චීනයේ ගුවන් ආරක්ෂක කලාපය පිලිබඳ ගැටුම් පැතිර යයි

Tensions escalate over Chinese air defence zone

ජෝන් චෑන් විසිනි , 2013 නොවැම්බර් 29

චීනයේ නවතම "ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය (ගුආහක)” ලෙස නම්කර ඇති ප‍්‍රදේශයට ඉහලින් 28දා ජපන් හා දකුනු කොරියානු මිලිටරි ප‍්‍රහාරක යානාවක් පියාසර කරවීමෙන් පසුව නැගෙනහිර චීන මුහුදු කලාපයේ ගැටුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් තිබේ. එක්සත් ජනපද පාලනාධිකාරය මූලිකත්වය ගැනීමෙන් පසුව, ජපන් හා දකුනු කොරියානු ආන්ඩු ද, තම ගුවන් යානය, පියාසර සැලසුම්, සිය ජාතිකත්වය ප‍්‍රකාශ කිරීම හා ගුවන් විදුලි සම්බන්ධතා පවත්වාගැනීම වැනි චීනයේ උපදෙස් පිලි නොගන්නා බව ප‍්‍රකාශ කලහ.

පසුගිය සති අන්තයේ ප‍්‍රකෝපකාරීලෙස ගුආහක ප‍්‍රකාශයට පත්කිරීම නිසා චීනය, එක්සත් ජනපදයේ හා එහි අනුචර රාජ්‍යයන්ගෙන් නොකඩවා එල්ල වන අභියෝගයන්ට මුහුනපා සිටියි. චීනයේ උපදෙස් නොතකා හරිමින් 26දා එජ, බී-52 බෝම්බ හෙලන යානා දෙකක් සිය ගුවාම් කඳවුරේ සිට කලාපය තුලට පිටත්කර හැරියේය. එජ ආරක්ෂක ලේකම් චක් හේගල්, බීජිනය සිය ගුආහක තුලට ඇතුලත්කරගෙන තිබෙන මතභේදයට ලක්ව ඇති සෙන්කාකු/ඩයේයු දිවයින් පිලිබඳව චීනය සමග අතිවන කුමන ගැටුමකදී හෝ එජ ජපානයට සහාය දෙන බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කලේය.

ගුආහක ක‍්‍රියාත්මක කිරීමට අසමත්වීම ගැන එල්ල වන ජාතිකවාදී විවේචනයන් හමුවේ චීන ආන්ඩුව, ගුවන් කලාපයේ මුර සංචාරය සඳහා නවීන සූ-30 හා ජෙ-11 ප‍්‍රහාරක ජෙට් ගුවන් යානා හා පෙර අනතුරු ඇඟවීමේ ගුවන් යානා ගනනාවක් පිටත් කලේය. චීන ගුවන් හමුදා නිලධාරියෙකු අවධාරනය කලේ, එය "ජාත්‍යන්තරව පොදුවේ පිලිගත් ක‍්‍රමයට අනුකූල වන ආරක්ෂක පියවරක්” බවයි.

චීන ප‍්‍රහාරක යානා ජපන් හා දකුනු කොරියානු ගුවන් යානයට අභියෝග කරන ආකාරයට මෙහෙයවා නැති වුවත්, තත්වය පාලනයෙන් පිට පැනිය හැකිය. අර්බුදයට සම්බන්ධ සියලූ ආන්ඩු, තම තමන්ගේ රටවල් තුලම පැනනැගී ඇති තියුනු වන සමාජ නොසංසුන්තා පීලි පැන්නවීමේ උපායන් ලෙස ජාතිකවාදී මනෝගතීන් උසිගැන්වීමේ යෙදී සිටිති. කිසිදු පාර්ශවයකට පසුබැසීමට ඉඩක් ඉතිරිව නැති, මෙවන් උනුසුම් වාතාවරනයක් තුල වැරදි ගනන් බැලීමක්, ජපන්, එජ හෝ දකුනු කොරියානු යුද ගුවන් යානා සමග චීන ප‍්‍රහාරක යානා පැටලෙන ගුවන් ගැටුමක් බවට ක්ෂනිකව පෙරලී යා හැකිය.

සෑම පාර්ශවයක්ම දැඩි පිලිවෙතක් අනුගමනය කරයි. චීනයේදී සුයාන් යනුවෙන් හඳුන්වන හා චීනය ද හිමිකම් කියන ජලයෙන් යටවූ ලියෝඩෝ ගල් පර ප‍්‍රදේශයට ඉහලින් "පුරුදු පරිදි” යොදවන සිය නිරීක්ෂන මිලිටරි යානයක් යවා ඇති බව දකුනු කොරියාව පවසයි. දකො සහකාර ආරක්ෂක ඇමති බැයික් සියුන් ජූ, කලාපය පිලිබඳව නැවත සලකා බලන ලෙස චීනයෙන් ඉල්ලා සිටි අතර, 28දා චීන මිලිටරියේ නිලධාරීහු එය ප‍්‍රතික්ෂේප කලහ.

සිය රට යලි මිලිටරී කරනයට කැපව සිටින ජපන් අගමැති ෂින්සෝ අබේ, තම පිලිවෙත ඉදිරියට ගෙන යාම සඳහා මෙය හොඳ අවස්ථාවක් ලෙස සලකයි. ප‍්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඬේ සුගා 28දා, ජපන් ගුවන් යානා "පවතින තත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීමේ ඒක පාර්ශවීය චීන උත්සාහයට එරෙහිව අපගේ භූමි ප‍්‍රදේශ ආරක්ෂා කිරීමට දැඩි අධිෂ්ඨානයකින් යුක්තව නිරීක්ෂන/මුර සංචාර අඛන්ඩව පවත්වාගෙන යනු ඇතැයි” පැවසීය.

චීනය ගුවන් ආරක්ෂක කලාපය ඉවත් කල යුතු බව කියා සිටින යෝජනාවක් පාලක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය විසින් සම්මත කරන ලදී. යෝජනාවෙන්, චීනයේ තීරනය ඒක පාර්ශවික පියවරක් හා බීජිනයේ "අසාධාරන ව්‍යාප්තවාදයේ” ප‍්‍රකාශනයක් බව කියා සිටියි. ආන්ඩුවේ නියෝග මත, කලාපය හරහා පියාසර කරන ජපන් ගුවන් යානා, චීන බලධාරීන්ට සිය පියාසර සැලසුම් ඉදිරිපත් නොකරයි. බීජිනය වෙත සිය පියාසර සැලසුම් දැනුම් දිය යුතු බවක් වොෂින්ටනය එජ ගුවන් සමාගම් වලට කියා නැත. ඒ වෙනුවට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක ජෙන් ප්සාකි, නැගෙනහිර චීන මුහුදු කලාපය පසුකර යන ඇමරිකානු ගුවන් යානා වල ආරක්ෂාව පිලිබඳව 28දා අනතුරු අඟවීමක් කර ඇත.

මාධ්‍ය වෙත කරුනු දක්වමින් 28දා චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශක යැං යූජුං, ජපානයේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින්, "ඔවුන්ට එය ඉවත් කිරීමට අවශ්‍ය නම්, ජපානය සිය ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය පලමුවෙන් ඉවත් කරගත යුතු යයි අපි කියා සිටිමු” යනුවෙන් පැවසීය. මතභේදාත්මක ඩයෝයු/සෙන්කාකු දිවයින් වටා ඇති ජපන් ගුආහක තුලට ඇතුලුවන චීන නිරීක්ෂන යාත‍්‍රා හා ගුවන් යානාවන්ට බලපෑම් කරන්නේ යයි ඔහු ජපානය විවේචනය කලේය.

ඒ අතරම යුන්ග්, තරමක් ආරක්ෂාකාරී ලෙස, චීන ගුආහක "පියාසර තහනම් කලාපයක්” නොවේ යයි ද කියා සිටියේය. එය චීනයේ ගුවන් සීමාව දිගු කිරීමක් ද නොවේ. එය පූර්ව අනතුරු ඇඟවීමේ කලාපයක් පමනි. ගුආහක තුල අනවසර ගුවන් යානාවන්ට චීනය විසින් වෙඩි තබා බිම හෙලීමේ හැකියාව ඔහු බැහැර කලේය. එනමුත් 23දා චීන බලධාරීහු, අනිර්දිෂ්ට "ආරක්ෂක හදිසි පියවර” පිලිබඳව අනතුරු ඇඟවූහ. මෙම අර්බුදය, චීනයට විරුද්ධව එල්ල කල, කලාපය පුරා මිලිටරි බලය තරකිරීම හා රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රහාර සමග බැඳුනු ඔබාමා පාලනාධිකාරයේ "ආසියාවට හැරීම” මගින් අවුලුවා ඇති අඛන්ඩව නැගෙන සතුරුකම්වල නිමැවුමකි. පැසවන නාවික ආරවුල් හේතුකොටගෙන බීජිනය කෙරෙහි දැඩි ආස්ථානයක් ගැනීම සඳහා වොෂින්ටනය, සිය ප‍්‍රමුඛ අනුචරයින් වන ජපානය හා ෆිලිපීනය උසිගන්වයි.

පසුගිය වසර පුරා ඩයෝයු/සෙන්කාකු දිවයින් මුල්කරගෙන ජපානය හා චීනය අතර ගැටුම්කාරී තත්වය නාටකාකාර ලෙස පැතිර ගියේ එම ජනශුන්‍ය ගල්පර ප‍්‍රදේශය ටෝකියෝව විසින් ජනසතු කරනු ලැබීමෙන් පසුවය. ඇබේ ආන්ඩුව, ප‍්‍රදේශයේ මුර සංචාර වැඩි කල අතර ජපන් ගුවන් සීමාවට ඇතුලුවන චීනයේ මිනිසුන් රහිත ඩ්‍රෝන් යානා වෙඩිතබා බිම හෙලන බවට තර්ජනය කලේය.

මතභේදාත්මක එම දිවයින් ප‍්‍රදේශ මත ජපාන පාලනයට මෙන්ම, වොෂින්ටනය ටොකියෝවට දෙන පිටුබලයට ද අභියෝග කිරීමේ ගනන් බලන ලද උත්සාහයකි පසුගිය සති අන්තයේ චීනය ප‍්‍රකාශයට පත් කල මෙම ගුආහක. චීන රාජ්‍යයේ ගුවන් සීමාවට හා මුහුදු සීමාවට සමීපව එක්සත් ජනපද මිලිටරිය නිරන්තරයෙන් සිදුකරන නිරීක්ෂන කටයුතුවලට එරෙහිව ද එය එල්ලවී ඇත.

අද දින ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කලේ, අර්බුදය යොමුවී ඇති බව පෙනෙන්නේ චීනය හා ජපානය වෙත බවය. "වඩාත් කනස්සල්ල දනවන, සත්‍ය අර්ථකතනය නම්, බීජිනය බටහිර පැසිෆික් කලාපයට එජ කොටුකර තැබීමට තීරනය කර තිබීමයි. නැගෙනහිර ආසියාව කවරදාකටත් වඩා අන්තරායකාරී තැනක් බවට පත්ව තිබේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව, නැගෙනහිර ආසියාවට එජ දී ඇති ආරක්ෂාව පිලිබඳ පොරොන්දුව තුලට කඩා වදින, සෙන්කාකු අවට ගුවන් සීමාව පාලනය කිරීම වෙත බීජිනය දැන් හැරී ඇත. චීන සීමාවන් වොෂින්ටනය විසින් පිලිගැනීම යනු, චීන ව්‍යාප්තවාදයට එරෙහිව, පවතින තත්වය ආරක්ෂා කිරීම කෙරෙහි එජ මත විශ්වාසය තැබිය නොහැකිය යන පනිවිඩය, කලාපයේ අනෙකුත් ජාතීන්ට නිකුත් කිරීමක් වේ.”

ඔබාමා පාලනාධිකාරයට එවන් පනිවිඩයක් යැවීමේ අදහසක් ඇත්තේ නැත. වඩාත් ප‍්‍රබල හා අදූරදර්ශී ලෙස එම කාරනය පෙන්නුම් කිරීමට එජ, න්‍යෂ්ටික ශක්‍යතාවෙන් යුත් බී-52 බෝම්බ හෙලන යානා එම කලාපයට පිටත්කර හැරියේය. තව ද එය "චීන ව්‍යාප්තවාදය” නොව, ආසියාවේ ආධිපත්‍ය පවත්වා ගැනීමට සතුරුකම් ගිනියම් කරමින් එජ ගෙන ඇති තීරනය යි. චීනයට සමීපව ජපානය හා දකුනු කොරියාව තුල එජ කඳවුරු ද ඇතුලත් වර්තමානයේ පවතින තත්වය එලෙසම පවත්වාගැනීමට පමනක් නොව, චීනය වටකිරීම සඳහා ආසියාව තුල සිය මිලිටරි ශක්තිය පුලුල් කර ගැනීමට ද වොෂින්ටනයට අවශ්‍යව තිබේ.

එජ ප‍්‍රතිචාරය චීනය දෙගිඩියා සහගත තත්වයකට හෙලා ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපිය මෙසේ නිගමනය කරයි. "චීන ප‍්‍රතිපත්ති සම්පාදකයින්, ඉතිහාසය පිලිබඳ අනලස් සිසුන් කොටසක් නොවේ නම් කමකට නැති එවුන් පිරිසකි. 19 වන සියවස අවසානයේ ජර්මනියේ නැගීම, බීජිනයේ විදෙස් පිලිවෙත් සම්පාදකයින්ගේ අධ්‍යයන පරිපාටිය තුලට පැමිනිය යුතු මූලික අංගයකි. තමන් මහ බලවතෙකුගේ තත්වයට නැගීමට විරුද්ධව ජර්මනියේ අසල්වාසීන් එක්සත් කරන ලද කයිසර්ගේ වැරදි ගනන් බැලීම් චීනය විසින් පුනර්කරනය නොකරනු ඇතැයි එරට නිලධාරීහු ආගන්තුකයින්ට පවසති.”

එහෙත් ගුආහක නිවේදනය කරමින් බීජිනය සමත්වී ඇත්තේ ද හරියට එයම කිරීමට ය. චීනය තමන් වෙත දිනාගැනීමට උත්සාහ කරන දකුනු කොරියාවට මෙන්ම, ජපානය හා ඕස්ටේ‍්‍රලියාවට ද මෙම තීරනයට එරෙහිව පෙරට ඒමට සිදුව තිබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් එසේ බව නොකීව ද ජර්මනියේ නැගීම පිලිබඳව එය කරන සඳහන, 2013 ආසියාව, වඩ වඩාත් 1913 යුරෝපයට සමානකම් දක්වන බවට කරන පැහැදිලි අනතුරු ඇඟවීමකි. පලමු ලෝක සංග‍්‍රාමයේ ම්ලේච්ඡත්වය තුල නැගී ආ එදිරිවාදී බලවතුන් අතර සතුරුකම් බෙහෙවින් උග‍්‍ර කලේ ධනවාදයේ ගෝලීය අර්බුදය විසිනි.

Share this article: