බංග්ලාදේශ පොලිසිය විරෝධතා දැක්වූ ඇඟලුම් කම්හල් කම්කරුවන්ට පහර දෙයි

Bangladeshi police attack protesting garment workers

සරත් කුමාර විසිනි, 2013 ජූනි 12

රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටීමේදී ජීවිත ගලවා ගත් අය ද ඇතුලු ඇඟලුම් කම්කරුවන්, වැටුප් හා සේවා කොන්දේසි නංවන ලෙස ඉල්ලා පැවැත්වූ වැඩ වර්ජන මාලාවක් බිඳ දැමීම සඳහා බංග්ලාදේශ පොලීසිය ප‍්‍රහාර එල්ල කොට ඇත. පොලීසියේ මෙම කි‍්‍රයා මාර්ගයෙන් පැහැදිලි ලෙස ම පෙනී යන්නේ, දශ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවන් මුහුන දෙන පීඩාකාරී තතු යහපත් අතට වෙනස් කිරීමට රජය දී ඇති පොරොන්දුවල රැවැටිලිකාරී ස්වභාවයයි.

පසුගිය අපේ‍්‍රල් 24වන දින, ප‍්‍රධාන වශයෙන් ම ඇඟලුම් කම්කරුවන්ගෙන් සමන්විත වූ 1,129ක පිරිසකට මරු කැඳවමින් ද, 2,000 ඉක්ම වූ පිරිසකට තුවාල සිදු කරමින් ද රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා හැලුනේය. නීති විරෝධී ලෙස මහල් අටක් දක්වා විශාල කොට තිබූ මෙම ගොඩනැගිල්ලේ අනතුරට පෙර දින පැහැදිලි ඉරිතැලීම් දක්නට ලැබුනු නමුත්, කිසිදු අනතුරක අවදානමක් නැතැයි කියා සිටි ගොඩනැගිලි අයිතිකරු හා කම්හල් අයිතිකරුවෝ එහි සේවය කිරීමට අදිමදි කල කම්කරුවන් බලහත්කාරයෙන් ආපසු වැඩට හරවා යැවූහ.

රානා ප්ලාසා ඇඟලුම් කම්හලේ හිටපු කම්කරුවෝ සිය ගනනක් ද, තුවාල ලැබූ හා මියගිය කම්කරුවන්ගේ ඥාතීහු ද බිඳ වැටුනු ගොඩනැගිලි පරිශ‍්‍රයේ දී ජූනි 5 දින විරෝධතා දැක්වූහ. තමන්ට ප‍්‍රතිඥා දුන් පරිදි වන්දි හා හිඟ වැටුප් ලබා නොදීම පිලිබඳව ඔවුහු රජයට හා බංග්ලාදේශ් ඇඟලුම් නිෂ්පාදකයන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයට (බීජීඑම්ඊඒ) එරෙහිව පෙලපාලි පැවැත්වූහ.

අහසට වෙඩි තැබූ පොලීසිය කඳුලු ගෑස් ගසා ඉනික්බිතිව විරෝධතාකරුවන්ට බැටන් ප‍්‍රහාර එල්ල කලේය. එයින් 50 දෙනෙකුට පමන තුවාල සිදු විය. ප‍්‍රහාරය සාධාරනීකරනය කරමින් පොලිස් නිලධාරි ෂීක් ෆාරිඞඩ් උද්දින් ප‍්‍රකාශ කලේ කම්කරුවන් මාර්ගය අවහිර කරමින් පොදු ප‍්‍රවාහන වාහන වලට අලාභ හානි කිරීමට පටන් ගත් බවයි.

කෝපාවිෂ්ට කම්කරුවෝ එම චෝදනාව එකහෙලා ප‍්‍රතික්ෂේප කලෝය. ගොඩනැගිල්ල කඩා වැටීමේදී දිවි ගලවා ගත් ෆාතිමා ඛාතුන් ප‍්‍රකාශ කලේ, පොලිසිය ඔවුන්ට පහර දුන්නේ අන් කිසිවක් නිසා නොව හුදෙක් ඔවුන් විරෝධතා දැක්වූ නිසා බවයි. ගාඩියන් පුවත්පත අමතා ඇය මෙසේ පැවසුවාය: "අපි කඩාකප්පල් කි‍්‍රයා කිසිවක් සිදු නොකෙලෙමු. එහෙත් පොලිසිය අපට වෙඩි තබා කඳුලු ගෑස් ගැසීය.”

ධාකා අගනුවර අසබඩ පිහිටි අෂුලියා හා ගාසිපූර් කාර්මික කලාපවල පිහිටි සීමාසහිත ඩයිනස්ටි බීඞී සමාගමේ කම්කරුවන් 5,000කට වැඩි පිරිසක් සම්බන්ධ වූ විරෝධතාවයකට පොලිසිය පහර දුන්නේ ඊට යන්තම් දෙ දිනකට ඉහත දීය. පෙලපාලිකරුවන් ඉල්ලා සිටියේ ඔවුන්ට ලැබීමට නියමිත හිඟ වැටුප් ගෙවන ලෙස හා මෑතක දී ගනු ලැබූ වෘත්තීය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ කම්කරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා ඉවත් කරගන්නා ලෙස ය. පොලිසිය බැටන් හා රබර් උන්ඩ ප‍්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ රැලියට කඩා වැදීමෙන් 30කට ආසන්න ජනයා තුවාල ලැබූහ.

තවදුරටත් කලබලකාරී තත්වයන් ඇති වේයැයි බිය පත් වූ ඩයිනස්ටි සමූහ ව්‍යාපාරය දින ගනනාවක් පුරා සිය කම්හල්වල නිෂ්පාදනය අත්හිටවූහ. ඊට ඉහත සතියේ අෂුලියාහි රැස් වූ 20,000ක් ඇඟලුම් කම්කරුවෝ වඩා හොඳ වැටුප් ලබා දෙන මෙන් ඉල්ලා සිටියෝය. රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටුනු තැන් පටන් ඉදිරියට ඇදෙන වර්ජන හා විරෝධතා නිසා කාර්මික ප‍්‍රදේශය තුල ඇඟලුම් නිෂ්පාදනය සියයට 20කින් පහතට වැටී ඇත.

පෙලපාලි පැතිර යමින් පවතී. ජූනි 5වන දින ඩකාහි ටෙජ්ගවොන් කාර්මික කලාපයේ කම්හල් හතක සේවය කරන දහස් සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවෝ ටෙජ්ගවොන් - මොහඛාලි හා ගුල්ෂාන් මාර්ග යා කෙරෙන මංසන්ධියේ දී විරෝධතා පැවැත්වූහ. එම විරෝධතාවය ද පොලිසිය විසින් විසුරුවා හරින ලදී. ඉන් දින දෙකකට ඉහත දී සේපාල් ඇඟලුම් කම්හල් සේවකයෝ, අතිකාල දීමනා ගෙවීමකින් තොරව වැඩ දිනය පැය 10 සිට පැය 12 දක්වා දීර්ඝ කිරීමට කලමනාකාරිත්වය ගෙන ආ යෝජනාවකට එරෙහිව වැඩ වැරූහ. වැඩ දිනය දැනටමත්, දිවා ආහාර විවේකයකින් තොර ව පැයකින් දීර්ඝ කොට ඇතැයි කම්කරුවෝ චෝදනා කරති.

නොසන්සුන්කාරීත්වය හුදු ඇඟලුම් කම්කරුවන්ට පමනක් සීමා වී නැත. උතුරු රාංපූර් කොට්ඨාශයේ ප‍්‍රවාහන කම්කරුවෝ ද පසුගිය සතියේ ඉහල වැටුප් හා දීමනා ඉල්ලා සිටිමින් ද පොලිස් අඩන්තේට්ටම් අවසන් කිරීමට බල කරමින් ද පැය 48ක් වැඩ වැරූහ.

ඇඟලුම් කම්කරුවන් අතර පැන නැගී ඇති නොසන්සුන්කාරීත්වය මගින් කම්කරු පන්තිය පමනක් නොව ගම්බද දුගීන් ද වෙලා ගැනුනු ප‍්‍රධාන පෙලේ දේශපාලන අර්බුදයක් නිර්මානය කෙරෙන්නට ඉඩ ඇතැයි අවාමි ලීගයේ නායකත්වයෙන් යුත් රජය බිය පත්ව සිටී. දරිද්‍රතාවයෙන් වෙලී ගත් ගම්මානයන්හි දිලිඳු පවුල්වල බොහෝ අවස්ථාවන්හි දී ප‍්‍රධාන උපයන්නන් වනුයේ තරුන කම්කරු ස්තී‍්‍රන්ය.

ඇඟලුම් ක්ෂේත‍්‍රය සඳහා නව අවම වැටුපක් නිර්නය කිරීම සඳහා වූ සය සාමාජික මන්ඩලයක් පත් කිරීමේ නිවේදනය රජය ජූනි 6 දා නිකුත් කලේය. මෙම මන්ඩලය "සිය නිර්දේශ හැකිතාක් ඉක්මනින්” ලබා දෙනු ඇතැයි කම්කරු හා සේවා නියුක්ති අමාත්‍යාංශයේ ලේකම් මිකයිල් ශිපා පැවසීය. මෙසේ නිර්දේශිත වැටුප් කි‍්‍රයාවට නැංවෙනු ඇත්තේ ලබන වසරේ මැයි 1 දින සිටය.

පසුගිය වසරේ සිට දිගින් දිගටම පවතින කම්කරු විරෝධතා නොතකා, කවර හෝ වැටුප් වැඩිවීමක් ලබා දීම දීර්ඝ කාලයකින් ප‍්‍රමාද කිරීම තුලින් පැහැදිලි වන්නේ කවර වියදමක් දරා හෝ ඇඟලුම් කර්මාන්තයේ "ජාත්‍යන්තර තරගකාරී ශක්‍යතාවය” රැක ගැනීමට රජය අධිෂ්ඨාන කර ගෙන සිටින බවයි. ලෝකයේ ඇඟලූම් අපනයනය කරන රටවල් අතරින් අඩුම වැටුප් ගෙවන බංග්ලා දේශයේ අවම මාසික වේතනය අවසන් වරට ඉහල දැමුනේ, මහජන විරෝධතා හා වර්ජන මාලාවකින් පසුව 2010 නොවැම්බරයේ දී ය. ඒ ටාකා 3,000 (එක්සත් ජනපද ඩොලර් 38) දක්වාය.

ඒ අතරතුර ම, රානා ප්ලාසා ව්‍යසනය හමුවේ රටේ ඇඟලුම් කර්මාන්තයෙහි ප‍්‍රතිරූපය ගොඩ ගැනීමට රජය ද ලෝක ව්‍යාප්ත සිල්ලර වෙලඳ සමාගම් ද සාටෝප පියවරයන් ගනිමින් සිටිති. ප‍්‍රමුඛ අන්තර්ජාතික සමාගම් සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරන 40 ලක්ෂයක් පමන කම්කරුවෝ දුෂ්කර හා අනාරක්ෂිත තතු තුල සූරා කනු ලැබෙති. බංග්ලා දේශයේ සමස්ත අපනයනයන්ගෙන් සියයට 80ක් සමන්විත වන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ඇඟලුම් වලිනි.

රානා ප්ලාසාහි සුන්බුන් අතරින් දින 17කට පසු බේරා ගනු ලැබූ 19 හැවිරිදි රෙෂ්මා බෙගම්ට තරු පහේ හෝටලයක් වන ධකාහි වෙස්ටින් හෝටලයේ, ඇමරිකානු ඩොලර් 450ක මාසික වැටුපක් - එනම්, ඇඟලුම් කම්කරුවෙකුගේ වේතනය මෙන් දස ගුනයකට ද අධික වැටුපක් - සහිත රැකියාවක් ලබා දී ඇත්තේ මහජන සම්බන්ධතාව පිලිබඳ ගොරහැඩි ප‍්‍රයත්නයක් ලෙසය.

බි‍්‍රතාන්‍යයේ ජාත්‍යන්තර වර්ධනයන් පිලිබඳ රාජ්‍ය ඇමති ඇලන් ඩන්කන් පසුගිය සතියේ බංග්ලා දේශයේ සංචාරය කරමින්, තමන් විකුනනු ලබන භාන්ඩ තනන ආකාරය පිලිබඳ වගකීම් සහගත ලෙස කටයුතු කරන මෙන් ජාත්‍යන්තර සිල්ලර වෙලඳ සමාගම්වලට කැඳැවුම් කලේය. "මහත් අඩුපාඩු පවතී. ඒවා පවතින්නේ සේවක අයිතිවාසිකම්, සේවාවේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිලිබඳ තතු සහ ගොඩනැගිලි ඉදිකිරීම්වල ප‍්‍රමිතීන් නිර්නය කිරීම අවශ්‍ය තරම් වේගවත් නොවීම නිසා යැ”යි ඔහු පැවසීය.

කෙසේවෙතත්, ඩන්කන්ගේ අධිගාමික අරමුන වන්නේ බංග්ලා දේශය දිගටම බි‍්‍රතාන්‍යයේ සිල්ලර වෙලඳ දැවැන්තයන්ට ලාභ උපයා දෙන ලාභ ශ‍්‍රම වේදිකාවක් ලෙස පැවතීම සහතික කරනු වස් එම වෙලඳ යෝධයන්ගේ ප‍්‍රතිරූපය ආරක්ෂා කිරීමයි. ඇඟලුම් කම්කරුවන්ට ආරක්ෂන හා ශක්‍යතා පුහුනුවීම් සඳහා ඩොලර් මිලියන 28ක් ලබා දීමට බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතිඥා දී ඇත. එහෙත් මෙම මුදල, යම් හෙයකින් අවසානයේ ලබා දුන්නත්, ඇඟලුම් කම්හල්වල පවත්නා බොහෝ ආරක්ෂන ගැටලුවලට පිලියම් යෙදීමට ප‍්‍රමානවත් නොවනු ඇත.

බංග්ලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය විසින් මෑතක දී පවත්වන්නට යෙදුනු සමීක්ෂනයකින් හෙලි වූයේ ඇඟලුම් කම්හල් පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිලිවලින් සියයට 60ක පමන කඩා වැටීමේ අවදානම පවතින බවයි. අධ්‍යයනය පැවැත්වූ කන්ඩායම එම රටේ 3,000ක් වන ඇඟලූම් කම්හල් පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිිලි 600න් 100ක් පරීක්ෂාවට ලක් කලෝය. දෘශ්‍ය පරීක්ෂාව, පාංශු පරීක්ෂන හා ගොඩනැගිලිවල මුල් සැලසුම් අධ්‍යයනය කිරීම ඔවුන්ගේ පරීක්ෂාවට ඇතුලත් විය. බොහෝ අවස්ථාවන්හි දී කම්හල් ගොඩනැගිලි බවට පරිවර්තනය කොට තිබුනු නිවාස හා කාර්යාල ගොඩනැගිලි, කාර්මික අවශ්‍යතා සඳහා මුලූමනින් ම නුසුදුසු ඒවා විය.

කාර්මික ගොඩනැගිලිවල ව්‍යුහාත්මක සුරක්ෂිතභාවය වූ කලී ඇඟලුම් කම්කරුවන් මුහුන දෙන බියකරු කොන්දේසිවල එක් පැතිකඩක් පමනෙකි. 2005 වසරේ සිට මේ දක්වා ඇඟලුම් කම්කරුවන් 1,829කට වැඩි සංඛ්‍යාවක් ව්‍යසනයන්ගෙන් මරනයට පත් වී ඇත. පසුගිය නොවැම්බරයේ 112 දෙනෙකුට මරු කැඳවූ ටස්රීන් ෆැෂන් කම්හලේ ගින්න වැනි ගිනි ගැනීම්වලට ගොදුරු වූවෝ ද මීට ඇතුලත් වෙති. මේ කිසිදු අවස්ථාවක දී කිසිදු සේවාදායකයෙකුට චෝදනා එල්ල වී නැත.

ජූනි 6 වෙනිදා, ගසිපූර් කාර්මික ප‍්‍රදේශයේ ස්ටාර්ලයිට් ස්වීටර් කම්හලේ ලිඳකින් අපද්‍රව්‍ය මිශ‍්‍ර වූ ජලය පානය කිරීමෙන් පසු කම්කරුවෝ 600ක් රෝගී වූහ. උදරයේ දැවිල්ලෙන් හා වමනයෙන් පීඩා විඳින්නට වූ ඔවුන් උත්තර් මොඩර්න් වෛද්‍ය විද්‍යාලයීය රෝහලට යැවීමට සිදු විය. මෞති‍්‍රක රෝග දෙපාර්තමේන්තුවේ අධිපති වෛද්‍ය සබිර් අහමඩ් මාධ්‍ය අමතා ප‍්‍රකාශ කලේ ප‍්‍රතිකාර පිලිබඳ වියදම දැරීම ස්වාමියා විසින් ප‍්‍රතික්ෂේප කල හෙයින් වෛද්‍යවරුන්ගේ සුබසාධන අරමුදලෙන් එය ගෙවූ බවයි.

Share this article: