ශී‍්‍ර ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අහිමිවීම සහ ශ‍්‍රම සූරාකෑම ඉහල යයි

අප වාර්තාකරුවන් විසිනි , 2013 ජුනි 5

ගැඹුරු වන ලෝක ආර්ථික අවපාතයේ ප‍්‍රතිවිපාකයක් ලෙස ශී‍්‍ර ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බරපතල අර්බුදයකට ඇදවැටී ඇත. ධනපතියෝ මෙම අර්බුදය තුල ලාබය සඳහා වූ ධාවනයේ දී රැකියා හා සේවක ප‍්‍රතිලාබ කප්පාදුව, වැඩ වේගවත් කිරීම මෙන් ම අඩු වැටුප් සහිත වඩා ලාබ ශ‍්‍රමය ඇති රටවලට සිය ප‍්‍රාග්ධනය මාරු කිරීමට ද පටන් ගෙන ඇත්තාහ.

පසුගිය වසර කිහිපය තුල ශී‍්‍ර ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අහිමිවීම, සේවා කොන්දේසි වඩ වඩා නරක අතට හැරීම සහ ශ‍්‍රම සූරාකෑම තීව‍්‍ර වීම සිදු වී තිබේ. 2000 වසරේ දී 835ක් වූ ඇඟලුම් කම්හල් ගනන මේ වන විට 314 දක්වා අඩු වී ඇත. එහි ප‍්‍රතිපලයක් ලෙස 2008 දී 400,000කට ආසන්නව සිටි ඍජු සේවක සංඛ්‍යාව 283,000ක් දක්වා පහත වැටීමෙන් 100,000කට පමන රැකියා අහිමිවී තිබේ. ඊට අමතරව ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධිත අතුරු සේවාවන්හි නිරත වූ තවත් 500,000කගේ පමන ජීවන මාර්ගයන් ඇහිරී ඇති බව ද වාර්තාවෙයි.

ලෝක ආර්ථික අර්බුදය තීව‍්‍ර වීම හා යුරෝපා රටවල ජීඑස්පී සහනය සහ ඇමරිකාවේ කෝටා ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට අහිමිවීම නිසා ඇඟලුම් අපනයන ආදායම පහත වැටී ඇත. 2011 දී ඇ.ඩො. මිලියන 4,100ක් වූ ලංකාවේ ඇඟලුම් අපනයන අදායම්, 2012 දී 3,850 දක්වා පහත වැටී තිබේ.

අර්බුදයේ බර කම්කරුවන් මත පටවමින් ලාබ ඉහල දමා ගැනීම සඳහා ඇඟලුම් කර්මාන්තකරුවන් පියවර ගෙන ඇති ආකාරය සහ වැඩකරන්නට සිදු වී ඇති දුෂ්කර සේවා කොන්දේසි ගැන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

හයිඩ‍්‍රාමනී ඇඟලුම් කම්හලේ රැකියාවේ නියුතුව සිට අඩු වැටුප් හා දරුනු සූරාකෑමේ කොන්දේසි හේතුවෙන් සතියකට පෙර රැකියාවෙන් ඉවත් වී යම් හෝ සහනයක් බලාපොරොත්තුවෙන් ස්ටාර් ගාමන්ට්හි රැකියාවට ගොස් සිටින පොලොන්නරුවේ සිට පැමිනි 43 වියැති කම්කරු සේවිකාවක් මෙසේ පැවසුවාය:

"මම අවුරුද්දයි මාස 3ක් හයිඩ‍්‍රාමනි කම්හලේ වැඩ කලා. ඒකේ පොඩි ලමයිගේ ඇඳුම් මහන්නේ. කම්කරුවෝ 1,500ක් විතර ඉන්නවා. මගේ මූලික වැටුප 10,500 යි. ගිය මාසේ මුලු වැටුප රුපියල් 13,000 යි. ඒ වටිනාකම අපි එක දවසකින් නිෂ්පාදනය කරනවා. බැන වැදිලා මරවල අපෙන් වැඩ ගන්නේ. සමහර දවස්වලට සාමාන්‍ය වැඩමුරයට ඕෆ් වෙන්න බෑහැ. ඕඩර් එක සම්පූර්න වෙනකම් වැඩ කරලා පහුවදාට තමයි ඕෆ් වෙන්නේ. ෆැක්ටරියේ මානව සම්පත් එකට මේ අසීරු කොන්දේසි ගැන පැමිනිලි කලා. ඒකේ නිලධාරියා කියනවා අපිට කියන්න එපා කලමනාකාරීත්වයට කියන්න කියලා. ඒවා නමට තියෙන ආයතන. අපිට සහනයක් නැහැ.

"පැකින් අංශයට කියලා බඳවා ගෙන හෙල්පර් කෙනෙක්ගේ පඩිය ගෙව්වේ. පැකින් එකේ වැටුප රුපියල් 18,000ක් විතර වෙනවා. ලැබුන වැටුප තනිකඩ මට ජීවත් වෙන්නත් මදි. ලමයින් කීපදෙනෙක් ම ඒ විදිහට අඩු පඩියට පහල ශ්‍රේනිවලට දාලා හිටිය.” කටුනායක කලාපය තුල සැලකිය යුතු කම්හල් සංඛ්‍යාවක් වැසී ඇති බවත් සමහර ඒවායේ වැඩ පේලි (ලයින්) ගනන අඩු කර ඇති බවත් ඇය පැවසී ය.

"1990 ගනන්වල මම ඩුබායිවල ඇඟලූම් කම්හලක වැඩ කලා. රුපියල් 16,000ක් පඩිය ගත්තා. මට හොඳ පලපුරුද්දක් තියෙනවා. නමුත් දැන් 2013 වෙලත් මට ලැබෙන්නේ ඊටත් වඩා අඩු පඩියක්. පැමිනීමේ දීමනාව රුපියල් 500 යි. අනික් ෆැක්ටරිවල රුපියල් 1,000ක් වත් දෙනවා. රුපියල් 13,000ක් ගන්න පොලොන්නරුවේ ඉඳලා එන්න ඕන ද? ඊට කලින් මම කඳුරුවෙල හෝටලේක වැඩ කෙරුවා. මිනිස්සු දෙන ටිප් එකෙන් හරි රුපියල් 20,000කට වඩා හොයාගත්තා.”

වැඩ මුරයේදී කම්හලෙන් කෑම දෙවේලක් ලැබුනත් අනෙක් වේලට රුපියල් 5,000ක් පමනකුත් බෝඩින් ගාස්තුවලට 2,500කුත් වැය වන බව ඇය කීවාය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ගැන ඇය කතා කලේ කෝපයෙනි. විදුලි බිල වැඩි කිරීමත් සෙසු භාන්ඩ මිල ඉහල යාමත් නිසා කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට බරපතල පහරක් එල්ල වී ඇත.

"මේ ආන්ඩු නිසා තමයි අපි මෙහෙම දුක් විඳින්නේ. ෆැක්ටරිකාරයොයි, දේශපාලකයොයි තර වෙනවා. අපි මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා. එදා වේල කන්න කොච්චර හෙව්වත් මදි. රුපියල් පන්සීයක් අරං පොලට ගිහාම එනකොට සත පහක්වත් ඉතුරු නැහැ. ගත්තු දෙයකුත් නැහැ.”

ස්ටාර් ගාමන්ට්හි සේවය කරන කම්කරු තරුනියක් ප‍්‍රකාශ කල ආකාරයට හයිඩ‍්‍රාමනි කම්හලේ තත්වයට වඩා එහි තත්වය ද එතරම් වෙනසක් නැත. ඇය ගල්ගමුවේ පදිංචි තැනැත්තියකි.

"මම වෙලඳ කලාපයට වැඩට ආවේ 2002. ඒ දවස්වල මූලික වැටුප රුපියල් 7,250 යි. දැන් 13,000 යි. අතිකාල සමග 19,000ක් විතර ගන්නවා. උදේ 7 සිට සවස 4.30 දක්වා වැඩ මුරය. පැය එකහමාරක් අතිකාල කරන්න පුලුවන්. පැමිනීමේ දීමනාව 1,300 යි. දවස් දෙකක් ආවේ නැත්තන් දීමනාව කපනවා. මම ඉන්නේ වොෂින් අංශේ. ඒකෙ ටාගට් නැහැ. ඕඩර් අඩු නිසා ස්ටාර් ගාර්මන්ට් එකේ කොටසක් වැහිලා.

"බෝඩිමටයි, කෑමටයි, විදුලි බිලටයි වියදම ගියාම පඩිය ඉතුරු වෙන්නේ නැහැ. ගිය මාසේ විදුලි බිල 300 යි. මේ මාසේ තවත් වැඩිවෙයි. එපා වෙලා ඉන්නේ. කීයක් හරි ඉතුරු කර ගන්න කියලා හිතාගෙන අපි කලාපෙට එන්නේ. හැම දේම ඉහල යනවා. ගෙවල්වල කරන්න දේකුත් නැහැ.

"යුද්දෙ ඉවරවුන නිසා ඒකෙන් සහනයක් ලැබෙයි කියල හිතාගෙන ආන්ඩුවට ඡන්දෙ දුන්න. ගමේ මිනිස්සු හිතුවේ ගමට මිනී එන එක නතර වුනොත් හරි කියලා. නමුත් දැන් ජීවත් වෙන එක යුද්දේ තිබුනටත් වැඩිය අමාරුයි.”

එල්ටීටීඊයේ පුද්ගල ත‍්‍රස්ත ක‍්‍රියා නිසාත්, ධනපති ආන්ඩුව, ජනතා විමුක්ති පෙරමුන වැනි සිංහල වර්ගවාදී සංවිධාන හා ධනපති ජනමාධ්‍ය විසින් යුද්ධය සම්බන්ධයෙන් පතුරුවන ලද වාර්ගික ප‍්‍රචාරයන් නිසාත්, ව්‍යාකුල වූ හා ඒ නිසාම සහනයක් අපේක්ෂාවෙන් කම්කරු පන්තියේ හා දුගීන්ගේ ඇතැම් කොටස් රාජපක්ෂ ආන්ඩුවට ඡන්දය දුන්හ. එහෙත් නිවෙක කම්කරු තරුනියගේ ඉහත ප‍්‍රකාශයෙන් පැහැදිලිවන්නේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ආන්ඩුවෙන් එල්ල කෙරෙන ප‍්‍රහාර උග‍්‍රවන තතු තුල එකී මිත්‍යාවන් බිඳ වැටීමට පටන් ගෙන ඇති බවයි.

මෙම තරුනිය 2009 දෙසැම්බරයේ දී මැෂින් එකක කොන්ඬේ පැටලීම නිසා කම්හලේ රසායනාගාරය තුල දී බරපතල අනතුරකට ගොදුරු වී ඇත. අනතුරෙන් ඇගේ හිසේ සම මුලුමනින්ම ගැලවී යාම නිසා වසර දෙකක් රැකියාවෙන් ඉවත් වී සිටි ඇය යලි සේවයට පැමින ඇත්තේ 2011 දී ය.

"රෝහලේ ඉද්දි රුපියල් 50,000ක් විතර ෆැක්ටරියෙන් වියදම් කෙරුවා. නමුත් වන්දියක් දුන්නේ නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවට ගියාම කිව්වා නඩු දාන්න කියලා. දැන් නඩු කියනවා. ෆැක්ටරිය කියනවා මම හිස්වැසුම් දාගෙන හිටියේ නැති නිසා ලූ අනතුර වුනේ කියලා. නමුත් ඒ දවස්වල අපිට හිස් වැසුම් දීලා තිබුන්නේ නැහැ. නිදා ගනිද්දී ඇස් වහගන්නත් බැහැ. හම ඇකිලිලා තියෙන්නේ. ඔලුවට හම බද්ධ කලේ කකුලෙන් අරගෙන. ඒකේ කෙස් වැවෙන්නේ නැහැ කියලා දොස්තර මහත්තුරු කියනවා. මම ගන්න පඩියෙන් වැඩි කොටසක් වියදම් වෙන්නේ බෙහෙත්වලට.

"අපේ වැටුප් අවුරුද්දකට රුපියල් දාහක් විතර තමයි වැඩි වෙන්නේ. බඩු මිල ඒ වගේ සියගුනයකින් ඉහල යනවා. 21 දා තිබුන වර්ජනයට 2011 විශ‍්‍රාම වැටුප් පනතට විරුද්ධ වර්ජනයේදි වගේ වෙයි කියලා කලාපෙට හමුදාව දැම්මා.”

නිවෙක කම්හලක වැඩපරීක්ෂකවරයෙක් පවත්නා තරගය හමුවේ කම්කරුවන් සූරාකෑම වේගවත් කර ඇති ආකාරය පැහැදිලි කලේ ය: "අලුත් මෝස්තරයකට ඇඳුමක් පටන් ගන්න කලින් සම්මත විනාඩියක වටිනාකමට (standard minute value) (නිෂ්පාදන පලදායිත්වය ගනනය කිරීමේ ක‍්‍රම වේදයක්) අනුකූලව තමයි වැඩ කරන්නේ. ෆැක්ටරියේ කාර්ය අධ්‍යයන අංශය ඇඳුමේ එක් එක් කොටස සඳහා කාලය නියම කරලා ඒ ඒ කොටස සඳහා කම්කරුවන් වෙන් කරනවා. සතියක් ඇතුලත කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව සියයට සියයක් දක්වා ගෙන එන්න කියලා තමා ඉහල පරිපාලනයෙන් අපිට කියන්නෙ. ඒක කරන්න අමාරු වැඩක්. කම්කරුවන්ගෙන් එහෙම වැඩ ගන්න ගිහාම තමයි අපිට බැන වදින්න වෙන්නේ. හරිම අමානුෂික තත්වයකටයි අපිව ඇද දාලා තියෙන්නේ.”

නිලානි ගාමන්ට්හි වැඩ පරීක්ෂකවරයෙක් එහි පවතින අනාරක්ෂිත කොන්දේසි ගැන විස්තර කලේ ය:

"මගේ සේවා කාලය අවුරුදු 11ක් වෙනවා. ෆැක්ටරියේ බොයිලේරුව එදා ඉඳල ම අලුත්වැඩියා කරලා නැහැ. වැස්සට තෙමිලා ඉරිතලලා තියෙන බොයිලේරුව පිපිරිලා ලොකු විනාශයක් වෙයි කියලා බයෙන් අපි වැඩ කරන්නෙ. උඩ තට්ටුවත් ඉරි තලලා කඩා වැටෙන්න ආසන්න යි. පාලනාධිකාරියට පැමිනිලි කලත් තවම කිසිම පියවරක් ගත්තේ නැහැ.”

නිෂ්පාදන පේලි 5 සිට 4ට මෑත දී අඩු කර ඇති මෙම කම්හලේ පැයක නිෂ්පාදන ඉලක්කය රෙදි කොටස් 120 සිට 150 දක්වා වැඩි කර තිබේ. විදුලි බිල වැඩි වී වියදම වැඩිවීමෙන් ලාභ අඩු වන නිසා කම්හල පවත්වා ගෙන යෑම අපහසු බවත් රැකියා රැක ගන්න නම් වැඩියෙන් වැඩ කල යුතු යයි කම්හල්හිමියා සේවකයන්ට කියා ඇත. කලින් ගෙවූ අවුරුදු දීමනාව සියයට 20කින් කපා ඇත.

නෙක්ස්ට් කම්හලේ කම්කරුවෙක්: "අපේ ෆැක්ටරියේ මහන එක දැන් කොන්ත‍්‍රාත් දීලා තියෙන්නේ. මාසයකට අතිකාල පැය 60ක් තිබුනා දැන් 45 යි. කොලඹ කටුනායක අධිවේගී මාර්ගයේ දවසක වැටුප 1,100ක් නිසා පිරිමි ලමයි වැඩිදෙනෙක් ඒකේ වැඩට ගිහිල්ලා. තත්වය අමාරු නිසා සමහරු නෙක්ස්ට් එකෙන් අස්වුනා. මමත් රට යන්න හිතාගෙන ඉන්නේ.”

කම්හල් වැසීයාම, රැකියා අහිමිවීම හා අඩු වැටුප් ඇතුලු ඇඟලුම් කම්කරුවන්ගේ දුෂ්කර සේවා කොන්දේසි ගැන කම්කරුවන් ඉදිරියේ කිඹුල් කඳුලු හෙලන හා මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරන වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන් එම තත්වයට ඇද දැමීමට ආන්ඩුව සහ හාම්පුතුන් සමග ඒකාබද්ධව තමන් කටයුතු කල හා කරන ආකාරය වසන් කරති.

ඇඟලුම් කම්හල් 520ක් පමන වසා දමා, ඇතැම්විට වන්දියක් ගෙවීමකින් පවා තොරව, ලක්ෂයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමට හා අඩු වැටුප් සහිත බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවලට සිය ආයෝජන මාරු කිරීමට ධනපතියන්ට කොන්දේසි සකසා දුන්නේ වෘත්තීය සමිති, ආන්ඩුව හා කර්මාන්ත හිමියන් නියෝජනය කරන ජාතික කම්කරු උපදේශක සභාව විසිනි. රාජපක්ෂ ආන්ඩුව, කාලයක් අක‍්‍රීයව පැවති එය 2008 ලෝක අවපාතය පුපුරායාමෙන් ඉක්බිතිව යලි ක‍්‍රියාත්මක කලේ ය.

ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලූ නිවෙක හා ඇඟලුම් ක්ෂේත‍්‍රය තුල කි‍්‍රයාත්මක වෘත්තීය සමිති ඊට සම්බන්ධ වූහ. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හාම්පුතුන් විසින් ක‍්‍රියාවට දමන ලද කප්පාදු පියවරයන්ට එරෙහිව කිසිදු අරගලයක් ඔවුහු සංවිධානය නොකලා පමනක් නොව කම්හල් වසා දැමීමට එරෙහිව පැන නැගි අරගලයන් හුදකලා කොට පාවා දුන්හ.

කලින් කල රැකියාව අහිමි වී දැන් නෙක්ස්ට් ඇඟලූම් කම්හලේ වැඩ කරන කම්කරු තරුනියක් කල පහත සඳහන් ප‍්‍රකාශය වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් තුල වැඩෙන අවිශ්වාසය හා අප‍්‍රසාදය පිලිබිඹු කරයි. "මම 2005 ජනවාරි 08 දා ලෝස් ගාමන්ට් ආතනයේ රැකියාවට ආවා. මූලික වැටුප රුපියල් 6,000යි. 2006 දී කම්හල වැහුවා. රුපියල් 45,000ක සොච්චම් වන්දියක් ලැබුනා. කම්හල වහන්න ධනපතියට උදව් කලේ ඇන්ටන් මාකස්. 2011 මැයි විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලවලින් පස්සේ කම්කරුවන් බහුතරයක් වෘත්තීය සමිතිවලින් ඉවත් වුනා.”

Share this article: