලේ කම්කරුවන්ගෙන් ලැබෙන සහයෝගය අගය කරන කපක පරීක්ෂනයට අවශ්‍ය විද්‍යා හා තාක්ෂන ඥානය ලබා දීමට ඉදිරිපත් වන ලෙස විද්‍යාඥයන්ගෙන් සහ තාක්ෂනවේදීන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: