එක්සත් සමාජවාදී පක්ෂය මානව අයිතීන් රැකීමේ ඇමරිකානු බොරු උත්සුකය සමග පෙල ගැසෙයි

විලානි පීරිස් සහ රොහන්ත ද සිල්වා, 2013 ජූනි 21

ව්‍යාජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් ලංකාව සම්බන්ධයෙන් ගෙන යන මානව හිමිකම් උද්ඝෝෂනය සමග එක් ව ඇත. මෙමගින් එසප ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සිය ආක‍්‍රමනකාරි යුද වැඩ පිලිවෙලේ කොටසක් ලෙස මානව හිමිකම් යොදා ගැනීමේ වාම ආරක්ෂකයින් බවට පත් ව ඇති අතරම වොෂිංටනයේ මූලික දේශීය ඒජන්තයකු වන කුජීත ධනපති එක්සත් ජාතික පක්ෂය (එජාප) නගා සිටුවීමට ද වැඩ කරයි.

ලංකාවේ ක‍්‍රියාත්මක වන තවත් බොරු වාමාංශික කන්ඩායමක් වන නව සම සමාජ පක්ෂය (නසසප) සමග එක්ව එජාපය සමග සන්ධානයකින් එසප ගෙනයන දේශපාලන උද්ඝෝෂන වල මුල්තැනක් ගෙන ඇත්තේ උතුරු පලාත් සභා ඡන්දය පවත්වන ලෙස හා උගත් පාඩම් හා සංහිඳියාව පිලිබඳ කොමිසමේ (එල්.එල්.ආර්.සී) නිර්දේශ ක‍්‍රියාවට දමන ලෙස ආන්ඩුවට බල කිරීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්.එල්.ආර්.සීය පත් කලේ යුද්ධයේ අවසන් දවස්වල සිදු කල යුද අපරාධවලට සුදුහුනු ගා ආවරනය කිරීමේ අටියෙනි. එහි යෝජනා අතර වුයේ යුද සමයේ සමහර හමුදා සාමාජිකයන්ට එරෙහි චෝදනා විභාග කිරීම, සන්නද්ධ කල්ලි නිරායුධ කිරීම හා දෙමල ධනපති නායකයන්ට සුලු බලතල පැවරීමක් සිදු කිරීම ඇතුලු සීමිත කරුනුය. උතුරු පලාත් සභාව හා එල්.එල්.ආර්.සීය දෙමල ජාතියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ලබා දීමට ඇති කල ඒවා නොවේ.

උතුරු පලාත් සභාවේ ඡන්දය පැවැත්වීම හා එල්.එල්.ආර්.සීයේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම පසුගිය වසර දෙකේම වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් රැස්වීම් වලට ඉදිරිපත් කල යෝජනා අතර විය. වොෂිංටනය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල කලේ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන කැක්කුමකින් නොව රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා ය.

එල්ටීටීඊය පරාජය කිරීම සඳහා යුද්ධයට සහාය දීමෙන් පසුව, වොෂිංටනය කනස්සලු වී ඇත්තේ තම මූලෝපායික විරුද්ධවාදියෙකු ලෙස සලකන චීනය පැත්තට රාජපක්ෂ පාලනයේ නැඹුරුව ගැන ය. මෙම චෝදනා වල අරමුන කොලඹ ආන්ඩුව මත පීඩනය වැඩි කිරීම මගින් ලංකාව චීනයෙන් ඉවතට හැරවීම හා එක්සත් ජනපදයේ සැලසුම් වලට වඩාත් අනුගත කර ගැනීම යි.

එසපට අනුව ඇමරිකාවේ මේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමෙන් දෙමල පීඩිතයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලැබේ. මානව හිමිකම් කවුන්සිල රැස්වීම පැවැත්වීමට ආසන්නව තිබිය දී ඇමරිකානු යෝජනාවට පක්ෂපාතී වාර්තාවක් එසප රතු තරුව මාර්තු කලාපයේ පල කර තිබුනි. වාර්තාව උද්දාමයෙන් සඳහන් කර තිබුනේ එම රැස්වීම "රාජපක්ෂ රජයට තීරනාත්මක බලපෑමක් කරනු ඇත” යනුවෙනි. එම වාර්තාව "පසුගිය වසරේ මාර්තු මාසයේ පැවති සමුලුවේදී සම්මත කරන ලද යෝජනාවට අදාලව කිසිදු කාර්යක්ෂම පියවරක් ගැනීමට රාජපක්ෂ පාලනය අසමත්වීම” ගැන ද චෝදනා කලේය.

මේ ප‍්‍රකාශ වල තේරුම නම් තම අධිරාජ්‍යවාදී උවමනාකම් මත ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක‍්‍රමනය කලා වූ ද සිරියාවේ බෂාර් අල් අසාද් ආන්ඩුවට එරෙහි සෘජු මිලිටරි මැදිහත්වීමක් සූදානම් කරන්නා වූ ද ඇමරිකාව තුලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වනසන්නා වූ ද වොෂිංටනයේ අරමුන ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම බවයි.

විවෘතව ම ඇමරිකාව සමග පෙල ගැසීමෙන් තම වෙස් මුහුනු ගැලවෙන බව දන්නා එසපය වට රවුමකින් යයි. එසප ඉහත වාර්තාව සඳහන් කර ඇත්තේ "අවනීතිය රජ කරන වල්වැදුනු රටක්” ලෙස තහවුරු වී ඇති ලංකාවට සහාය දෙන්නේ "චීනය, රුසියාව, කසඛ්ස්ථානය වැනි ඒකාධිපති” රටවල් බවයි. වාර්තාව ඇමෙරිකාව ගැන වචනයක් වත් සඳහන් කර නැත්තේ අහම්බෙන් නොවේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන රටක් ලෙස ඔවුන් සලකන නිසාය.

ආර්ථික බලයක් ලෙස චීනයේ නැගී ඒම තමන්ට තර්ජනයක් ලෙස සලකන එක්සත් ජනපදය, එය වැලැක්වීම සඳහා එරටට එරෙහිව යුද්ධයක් සුදානම් කිරීම දක්වා යන වැටලීමක නිරත වී සිටී. ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග හරහා මැද පෙරදිග හා අප‍්‍රිකාවේ සිට චීනයට අමුද්‍ර‍්‍රව්‍ය හා ඉන්ධන ලබා ගැනීම අවහිර කිරීමට වොෂිංටනය ගනන් බලයි. ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ "ආසියාවට හැරීමේ” එල්ලය චීනයයි. එහි කොටසක් ලෙස, ඉන්දියානු සාගරයේ මූලෝපායාත්මකව වැදගත් තැනක පිහිටීම ලංකාව කෙරෙහි වොෂිංටනයේ උනන්දුව දැල්වීමට මූලික හේතුව යි.

එසප මෙවර මැයි දින තේමාව වූයේ, "ජාතික බලයක් සුරකින වමේ බලයක් සඳහා” යන්න ය. තමන් ගොඩනගන වමේ බලය "උතුර-දකුන එක් කරන එක්සත් අරගලයක් තුලින් ගොඩ නගා ගත යුතු සමාජවාදී වැඩ පිලිවෙලකින් යුතු එක්සත් සටන් පෙරමුනකි” යි රතු තරුව මැයි කලාපයේ එසප ලේකම් වන සිරිතුංග ජයසූරිය ලියු ලිපියක සඳහන් කර තිබුනි.

සමාජවාදය ගැන බොරු වචන හරඹය පට්ට කඩතුරාවකි. එසපය, පසුගිය දශක කිහිපය පුරා එක දිගටම වැඩ කර ඇත්තේ කම්කරු පන්තිය ධනපති පන්තියේ විවිධ කොටස්වලට යට කිරීමට ය. හිටපු අග විනිසුරු ශිරානි බන්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේ දී වෘත්තීය සමිති නිලධරය හා ව්‍යාජ වම්මුන් මැදිහත් වූ යේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව වැරහැලි මිත්‍යාවන් වැපිරීමත් එජාපය ට කම්කරුවන් හා තරුනයන් යට කිරීමත් සඳහා ය.

එසප, එජාපය සමග සන්ධාන ගතවී පෙරමුනු කීපයකින් ක‍්‍රියාත්මක වේ. ඉන් එක ඊනියා සටන් පෙරමුනක් නම් කර ඇත්තේ විපක්ෂයේ විරෝධය නමිනි.

විපක්ෂයේ විරෝධයේ මෑතම ක‍්‍රියාව වූයේ විදුලි බිල දැවැන්තව වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති කැඳවූ උද්ඝෝෂනයකට සහභාගී වීමයි. එසප හා නසසප කල එම මැදිහත්වීමෙන් ඍජුවම දායකත්වය සැපයුනේ එජාපය හා වෘත්තීය සමිති කම්කරු පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන බවට විශ්වාසනීයත්වයක් ඇති කිරීමට ය.

රතු තරුව මැයි කලාපයට අනුව විදුලිබිල ඉහල දැමීම "ආන්ඩුවේ දූෂනය, නාස්තිය, වංචාව හා වැරදි කලමනාකරනය හේතු කොට ගෙන විදුලි බල මන්ඩලය විශාල පාඩු ලබන ආයතනයක් බවට පත් ව” ඇති නිසා සිදු වන්නකි. එජාපය සමග ගෙනයන පෙල ගැසීමෙන් එසප අඟවන්නේ එය බලයට ආ විට මේ සියල්ල නැති කරනු ඇති බවයි. "දුෂනය, නාස්තිය, වංචාව හා වැරදි කලමනාකරනය” පෙන්නුම් කරන්නේ ධනපති ක‍්‍රමයේ කුනුවීමේ පැතිකඩවල් ය. ලංකාව තුල ද ඔඩු දුවා ඇති ලෝකය සිසාරා යන ධනපති අර්බුදය කම්කරුවන් මත පැටවීමට මේ ප‍්‍රහාර එල්ල වේ. එජාප ආන්ඩුවක් බලයට ආවිට ද ක‍්‍රියාත්මක කරනු ඇත්තේ මේ ප‍්‍රහාර ම ය. එසප එය වසන් කරයි.

එජාපය සමග පෙරමුනු ගැසීම ගැන නැගෙන විවේචනවලට පිලිතුරු ලෙස එසප නිකුත් කල ප‍්‍රකාශයක කිසිම විලිලජ්ජාවක් නැතුව අවධාරනය කර තිබුනේ "රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුව පරාජය කිරීම වෙනුවෙන් ඊට එරෙහිව මහමග සටන් පෙරමුනේදී හා විවිධ උද්ඝෝෂනයන්වල [එජාපය සමග] අපි එක්ව සටන් වැදුනෙමු. ඉදිරියටත් ආන්ඩු විරෝධී අරගලයේ දී එක්ව සටන් වැදීමට අපි නොපැකිලෙමු” යනුවෙනි.

ධනපති පක්ෂ සමග පෙලගැසීමට න්‍යායික කවරයක් සම්පාදනය කර ගැනීමේ අසාර්ථක තැතක යෙදෙමින් එහි සඳහන් කර ඇත්තේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීමට හා ආඥාදායක පාලකයින් පරාජය කිරීම සඳහා මාක්ස්වාදීන් විවිධ ධනපති බලවේග සමග සටන් පෙරමුනුවල එකට කටයුතු කල අවස්ථා ඉතිහාසය තුලින් දැක ගත හැකිය.”

එසේ කල "මාක්ස්වාදීන්” කවුරුන්දැයි එසප සඳහන් කර නැත්තේ එවැනි අය නැති නිසාය. ධනපති පක්ෂ සමග එක පෙරමුනේ "සටන් කිරීමේ නමින්” කම්කරුවන් ඒවාට ගැටගැසූ එසප බඳු අවස්ථාවාදීන් නම් එමටය. 1917 රුසියානු සමාජවාදී විප්ලවයට ලෙනින් සමග නායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි 1930 ගනන් වල එක්සත් පෙරමුනු උපාය වර්ධනය කලේ එමගින් අවස්ථාවාදීන්ගේ පක්ෂ වල හිරවී සිටින කම්කරුවන් බිඳ ගැනීමට ය. එය කිසිසේත්ම ධනපති පක්ෂ සමග පෙරමුනු ගැසීමක් නොවේ.

එජාපය සමග හවුල්වීම හැර වෙනත් විකල්පයක් කම්කරුවන්ට නැති බව තහවුරු කිරීමට එසප උක්ත ප‍්‍රකාශය මෙසේ කියා සිටී: "කම්කරු පන්ති ව්‍යාපාරය ඓතිහාසික වශයෙන් තමන්ට හිමි කාර්යභාරය ඉටු කිරීමට අසමත්ව සිටින අද වැනි අවධියක ජනතාවගේ අරගලය පෝෂනය කිරීම උදෙසා උපායික තලයේ ධනපති බලෙව්ග සමග පවා එකට සටන් වැදීමට අපට සිදුවනු ඇත.”

කම්කරු පන්තියේ "ඓතිහාසික අසමත්කම” හා ධනපති පන්තියේ ශක්‍යතාව පිලිබඳ මෙම ආස්ථානයෙන් ප‍්‍රකාශයට පත්ව ඇත්තේ එසප ඇතුලු ව්‍යාජ වම්මුන් කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී කාර්යභාරය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමයි.

එසප නායකයන් කම්කරු පන්තියේ විප්ලවවාදී ක‍්‍රියා කලාපය ප‍්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ දේශපාලන උත්පත්ති උරුමයකි. ජයසුරිය 1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) මහා පාවාදීමකින් ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගත් සභාගයට හා එහි ප‍්‍රහාර වලට සහය දෙමින් සිට එය විවේචනය කරන්නට පටන් ගත්තේ කම්කරුවන් එම ආන්ඩුවට විරුද්ධව ගමන් කරන්නට පටන්ගත් විටයි. ජයසූරිය සාමාජිකයෙකුව සිටි ලසසපය මෙම අවධියේ කම්කරු පන්තියේ නායක විප්ලවවාදී ක‍්‍රියා කලාපය ප‍්‍රතික්ෂේප කල පැබ්ලෝවාදය වැලඳ ගැනීමෙන් පරිහානිගත වූ පක්ෂයකි.

"ජනතාවගේ අරගලය පෝෂනය කිරීමේ” බේගල් දෙසාබමින් එජාපය සමග පෙලගැසී සිටින එසප ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමේ නාමයෙන් අධිරාජ්‍යවාදීන් දෙසට හැරී සිටිති. කම්කරු පන්තිය දේශපාලනිකව දුර්වල කිරීමට කල හැකි සියල්ල ඔවුන් කරන්නේ එය ධනපති පන්තියේ ඒ හෝ මේ කොටසට ගැට ගසමින් එහි පන්ති ස්වාධීනත්වය නැති කිරීමට හවුල් වීමෙනි.

එසප මාක්ස්වාදය විකෘති කරන්නේ ආරම්භයේ පටන් ම අධිරාජ්‍ය ගැති ධනපති සංවිධානයක් වූ එජාපය සමග පෙරමුනු ගැසීම යුක්ති යුක්ත කිරීමට ය. අධිරාජ්‍යවාදීන්ගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ලංකාව තුල ප‍්‍රථමයෙන් තහවුරු කලා වූ ද 1983 දෙමල ජාතියට එරෙහි වර්ගවාදී යුද්ධය ආරම්භ කලා වූ ද 1988-89 කාලයේදී 60,000ක් පමන ගම්බද තරුනයන් ඝාතනය කලා වූ ද එජාපය මහජනයා අතර බරපතල ලෙස අපකීර්තියට පත්ව සිටි පක්ෂයකි.

මහජන වෛරයට පාත‍්‍ර වී සිටි එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ, 1994-2005 කාලයේ ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංගගේ ඒකාධිපති වැඩ පිලිවෙලට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව හුවා දැක් වීමට ජයසුරියගේ එසපය ද ඉදිරිපත්විය. කුමාරතුංග 2001 ජූලි මාසයේ පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස කල් දැමු විට ඊට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමේ නමින් එජාප නායකත්වයෙන් උද්ඝෝෂන සංවිධානය කිරීමට එසප සම්බන්ධ විය. 2001 දෙසැම්බරයේ දී නැවත ආන්ඩුවක් පිහිටුවීමට එජාපයට පාර කැපීමට ජයසූරිය සම්මාදම් වූයේ එලෙසිනි. එතැන් පටන් ජයසුරිය හා එසප, ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවදීන්ගේ ආශීර්වාදය ලත් එජාප ආන්ඩුව හා එල්ටීටීඊය අතර "සාම ක‍්‍රියාවලියට” සහාය දුන්නේය.

අවශේෂ ව්‍යාජ වාම කන්ඩායම් මෙන්ම එසප වේගයෙන් දකුනට ගොස් සිටින්නේ ලෝක පරිමානව කම්කරු පන්තිය විප්ලවකාරී අරගලවලට එලඹෙන්නාවූත් එක්සත් ජනපදය තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට යුද සූදානම තර කරන්නා වූත් තියුනු දේශපාලන වාතාවරනයක ය. 2008 එක්සත් ජනපදයේ ප‍්‍රධාන මුල්‍ය ආයතන ගනනාවක අර්බුදයෙන් ඇරඹි ලෝක ධනවාදයේ නව කඩා වැටීම මධ්‍යයේ, ධනපති පාලක පන්තිය, ලංකාව වැනි නොදියුනු රටවල පමනක් නොව, එක්සත් ජනපදය හා යුරෝපය වැනි දියුනු ධනපති රටවල ද, සුභසාධන සේවා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ කරමින්, ඒකාධිපති පාලනයන් ඇටවීම දෙසට ගමන් කරයි. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව ඊජිප්තුවේ හා ටියුනීසියාවේ කම්කරුවන් 2011 දී අරගලයට පැමිනියේ ය.

පීඩිතයින්ගේ සහාය ලැබූ කම්කරු පන්තියේ අරගල මෙම රටවල දශක ගනනක් පැරනි ඒකාධිපතිත්වයන් පලවා හැරීමට සෑහුනි. නමුත් කම්කරු පන්තියේ පැවති නායකත්වයේ හා ඉදිරි දර්ශන පිලිබඳ අර්බුදය නිසා කම්කරු පන්තියට බලය ගත නොහැකි විය. එම රික්තය තුල මැදිහත් වූ ව්‍යාජ වම්මුන්, මුස්ලිම් සහෝදරත්වය වැනි ධනපති කන්ඩායම් බලයට ගෙන ඒමට වැඩ කලහ.

2011 විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ සටන් වලින් ද, ගිය වසරේ මුල තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ධීවරයන්ගේ සටන් වලින් ද, පෙන්නුම් කෙරුනේ, ව්‍යජ වම්මුන්ගෙන් හා වෘත්තීය සමිතිවලින් ද ස්වාධීනව ලංකාවේ ද කම්කරු හා පීඩිත ජනයා අරගලයට ඒමට දරන උත්සාහයයි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජනතාවගේ විරුද්ධත්වය අපේ‍්‍රල් මස විදුලි ගාස්තු වැඩි කිරීම නිසා තියුනු ලෙස වර්ධනය වී ඇත.

ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයට සටන් කිරීම මගින් කම්කරු පන්තිය තුල නායකත්වයේ අර්බුදය විසඳීම අද දින දැවෙන ප‍්‍රශ්නය යි. පසුගිය ශතවර්ෂය පුරා කම්කරු පන්තිය මුහුන දුන් මූලෝපායාත්මක අත්දැකීම්වල පාඩම එයයි. විප්ලවවාදීන්ගේ මූලික කර්තව්‍යය වන්නේ දේශපාලන කි‍්‍රයාමාර්ගය වර්ධනය කිරීම හරහා කම්කරු පන්තියේ විප්ලවවාදී විඤ්ඤානය වර්ධනය කිරීම ය.

එසප මීට එරෙහි ය. ඔවුන් නියෝජනය කරන්නේ වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ ඉහල ස්තරයන්ගේ අවශ්‍යතා මිස කම්කරු පන්තියේ අවශ්‍යතාව නො වේ. එජාප වටා ගාල් වී ඇති අනෙකුත් මධ්‍යමපන්තික කන්ඩායම්වලට මෙන්ම එසපයට ද අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ ප‍්‍රමුඛ කබාලය හා හිතවතුන් අතර ආර්ථික බලය සංකේන්ද්‍රනය කර ගැනීම නවතා තමන්ට ද වරප‍්‍රසාද ලැබෙන තත්වයක් නිර්මානය කර ගැනීමට ය. ඒ සඳහා අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන්ට සේවය කිරීමට තමන්ගේ ඇති සූදානම එසප, නසසප, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී ව්‍යාජ වාම සංවිධාන පෙන්නුම් කර ඇත.

එජාපය සමග පෙල ගැසී එසප ඉටුකරන සාපරාධී දේශපාලන ක‍්‍රියා කලාපය ප‍්‍රතික්ෂේප කර කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් එක්විය යුත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සමග ය. සසප ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව ක‍්‍රියා මාර්ගය මත පාදකව සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරයි. මෙම අරගලය සඳහා කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු පක්ෂ හා කන්ඩායම් වලින් ස්වාධීනව ගොවීන් ඇතුලු පීඩිත ජනතාවගේ නායකයා ලෙස පිහිටු වීමට ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත මත පිහිටා සටන් කරන්නේ සසපයි.

Share this article: