කීර්ති බාලසූරියගේ අභාවයේ සිට 25 වසරක්
20වැනි සියවසේ දෙවැනි භාගයේ දකුනු ආසියාවේ ප්‍රමුඛ මාක්ස්වාදියා
පලමු කොටස

25 years since Keerthi Balasuriya’s death
South Asia’s foremost Marxist of the second half of the 20th century - Part one

By Wije Dias ,27 December 2012

පහත පලවන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය සඳහා කල අරගලය පිලිබඳ කොටස් දෙකක ලිපි මාලාවක පලමුවැනි කොටස යි. දෙවැනි කොටස හෙට පලවේ.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාවේ, එනම් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය හදිසි හෘදයාබාධයකින් 1987 දෙසැම්බර් 18වැනිදා මිය ගියේ ය. මිය යන විට ඔහුට වයස අවුරුදු 39ක් වූවා පමනි. ඔහුගේ අකාල වියෝව විසින් කෙටි කර දමන ලද්දේ ශ්‍රී ලංකාව තුල හා කලාපය පුරා කම්කරුවන් හා පීඩිත ජනතාව අතර නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදයේ විප්ලවවාදී මූලෝපාය විභාග කිරීමේ අරගලය සඳහා දශක දෙකකට වඩා වැඩි කාලයක් දැනුවත්ව කැපකල ජීවිතයකි. විකොස යනු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා ය.

කීර්ති බාලසූරිය

ඔහුගේ මරනය සිදු වූ දවසේ කීර්ති සහෝදරයා බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) භ්‍රෂ්ටයින් සමග 1985-86 බෙදීම ඉක්බිත්තේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දුන් දේශපාලන කර්තව්‍යයන් පැහැදිලි කරමින් හජාජාක සඳහා ලිපියක් කෙටුම්පත් කරමින් සිටියේ ය. විශේෂයෙන් ම ඔහු අවධානය යොමුකරමින් සිටියේ 1987 ජූලි මස සිට ශ්‍රී ලංකාව තුල ඉන්දියාවේ හමුදා-දේශපාලන මැදිහත්වීම තදනන්තරව විකොස හා දකුනු ආසියාව පුරා කම්කරු පන්තිය ඉදිරියේ පැවැති ප්‍රශ්න කෙරෙහි ය.

එම අවස්ථාවේ දී ලියන ලද අවමංගල දැන්වීම තුල වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝත් මෙසේ ප්‍රකාශ කලේ ය: "ශ්‍රී ලංකාව තුල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුහුනදෙන අතිවිශාල දේශපාලන පීඩනයන් නොතකා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙකු ලෙස ඔහුගේ ජාත්‍යන්තර වගකීමෙන් කීර්ති සහෝදරයා පසුබැස්විය හැකි නොවී ය. ඔහුගේ සියලු වැඩකටයුතු දිරිගන්වන ලද ශ්‍රේෂ්ට දේශපාලන පරමාදර්ශය වූයේ නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදයේ ගමන් මග යි. කීර්ති සහෝදරයාට අනුව එය එහි ඉහල ප්‍රකාශනය සොයාගත්තේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ අරගලය තුල ය.”

කීර්තිගේ අවමංගල්‍යයට සහභාගී වූ සිය ගනනක් කම්කරුවන් හා තරුනයන් අමතමින් නෝත් ඔහුගේ කාර්යභාරයේ අතිවිශාල වැදගත්කම අවධාරනය කලේ ය: "ආසන්න ඉදිරි කාලයේ දී ආසියාවේ පමනක් නො ව ලෝකය පුරා කම්කරුවන් කීර්ති සහෝදරයාගේ ලිපි ලේඛන කියවමින් අධ්‍යයනය කරනු ඇත.”

2008 සිට ගෝලීය ධනවාදයේ සිදුවෙමින් පවතින බිඳවැටීම විසින් තල්ලු කෙරෙන අද දවසේ පන්ති අරගලයේ මතුවීම කීර්ති බාලසූරියගේ ප්‍රගාඪ න්‍යායික හා දේශපාලනික ප්‍රතිපදානයන් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කර ඇත. උතුරු අප්‍රිකාව තුල හෝ මැද පෙරදිග වේවා, ලෝකයේ ඓතිහාසික වශයෙන් පසුගාමී මෙන් ම දියුනු රටවල් තුල ද හදිසි අවශ්‍යතාවය වන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් ව කම්කරු පන්තියේ නායකත්වයේ අර්බුදය විසඳීම යි.

1964 ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) ඓතිහාසික පාවාදීම විසින් ජනනය කෙරුනු දේශපාලන ගැටලු හා ව්‍යාකූලතා ජය ගැනීමට මං සොයමින් සිටි පෙරලිකාරී වූ තරුනයන් කන්ඩායමකට කීර්ති 1966 මුල් භාගයේ දී එකතු විය. සිරිමා බන්ඩාරනායක මැතිනියගේ පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාගයකට ලසසප ඇතුල් වූ කල් හි තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස හඳුන්වා ගත් පක්ෂයක් ධනපති ආන්ඩුවකට එකතු වූ ලෝකයේ පලමු පක්ෂය බවට ලසසපය පත් විය.

පාවාදීම සිදුවූයේ ශ්‍රීලනිප ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය හා තරුනයන් විප්ලවවාදී පරිමානයේ අරගලයකට ඇදෙමින් සිටි අවස්ථාවක ය. රාජ්‍ය හා පෞද්ගලික අංශ යන දෙකෙහි ම ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන වෘත්තීය සමිති සංවිධානයන්ගේ ඒකාබද්ධ කමිටුව (ජේසීටීයූඕ) යයි නම්කල පොදු පෙරමුනක් ගොඩ නගා තිබූ අතර ආන්ඩුව ඒවායේ ඉල්ලීම් 21 විසඳුවේ නැති නම් වැඩවර්ජනයක් කැඳවන බවට තර්ජනය කරමින් සිටියහ. තරුනයෝ පෙරලිකාරී වෙමින් සිටියහ. වියට්නාම් යුද්ධය හා කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා ඝාතනයට එරෙහිව මෙන් ම කම්කරු අරගලවලට සහාය දැක්වීමට හා නිදහස් අධ්‍යාපනය මත ප්‍රහාරයන්ට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විරෝධතා දක්වමින් සිටියහ. v

ලසසප බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම කම්කරුවන් හා තරුනයන් අතර පුලුල් ව්‍යාකූලත්වයක් නිර්මානය කලේ ය. ලසසප ඉල්ලීම් 21 ව්‍යාපාරය හකුලා ගත්තේ ය. ලසසපයෙන් කැඩී ගොස් එහි පාවාදීම් හෙලා දුටු ලසසප (වි) විසින් ලසසප ද්‍රෝහිත්වයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වූ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වඩාත් විචාරශීලී ස්ථර, අධෛර්යමත් කරනු ලැබූහ. ලසසපයේ අවස්ථාවාදයට දේශපාලන ආවරනය සැපයූ, අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයෙන් වෙන්වීම ලසසප(වි) ප්‍රතික්ෂේප කලේ ය. එහි බොහෝ අනුගාමිකයන්, විශේෂයෙන් ම අපේක්ෂා භංග නමුත් නිහඬ නො වූ තරුනයන් මගහරිමින් ලසසප(වි) ලසසප පරිහානියේ ජාත්‍යන්තර දේශපාලන මූලයන් සාකච්ඡා කිරීමට ගත් සියලු ම උත්සාහයන් ප්‍රතික්ෂේප කලේ ය.

දේශපාලන අවුල්ජාලයෙන් පිටත ට ඒමට මාවතක් සෙවීමට ශක්ති කන්ඩායම පිහිටුවන ලදී. ඔහුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වෙමින් සිටි, තවමත් පාසල් ශිෂ්‍යයෙකු වූ කීර්ති තරුන දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙම කන්ඩායමට එකතු විය. මෙම කන්ඩායම, යම් ආකාරයක විෂමජාතීය හා මාධ්‍යමික ස්වභාවයකින් යුතු වූ අතර ලසසප(වි) ගැන විවේචනාත්මක වුවත් ආපසු ලසසප වෙත යාමේ ආස්ථානයකින් යුත් අය ද එහි සාමාජිකයන් අතර වූහ. කන්ඩායමේ සාමාජිකයන් විසින් එම නැඹුරුවට විරෝධය දක්වන ලද මුත් අතිමූලික න්‍යායික ප්‍රශ්න පැහැදිලි කර ගැනුනේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම හරහා පමනි.

හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව වූ සමාජවාදී කම්කරු සංඟමයේ නායක‍යෙකු වූ ටෝනි බන්ඩාගේ 1966 සංචාරය තරුනයන් විල්ප්‍රඩ් "ස්පයික්” පෙරේරා සමග සම්බන්ධ කලේ ය. කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියෙකු වූ ස්පයික් සහෝදරයා, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හජාජාක අරගලයේ පදනම මත, මුලුමනින් ම පාහේ හුදකලා දේශපාලන සටනක් ලසසප(වි) තුල ගෙන යමින් සිටියේ ය. ශක්ති කන්ඩායමේ මාධ්‍යමික දේශපාලනය පිලිබඳ ගැඹුරු විවේචන ද එක්සත් ලේකම් මන්ඩලය කස්ත්‍රෝ ආරක්ෂා කිරීමට එරෙහි ඔහුගේ අධිෂ්ඨාන සහගත අභියෝග ද අන්තර්ගත ලියවිලි මෙම තරුනයන්ගේ ඇස් අරවන්නක් විය.

හජාජාකයට ආකර්ෂනය වූ තරුනයෝ විරෝධය කන්ඩායම පිහිටවූහ. හතරවැනි ජාත්‍යන්තරය තුල මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් අවස්ථාවාදී ප්‍රවනතාවකට එරෙහිව අරගලය තුල සැකසුනු හජාජාක ලියවිලි පිලිබඳ තියුනු අධ්‍යයනයක් හා සාකච්ඡාවක් ඇරඹුනි. පැබ්ලෝවාදීහු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වූ සටන අතහැර දමා නොයෙකුත් රටවල කම්කරු ව්‍යාපාරයේ ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ධනේශ්වර ජාතිකවාදී නිලධරයන්ට දන ගැසූහ. 1963දී පැබ්ලෝවාදීන් සමග යලි එක් වූ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ දේශපාලන පසුබැසීමට එරෙහිව බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු ලීගය දිග්ගැස්සුන අරගලයක් ඇරඹුවා පමනි. විරෝධය කන්ඩායම තුල න්‍යායික පැහැදිලිකම සඳහා සටන තුල හජාජාක දේශපාලනය සඳහා ප්‍රමුඛ සටන්කරුවා ලෙස කීර්ති මතුවි ය.

තවමත් ශාඛාවක් ලෙස පිලි නොගත්ත ද විරෝධය කන්ඩායම හජාජාක, විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු ලීගයේ ලියවිලි හා වැඩකටයුතු ඉතා කිට්ටුවෙන් හඹා ගිය අතර 1968දී මයිකල් බන්ඩා විසින් (හතරවැනි ජාත්‍යන්තරය සඟරාවට) ලියන ලද කතුවැකියක් හෝ චි මින් විසින් වියට්නාමය තුල ගෙන යමින් පැවතුන "දිග්ගැස්සුන මහජන යුද්ධය” ද මාඕ සේතුං ගරිල්ලා යුද්ධයේ "ප්‍රමුඛ නිපුනයා” ලෙස ද වර්නනා කල විට කම්පනයෙන් යුක්තව ප්‍රතිචාර දැක්වී ය. මාඕවාදය පැසසීම පිලිබඳව විරෝධය දැක්වීමට කීර්ති සමාජවාදී කම්කරු ලීගයට ලිපියක් යැවූ අතර (එකී) කතුවැකිය බන්ඩාගේ පෞද්ගලික දෘෂ්ටිය ප්‍රකාශ කල බව දැක්වෙන කෙටි සටහනක් ඊලඟ මුද්‍රනයේ ඇතුලත් වී තිබින. බන්ඩාගේ මාඕවාදී නැඹුරුවට පාඩුවේ තිබෙන්නට හැර තමන්ගේ වැඩකටයුතු කර ගෙන යාමේ මෙම ආකල්පය එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයට එරෙහිව තමන්ම ගෙන ගිය ප්‍රතිපත්තිමය අරගලයෙන් සමාජවාදී කම්කරු සංඟමය පසුබසිමින් සිටි බවට සංඥාවක් විය.

එම වසර අවසානයේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සම්මේලනයේ දී ලසසප, ලසසප(වි) හා ශක්ති හරහා එහි ඉතිහාසය සලකුනු කරමින් අලුතින් පිහිට වූ පක්ෂය ජාතික විප්ලවවාදී ප්‍රවාහයේ අඛන්ඩත්වය ලෙස සැලකූ ප්‍රවනතාවකට විරුද්ධ වූ අවස්ථාවේ කීර්ති එම න්‍යායික දෘඩතරභාවය ම ප්‍රදර්ශනය කලේ ය. පැබ්ලෝවාදයට එරෙහිව හජාජාක ගෙනගිය ජාත්‍යන්තර අරගලය තුල ම ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩත්වය පවතින බවත් මෙයින් පිටත ජාතික කාන්ඩ ගැසීමකට අඛන්ඩ විප්ලවවාදී නැඹුරුවක් පවත්වා ගත නොහැකි බවත් ඔහු දැඩිව අවධාරනය කලේ ය. නොනවතින විප්ලව න්‍යායේ පදනම මත ඉන්දියානු උප-මහද්වීපය පුරා විප්ලවවාදී දේශපාලන සටනක් ගෙන යාමේ ඉදිරිදර්ශනයක් ආරම්භක සම්මේලනය ඒකමතිකව පිලිගත්තේ ය. යන්තම් වයස 19දී කීර්ති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් පත් කර ගන්නා ලදී.

මතු සම්බන්ධ යි.

Share this article: