සුචරිත ගම්ලත්: දේශපාලන අගැයීමක්

විලානි පීරිස් හා රොහාන්ත ද සිල්වා විසිනි, 2013 මැයි 17

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමීවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) හිටපු සාමාජිකයෙකු වූ සුචරිත ගම්ලත් මාර්තු 30 දා අභාවප‍්‍රාප්ත විය. ඔහු විකොස සාමාජිකයෙකුව සිටිය දී අපෝහකවාදී භෞතිකවාදී කලා විචාරය ලංකාව තුල තහවුරු කිරීම සඳහා ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය. ඔහුගේ මලගමට එකතු වූ දේශපාලන සංස්ථාපිතයේ, ව්‍යාජ වමේ හා බුද්ධි ජීවින්ගෙන් පෙන්නුම් කලේ පසුකාලීනව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භ‍්‍රෂ්ටයෙකු ලෙස ගම්ලත් ඉටු කල ක‍්‍රියා කලාපය යි.

මාක්ස්වාදී ක‍්‍රියාකාරකයෙකු හා බුද්ධිමතෙකු ලෙස ගම්ලත්ගේ වැඩ කටයුතු, ඔහු 1989 දී විකොසින් පලා යාමට තීන්දු කිරීමත්, ඔහු විප්ලවවාදී පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමත් සමග අවසන් වුනි. සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධරය මුහුන දුන් අර්බුදය හමුවේ ගොර්බචොව් විසින් දියත් කෙරුනු "ග්ලස්නොස්ට්" හා "පෙරෙස්ත්‍රොයිකා" ව්‍යාපාරය, නිලධරයේ වමට හැරීමක් ලෙස ගත් බුද්ධිමතුන් අතර පැතිර පැවති ව්‍යාකූලතාව ගම්ලත් වෙතින් ප‍්‍රකාශයකට පත් වන්නට පටන් ගැනිනි. 1989 පමන වන විට කම්කරු පන්තික සමාජවාදී ඉදිරි දර්ශනය කෙරෙහි විශ්වාසය බිඳගත් ගම්ලත් විකොසින් පලායාම දක්වා ගමන් කලේ ය.

ගම්ලත් විකොසට සම්බන්ධ වූයේ, ඔහු විසින් "සමාජවාදී" යැයි සැලකූ සභාග ආන්ඩුව විසින් 1971 දී 17,000 තරුනයන් ඝාතනය කිරීම උඩ ඇති වූ කම්පනය මධ්‍යයේ ය. පැබ්ලෝවාදී සංශෝධනවාදය මත පිහිටි ලංකා සම සමසමාජ පක්ෂය (ලසසප) මෙම මිනීමරු සභාගයේ සහකරුවන් ලෙස ක‍්‍රියා කිරීම, 1953 සිට හතරවන ජාත්‍යන්තරයේ එවකට ලේකම්ව සිටි මයිකල් පැබ්ලෝගේ සංශෝධනවාදයට එරෙහිව සටන් කිරීම සඳහා 1953 දී පිහිට වූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයෙහි ගැඹුරුතර නිරවද්‍යතාව තහවුරු කලේ ය.

1973 විකොසට බැඳීමට ප‍්‍රථමයෙන් සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ ද ප‍්‍රති-මාක්ස්වාදී ආස්ථානයන් දැරූ ගම්ලත් මාක්ස්වාදය කරා පැමිනියේ සුමට මාවතකින් නො වේ. "සාහිත්‍ය ලෝකය සහ සැබෑ ලෝකය" කෘතියේ ඔහු සඳහන් කර තිබුනේ, "කිසියම් කෘතියක පන්ති සටන නිරූපනය වේ නම් එයින් පීඩිත පන්තියේ විමුක්ති ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට රුකුලක් ලැබේ නම් එය හොඳ කෘතියකැයි ද නො එසේ නම් එය නරක කෘතියකැයි ද කීම මාක්ස්වාදී විචාරකයාගේ සිරිත යි... ඔහු කරන්නේ කලාත්මක විචාරයක් නො ව සදාචාරාත්මක විචාරයකැයි කිව හැකි ය," කියා ය (පි.199). මෙහි දී අප දකින්නේ, 1970 පිහිට වූ ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සභාග ආන්ඩුවට මුක්කු ගැසීම සඳහා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය පෙරට දැමූ "සමාජ සත්තා යථාර්ථවාදය" ගම්ලත් විසින් සම්භාව්‍ය මාක්ස්වාදී ආස්ථානය ලෙස ගැනීමකි.

කලාව සම්බන්ධයෙන් සම්භාව්‍ය මාක්ස්වාදි කෘති, විශේෂයෙන්ම ට්‍රොට්ස්කිගේ හා ප්ලෙකනොව්ගේ කෘති හැදෑරූ විකොස, කලා විචාරය වර්ධනය කිරීම සඳහා ද මේ අවධියේදී මැදිහත් විය. විකොස විවේචනයන් ඔහු මත ඇති කල බලපෑම පැහැදිලි කරමින්, ගම්ලත් පසුව සඳහන් කලේ, "වියානා කවය හරහා පිරිහී ගිය ජර්මානු විඤ්ඤානවාදයේ තව දුරටත් පිරිහුනු වත්මන් රූපය වන, භාෂා විශ්ලේෂී දර්ශනවාදයෙහි පිහිටි මගේ පොතේ [සාහිත්‍ය ලෝකය සහ සැබෑ ලෝකය] පදනම් බිඳ දමමින් ඔහු [ විකොස ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය] අඛන්ඩනීය ලෙස අපෝහක භෞතිකවාදය තහවුරු කලේ ය.... එම දර්ශනවාදය දෘෂ්‍යමානය මත පාදක, පවත්නා තත්වය සනාථ කරන පාලක පන්තියේ දෘෂ්ටිවාදයකැයි පෙන්වා දුනි." (කීර්ති බාලසූරිය: මතක සටහන්, කම්කරු මාවත, 1983 ජනවාරි 13).

මේ වන විට, 1971 ජනතා විමුක්ති පෙරමුනේ සන්නද්ධ නැගිටීමෙන් පසුව, සභාග ආන්ඩුව විසින් සිරගත කර සිටි දහස් ගනනක් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහාත්, මහජනතාවගේ ජීවන හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශ කිරීමටත් එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා දුෂ්කර හා තීරනාත්මක අරගලයක විකොස යෙදී සිටියේ ය. එම උද්ඝෝෂනයට දායක වූ ගම්ලත්, සභාග ආන්ඩුව විසින් ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය පිහිටුවා ගෙන, ධම්ම ජාගොඩ ගේ "මලවුන් නැගිටී," සයිමන් නවගත්තේගම ගේ "පුස්ලෝඩං" හා සමන් සුසිරි ගේ "වෙස්සන්තර" යන නාට්‍ය තහනම් කරමින් කලා නිදහස කප්පාදු කිරීම සඳහා ගෙන ගිය වැඩ පිලිවෙලට එරෙහිව උද්ඝෝෂනයේ දී මූලික ක‍්‍රියා කලාපයක් ඉටු කලේ ය.

1973 නොවැම්බර් 24 දා නිකුත් කල කතෘ මන්ඩල ප‍්‍රකාශයක් මගින්, විකොස මෙම දඩයමේ දේශපාලන ඇඟවීම් පැහැදිලි කලේ ය: "සභාග ආන්ඩුව තම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයක් අටවා ගෙන කලා කෘති වැනසීමටත් කලාකරුවන්ගේ නිර්මානාත්මක නිදහස අහෝසි කර දැමීමටත් අරඹා ඇති සටන, පීඩිත ජනයාගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම්වලටත් ඔවුන් මෙතක් දිනාගෙන ඇති සංස්කෘතික ජයග‍්‍රහනයන්ටත් විරුද්ධව ධනේශ්වර පන්තිය දියත් කර ඇති මහා සටනක එක් අංශයක් පමනක් වේ."

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, ඩබ්ලිව්. ඩී. අමරදේව, සුගතපාල ද සිල්වා, ධර්මසේන පතිරාජ හා තිලක් ජයරත්න ද ඇතුලත් බොහෝ ප‍්‍රමුඛ කලාකරුවෝ ප‍්‍රකාශ නිකුත් කිරීම මගින් මෙම අරගලයට දායක වූහ.

1983 දී, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දෙමල ජනයාට එරෙහිව යුද්ධයක් දියත් කල විට, එයට එරෙහිව සිංහල-දෙමල කම්කරු පන්තිය සමාජවාදී වැඩ පිලිවෙල උඩ ඒකාබද්ධ කර බලමුලුගැන්වීමට විකොස දියත් කල තියුනු උද්ඝෝෂනයට සහභාගිවූ ගම්ලත් යුද්ධයට එක සතයක් හෝ මිනිසෙකු නොදිය යුතු ය යන පක්ෂ උද්ඝෝෂනය කලාකරුවන් අතර ගෙන යාම සඳහා දායක විය. ප‍්‍රමුඛ ගායිකාවක් වන නන්දා මාලිනී, සිංහල බෞද්ධ වර්ගවාදයට අනුගත වෙමින් ගැයූ සමහර ගීතවලට එරෙහි ගම්ලත්ගේ විවේචන ද මෙහි කොටසකි.

පතිරාජගේ "පාර දිගේ," "බඹරු ඇවිත්" හා "සොල්දාදු උන්නැහේ"යන චිත‍්‍රපටි පිලිබඳව ගම්ලත් ලියූ විචාර මේ අතර වේ. "බඹරු ඇවිත්" චිත‍්‍රපටය විචාරය කරමින් ගම්ලත් මෙසේ ලියුවේ ය: "පතිරාජගේ නිර්මානය වර්තමාන සමාජය තුල පන්ති සටන නිරූපනය කරන්නකි. එහෙත් මේ පන්ති සටන වර්ධනය වන්නේ යට කී 'සමාජවාදී' විචාරකයන් අදහන සිහින ලොවක් තුල නො ව, අප වෙසන සැබෑ ලොව තුල ය. චිත‍්‍රපටය, සුලු නිෂ්පාදකයන්ගේ -මෙහි දී නම් ධීවර ගම්මානයක- පාරම්පරික සබඳතා චර්යාධර්ම හා ජීවන රටාව සුනු විසුනු කරමින් ප‍්‍රාග්ධනයේ ආධිපත්‍ය ආර්ථික, සදාචාර ආදී සෑම අංශයක ම තහවුරුවීමට කරන ම්ලේච්ඡ සටන විනිවිද යයි. උචිත පරිදි ම "බඹරු ඇවිත්"හි කුලු ගැන්වෙන්නේ ප‍්‍රාග්ධනයේ මේ ආක‍්‍රමනයේ අවියෝජනීය අංගයක් ලෙස රාජ්‍ය යන්ත‍්‍රය - පොලීසිය - ගම තුල සිය ආධිපත්‍ය පිහිටුවා ගැනීමෙන් ගැමියනුත් පොලීසියත් අතර හටගත් ගැටුමක ආරම්භයෙන් ය." ( කම්කරු මාවත, 1978 සැප්තැම්බර් 5 )

විකොස චිරකාලීන සාමාජිකාවකවූ පියසීලී විජේගුනසිංහ සමග එක්ව ගම්ලත් විවිධාකාර සාකච්ඡා, වාදවිවාද හා කලා සංවත්සර තුල මැදිහත් වෙමින් මාක්ස්වාදී විචාර සිද්ධාන්ත තහවුරු කල අතර, කලාකරුවෝ ඊට සාධනීය ලෙස ප‍්‍රතිචාර දැක්වූහ. මීට එරෙහිව, 1985 මැයි 12 දා ඉරිදා දිවයිනට දීර්ඝ ලිපියක් සැපයූ විඤ්ඤානවාදී විචාරකයෙකු හා සම්භාව්‍ය නාට්‍යකරුවෙකුවූ සරච්චන්ද්‍ර, භෞතිකවාදී සාහිත්‍ය විචාරය හෙලා දුටුවේ ය. ගම්ලත්, බාලසූරිය සමග එක්ව ඊට පිලිතුරු සපයමින්, 1985 දී කල්පනා ලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය කෘතිය සම්පාදනය කලේ ය. භෞතිකවාදී අපෝහකය, ආසියාතික නිෂ්පාදන ක‍්‍රමය හා සමාජ සම්බන්ධතා හා කලා න්‍යාය ගැන තිබූ තම දීප්තිමත් දැනුම බාලසූරිය ඊට එකතු කල අතර, දකුනු ආසියානු කලාව ගැන ගම්ලත්ට තිබූ දැනුම හා ඔහුගේ දක්ෂ ලේඛන කලාව ඊට දායක කර ගත්තේ ය.

කලාවේ ස්වභාවය විශ්ලේෂනය කරමින්, එම කෘතිය සඳහන් කලේ, "මිනිසාගේ නිර්මාන නිපුනතා හා සංවේදීතා ද ඔහුගේ කලාව හා විද්‍යාව ද යනාදී මේ සියල්ල ම නිපදවන ලද්දේ ඊශ්වරයෙකු වැනි සංකල්පයක් විසින් වත් කෙලින් ම සොබාදහම විසින් වත් නො ව මිනිසා විසින් ම ය. ධනේශ්වර සමාජ සම්බන්ධතා නමැති පාට කන්නාඩියෙන් බැලූ කල්හි දිස් වන පරිදි, මේ එකකුදු තනි තනි එකලා පුද්ගලයන්ගේ නිෂ්පාදිත වත් ඒ ඒ පුද්ගලයන්ට ගෙඩි පිටින් ම සැපයෙන දේ වත් නො වේ. ඒ සියල්ල සමාජගත වූ එනම් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුලු වීමට සිදු වූ පුද්ගලයන් විසින් සිය සමාජ නිෂ්පාදන ක‍්‍රියාකාරීත්වයේ දී අත්පත් කර ගන්නා ලද්දේ වෙයි." (කල්පනාලෝකවාදය, සහිත්‍ය-කලා හා මාක්ස්වාදය, පි.28)

නන්දා මාලීනී පිලිබඳව කල විවේචනය ගැන සරච්චන්ද්‍ර කල දෝෂාරෝපනය විවේචනය කරමින් එය සඳහන් කලේ, "ඉතා කෙලින් පිලිතුරු දියයුතු ප‍්‍රශ්නයක් දැන් අපි මහාචාර්යවරයාගෙන් අසමු: ද්‍රවිඩ ජාතියට අවමන් කිරීම සඳහා සිංහල වර්ගවාදයට ආයාචනා කරමින් ලියැවෙන කවියක් හෝ ගැයෙන ගීයක් තමාගේ ඒ "විශ්ව සාධාරන රුචිකත්වයට" කෙසේනම් ගැලපේ ද? මෙම ප‍්‍රශ්නය ඇසීම ම අවශ්‍ය වන්නේ මහ ජනතාව අතර රැව්පිලිරැව් දෙන කිතු ගොසින් යුත් ගායිකා නන්දා මාලිනී මෑතක දී ගැයූ ගීයක එවැනි ගැයීම් මාත‍්‍ර ගැබ් වූ බැවින් අපි ඒවා ගැන ඉදිරිපත් කල විවේචන ඇයට කල බලවත් අපහාසයකැයි මහාචාර්යවරයා නන් දොඩවන්නට වූ බැවිනුත් ඒ ගීතවල "ව්‍යාංග්‍යාර්ථ ද හෘදය පතුලට කිඳා බසිතැ" යි ද කිවූ බැවිනුත් ය." (එම, පි.117)

ගම්ලත් විකොස සාමාජිකයෙකුව සිටිය දී ඔහුගේ සියලු හැකියාවන් කැප කෙරුනේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාව, එනම් විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම වෙනුවෙනි. විකොස, ජාත්‍යන්තර ගීතය සිංහලෙන් රචනා කිරීමේ දී එහි පදමාලාව සිංහලෙන් ලියමින් ගම්ලත්, අමරදේව හා ධම්ම ජාගොඩ සමග එක්ව වැඩ කලේ ය. 1980 දී ජූලි වැඩ වර්ජනයට සම්බන්ධ වීම නිසා විශ්ව විද්‍යාල රැකියාවෙන් නෙරපාහල විට පක්ෂ උද්ඝෝෂනවලට සම්බන්ධවෙමින්, පක්ෂයේ ප‍්‍රකාශන කම්කරු පන්තිය හා නිවහන් ප‍්‍රදේශ තුල බෙදා හරිමින් සහ කම්කරුවන් හා තරුනයන් පක්ෂයට දිනා ගැනීමට වැඩ කරමින් ගම්ලත් වි‍කොස නුවර ශාඛාවේ මූලික ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය.

ලුඩ්විග් ෆොයාබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, සංස්කෘතිය හා සමාජවාදය ඇතුලු සම්භාව්‍ය මාක්ස්වාදී සාහිත්‍ය කෘති ගනනාවක්, ගම්ලත් විකොස වෙනුවෙන් සිංහලට පරිවර්තනය කලේ ය. 1988 දී අග භාගයේ දී කල හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ල වන ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ යන කෘතියේ පරිවර්තනය හා එහි හැඳින්වීම ලිවීම, ඔහු මාක්ස්වාදයට කල අවසන් ප‍්‍රතිපදාන ය යි.

බි‍්‍රතාන්‍යයේ අවස්ථාවාදී කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) භ‍්‍රෂ්ඨයන්ගෙන් 1985 දී භේදවීම, විකොසේ හා හජාජාක යේ තීරනාත්මක හැරීම් ලක්ෂ්‍යයක් විය. මුල් කාලයේ දී විප්ලවවාදී මූලධර්ම සඳහා කල සටන් තිබිය දී ම, කවිප ය මාක්ස්වාදය පාවා දෙමින් මැද පෙරදිග ජාතික ධනපති පන්තීන්ට තමන්ව විකුනා ගත්තේ ය. මෙම පාවාදීමට විරුද්ධ අරගලයට නායකත්වය අමෙරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ඩේවිඩ් නෝර්ත් විසින් සැපයූ අතර එය මාක්ස්වාදයේ පුනර්ජීවනයට තුඩු දුනි. වැනීමක් පෙන්නුම් කල නමුත් ගම්ලත් විකොස සමග එක්ව භේදයට සහාය දුන්නේ ය.

දෙමල ජාතික අරගලය මර්දනය කිරීම පිනිස ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පලාත්වලට ඉන්දියානු හමුදාව යෙදීම සඳහා ඇටවූ "ඉන්දු-ලංකා ගිවිසුම" 1987 ජූලි යේ දී කොලඹ හා නව දිල්ලි ආන්ඩු විසින් අත්සන් කිරීමත් සමගම ගම්ලත්ගේ පසුබැසීම ආරම්භ විය. ගිවිසුමට දකුනෙන් විරුද්ධ වූ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තියට එරෙහිව ෆැසිස්ට් ත‍්‍රස්තය දියත් කල අතර විකොස සාමාජිකයන් තිදෙනකු ඝාතනය කලේ ය. කලකිරුනු සුලු ධනපති පන්තියේ පීඩනය නියෝජනය කරමින් ගම්ලත් අසාරදර්ශනයේ කිඳා බැස්සේ ය.

එතැන් පටන් ගම්ලත් මාක්ස්වාදයෙන් කෙතරම් ඈතට ගමන් කර ඇතිදැයි පෙන්නුම් කරමින්, ව්‍යාජ වම්මුන්, සිංහල ස්වෝත්තමවාදීන් හා දක්ෂිනාංශික ධනපති දේශපාලඥයින්, සමාජවාදී සමානතා පක්ෂයට හා එහි පෙර ගමන්කරු වන විකොසට පහර දීම සඳහා ඔහුගේ මරනය හොඳ අවස්ථාවක් කර ගති. නමුත්, 60,000 ක් ගම්බද තරුනයින් ඝාතනය කල දක්ෂිනාංශික එජාප ආන්ඩුවේ වි.ජ.මු. ලොකුබන්ඩාර සමග වේදිකාගතවීම උඩ ගම්ලත් විකොසින් නෙරපා හලේය යන කරුන ගැන මොවුහු සියලු දෙනාම නිහඬයහ.

සෝවියට් සංගමය බිඳවිසුරුවීමෙන් ඉක්බිතිව සුලු ධනේශ්වරය අලලා ගනිමින් අධිරාජ්‍යවාදීන් මුදාහල සමාජවාදවිරෝධී උන්මාදය හමුවේ ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය හා කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතා ප‍්‍රතික්ෂේප කල ගම්ලත්, එල්ටීටීඊ (දෙමල ඊලම් විමුක්ති කොටි) සංවිධානයේ බෙදුම්වාදය වර්නනා කිරීමට පටන් ගති. 1990 දී යුද්ධය නැවත පටන් ගැනීමත් සමගම එල්ටීටීඊයේ වර්ගවාදී ස්වභාවය ඉස්මතුවූ අතර සිය දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරමින්, අහිංසක සිංහල ගම්වැසියන්ට එරෙහි ප‍්‍රහාර එල්ල කරමින්, මුස්ලිම් වැසියන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින් පලවාහරිමින් හා ශ‍්‍රී ලංකා මහ බැංකු සේවකයින්ට මාරාන්තික බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරමින් එය ක‍්‍රියා කලේ ය.

2004 ජූනියේ දී වව්නියාවට ගිය ගම්ලත්, එල්ටීටීඊ දේශපාලන අංශය විසින් සංවිධානය කල උත්සවයක දී ප‍්‍රධාන කතාව පැවත්වූ අතර එහි සංස්කෘතික අංශයේ නායකයා වන පුතුවායි රත්නතුරෙයි අතින් "රන් සාලුව" ලබා ගත්තේ ය. සමාජවාදය විවෘතව ම හෙලා දැක ඇති හා දක්ෂිනාංශික එජාප ය ද ඇතුලු ප‍්‍රතිගාමී ධනපති නායකයන් සමග දේශපාලන සන්ධාන ගැසීම සඳහා කුප‍්‍රකට, දැන් පැබ්ලෝවාදී ලේකම් මන්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව වන නව සම සමාජ පක්ෂයට මැතිවරන සහාය පිදීමටත් ගම්ලත් පෙරට ආවේ ය.

වර්ගවාදී යුද්ධය, ගම්බද ඝාතන හා විවෘත ආර්ථිකය හඳුන්වාදීම ගැන මූලික වගකීම දරන එජාපයේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ සමග පුද්ගලික සම්බන්ධතා වර්ධනය කර ගැනීම ගම්ලත්ගේ පිරිහීම නාටකාකාරව පෙන්නුම් කරයි. ඔහුගේ බුද්ධිමය දක්ෂතාව ගැන වර්නනා කිරීමෙන් පසුව වික‍්‍රමසිංහ, "සැබැවින්ම ලාංකේය සමාජයෙන් ගම්ලතුන්ට ලැබිය යුතු සහය නිසි අයුරෙන් නොලැබුනු බව මම පිලිගනිමි. අසූව දශකයේ දී පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය ද මේ වරදට හවුල් වී තිබේ. ඒ වෙනුවෙන් මම පුද්ගලිකව ද, ප‍්‍රසිද්ධියේ ද එතුමන් වෙත කනගාටුව පලකර ඇත්තෙමි," ලීවේ ය. (රාවය, 2013 අපේ‍්‍රල් 14)

මුල් කාලයේ දී ඔහු මාක්ස්වාදයට කල ප‍්‍රතිපදානය නොතකා හල ගම්ලත් මිය ගියේ කම්කරු පන්තියට හා මාක්ස්වාදයට හතුරු පරිහානිගත සුලුධනපතියකු ලෙස ය. ගම්ලත් අවසන් කාලයේ දී ඉතිරිව තිබූ තම සීමිත හැකියාවන් පාවිච්චි කලේ සමාජවාදී සමානතා පක්ෂයට හා එහි ඉදිරි දර්ශනයට විවිධාකාරයේ මඩ ප‍්‍රහාර එල්ල කිරීමට ය. ව්‍යාජ වම්මුන් පමනක් නො ව, ආන්ඩුවේ මාධ්‍ය පවා ගම්ලත් සම්බන්ධයෙන් ගෙන යන මේ වගවර්නනා පෙන්නුම් කරන්නේ ධනපති දේශපාලන සංස්ථාපිතය මෙම සමාජ ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා වූ ඔහුගේ සේවාව පිලිගෙන ඇති බව ය.

Share this article: