සංගතවල උත්තෝලන කොටස් මිලට ගැනීමේ තදියම හා ආර්ථික පරපුටුකම

The corporate buyout surge and economic parasitism

22 February 2013

2008 මූල්‍ය උනුවීයාමට පෙර නො දුටු පරිමාවකින් සංගත බද්ධවීම් හා අත්පත් කර ගැනීම්වල පිම්බීමක් මේ මාසයේ දී දක්නට ලැබුනි. 21දා, ප්‍රකෝටිපති වොරන් බුෆේ ප්‍රධානත්වය දරන බර්ක්ෂයර් හැතවේ සමාගම, ආහාර කුළුබඩු නිෂ්පාදක එච්.ජේ.හේන්ස් සමාගම ඩොලර් බිලියන 23ට මිලට ගැනීමේ සැලැසුම් ප්‍රකාශ කලේ ය. එදින ම ඇමරිකන් එයාලයින්ස් හා යූඑස් එයාවේස් ඩොලර් බිලියන 11ක අගයකින් යුත් ඒකාබද්ධ වීමේ සැලසුම් ප්‍රකාශ කලේ ය.

ඊට පෙර සතියේ මයිකල් එස්.ඩෙල් හා පෞද්ගලික ව්‍යාපාර වස්තු ගනුදෙනුකරුවන් කන්ඩායමක් ඩොලර් බිලියන 24ක අගයෙන් යුත් පරිඝනක නිෂ්පාදක ඩෙල් සමාගම මිල දී ගැනීමේ සැලැසුම් නිවේදනය කල අතර බ්‍රතාන්‍ය කේබල් රූපවාහිනී වැඩසටහන් සම්පාදක වර්ජින් මීඩියා සමාගම ඩොලර් බිලියන 16ට මිල දී ගැනීමට ලිබර්ටි ග්ලෝබල් එකඟ විය.

ලැයිස්තුව දිගට යයි. 2008 ආර්ථික කඩා වැටීමෙන් පසු මහාද්වීපික යුරෝපයේ විශාල ම ව්‍යාපාර වස්තු මිල දී ගැනීම් සඳහා තමන් සූදානම් වෙමින් සිටින බව මෙම සතියේ දී බ්‍රිතාන්‍ය පෞද්ගලික ව්‍යාපාර වස්තු සමාගමක් වන සීවීසී කැපිටල් පාට්නර්ස් ප්‍රකාශ කලේ ය.

මෙම වසරේ මේ දක්වා එක්සත් ජනපද බද්ධවීම් හා අත්පත් කර ගැනීම්වල වටිනාකම ඩොලර් බිලියන 158.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට අදාල ප්‍රමානය මෙන් දෙගුනයකි.

සමස්ත ආර්ථිකය තව දුරටත් දුර්වලවීම පෙන්වන දර්ශකයන් වැලැක් මධ්‍යයේ සිදුවන මෙම මිල දී ගැනීම්, මාධ්‍ය තුල බොහෝ සාකච්ඡාවන්ට තුඩු දී ඇත. 22දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ මුල් පිටුවේ ශීර්ෂ පාඨයක් ප්‍රකාශ කලේ, ''බද්ධවීම් ආපසු පැමිනෙයි. වෙලඳපොල නගින අතර ආර්ථිකය ශක්තිමත් වෙයි'' යනුවෙනි. ඊට පෙර දිනයේ යුරෝ කලාපය 2009න් පසු නරක ම ආර්ථික හැකිලීම වාර්තා කර තිබීමේ කරුන විසින් විශේෂයෙන් ම එම ප්‍රකාශය විකාරයක් බවට පත් කෙරුනි.

අවංක ආර්ථික ප්‍රකෘතිමත් වීමක් ඇතිකිරීමට ප්‍රතිවිරෝධීව, බද්ධවීම් හා අත්පත් කර ගැනීම් මුළුමනින් ම පරපුටු ය. ඒවා සැබෑ වටිනාකම් බිඳක්වත් ආර්ථිකයට එකතු නොකරයි; ඒවා සමාජයේ නිෂ්පාදන හැකියාව පුළුල් නොකරයි; ඒවා නව රක්ෂා නොසපයයි. ඒවා මේ වන විටත් පවතින නය කන්දරාවට පමනක් එකතු වන කඩදාසි වටිනාකම් ප්‍රසාරනයක් හරහා සමපේක්ෂකයන්ට වඩාත් පොහොසත් වීමට හැකි වන හුදු මූල්‍ය කටයුතු පමනි.

මේ ආකාරයේ බද්ධවීම් හා ව්‍යාපාර වස්තු මිල දී ගැනීම්වල සැබෑ ආර්ථික හා සමාජ බලපෑම් විනාශකාරී ය. ඒවා ව්‍යාපාර වසා දැමීම හා රැකියා අහෝසි කිරීම අන්තර්ගත කරගත්, හැකිලීම් හා වියදම් කප්පාදුවලට පූර්විකාවක් වන අතර වැටුප් කප්පාදු හා වැඩ වේගවත් කිරීම් සඳහා කෙරෙන නව ඉල්ලීම් සමග අනිවාර්යයෙන් ම අත්වැල් බැඳ ගනියි.

මෙම මූල්‍ය උපාමාරු පාලක පංතිය සමාජයේ පහල සිට ඉහලට ධනය නැවත බෙදාහරින මාධ්‍යයන් ය. මූල්‍ය ප්‍රභූන්ගේ අශිෂ්ට පෞද්ගලික ධනය තර කරන්නා වූ පිම්බෙන නය, අවසානයේ දී ආපසු ගෙවිය යුතු ය. රාජ්‍ය ප්‍රචන්ඩත්වය හා මර්ධනයෙන් සමන්විත ම්ලේච්ඡ කප්පාදු පියවර හරහා ඒවා ආපසු ගෙවීම පැටවෙන්නේ කම්කරු පංතිය මත ය.

සමපේක්ෂනයේ ඉතාමත් කොල්ලකාරී රූපාකාරයන් තුල අළුත් වූ පිම්බීම හුදෙක් අපුද්ගල ආර්ථික බලවේගයන්ගේ ප්‍රතිඵලයක් නොවේ. ඊට විපරීත ව එය වනාහි , ඔබාමා පාලනය හා එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි මූලිකත්වය යටතේ, ලෝකය පුරා ආන්ඩු හා මහ බැංකු විසින් හඹා යනු ලබන නිශ්චිත ප්‍රතිපත්තීන්ගේ අපේක්ෂිත ප්‍රතිඵලය යි. කම්කරු පංතියට එරෙහිව ආර්ථික යුද්ධයක් කර ගෙන යන අතර ඔවුන් උත්සාහ කරන්නේ, මූල්‍ය වත්කම්වල, එනම් කොටස්, බැඳුම්කර හා ව්‍යුත්පන්නයන්ගේ මිල නැංවීමට ය.

මෙම සන්තතියේ පලමු පියවර වූයේ, 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසු බැංකු ඇප දී ගලවා ගැනීම යි. ඊට පසු බැංකුවල ගොඩගැසී තිබුනු හා පසුව භාන්ඩාගාරයට මාරු කර යැවූ නයවල බිල ගෙවීම සඳහා කම්කරු පංතියට බල කෙරෙන කප්පාදු පිලිවෙත්වලට හැරීම පැමිනියේ ය. බැංකුවලට හා මූල්‍ය වෙලඳපොලට සැබවින් ම සීමාරහිත අරමුදල් පොම්ප කිරීම සඳහා වූ මූල්‍ය උත්තේජනයන් - ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් අච්චු ගැසීම- මගින් මෙය ඌනපූරනය කර තිබුනි. සුපිරි ලාභ සූරාගැනීමට ගැලපෙන බවට සෑහීමට පත් වන විට, ඔවුන්ට පාවිච්චි කල හැකි මුලුමනින් ම නිදහස් නය මෙම ආයතනවලට සම්පාදනය කිරීමෙන් ඔවුන්ට සහනාධාර පිරිනමා ඇත.

මෙම ලාභ නය, යෝධ-ලාභ තුලට උත්තෝලනය කරන මාධ්‍යයන්ගෙන් එකක් වන්නේ සංගත හා බැංකු වැනි ව්‍යාපාර මිල දී ගැනීම යි. ඒවා සතු මුදල් කන්දරාව අත්පත්කර ගැනීම තුලින්, බද්ධ සමාගම් මත නය කඳු ගැසීම හා කුරිරු ලෙස රැකියා හා කම්කරුවන්ගේ වැටුප් කැපීම ද ඊට ඇතුලත් ය.

ගෝලීය කොටස් වෙලඳපොලේ ඉහල දැමූ (වෙනස් කල) මිල ගනන් එවැනි ගනු දෙනු සඳහා පහසුකම් සපයන අතර එය අනෙක් අතට කොටස් මිල ගනන් තවත් ඉහලට තල්ලු කරයි. 20දා ගෝලීය කොටස් අගයන් වාර්තාගත නව මට්ටමකට ලඟා වූ අතර 2000 වසර ආරම්භයේ දී ඩොට් කොම් බුබුලේ පටන් නොදුටු මුදුන්වලට එය දැන් ලඟා වී ඇත. නැස්ඩැක් දර්ශකය 2008 සිට අත් විඳි අලාභ දැන් මුලුමනින් ම පියවා ගෙන ඇත.

උත්තෝලන මිලට ගැනීම් රැල්ලට තවදුරටත් දායක වන්නේ සංගත ශේෂ පත්‍ර මත පවතින පාවිච්චි නොකල දැවන්ත මුදල් කන්දරාව යි. ෆෙඩරල් මහ බැංකුවට අනුව 2012 තුන්වැනි කාර්තුවේ දී සංගත අතෙහි ඩොලර් ට්‍රිලියන 1.7ක මුදල් තොගයක් පැවතුනේ ය. එහෙත් නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආයෝජන හැකිලෙමින් තිබේ. පසුගිය කාර්තුවේ දී, එක්සත් ජනපද ආර්ථිකය හැකිලුන අතර ව්‍යාපාර ආයෝජනය ඊටත් වඩා හැකිලී ගියේ ය.

සමස්ත ආර්ථිකය තුල ප්‍රකෘතියක් නොතිබිය දී, බිඳ වැටීමෙන් වසර හතරකට පසුව, හුදෙක් එක් හෝ තව රටක නොව, ලෝකය පුරා සමපේක්ෂන උන්මාදය නව මුදුන්වලට ලඟාවීම පෙන්වා දෙන්නේ, මෙම ආකාරයේ පරපුටුවාදය ධනේශ්වර පද්ධතියට අනුකූල බව මිස සෞඛ්‍ය සම්පන්න සංවිධානයක හුදු ඌනතාවක් නොවන බව යි.

ලෝකය ආර්ථික ආගාධයක ගිල්වීම සඳහා වගකිව යුතු කුමන හෝ ප්‍රධාන මූල්‍ය ආයතනයක එක් විධායකයෙකු හෝ වගකීමට අල්ලා ගෙන නැත යන කරුන ද අයෙකු එකතු කරනවා ඇත. මන් ද? මෙම පරපුටු මූල්‍ය ප්‍රභූව ආන්ඩු හා නිල ආයතන මත, භාවිතයේ දී නීතියට ඉහලින් තත්වාකාර ඒකාධිපතිත්වයක් පවත්වාගෙන යන නිසා ය.

ධනේශ්වර රාමුව පවත්වා ගන්නා අතර මූල්‍ය සමපේක්ෂනය තුල පාලනයක් හෝ එය වඩා තාර්කික හා සාධාරන කිරීමට පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීම පිලිබද සියලු කතා බොලඳකමේ නැතිනම් ස්වයං මිත්‍යාවේ හෝ දැනුවත් වංචාවේ ඵලයකි. පද්ධතිය ප්‍රතිසංස්කරනය කල නොහැකි ය. එය විස්ථාපනය කල යුතු ය.

වර්තමාන මූල්‍ය උත්පාතයට දිගට පැවතිය නොහැක. එය වැලි අත්තිවාරම් මත රඳා පවතී. මහ බැංකු මුදල් අඛන්ඩව එන්නත් කිරීම මගින් නඩුත්තු කෙරෙන සමපේක්ෂන හා මූල්‍ය උපාමාරුවල දැවන්ත ප්‍රසාදය, අගාධය පතුලට ගිලෙමින් පවතින රෝගි ආර්ථිකයකට හරස් වෙයි. වාතාවරනයේ දුර්වලකම පෙනෙන්නේ, මහ බැංකු ශේෂපත්‍රයේ දැවන්ත ප්‍රසාරනය කෙරෙහි පලවන කනස්සල්ල පිලිබිඹු කරමින්, ෆෙඩරල් මහ බැංකු සටහන් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, මෙම සතියේ වෙලදපොලේ පැවති මංමුලා සහගත ප්‍රතිචාරය තුල ය. මුදල් එන්නත් කිරීමේ ප්‍රධාන නාලයේ මන්දගාමී වීම පිලිබඳ ඕනෑ ම ඉඟියක් මූල්‍ය පද්ධතිය පුරා කිලිපොලා යාමක් පතුරවනු ලබයි.

සියලු ම සම්පත්වල සැබෑ මූලාශ්‍රය වන ශ්‍රම ශක්තිය යොදවන කම්කරු පංතියේ අති මූලික අවශ්‍යතා, මෙම පද්ධතිය හා මූල්‍ය පරපුට්ටන්ගේ පාලනය තවමත් පැවතීම සමග නො පෑහේ. මෙම කරුන කම්කරු පංතියේ දැනුවත් භාවය තුල වැඩි වැඩියෙන් ප්‍රකාශිත වනු ඇත.

ඉදිරියේ එන මහා පංති අරගල තුල දී සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය - මූල්‍ය ප්‍රභූවේ ඒකාධිපතිත්වය බිඳ දැමීම හා සමාජ සමානතාව හා පොදු යහපතේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය- ලෝකය පුරා වැඩ කරන ජනතාවගේ අරගලයේ නියාමක ප්‍රතිපත්තිය විය යුතු ය.

ආන්ද්‍රේ ඩේමන් සහ බැරී ග්‍රේ

Share this article: