එඩ්වඩ් ස්නෝඩන් මහජන අධිකරනය හමුවේ

Edward Snowden in the court of public opinion

2013 ජූලි 12

ආසන්න වශයෙන් සති තුනක් තිස්සේ එඩ්වඩ් ස්නෝඩන් මොස්කව් ෂෙරෙමෙතේවෝ ගුවන් තොටුපලෙහි හිරවී සිටියි. දේශපාලන සංස්ථාපිතය හා එහි මිලිටරි/ඔත්තු සංවිධාන ඔහු අල්ලා ගැනීමට හා බලහත්කාරයෙන් ආපසු එක්සත් ජනපදයට පටවා යැවීමට උත්සාහ දැරීමත් සමග ඔහුගේ ජීවිතය බරපතල අනතුරකට මුහුනපා ඇත. එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන රහසිගත හා නීතිවිරෝධී ඔත්තු බැලීමේ වැඩසටහන හෙලිදරව් කිරීම හේතුවෙන් ඔබාමා පාලනාධිකාරිය මේ වන විටත් ඔත්තුසේවා පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

එක්සත් ජනපද දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයෙන් ස්නෝඩන්ට ලැබී ඇත්තේ පරිභවය, වෛරය හා නින්දාව යි. ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ දෙකේ ප්‍රධාන දේශපාලඥයින් විසින් ඔහු "ද්‍රෝහියෙකු” සේ හෙලා දකින අතර දක්ෂිනාංශික හා "වාම” යන දෙකොට්ඨාසයේ ම මාධ්‍ය ඔහු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසයි.

කෙසේ නමුත්, ස්නෝඩන්ට දැවන්ත මහජන සහයෝගයක් පවතී. ක්විනිපියක් විශ්වවිද්‍යාලයේ මෑත මත විමසුමකට අනුව, ඇමරිකානු ජනගහනයෙන් සියයට 55ක් ස්නෝඩන් "අකටයුතු හෙලිකරන්නෙකු” යයි සලකන අතර ඔහු "ද්‍රෝහියෙකු” යයි පැවසුවේ සියයට 35ක් පමනකි.

අවුරුදු 18-29 අතර සියයට 68ක් හා අවුරුදු 30-44 අතර සියයට 60ක් ඔහු "අකටයුතු හෙලිකරන්නෙකු” බව පවසන තරුනයන්ගේ මනෝ භාවය අතිශයින් ප්‍රබල ය. අඩු ආදායම් ලාභීන් ද ස්නෝඩන් "අකටයුතු හෙලිකරන්නෙකු” ලෙස සලකමින් ඔහුගේ ක්‍රියාව අගය කරති.

ආසන්න වශයෙන් සියලු ම කාන්ඩයන් තුල බහුතරයේ සහාය ස්නෝඩන් වෙත පලවීමත් සමග, මෙම මනෝගතිය "මුලුමනින් ම වාගේ ගමන් කරන්නේ ජාතියේ දේශපාලන සංස්ථාපිතයේ ඒකාබද්ධ දෘෂ්ටියට එරෙහිව” බව පිලිගැනීමට ක්විනිපියක් විශ්වවිද්‍යාලයේ මත විමසුම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ පීටර් බ්‍රවුන්ට බල කෙරුනි.

මෙම මත විමසුම ආන්ඩුවේ ඔත්තුබැලීමේ වැඩසටහන පිලිබඳ මහජන අවබෝධයේ නාටකාකාර වෙනසක් ද සටහන් කලේ ය. "ආන්ඩුවේ ත්‍රස්ත-විරෝධී ප්‍රතිපත්ති” පිලිබඳව ඔවුන් වඩාත් උනන්දු කරන්නේ කුමක් විසින්දැයි ඇසූ විට සියයට 45ක් පැවසුවේ ආන්ඩුව "සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රජා නිදහස අවහිර කිරීමේ ක්‍රියාදාමය තුල බොහෝ දුර ගොස් ඇත” යනුවෙනි. "රටේ ආරක්ෂාව සැලසීමේදී ආන්ඩුව අවශ්‍ය තරම් දුර ගොස් නැතැ යි” පැවසුවේ සියයට 40ක් පමනී. අවුරුදු තුනකට පෙර මෙම ප්‍රශ්නය ම ඇසූ විට ආන්ඩුවේ ඔත්තු බැලීමේ වැඩසටහන ඕනෑවට වඩා දුර ගොස් ඇතැ යි පැවසුවේ සියයට 25ක් පමනී.

එනම්, අවුරුදු තුනක අවකාශය තුල දී ඔත්තු බැලීම හා සිවිල් නිදහස පිලිබඳ මහජන ආකල්පය තුල ප්‍රතිශත ඒකක 20ක වෙනසක් සිදුව ඇත. අවරුදු 18- 29 අතර වයස් ඛාන්ඩයන්හි තරුනයින්ගෙන් සියයට 58ක් ඔත්තු බැලීමේ වැඩසටහන ඕනෑවට වඩා දුර ගොස් ඇතැ යි පැවසූ අතර එය අවශ්‍ය තරම් දුර නො ගිය බව පවසන්නේ සියයට 33ක් පමනී. ඒ අනුව තරුන ඇමරිකානුවන් අතර මනෝගතිය වඩාත් ප්‍රබලය.

ස්නෝඩන් කර ඇත්තේ ඉමහත් මහජන සේවාවක් බව තහවුරු කරන ඔහුගේ හෙලිදරව් කිරීම් මෙම වෙනස සදහා සැලකිය යුතු සාධකයක් වන බවට සැකයක් නො මැත.

සැබවින් ම, ස්නෝඩන් විසින් හෙලිදරව් කරන ලද ඔත්තු බැලීමේ වැඩසටහන් "ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්ති” නො ව එක්සත් ජනපදය හා සමස්ත ලෝකය පුරා මහජනතාවට එරෙහිව එල්ල කල දැවන්ත සංකීර්න ව්‍යුහයක සංරචකයන් ය.

පොදුවේ ප්‍රශ්න ඉදිරිපත් කල ආකාරයෙන්ම මෙම ප්‍රතිපල කැපී පෙනෙයි. පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රයට එල්ල කරන ප්‍රහාරය යුක්ති සහගත කරන "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ‍යේ” රාමුව පූර්ව සංකල්පනය කරමින් එසේ කල බැවින්ය. සැබවින්ම ස්නෝඩන් විසින් හෙලිදරව් කල ඔත්තු බැලීමේ වැඩසටහන් "ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්ති සමග කිසිදු සම්බන්ධයක් නැති, එක්සත් ජනපදයේ ද මුලු මහත් ලෝකයේ ද ජනතාවට එරෙහිව එල්ල කල දැවැන්ත යාන්ත්‍රනයක අංගෝපාංඟය.

මත විමසුම් සංඛ්‍යා අවධාරනය කරන්නේ මෙම වැඩසටහන් රහසිගතව තැබීමේ හේතුව යි. ආන්ඩුව කරමින් සිටින්නේ කුමක් දැ යි ජනතාවගෙන් වසං කිරීම හැර එයට "ජාතික ආරක්ෂාව” සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීමට දැවන්ත මහජන විරෝධයක් පවතින බව පාලක පන්තියේ නියෝජිතයෝ හොඳින් ම දනිති.

මහජන මතය හා ආන්ඩුවේ ප්‍රතිපත්තිය අතර විශාල අගාධය එක්සත් ජනපදයට සුවිශේෂ නැත. ස්නෝඩන්ට රැකවරනය දිය යුතු ද නැත් ද යන්න මත ඕනෑ ම රටක මත විමසුමක් පැවත් වුවහොත් ප්‍රතිඵලය ඊට වඩා වෙනස් වීමට ඉඩක් නැත. එහෙත් අකටයුතු හෙලිකරන්නා තමන් ග්‍රහලෝකය මත වීසා බලපත්‍ර නොමැතිව හිර වී සිටින බව වටහා ගනියි.

ආන්ඩුවකට පසු ආන්ඩුවක් රැකවරනය පැතූ ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත. විකී ලීක්ස් ඇතුලු ඔහුගේ ආධාරකරුවන් අඟවා ඇත්තේ ඔහුට රැකවරනය දෙනු ලබන බවට ඉඟි කර ඇති වෙනිසියුලාවට යාමට ඔහු උත්සාහ දරනු ඇති බව යි. කෙසේ නමුත් ඔහුට එය ඉටු කර ගත හැකි වුවත් ඔහුගේ ආරක්ෂාව අනතුරේ ය.

ලතින් ඇමරිකාව තුල සියලු ම ආන්ඩු, ඔවුන්ගේ ඇමරිකානු විරෝධී හපන්කම් පෙන්වීමට ස්නෝඩන් යොදා ගන්නා අතර ම, ස්නෝඩන් බාර ගන්නා ඕනෑ ම රටකට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජනය කර ඇති එක්සත් ජනපදය සමග ඔවුන්ගේ සම්බන්ධකම්වලට තරයේ ම කැපවී සිටිති. විශේෂයෙන් ම වෙනිසියුලාවේ නව ජනාධිපති නිකලස් මදූරෝ පැහදිලි කර ඇත්තේ වොෂින්ටනය සමග බැඳීම් වර්ධනය කිරීමට ඇති ඔහුගේ කැමත්ත යි.

එක්සත් ජනපදය තුල ස්නෝඩන්ට සහාය පල කරන මහජන මතය දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍යය තුල ප්‍රකාශනයක් සොයා ගන්නේ නැත. ස්නෝඩන් හෙලිදරව් කර ඇති දේවල වැදගත්කම වල දැමීමට හෝ පහල දැමීමට ඔවුන්ට හැකි හැම දේ ම කරන අතර ප්‍රධාන පුවත්පත් ඒවායේ පත්තර පිටු පුරවන්නේ කුනුහරප හා බොරුවලින් ය. ඩෙමොක්‍රටික් පක්ෂයේ "වාම” හවුල්කරුවන් සම්බන්ධයෙන් ගත් විට ඔවුන් මුලුමනින්ම කට පියාගෙන ඇත්තේ ඔබාමා පාලනාධිකාරිය තුල ඇති ඔවුන්ගේ ඇයි හොඳයිකම් වලින් දුරස්ථ නොවීමට වගබලා ගනිමිනි.

පුළුල් සමාජ හා දේශපාලන ක්‍රියාදාමයක් දිගහැරෙමින් තිබේ. දශකයකට අධික කාලයක් එක්සත් ජනපදය අවසානයක් නැති යුද්ධ මාලාවක, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රමානුකූලව විනාස කිරීමක සහ කම්කරු පන්තියෙන් සංගත හා මූල්‍ය ප්‍රභූවට ඓතිහාසිකව පෙර නො වූ විරූ ධන සම්පත් මාරු කිරීමක නියලී ඇත. ඊයේ කොටස් වෙලඳපොල නව උච්චයන්ට නැංගේ වෙලඳපොලට පොම්ප කෙරුනු අවසානයක් නැති මුදල් සැපයීම දින නියමයක් නොමැතිව ඉදිරියට යනු ඇති බවට ඉඟි කරමින් ෆෙඩරල් මහබැංකු සභාපති බෙන් බර්නාන්කේ නිකුත් කල ප්‍රකාශයන්ගේ ප්‍රතිඵල හැටියට ය.

මේ සියල්ල මහජන විඥානය මත බලපෑමක් ඇති කර යි. මිලියන ගනනාවක් මහජනතාවගේ අදහස අනුව මෙම රාජ්‍ය ආයතන තම විශ්වසනීයත්වය නැති කර ගෙන ඇත.

කෙසේ නමුත්, පොදු දැක්ම ක්‍රියාකාරී දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සමාජ පදනම වන්නේ ජනගහනයේ අතිවිශාල බහුතරය වන කම්කරු පන්තිය යි. කම්කරු පන්තියේ සෑම කොටසක් තුල ම ස්නෝඩන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනය වර්ධනය කල යුත්තේ පාලක පන්තියට, එහි දේශපාලන පක්ෂ දෙකට හා ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව අරගලයක් සමග, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධ කරමිනි.

ජෝශප් කිෂෝර්

Share this article: