කීර්ති බාලසූරිය අනුස්මරන රැස්වීම සඳහා උද්ඝෝෂනය

By campaign team, 14 February 2013

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භයේ පටන් එහි ප‍්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය සහෝදරයා 1987 දෙසැම්බර් 18 දින හදිසියේ, ඛේදජනක ලෙස මිය ගියේය.

සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය කීර්ති බාලසූරියගේ අභාවයේ 25 වන සංවත්සරය වෙනුවෙන් පෙබරවාරි 10 දින කොලඹ දී පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීම සඳහා කල උද්ඝෝෂනයේ දී පක්ෂයේ දීර්ඝකාලීන හිතවතුන් මෙන් ම සිංහල හා දෙමල තරුනයන් ද සමග කල සාකච්ඡා පහත පල කෙරේ.

දීර්ඝ කාලීන පක්ෂ හිතවතෙක් ද කීර්ති බාලසූරිය සමග කුලූපගව පක්ෂ වැඩ කටයුතුවල යෙදී ගත්තා වූ ද පරාක‍්‍රම කුරුප්පු මෙසේ පැවසීය:

"කීර්ති බාලසූරිය සහෝදරයාගේ දේශපාලනය තුල මා දකින වඩාත් කැපී පෙනෙන ගුනාංගය වන්නේ අන් සියල්ලටමත් වඩා ඔහු ජාත්‍යන්තරවාදියෙකු වූ බවයි. අධිරාජ්‍යවාදී පද්ධතියේ කුනුවීමත්, එහි කලාපීය සුවිශේෂත්වයන් ලෙස දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් විසින් කෘතිමව නිර්මානය කොට තිබූ ජාතික රාජ්‍ය පද්ධතියේ පැවැති නෛසර්ගික ප‍්‍රතිගාමී ස්වභාවය වඩාත් ජරපත්ව තිබූ බවත් ඔහු බැරෑරුම්ව වටහා ගෙන සිටියා. කෙටියෙන් කිවහොත්, මානව සංහතියේ ප‍්‍රගමනය සඳහා ඉවහල් වන කවර හෝ කර්තව්‍යයක් ඉටු කිරීමට මෙම රාජ්‍ය පද්ධතිය අසමත් බව ඔහු සැක හැර දැන සිටියා. මානව සංහතිය අද මුහුන දී සිටින මූලික ප‍්‍රශ්න විසඳීමේ මාවතට පිවිසීමට නම් මේ ජරපත් රාජ්‍ය පද්ධතිය පෙරලා දැමිය යුතු බවත්, ඒ සඳහා කම්කරු පන්තියේ නායකත්ව අර්බුදය විසඳිය යුතු බවත් වටහා ගෙන සිටි ඔහු එය තම ජීවිතයේ ප‍්‍රධාන කර්තව්‍යය බවට පත් කර ගෙන සිටියා.

"නොපසුබස්නා ගුනයත්, ස්ථිරසාර භාවයත් ඔහුගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන ගුනාංගයන් වුනා. තමන් යෙදී සිටින විප්ලවවාදී අරගලය මුලු මහත් අවධානයෙන් යුතුව අරා සිටි ඔහු එයින් ම පෙරලා ආවේශය ලැබුවා.

"කලාව පිලිබඳව අප මුලින් ම සාකච්ඡා කලේ තරුන සංවිධානය ගොඩනැගීමේ අරගලයට සම්බන්ධ ප‍්‍රශ්න සාකච්ඡා කිරීමේ දී යි. එහෙත්, ඊට පසු අවස්ථාවන් ගනනාවක දී ම කලාව, විද්‍යාව ආදී විෂයයන් පිලිබඳව ඔහුත් සමග කෙටියෙන් හෝ කථා කිරීමේ අවස්ථාව මට ලැබුනා. එහි දී මා වටහා ගත්තේ විවිධ කලා ක්ෂේත‍්‍ර තුල බිහි වී ඇති උසස් ම නිර්මාන ඇසුරු කිරීමෙන් ලබා ගත් ඉහල ම කලාත්මක ශික්ෂනයක් කීර්ති සහෝදරයා සතුව තිබූ බවයි. කලාවේ ඓතිහාසික වර්ධනය හා මාක්ස්වාදී කලා විචාරය පිලිබඳ ඔහු සතු වූ ගැඹුරු දැනුම, මහාචාර්ය සරච්චන්ද්‍රට පිලිතුරක් ලෙස සුචරිත ගම්ලත් සමග ඔහු ලියූ "කල්පනා ලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය” යන කෘතියෙන් පැහැදිලි වෙනවා. ඒ පොත පල වූ දිනවල පොත පිලිබඳ කෙටි සටහනක් තැබූ ධනපති පුවත්පතක ප‍්‍රකට ලේඛකයෙක්, පොතේ කතුවරුන් සම කලේ දිලිසෙන සන්නාහයෙන් සන්නද්ධ වූ නයිට්වරුන්ට යි. කලා විචාර ක්ෂේත‍්‍රය තුල බොහෝ ගැටලු මාක්ස්වාදයේ පදනම් මත පිහිටා සාකච්ඡා කිරීමේ අඩිතාලම මේ කෘතියෙන් සම්පාදනය වුනා.

"ඔහු බොහෝ විට තමන් ආශ්වාදනය කල කලා කෘතීන් මා ද ඇතුලු සෙසු අයගේ අවධානයටත් යොමු කලා. ඉතා ඉක්මනින් කියැවීමටත්, කියවන දේ වහා ග‍්‍රහනය කර ගැනීමටත් ඔහුට තිබූ හැකියාව මා විශ්මයට පත් කලා. ප‍්‍රසිද්ධ රැස්වීම්වල දී සිය දේශනය මධ්‍යයේ ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියැවුනු ෙඡ්දයන් එහැම පිටින් ම, දේශනයේ ගලා යාමට නිමේශයක හෝ බාධාවක් නොවන පරිදි, ඒ මොහොතේ ම පරිවර්තනය කොට ඉදිරිපත් කිරීමට ඔහුට තිබූ අපූර්ව කෞශල්‍යය ඔහුගේ භාෂා දැනුම පිලිබඳ එක් උදාහරනයක්.

"1971 බංග්ලාදේශය බිහි වීමේ දී ඉන්දීය හමුදා ආක‍්‍රමනය සම්බන්ධයෙන් කීර්ති සහෝදරයා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල කල දේශපාලන අරගලයේ අදට අදාලත්වය කොයිතරම් ද? ජාතික අරගලයන් සම්බන්ධයෙන් හා ජාතික ධනපති පන්තීන්ගේ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් ඒ අරගලයේ මග පෙන්වීම අදටත් සුවිශාල අදාලත්වයකින් යුක්තයි. සමස්ත ලෝකය සම්බන්ධයෙනුත්, විශේෂයෙන් ම අප ජීවත් වන කලාපය සම්බන්ධයෙනුත් ඒ මග පෙන්වීම ආලෝකයක් ලබා දෙනවා.

"කීර්ති සහෝදරයා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ අරගලයේ තීරනාත්මක එකතු කිරීම් කල නායකයෙක්. ඔහුගේ දේශපාලන අරගලය ඔහු ජීවත් වූ යුගයටත් වඩා අදට අදාලයි. ඒ අරගලය තවත් බොහෝ කාලයක් ගතවන තුරා නොනැසෙන අදාලත්වයකින් යුතුයි.”

තවත් පක්ෂ හිතවතෙක්, අම්බලන්ගොඩ රංජිත් මෙසේ පැවසීය:

"ධනවාදයේ මෙම අර්බුදය මා බෙහෙවින්ම තේරුම් ගත්තේ මා සහභාගී වූ මුල්ම විකොස රැස්වීමක දී (සුදර්ශියේ) කීර්ති සහෝදරයා කල දේශනයේ දී යි. ඔහු ධනේශ්වර ආන්ඩුවේ කම්කරු විරෝධී ස්වභාවය පැහැදිලි කරන ගමන් ම සමසමාජය, කොපය කම්කරු පන්තියේ ස්වාධීනත්වයට බාධාවක් බවත් ජවිපෙ අතිධාවනකාරී සුලු ධනේශ්වර පක්ෂයක් ලෙස එහි ඉරනම කුමක් ද යන්නත් නිර්දය ලෙස පෙන්වා දුන්නා. ජවිපෙට එරෙහි ආන්ඩුව දියත් කල මර්දනයට විරුද්ධව දේශපාලනයට ඔවුන්ට ඇති අයිතිය පෙන්වා දුන් අතර දේශපාලන සිරකරුවන් වූ ජවිපෙ සාමාජිකයන් නිදහස් කර ගැනීමට කොන්දේසි විරහිත අරගලයක් අවශ්‍ය බව ඔහු පැහැදිලි කලා.

"එතෙක් මගේ මතකයේ තිබුනු දේශනයක් උනේ මගේ පාසල් අවධියේ දී කියුබානු විප්ලවය ගැන ඇන්.ඇම්. පෙරේරා කල දේශනය. එහෙත් චතුර ලෙසත් නිර්දය ලෙසත් පැහැදිලි ලෙස දෙගිඩියාවකට ඉඩක් නොතබා එකවිටම කරුනු සමුදායක් ම ඉදිරිපත් කල අතිශයින් ම විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් වූ කීර්ති සහෝදරයාගේ දේශනය බඳු වෙනත් දේශනයක් මා මින් පෙර අසා තිබුනේ නැහැ. ප‍්‍රථම දැක්මේ දී ම නායකයෙක් ලෙස විප්ලවය මෙහෙයවීමට හැකියාව ඇති නිර්භීත නියමුවෙක් ලෙසත් මහා පරාසයක විශ්ව දැනුමකින් හෙබි එමෙන් ම ලෙනින් වෙනුවෙන් බිහිවූ මහා පෞරුෂයක් ලෙසයි එදා මම ඔහු දැකගත්තේ.”

වැල්ලවත්තේ දෙමල නිවහන් ප‍්‍රදේශයේ කල උද්ඝෝෂනයේ දී අවුරුදු 32ක් වූ එස්.එම්. මොහොමඞ් මෙසේ පැවසීය: "මට දැනුයි ඒත්තු යන්නේ ඔබේ පක්ෂයේ වැදගත්කම. ඔබ පවසන පරිදි, ඔබ පක්ෂය පදනම් වුනේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මතයි. එම ඉදිරිදර්ශනයට සටන් වැදුන නායකයා සැමරීම අත්‍යාවශ්‍යයි. මම කීර්ති බාලසූරිය ගැන පුද්ගලිකව දන්නේ නැහැ. ඔබගේ සාකච්ඡා තුලින් මට වැටහෙනවා ඔහු කොපමන එකතු කිරීමක් කලා ද යන්න.

"කිසිම වෙනත් සංවිධානයක් උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කල යුතුයයි උද්ඝෝෂනය කර නැහැ. සියලුම දෙමල දේශපාලන පක්ෂ හිටියේ ආන්ඩුව සමග යි. ඔබේ පක්ෂය යුද්ධ කාලයේ දීත් මෙම ඉල්ලීම ඉදිරිපත් කල අතර දැනුදු එසේමයි. වර්තමාන උතුරේ තත්වය ඔබ පක්ෂයේ ඉල්ලීමේ අවශ්‍යතාවය සනාථ කරා.”

කොලඹ ඉගෙනගන්නා යාපනයේ තරුනයෙක් ද සාකච්ඡාවට එක් වූයේ ය. "යුද්ධය අවසන් වී වසර හතරක් ගතවුනා. නමුත් මහජනයාගේ ජීවන කොන්දේසි අතිශයින්ම භයානකයි. විරැකියාව ඉහලයි. තරුනයින්ට අනාගතයක් නැහැ. ඔබ පවසන පරිදි මහජනයාට නායකත්වයක් හා නව ඉදිරිදර්ශනයක් අවශ්‍යයි. මට සමාජවාදය ගැන එතරම් අදහසක් නැහැ. නමුත් කීර්ති බාලසූරිය වසර 19 දී දේශපාලන නායකයකු බවට පත් වූයේ නම් ඔහුට අත්‍යසමාන දක්ෂතා තිබුනා විය යුතුයි.”

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙක් කීර්ති බාලසූරිය සහෝදරයා ලියූ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් කෘතියේ වැදගත්කම මෙසේ අවධාරනය කලේය.

"කීර්ති බාලසූරිය සහෝදරයා පිලිබඳ මම දැනගත්තේ ජවිපෙ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් ග‍්‍රන්ථයෙන්. මම ඒ පොත එක දිගටම කියෙව්වා.

"ජවිපෙ සමාජවාදී කම්කරු පක්ෂයක් කියන මතය ඒ පොතෙන් ලස්සනට ඛන්ඩනය කර තිබුනා. ඉතා වැදගත් ඒ පොත දුර දකිනවා ජවිපෙ ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක බීජ අන්තර්ගත කර ගන්නා බව. අද වන විට මේ අනාවැකිය තහවුරු වෙලා.”

තවදුරටත් ඔහු මෙසේ පැවසීය: "සසප හා ජාත්‍යන්තර කමිටුවත් එක දිගටම පලකල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි මගින් පැහැදිලි වෙනවා කීර්ති සහෝදරයා ජාත්‍යන්තර නායකයෙක් බව.

"තවත් එක් දෙයක් කියන්නම් ජවිපෙ මෑත කාලයේ භේදයෙන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය වැඩිපුරම කියවන පොත ජවිපෙ පිලිබඳ කීර්ති සහෝදරාගේ පොතයි. ඒ පොතෙන් උපුටාගෙන තමයි ජවිපෙ ගැන යම් විවේචන විශ්වවිද්‍යාලෙ පලකලේ. හරියටම නිවැරදි ද මම දන්නේ නැහැ. නමුත් ඒ පොත ජවිපෙ තුල භේදයට විශාල ලෙස බලපෑවා යයි මම හිතනවා.”

Share this article: