ශී‍්‍ර ලංකාවේ සසප "වාමාංශිකයන්ගේ සංවාදයක්" සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරාධනය ප‍්‍රතික්ෂේප කරයි

Sri Lankan SEP rejects Frontline Socialist Party invitation for a “dialogue of lefts”

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 නොවැම්බර් 23

පහත පල වන්නේ, අද පැවැත්වීමට නියමිත "වාමාංශික” කන්ඩායම්වල සාකච්ඡාවකට සහභාගි වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) කල ආරාධනාවක් ප‍්‍රතික්ෂේප කරමින්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් යවන ලද ලිපියයි. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තුල හටගත් කන්ඩායමික භේදයකින් පසුව, ජවිපෙ "අවස්ථාවාදයෙන්” බිඳිනු බවට සාවද්‍ය ලෙස කියාපාමින්, පෙසප පිහිටුවන ලදි.

රැඩිකල්, සිංහල ජනතාවාදී, සුලු ධනේශ්වර සංවිධානයක් ලෙස 1960 ගනන් අග දී ගොඩනගන ලද ජවිපෙ, ශී‍්‍ර ලංකාවේ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග‍්‍ර වූ දක්ෂිනාංශික පක්ෂයක් බවට පරිනාමය විය. පෙසප ජවිපෙ දේශපාලනයෙන් බිඳී නැති බව පසුගිය වසරේ අත්දැකීම් මගින් ප‍්‍රදර්ශනය කෙරී ඇත. තව දුරටත් දකුනට පැදීමක් පෙන්නුම් කරමින්, එය දැන් "වාමාංශික” කන්ඩායම්වල යලි කාන්ඩ ගැසීමක් දෙසට ගමන් කරයි.

***

ප‍්‍රධාන ලේකම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

2013 නොවැම්බර් 22

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව, ඔබ පක්ෂය විසින් නොවැම්බර් 23 දාට කැඳවා ඇති "වාමාංශික දේශපාලන පක්ෂ, වාමාංශික කන්ඩායම් හා වාමාංශික ක‍්‍රියාකාරීන් ගේ සංවාදය” සඳහා එවන ලද ආරාධනාව ලැබ ඒ පිලිබඳව සාකච්ඡා කලේ ය. ඔබේ ලිපියේ පෙරවදනේ පැහැදිලි කරන පරිදි මෙම යෝජිත රැස්වීමේ අරමුන වනාහී විවිධ ධනේශ්වර හා සුලු ධනේශ්වර සංවිධානවල යලි කාන්ඩ ගැසීමකට පදනම දැමීම යි. එවැනි යලි කාන්ඩ ගැසීමක් සිදුවුවහොත් එය කම්කරු පන්තිය සඳහා නිර්මානය කෙරෙන තවත් දේශපාලන උගුලක් වනු ඇත්තේ ය. වසර 45කට අධික කාලයක් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කලා වූ ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වෙහෙස නොතකා සටන් කලා වූ ද සමාජවාදී සමානතා පක්ෂය ඔබ විසින් ක‍්‍රියාවට නගනු ලබන ප‍්‍රතිගාමී යලි කාන්ඩ ගැසීමකට වලංගුභාවයක් සැපයීමට අපේක්ෂා නොකරයි. මේ හෙයින් සමාජවාදී සමානතා පක්ෂය ඔබේ ආරාධනය අවධාරනයෙන් ප‍්‍රතික්ෂේප කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ස්ථාපිත කිරීමට උනන්දු කරවන්නේ ග‍්‍රීසියේ සිරිසා සංවිධානය වැනි පක්ෂයක් බව සසප සටහන් කරගෙන ඇත. ග‍්‍රීසියේ සිදුවන වර්ධනයන් ගැන බැරෑරුම්ව සලකන කවරෙකුට වුව ද පැහැදිලි වන්නේ සිරිසා වනාහී කම්කරු පන්තිය රැවටීමට, අපසරනය කිරීමට හා පාවාදීම සඳහා ම "වාම” දෙඩවිලි ප‍්‍රසිද්ධියේ යොදා ගන්නා ධනපති පක්ෂයක් බව ය. සිරිසා නායක ඇලෙක්සැන්ඩර් සිප්රාස් වොෂිංටනයට සංචාරය කරමින් ලෝක අධිරාජ්‍යවාදයේ නායකයන්ට ඒත්තු ගැන්වූයේ සිරිසා බලයට පත්වුව හොත් ඔවුන්ට බියවීමට කිසිදු කරුනක් නැතිය යන්න යි. ඒ අතරවාරයේ දී, සිරිසා ක‍්‍රමානූකූලව වැඩකරන්නේ යුරෝපීය සංගමයේ ආඥාවන්ට එරෙහි කම්කරු පන්තියේ සෑම ප‍්‍රතිරෝධයක්ම මැඩලීමට ය.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියට දැනටමත් ශතවර්ෂ භාගයක් පුරා ලංකා සම සමාජ පක්ෂයේ, නව සමසමාජ පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ මෙන් ම ජනතා විමුක්ති පෙරමුනේ ද ප‍්‍රතිගාමී දේශපාලනයේ අත්දැකීම් පවතී. ලංකාවේ සිංහල හා දෙමල කම්කරු පන්තිය මේ දක්වාම ලසසප, කොප හා මහජන එක්සත් පෙරමුනේ ඊනියා "වාමාංශික එක්සත් පෙරමුන” 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට එක්වීමට ගත් තීන්දුව සඳහා කර්කශ වන්දියක් ගෙවමින් සිටී. එය, 26 අවුරුද්දක සිවිල් යුද්ධය ද ඇතුලත් විනාශකාරී ප‍්‍රතිවිපාක කම්කරුවන්, තරුනයින් හා දුගීන් වෙත කැඳවීය. එම මහා පාවාදීමේ එක් ප‍්‍රතිපලයක් වූයේ ධනපති දේශපාලන සංස්ථාපිතයේ වර්ගවාදී දක්ෂිනාංශික පක්ෂයක් ලෙස විකාශය වූ ජනතා විමුක්ති පෙරමුනේ මතුවීම යි. 1971 බන්ඩාරනායක ආන්ඩුව ජනතා විමුක්ති පෙරමුනට ප‍්‍රහාර එල්ල කරද්දී සසප පූර්වගාමීයා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ජවිපෙ ආරක්ෂා කල බව ඓතිහාසික වර්තාව සඳහා මෙහිලා සටහන් කිරීමට ඉඩ දෙන්න. කෙසේවුව ද, මෙය, 1980 ගනන්වලදී අප පක්ෂයේ කේඩරයන්ට එරෙහිව මිනීමරු ප‍්‍රහාර එල්ල කිරීමෙන් ජවිපෙ වලකාලූයේ නැත.

ඔබේම සංවිධානය -පෙරටුගාමී සමාජවාදී පක්ෂය- නිර්මානය කිරීම සිදු වූයේ, කුමාරතුංග ආන්ඩුවට සහභාගි වීම, වර්ගවාදී යුද්ධයට සම්පූර්න සහාය දැක්වීම හා අවසානයේ දී රාජපක්ෂ බලයට පත් කිරීම යනාදිය නිසා ජවිපෙ අපකීර්තියට පත්වීමෙන් පසුව ය. ජවිපෙ නායක කන්ඩායමක් ඉන් බිඳීම අවස්ථාවාදී ගනන් බැලීම් මත සිදු කරන ලද්දක් වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් ජවිපෙ දේශපාලනයේ ප‍්‍රතිගාමී ප‍්‍රවේශය හෝ ක‍්‍රියාමාර්ගය ප‍්‍රතික්ෂේප කරනු ලැබීමක කිසිදු සලකුනක් අපි නොදකින්නෙමු.

ඔබ දැන් වහවැටී සිටින ව්‍යාජ වාම සංවිධාන -- නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය-- ඉහතදී ශ‍්‍රීලනිප, ලසසප, ස්ටැලින්වාදී කොප ආන්ඩුවට සහාය දුන් අතර ඇමෙරිකානු අධිරාජ්‍ය ගැති ප‍්‍රතිපත්තියක පිහිටි එක්සත් ජාතික පක්ෂය සමග දැන් පෙල ගැසී සිටී.

ඔබ යෝජනා කරන ආකාරයේ සාකච්ඡාවකට සසප කවර ලෙසකින් හෝ උනන්දු වනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විස්වාස කරන්නේ ඇයිදැයි අපට වටහාගත නොහැක.

ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මත පාදක වන සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ අවශ්‍යතා පදනම් කරගත් ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි. අප සටන් කරන්නේ දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපාකාරයෙන් කම්කරුවන් හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ය.

සමාජවාදය සඳහා වන බලගතු විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා කම්කරු පන්තිය හා සියලු පීඩිතයන් එක්රැස් කිරීමට අප සටන් වදින්නේ මේ පදනම මත ය. ඔබ යෝජනා කරන සාකච්ඡා එල්ල වන්නේ එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීම වැලක්වීම පිනිස යැයි අපි විස්වාස කරන්නෙමු. මේ හෙයින්, සමාජවාදී සමානතා පක්ෂය ඔබේ ආරාධනාව නොවලහා ප‍්‍රතික්ෂේප කරයි.

මෙයට අවංක

විජේ ඩයස්

Share this article: