ජීවන තත්වයන් රැක ගැනීමේ අරගලයට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක්

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 මැයි 15

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග අනුව මහජනතාවගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාර වඩ වඩා තීව‍්‍ර කරයි. මෑත දී සියයට 60 ඉක්මවා විදුලි බිල වැඩි කිරීම මෙම ප‍්‍රහාර මාලාවේ රුදුරු ම එකකි.

කම්කරු පන්තියේ හා අවශේෂ පීඩිත ජනතාවගේ බරපතල විරුද්ධත්වයක් මතු වීමත්, පන්ති අරගල ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ සමාජවාදී දිශාවට වර්ධනය වීමට ඇති හැකියාව කෙරෙහිත් භීතියට පත්ව සිටින ආන්ඩුවට ගැත්තර වෘත්තීය සමිති හා ඊනියා වාමාංශික හා ව්‍යාජ රැඩිකල් සංවිධාන විරෝධතා ව්‍යාපාරයක් මගින් මහජන විරෝධය වාෂ්ප කර හැරීමට ක‍්‍රියාත්මක වේ. අද දින පැවැත්වෙන පෙලපාලියත්, ඉදිරි 21 දා දියත් කිරීමට නියමිත එක්දින වර්ජන ව්‍යාපාරයත් මේ ඉලක්කය සඳහා ය.

විදුලි බිල වැඩි කිරීම, සෙසු ප‍්‍රහාරවලින් හුදකලා කොට ගනිමින් කරන විරෝධතා මගින් කම්කරු පන්තිය දුර්මුඛ කොට ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැක ගැනීමේ ඔවුන්ගේ අරගල පූර්වභංග කිරීමේ දැනුවත් ප‍්‍රයත්නයක විරුද්ධ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), වර්ගවාදී යුද්ධයේ නායකයා වූ සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ වෘත්තීය සමිති ද ඊනියා සිවිල් සංවිධාන ද යෙදීගෙන සිටියි.

මහජන විරෝධතා සඳහා බලමුලු ගැන්වෙන ලෙසත්, විදුලි බිල වැඩි කිරීමට එරෙහි වර්ජනයට සහභාගි වන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. එම ඉල්ලීම කරන ගමන්ම සසප අවධාරනය කරන්නේ, මහජනතාවගේ මෙම අරගල ඉදිරියේ පවතින දේශපාලන අභියෝගය හා ඊට අවශ්‍ය විසඳුම් වැඩපිලිවෙල යි.

විරෝධතා ව්‍යාපාරය සංවිධානය කිරීම සඳහා දැනට පෙරමුනු දෙකක් ක‍්‍රියාවට බැස සිටී. විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ඉන් එක් පෙරමුනකි. එය සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ලංකා බැංකු සේවක සංගමය ඇතුලු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති හා ඊනියා බහුජන සංවිධානවල එකතුවකි. විදුලි බිල අඩු කරන තුරු "දැඩි පියවර කිහිපයක්" ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධව "ජනතාව දැනුවත්" කිරීම සඳහා මැයි 15 දා බොරැල්ලේ සිට කොටුව දුම්රියපොල දක්වා විරෝධතා පා ගමනක් පැවත්වෙන බවත් ඔවුන් නිවේදනය කර ඇත.

නසසප සහ එසප පෙල ගැසී සිටින්නේ මෙම සමිති පෙරමුන සමග ය. "බෙදී විසිරී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරය පන්ති සටන් ක‍්‍රියාකාරිත්වයක් සඳහා එක්සත් වීම සුභ නිමිත්තක්" යයි කම්කරු පන්තියට වල කැපීම සඳහා කැස කවන මේ සමිති පෙරමුනු ගැන ඔජ වඩවමින් එසප රතු තරුව පත‍්‍රයේ ලියා ඇත.

ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) විසින් මෙහෙයවෙන වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (වෘසසක) අනෙක් පෙරමුන යි. වෘත්තීය සමිතිවලට අමතරව එජාපය, දෙමල ජාතික සන්ධානය ඇතුලු දක්ෂිනාංශික ධනපති පක්ෂ ද එයට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද මැයි 21 දා සංකේත මහා වර්ජනයක් කැඳවුම් කරන බව ද වෘසසක ප‍්‍රකාශ කර ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිගාමී ආර්ථික-දේශපාලන පිලිවෙත්වලට මුලුමනින් ම සහය දෙන එහි කොටස්කාර පක්ෂ හතරක් වන ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (කොප) වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුන සහ මහජන එක්සත් පෙරමුනෙන් සැදුම්ලත් ඊනියා සමාජවාදී සංධානය ද මේ විරෝධතාවලට "සහයෝගය" දෙන බව ප‍්‍රකාශ කර ඇත.

එහෙත් සමිති පෙරමුනු අතර හා පෙරමුනු තුල දැනටමත් මතු කෙරී ඇති කට්ටිවාදී බෙදීම් පෙන්නුම් කරන්නේ, ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකට වල කැපීමට මොවුන් වැඩ බෙදාගෙන ක‍්‍රියා කරන ආකාරය යි. සූදානම්වීමට "කාලය මදි" නිසා විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයත් පසුගිය වසරේ දින සියයක් වර්ජනයේ යෙදීමෙන් "අතපසු වූ අධ්‍යාපනික කටයුතු සම්පූර්න කිරීමට" ඇති හෙයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් 21 දා වර්ජනයට සම්බන්ධ නොවන බව පවසා ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඉහත පෙරමුනු දෙකේම ප‍්‍රධාන පාර්ශවකරුවෙකි.

ඒ අතර, 21 දා ට පෙර විදුලි බිල පෙර පැවති මට්ටමට අඩු නොකලොත් "අනිවාර්යෙන්" ම යෝජිත වර්ජනය කරන බව දන්වා වෘසසක ජනාධිපතිට ලිපියක් යවා ඇත. මේ තර්ජනවල හිස් බව රාජපක්ෂ හොඳින්ම දන්නෙහිය. රාජපක්ෂට ලිපියක් යැවීමෙන් වෘසසක බලාපොරොත්තු වන්නේ කම්කරු පන්තිය නොමග යවන පොරොන්දුවක් ඔහුගේ කටින් පිටකර ගැනීමට ය. ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ අරගලයක් මේ මොහොතේ පුපුරා ගිය හොත් අවශේෂ දුගී ජන කන්ඩායම් ද අලලාගත් අරගලයක් බවට එය පරිවර්තනය වීමට ඇති හැකියාවත්, එවන් අරගලයක් වෘත්තීය සමිතිවල පාලනයෙන් පිට පැනීමේ හැකියාවත් ගැන ආන්ඩුව මෙන්ම සමිති නායකයෝ ද දනිති.

මේ පෙරමුනු මේ තරමට ම අසාමාන්‍ය ලෙස පිම්බෙන්නේ වැඩකරන ජනයාගේ ජීවන තත්වයන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට නම් නො වේ: ඒවා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර නිසා කම්කරු පන්තිය තුල කැකෑරෙන නොසන්සුන්කම සමනය කර ඔවුන්ගේ අරගලවලට ඇබ ගැසීමට කලින් පැවති පෙරමුනු තව දුරටත් ප‍්‍රමානවත් නොවන නිසා අටවන නව උගුල් ය. බොහෝ උදාහරන ඇතත්, දින සියයක් පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෑත අරගලය පාවා දුන්නේ, මේ පෙරමුනුවල මුදුනත අරක්ගෙන සිටින පක්ෂ සහ වෘත්තීය සමිතිවල පෙරමුනක් විසින් බව මතකයට නගා ගැනීම වුව, මේ පෙරමුනුවල සැබෑ එල්ලය තේරුම් ගැනීමට ප‍්‍රමානවත් වනු ඇත.

විදුලි බිල වැඩි කිරීම හුදකලා කාරනයක් නො වේ: එය 1930 ගනනන්වල මහා ආර්ථික අවපාතයෙන් පසුව දැන් ලෝක ධනවාදය මුහුන දී තිබෙන හා වඩ වඩා ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය තුල ගෝලීය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන් ක‍්‍රියාවට දැමීමේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග යටතේ ලෝකයේ හැම රටකම ධනපති පාලක පන්තීන් විසින් ක‍්‍රියාවට දමන ආර්ථික ප‍්‍රතිසංස්කරනවල එක් අංගයක් පමනි. වැටුප් කප්පාදුව, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ගොවි සහනාධාර ඇතුලු සමාජ සුබසාධන අහෝසි කිරීම සහ රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම ද එකී ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට ඇතුලත් ය. විදුලි බිල වැඩි කලේ රට තුල "ආර්ථික කඩා වැටීමක්" ඇතිවීම වලක්වා ගැනීමට යයි ජනාධිපති රාජපක්ෂ මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවක දී ප‍්‍රකාශ කලේ ය. ලෝක ආර්ථික අර්බුදයේ ප‍්‍රතිවිපාකයක් ලෙස ලංකාවේ ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමට ආන්ඩුව ක‍්‍රියාකරන බව ඉන් තවදුරටත් තහවුරු වෙයි.

මහා භාන්ඩාගාරයෙන් දෙන ප‍්‍රතිපාදන නතර කොට ලංකා විදුලිබල මංඩලය (ලංවිම) හා තෙල් සංස්ථාව ඒවායේ ආදායමෙන් යැපෙන මට්ටමට ගෙන ඒම, 2009 ජාමූඅ න් ඩොලර් බිලියන 2.6ක නයක් ගැනීමේ දී රාජාපක්ෂ ආන්ඩුව එකඟ වූ කොන්දේසිවලින් එකකි. පාඩු පියවා ගැනීම සඳහා ලංවිමට "ස්වයංක‍්‍රීය" මිල සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු යයි ජාමූඅ මෑත දී යලි වතාවක් ආන්ඩුවට අවධාරනය කලේ ය.

රාජ්‍ය ආයතනවල අලාබයට කම්කරු පන්තිය වග කිවයුතු නැත. එය ධනවාදයේ අර්බුදය හා ඊනියා ආර්ථික ප‍්‍රතිසංස්කරන විසින් නිර්මානය කල එකකි. නාස්තිය, දුෂනය හා දේශපාලකයන්ගේ හා ඉහල රාජ්‍ය නිලධරයේ ගසා කෑම් නිසා ඒ තත්වය තවත් උග‍්‍ර වී ඇත.

ජාමූඅ විසින් යෝජිත විනාශකාරී ආර්ථික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීම හැර, අර්බුදයෙන් ගොඩ ඒමේ වෙනත් මගක් රාජපක්ෂ ආන්ඩුවට නැත.

අර්බුදයේ බරට කම්කරු පන්තිය කරබදු කිරීමට වෘත්තීය සමිති මූලිකත්වය ගත යුතු බව, රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු වන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුනසේකර මැයි 8 දා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලට තර්ජනය කලේ ය. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්කෝ "දුරදිග යන ආර්ථික ප‍්‍රතිසංස්කරන"වලට තල්ලුව දිය යුතුය නැතිනම් රාජ්‍ය ආදායම දිගටම කඩා වැටීමේ "ප‍්‍රතිවිපාකවලට" ඒවා මුහුන දිය යුතු යයි එහි දී ඔහු කියා ඇත.

මෙය හුදෙක් වෘත්තීය සමිතිවලට නො ව, කම්කරු පන්තියට කල තර්ජනයකි. එක්කෝ ධනවාදී ආර්ථික අර්බුදයේ බරට කර ගසනු! නැත හොත් වැනසී යනු! යි ඔහු කම්කරු පන්තියට තර්ජනය කරයි.

විදුලි බිල ඇතුලු අත්‍යාවශ්‍ය සේවා හා භාන්ඩ මිල වැඩි කිරීම යුක්ති සහගත කිරීමට ආන්ඩුව ඉදිරිපත් කරන තවත් ප‍්‍රධාන තර්කයක් වන්නේ "සහනාධාර දීලා රට සංවර්ධනය කල නොහැකි" බව යි. සහනාධාර යනු පාලක පන්තියේ සාක්කුවෙන් දෙන දේවල් නො වේ; රටේ ජාතික ආදායම නිපදවන්නේ කම්කරු පන්තිය වන අතර රාජ්‍ය ආදායම ලෙස එකතු කර ගන්නා බදු මුදල් කම්කරු පන්තියත් ඇතුලුව මහජනතාවගෙන් අය කර ගන්නා මුදල් ය. මෙම මුදල්වලින් වැඩි පදාසයක් සාක්කුවේ දමා ගන්නේ පාලක ප‍්‍රභූව සහ රාජ්‍ය ඉහල නිලධරය විසිනි. එමෙන් ම පාලක පන්තිය කතා කරන්නේ, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ඉහල දැමීමක් ගැන නො වේ. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන සංවර්ධනයක් ගැන ය.

විදුලි බිල නැංවීම පිලිබඳ ප‍්‍රශ්නය ම ගෙන සැලකුවහොත්, විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස ඉහල නැංවීමට හේතුකාරක වී ඇති පෞද්ගලික විදුලි නිෂ්පාදකයන් දිනපතා ගරා ගන්නා දැවැන්ත ලාභ පොදිවලට අතපෙවීමට වත් ආන්ඩුව සූදානම් නැත. විදුලි ඒකකයක් රුපියල් 40ක් පමන වන ඉහල මිලකට විදුලි බල මන්ඩලයට විකුනන මේ පෞද්ගලික විදුලි නිෂ්පාදකයන් මහජනතාවට එරෙහි මාෆියාවක් ලෙස ක‍්‍රියාත්මක බව දැනටමත් ප‍්‍රසිද්ධ මතයකි. ආන්ඩුව ඔවුන්ගේ ලාභවලට අත නොතබා විදුලි බල මන්ඩලයේ අලාභය මුලුමනින් පටවා ඇත්තේ මහජනතාව මත ය.

රාජපක්ෂ ආන්ඩුව ගැන ඔවුන්ගේ ඊනියා විවේචනයන් තිබිය දී ම, එහි ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ පක්ෂවලට, ව්‍යාජ වම්මුන්ට හා වෘත්තීය සමිතිවලට මූලික මතභේදයක් හෝ විකල්ප ආර්ථික දේශපාලන පිලිවෙතක් නැත. මොවුන් සියලු දෙනාගේම පොදු යෝජනාව වන්නේ නාස්තිය, දූෂනය නැති කොට මනා ආර්ථික කලමනාකරනයක් ඇති කල යුතු බව ය.

රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන්නේ, 2002 එජාප ආන්ඩුව ඉදිරිපත් කල "යලි පුබුදමු ශ‍්‍රී ලංකා" වැඩ පිලිවෙලේ ම දිගුවකි. ජවිපෙ රාජපක්ෂගේ "මහින්ද චින්තන" වැඩපිලිවෙලට සහය දී ඔහු බලයට පත් කලේ ය.

ජවිපෙට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඇතුලු වෘසසකයේ ප‍්‍රධාන සමිති 7ක්, විදුලි බිල අඩු කිරීමේ ක‍්‍රම සම්බන්ධව, 2013 අපේ‍්‍රල් 28 දාතමින් මහජන උපයෝගිතා කොමිසම වෙත යවා ඇති යෝජනා සමස්ත වෘත්තීය සමිතිවල නිලධරයේම බංකොලොත් හා ප‍්‍රතිගාමී ජාතිකවාදය හෙලිදරව් කරන මනා නිදසුනකි. විකල්ප විදුලි ජනන මාධ්‍යයන් සහ වඩා කාර්යක්ෂම බෙදා හැරීමේ සහ කලමනාකරනය ගැන දක්වා ඇති අල්පතාවය ගැන ආන්ඩුවට චෝදනා කරන ඔව්හු, රටේ බලශක්ති නිෂ්පාදනයත් පරිභෝජනයත් අතර "කාර්යක්ෂම හා ලාභදායි සහසම්බන්ධයක්" තිබිය යුතු බව පිලි ගන්නා බව කියති. ඒ අනුව කාර්යක්ෂම සහ ලාභදායි ලෙස විදුලිය ජනනය කිරීමේ ජාතික සැලැස්මක් ඉදිරි මාස තුන ඇතුලත වෘත්තීය සමිති සහ සාමාන්‍ය පාරිභෝගිකයා අතර සාකච්ඡාවට ඉදිරිපත් කරන ලෙස ද ඔව්හු ඉල්ලති.

වෘත්තීය සමිතිවල මේ යෝජනාව කෙලින් ම සමපාත වන්නේ, ජාමූඅ නියෝග අනුව ආන්ඩුව දැන් ක‍්‍රියාවට දමමින් සිටින ලංවිම කාර්යක්ෂම කිරීමේ සහ ලාභදායි කිරීමේ වැඩ පිලිවෙල සමග ය.

කම්කරු පන්තිය මේ ප‍්‍රතිගාමී ජාතිකවාදී පිලිවෙත් ප‍්‍රතික්ෂේප කල යුතු ය. අලාභය, අකාර්යක්ෂමතාව හා අරාජකත්වය ලාබය මත පදනම් වූ අර්බුදගත ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමයේ ප‍්‍රතිවිපාකයකි. ඉහල දැමූ විදුලි බිල ඇතුලු ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රහාරයන් පරාජය කර, කම්කරු පන්තියේ ද දුගී ජනතාවගේ ද අයිතීන් ආරක්ෂා කර ගත හැකි වන්නේ, අතලොස්සකගේ ලාබය සඳහා පවතින ධනවාදී නිෂ්පාදන ක‍්‍රමය අහෝසි කොට සමාජයේ බහුතර ජනයාගේ උවමනාවන්ට අනුකූලව සැලසුම්ගත නිෂ්පාදන ක‍්‍රමයක් මගින් පමනි.

එය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලය සමග බැඳී ඇත. ලංකාවේ දී, එය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අත්ගෙඩියක් ලෙස ක‍්‍රියා කරන රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. එනම්, රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රමුඛ ධනපති පන්ති පාලනය අහෝසි කොට සමාජවාදී වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගම්බද දුගීන්, තරුනයින් හා ශිෂ්‍යයින් පෙලගැසී සටන් කල යුතු ය. ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම කම්කරු පන්තියේ අද දවසේ කර්තව්‍යය බවට පත්ව තිබේ. එවන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ධනපති හා ව්‍යාජ වාම පක්ෂත් වෘත්තීය සමිතිවලිනුත් බිඳී වෙන්වී ගනිමින්, වැඩපොලවල් තුල හා නිවහන් ප‍්‍රදේශවල ගොඩනගාගන්නා ක‍්‍රියාකාරී කමිටු හරහා කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතු ය.

මෙම ඉදිරිදර්ශනය මත කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් තහවුරු කිරීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. සසප වැඩපිලිවෙල හදාරමින් එය හා ඒකාබද්ධව කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමට එක්වන ලෙස කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: