වැලිවේරිය ජල දූෂනය පිලිබඳව කම්කරු පරීක්ෂනය:

ඇමති සරත් අමුනුගම වැලිවේරියේ විරෝධතාකරුවන් මර්දනය අවශ්‍ය බව කියා සිටී

රොහාන්ත ද සිල්වා විසිනි, 2013 නොවැම්බර් 30

තිදෙනකු ඝාතනය කරමින් හා තවත් විශාල ගනනකට තුවාල කරමින් අගෝස්තු 1 දා කල හමුදා වෙඩි තැබීමෙන් මහජනතාව භීතියට පත් කර, ජල දූෂනයට හේතුව යයි ප‍්‍රදේශවාසීන් විසින් චෝදනා කරන වැලිවේරිය රතුපස්වල ඩිප් ප්‍රොඩක්ට්ස් ෆැක්ටරිය විවෘත කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව හා හේලීස් පාලකයන් දැරූ තැත මේ දක්වා අසාර්ථකවී ඇත. දැන් මේ දෙකොට්ඨාශයම විසකුරු ප‍්‍රචාරයක් ගෙනයමින් තවත් ප‍්‍රහාරයකට මාන බලමින් සිටී.

අඟහරුවාදා, 2013 සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් වෙලඳ හා ආයෝජන වාර්තාව නිකුත් කිරීම අවස්ථාව කර ගනිමින් ආන්ඩුවේ ප‍්‍රධානියකු වන ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාවය පිලිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් ඇමති සරත් අමුනුගම කල කතාව තුල ආන්ඩුවේ සුදානම මනාව එලිදරව් විය. ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි දියුනු කිරීම සඳහා වඩා "නිවැරදි පිලිවෙතක” අවශ්‍යතාවය ගැන ආන්්ඩුවේ උත්සුකය පෙන්වීමට ඔහු උදාහරනයට ගත්තේ ලංකාවේ ප‍්‍රමුඛතම ව්‍යවසායයක් වන හා කාර්මික අපනයනයන්ගෙන් සියයට එකකට වග කියන ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමයි.

"කඩාකප්පල්කාරීන්ගේ” කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් ලෙස වෙනිග්‍රොස් ෆැක්ටරිය වසා දැමීමට සිදුව ඇත” යි අමුනුගම සඳහන් කලේ ය. ඔහුගේ මේ චෝදනාව කම්හලෙන් පිටවන දුෂිත ජලය නිසා තමන්ට ලෙඩරෝග වැලඳෙන බවට චෝදනා කරමින් ඊට පිලියම් ලෙස කම්හල ඉවත් කල යුතු යයි උද්ඝෝෂනයක යෙදෙන වැලිවේරිය වැසියන්ට එල්ල කල තුච්ඡු අවලාදයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැලිවේරිය විරෝධතාකරුවන්ට එරෙහිව මේ බොරු චෝදනාව එල්ල කර ඔවුන් මැඞීම සඳහා හමුදාව දැමීය. හේලීස් සමාගම එල්ල කලේ ද මෙම චෝදනාවයි.

මෙය අහම්බයක් නොවන බවත් එලෙස මිලිටරි විධික‍්‍රම මගින් ආයෝජකයන් වෙනුවෙන් ආන්ඩුව "නිවැරදි පිලිවෙත” ගෙන යායුතු බවත් අමුනුගම අවධාරනය කලේය. උදාහරනයට ඔහු දැක්වූ රට චීනයයි. ජනමාධ්‍යයන්ට අනුව, චීනය සිය ආර්ථිකය පරිවර්තනය කලේ ඉතා පහල වැටුප් සමගම ස්ථාවර පාලනයක් යටතේ අපනයන මුල්කර ගත් වර්ධනයක් මගිනි. විදේශ ආයෝජකයෝ මේ නිසා චීනයට වැදී ගත්හ. "විරුද්ධවාදීන්ට හා වෘත්තීය සමිතිවලට පහර එල්ල කලේ ඔවුන් උන්මත්තකාගාරවලට යැවීමෙනි”යි අමුනුගම එරට නිලධර පාලනයේ රුදුරු මර්දනයට ආවඩමින් ප‍්‍රකාශ කලේය. චීනයේ මෙන්ම ලංකාවේ ද කඩාකප්පල්කාරයන්ට හා අවුල් ඇති කරන්නන්ට එරෙහිව තදින්ම ක‍්‍රියා කලයුතු යයි අමුනුගම කීවේය.

තවමත් ඇත්තට ඝාතනය වූ ප‍්‍රමානය එලිදරව් වී නොමැති නමුත්, 1989 ජුනි මස සිදුකල තියනන්නෑම් චතුරශ‍්‍ර ඝාතනයෙන් 7,000ක පමන ජනකායක් බීජින් ආන්ඩුව විසින් මරා දමනු ලැබ ඇතැයි ස්වාධීන විශ්ලේෂකයෝ වාර්තා කරති. මානව අයිතීන් ගැන කරන බොරු පූච්චානම් අතරවාරයේ, බටහිර අයෝජකයන් දුව පැන චීනයට පැමිනියේ එවැනි ලේ වැකි මර්දනයක් හරහා ලාභ ශ‍්‍රමය සූරාකෑම ආරක්ෂා කිරීමට පාලකයන් පසුබට නොවන බව පැහැදිලිවීමෙන් පසු ය.

අගෝස්තු 1 දා වැලිවේරියේ හමුදා වෙඩි තැබීම "ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන වඩ වඩාත් දැඩිවන ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයන්ට ඇදෙන දිවයින පුරා කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාව බියගැන්වීම සඳහා රාජපක්ෂ ආන්ඩුවේ නියෝග මත ගනන් බලා සිදුකල ප‍්‍රහාරයක්” ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුල සිටම පෙන්වා දුන්නේය. අමුනුගමගේ ප‍්‍රකාශයෙන් මෙය සනාථ වී ඇතිවා මෙන්ම ඊට එහා යන ප‍්‍රහාරයක් ආන්ඩුවට අවශ්‍යය.

කඩාකප්පල්කාරීන් වෙනිග්‍රෝස් කම්හලට එරෙහි උද්ඝෝෂනය ගෙනයන්නේ යයි අමුනුගම කරන ප‍්‍රකාශය වැලිවේරිය ජනයා ද කම්කරුවන් ද භේද කිරීමට ගෙනයන ප‍්‍රචාරයේ කොටසක් මෙන්ම ඔවුන් හුදකලා කොට පහරදීමේ ද එල්ලයෙන් කෙරෙන්නකි. කම්කරුවන් තම අයිතීන් වෙනුවෙන් වර්ජනය කරන විට ද ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් කියන්නේ ඔවුන් ආර්ථිකය කඩාකප්පල් කිරීමට ක‍්‍රියා කරන බවයි.

රාජපක්ෂ ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් කම්කරුවන්ගේ හා මහජනයාගේ අයිතීන් ගැන මොනම උනදුවක් වත් නැත. ආර්ථික අර්බුදය පැසවන අද දින එය වඩාත් පැහැදිලි වේ. අමුනුගම සමාගමට ලාභ අහිමිවීම ගැන මහජනයාට දොස් කීවේය. රබර් වගා කරන්නන්ට කලින් රබර් කිලෝග‍්‍රෑමයකට රුපියල් 600ක් ලැබුන නමුත් දැන් ලැබෙන්නේ රුපියල් 250ක් පමනක් යයි එහි වරද වැලිවේරිය විරෝධතාකරුවන් මත පටවමින් ඔහු කීවේය.

අමුනුගමගේ ප‍්‍රකාශ වැලිවේරිය ජනයා එල්ල කරගත් එකක් පමනක් නොවේ. ඒවා පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ සැලසුමයි. මේ තතු තුල සසප කැඳවුම් කර ඇති වැලිවේරිය ජල දුෂනයට එරෙහි පරීක්ෂනය අතිශයින්ම කාලෝචිත ය. කම්කරුවන් දුගීන් හා තරුනයන් මේ පරීක්ෂනයට එක්වීම වඩා හදිසිභාවයක් අත්පත් කර ගන්නේ මේ නිසා ය. එය ආන්ඩුවේ සැලසුම් එලිදරවු කිරීමට පමනක් නොව ඔවුන් අතර එකමුතු බව ගොඩනැගීමට ද බලවත් රුකුලක් වනු ඇත.

Share this article: