අධ්‍යාපන කප්පාදුවට, පුද්ගලීකරනයට සහ මර්දනයට එරෙහිව දහස් ගනනක් සරසවි සිසුහු පා ගමනේ යෙදෙති

පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 ජූලි 6

පෙලපාලියට සම්බන්ධවූවන්ගෙන් කොටසක්

ජූලි 3 දා, කොලඹට රැස්වූ 8000 ක් පමන වන සරසවි සිසුහු මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට, පුද්ගලීකරනයට සහ සිසු මර්දනයට එරෙහිව විරෝධතා පා ගමනක යෙදුනාහ. ජයවර්ධනපුර සරසවියෙන් ඇරැඹුනු පා ගමන හයිලෙවල් පාර ඔස්සේ පුරහල වෙතට පැමින අවසානයේ වෝඞ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ රැුස්වීමකින් අවසන් විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් කැඳවා තිබූ මෙම විරෝධතා පා ගමනේ දී, "පන්ති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ලක්ව සිටින සිසුන්ගේ දඬුවම් ඉවත් කරනු!”, "සිසු මර්දනය නතර කරනු!”, "පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම නතර කරනු!”, ”අධ්‍යාපනයේ පුද්ගලීකරනය නතර කරනු!”, ”සරසවි වල ඌන පහසුකම් සපුරාලනු!” හා "මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කරනු!” යන මූලික ඉල්ලීම් ඇතුලත් සටන් පාඨ සිසුහු හඬ නැගූහ.

රැස්වීමට සම්බන්ධවූවන්ගෙන් කොටසක්

පෙලපාලිය අවසානයේ දී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සමග තම නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබා දෙන ලෙස කල් තබා දැනුම් දුන්න ද ඇමතිවරයා සාකච්ඡාවක් නොදුන් තතු යටතේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්‍ෂනිකා හිරිඹුරේගම එම සාකච්ඡුාව සඳහා ඉදිරිපත් වූ නමුදු එය ප‍්‍රතික්ෂේප කල බව රැස්වීමේ ප‍්‍රධාන කථිකයා වූ අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර පැවසීය.

දිවයිනේ විශ්ව විද්‍යාල 8 ක සිසු සිසුවියන් සහභාගි වූ මෙම පා ගමන වැලැක්වීම සඳහා රාජපක්ෂ ආන්ඩුව හැකි සෑම උත්සාහයක්ම පාහේ රැගෙන තිබුනි. පා ගමනට සහභාගි වුවහොත් දැනට දඬුවම් ලබා සිටින සිසුන්ට "වඩාත් දැඩි දඬුවම් විඳීමට සිදුවන” බවද සමහර විට එම සිසුන් විශ්ව විද්‍යාල වලින් නෙරපා දැමීම දක්වා එකී පියවරයන් ගමන් කල හැකි බවට ද උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සිසුන්ට අනතුරු ඇඟවූයේය. තම දරුවන් මෙම විරෝධතාවට සහභාගි නොකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි දිසානායක, කොලඹට සිසුන් ප‍්‍රවාහනය කරන බස්රථවල මාර්ග බල පත‍්‍ර අවලංගු කරන බවට ගර්ජනා කලේය. ඉන් නොනැවතුනු ඔහු, සිසුන් ප‍්‍රවාහනය කරන බස් රථ අතර මග නවතා ආපසු හරවා යවන බවට ද ගුගුලේය.

මේ අතර, විශ්ව විද්‍යාලවල උපකුලපති තනතුරු වලට පත් කර ගෙන තිබෙන රාජපක්ෂ ආන්ඩුවේ හෙංචයියන් විසින් සිසුන්ගේ හා දෙමාපියන්ගේ පුද්ගලික දුර කථන වලට ආමන්ත‍්‍රනය කරමින් සිසුන්ගේ සහභාගිත්වය වැලැක්වීමට කටයුතු කල බවට ද වාර්තාවේ.

මේ සියලු අවහිර කිරීම් හා තර්ජන නොතකා සිසුන් දහස් ගනනක් මෙම පා ගමනට සහභාගි වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුව විසින් අධ්‍යාපනයට එල්ල කරන දැවැන්ත ප‍්‍රහාරයටත් එහිම කොටසක් ලෙස සිදු කෙරෙන සිසු මර්දනයටත් එරෙහිව සිසුන් අතර වැඩෙන වෛරය සහ එයට එරෙහිව සටන් කිරීමට ඇති සූදානමයි.

අධ්‍යාපනය කපා හෙලා එය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, එම ප‍්‍රහාරයන්ට එරෙහිව තම අයිතීන් වෙනුවෙන් අරගලයට අවතීර්නව සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව පෙර නොවූවිරූ මර්දනයක් දියත්කර ඇත. පසුගිය මාස කිහිපය පුරා සරසවි ශිෂ්‍යයන් 300 කට අධික පිරිසකගේ පන්ති තහනම් කරමින් හා ශිෂ්‍ය සංගම් අහෝසි කරමින් සරසවි පාලනාධිකාරීන් උසි ගන්වා ඇති මර්දනයත් සමග ම පොලීසිය හා මැරයන් යොදවා ශිෂ්‍යයන්ට කෙරෙන පහරදීම් හා බිය වැද්දීම් ඉහල නංවා ඇත.

මෙම මර්දනයෙන් පෙන්නුම් කෙරෙන්නේ අධ්‍යාපන කප්පාදුවට, සරසවි වල කොන්දේසි පිරිහෙලීමට, විරක්ෂාව ඇතුලු අනාගත අනාරක්ෂිත භාවයට එරෙහිව සිසුන් හා තරුනයන් අතර වැඩෙන අරගලකාරිත්වය තලා දැමීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

පුද්ගලික විශ්ව විද්‍යාල සහ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීම වේගවත් කරමින් අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව අධ්‍යාපනය සඳහා වැය කෙරෙන මුදල් දැවැන්ත ලෙස කපා දමමින් රාජ්‍ය අධ්‍යාපනය පිරිහෙලමින් සිටී. 2012 වසරේ අධ්‍යාපනය සඳහා වෙන් කර තිබූ, දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1.8 ක් වූ සොච්චම් මුදල ද කප්පාදු කරමින් 2013 දී එම අගය සියයට 1.5 දක්වා පහත හෙලා ඇත. මෙම කප්පාදු සරසවි වල කොන්දේසි පිරිහෙලීමට සෘජුව බලපා ඇත.

රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන්නේ, 2008 න් ඇරඹුනු ගෝලීය මූල්‍ය අර්බුදය හා ඉන් ගැඹුරු කෙරෙන ලෝක අවපාතය මධ්‍යයේ ජාත්‍යන්තර බැංකු හා සංගත ලාභ ගරා ගැනීමට කම්කරුවන් දුගීන් හා තරුනයන්ගේ අයිතීන් මිරිකා හරිමින් ලෝක පරිමානව දියුනු නොදියුනු රටවල උසි ගන්වා ඇති ප‍්‍රහාරයකි. මෙය 2014 වසර අවසන් වන විට ශී‍්‍ර ලංකාවේ අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 5.2 දක්වා කපා හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝග ක‍්‍රියාවට නංවා ඇති රාජපක්ෂ, ඉන් බැට කන කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතරින් මතුවෙමින් පවත්නා සහ ඉදිරියේදී දැවැන්ත පරිමානයෙන් පැන නැගීමට නියමිත අරගල මැඩ පැවැත්වීම සඳහා පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර තබමින් සිටී.

තතු මෙසේ වුව ද විශ්වවිද්‍යාල සිසුන් අතර ප‍්‍රධාන සංවිධානය වන අවිශිබමයේ වැඩ පිලිවෙල වන්නේ මර්දනය හා පුද්ගලීකරනය නතර කිරීමට ඉල්ලා සිටීමට සිසු සටන්කාමිත්වය හරවා යැවීමයි.

සිසු උද්ඝෝෂනය නතර කිරීමට ආන්ඩුව විවිධ ලෙස තැත් කරත් එය අසාර්ථක වූ බව අවිශිබම කැඳවුම්කරු සංජීව බන්ඩාර ප‍්‍රකාශ කලේ ය. ඇමති සාකච්ඡාවක් නොදුන් තතු යටතේ සරසවි ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය සාකච්ඡුාවට ආවත් එය ප‍්‍රතික්ෂේප කල බව කී බන්ඩාර ”අපට ඕනෑ උසස් අධ්‍යාපනය භාර ඇමතිවරයා සමග ප‍්‍රශ්නය බේරා ගන්නයි” යනුවෙන් සඳහන් කලේ ය.

එහෙත් සිසු මර්දනයේ හා අධ්‍යාපනය පුද්ගලීකරනයේ ආන්ඩුවේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට මූලිකත්වය ගෙන සිටින ඇමතිවරයා සමග ප‍්‍රශ්නය බේරා ගන්නේ කෙසේ දැයි බන්ඩාරට පැහැදිලි කරන්නට හැකියාවක් තිබුනේ නැත.

බන්ඩාර මෙලෙස ද අවධාරනය කලේ ය: "මොනවා කලත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය නතර කරන්න ආන්ඩුවට හැකියාවක් නෑ”. පෙලපාලිය ශිෂ්‍ය ව්‍යාපාරයේ "හැරවුම් ලක්ෂයක්” ජනතාව වීදි බසින දිනය අත ලඟ බව සඳහන් කල ඔහු ”ජන ගඟ ගලන දාට බලමු මේ ප‍්‍රශ්නය බේරගන්න-එදාට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ ආන්ඩුව දන නමාවි.”

ශිෂ්‍ය සටන්කාමීත්වය උත්කර්ෂයට නැගූ මේ පූච්චානම් අතිශයින්ම අන්තරාය කාරී ය. අවිශිබම නායකයන් සිසුන් තල්ලු කරගෙන යන්නට තැත් කරන්නේ "ආන්ඩුව දන ගස්වා ගැනීමට හැකිය” යන මායා කාරී උගුලක් තුලට ය. ආන්ඩුව පෙලිස් රාජ්‍ය විධික‍්‍රම පාවිච්චි කරමින් මර්දනය උසිගන්වා ඇත්තේ ”දන ගැසීමට” නොව සිසු විරෝධය සුන් කර දැමීමට ය. වෘත්තීය සමිති හා ව්‍යාජ රැඩිකල්ලු ගාල් කර ගනිමින් කම්කරු පන්තියට එරෙහිව ද අමෝරා ඇත්තේ එම පොලිස් විධික‍්‍රමයන් ම ය.

ශිෂ්‍යයන් ආන්ඩුවේ ප‍්‍රහාර නතර කරන්නේ කෙසේ ද යන දේශපාලනික ප‍්‍රශ්නයට මුහුන දී සිටින අවස්ථාවක සංවිධානය කෙරුනු මෙම පා ගමන තුල අවිශිබමය බෙදා හල "නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙල ගැසෙමු!” යනුවෙන් සඳහන් කර ඇති එම පති‍්‍රකාව ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් වැඩපිලිවෙල උත්කර්ශයට නංවමින් "කම්කරුවෝ සටන් කලා. විශ‍්‍රාම වැටුප් පනත හකුල ගත්තා. ශිෂ්‍යයෝ සටන් කලා. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත තාවකාලිකව හකුල ගත්තා”යයි කියා සිටී. මෙය අමු කෙප්පයකි, සත්‍යය නම් මෙවැනි වැඩපිලිවෙලක සිසුන් සිරකිරීමේ වාසිය ලබා ගෙන රාජපක්ෂ ආන්ඩුව මෙම පනත්වල අරමුනු වෙනත් ආකාර වලින් කි‍්‍රයාවට දමමින් සිටින බවයි.

සිසුන්ට මර්දනයට හා පුද්ගලීකරනයට එරෙහිව සාර්ථකව සටන් කල හැක්කේ කම්කරු පන්තිය සමග එක්ව ධනේශ්වර ක‍්‍රමය හා පාලනය පෙරලා දැමීමට ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒමට ද අරගලය කිරීමෙනි. මෙය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්ව ලෝක සමාජවාදය සඳහා කලයුතු අරගලයේ කොටසකි.

ශිෂ්‍යයන් ශිෂ්‍ය දේශපාලනය නමින් කම්කරු පන්තියෙන් වෙන් කර තැබීමේ ඉතිහාසයක් අවිශිබමයට ද එය සම්බන්ධ වී සිටි ජනතා විමුක්ති පෙරමුනට ද තිබුනි. එමගින් අවිශිබමය සිසුන් මාරක වර්ගවාදී උද්ඝෝෂන තුලට ද ධනපති ආන්ඩුවට මුක්කුව දීමට ද තල්ලු කිරීමට කි‍්‍රයා කලේ ය. අද පෙරටුගමී සමාජවාදී පක්ෂය යටතේ එම "ශිෂ්‍ය දේශපාලනය” ආන්ඩුවට බලපෑම් දැමීමේ නමින් ධනපති ක‍්‍රමය තුල සිසුන් සිර කර තැබීමේ කි‍්‍රයා කලාපය අලුත් මුහුනුවරකින් ඉටු කරයි.

Share this article: