එක්සත් ජනපදය: බොස්ටන් පාසල් බස්රථ රියදුරන්ගේ හදිසි වැඩ වර්ජනය

The Boston school bus drivers’ wildcat strike

2013 ඔක්තෝබර් 11

5දා බොස්ටන් හි පාසල් බස් රථ රියදුරන් සිය ගනනක් හදිසි වැඩවර්ජනයක් පැවත්වූහ. එම ක්‍රියාව බොස්ටන් හා මැසචුසෙට්ස් හි පමනක් නො ව රට පුරා හා ජාත්‍යන්තරව පවතින ගැඹුරු සමාජ ආතතීන් පිලිබිඹු කර යි.

කම්කරුවන් පැවසුවේ ඔවුන් වැඩවර්ජනය කලේ විඕලා ප්‍රවාහන සමාගම විසින් තම වැටුප් චෙක්පත් වංචා කර, වැඩ වේගවත් කිරීමට, විද්‍යුත් නියාමනයට හා අපවාදයට ලක් කර තිබූ නිසා බව යි. වියෝලා සමාගම යනු ශිෂ්‍යයින් 33,00ක් ප්‍රවාහනය කිරීමට මෑත දී පාසල් දිස්ත්‍රික්ක කොන්ත්‍රාත්තුව හිමි කර ගත් බහුජාතික සමාගමකි.

වැඩවර්ජනය රියදුරන් 700ක් නියෝජනය කරනවා යයි පෙනෙන වෘත්තීය සමිතිය ඇතුළුව මුළු දේශපාලන සංස්ථාපිතය ම මවිතයට පත් කලේ ය. 5දා උදේ එක්සත් වානේ කම්කරුවන්ගේ 8751 ප්‍රාදේශිකයේ සභාපති ඩූමන්ඩ් ලුයිස් හා අනෙකුත් නිලධාරීහු කම්කරුවන් ආපසු යවන නියෝග පැනවීමට උත්සාහ කලහ. තමන්ගේ සාක්කුවෙන් මුදල් පිටතට අදින වෘත්තීය සමිතිය තමන් ආරක්ෂා කිරීමට කල දෙයක් නැතැ යි පැවසූ රියදුරෝ කෑ ගසා ඔවුන් මෙල්ල කලහ.

නගරයේ නිලධාරීහු, කලමනාකරනය හා මාධ්‍යය හිතාමතා ම පාසල් සිසුන් අතරමං කිරීම හා "ආත්මාර්ථකාමී” වීම සම්බන්ධයෙන් කම්කරුවන් හෙලා දකිමින් කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ. නගර ශාලා මාධ්‍ය සාකච්ඡාවේ දී, ඩෙමොක්‍රටික නගරාධිපති ටොම් මෙනිනෝ "නීති විරෝධී වැජවර්ජනය” හෙලාදුටුවේ ය. නීතිමය පියවර ගන්නා බව පවසමින් කම්කරුවන්ට තර්ජනය කල අතර "අපගේ සිසුන් ඉත්තන් ලෙස ගැනීමට අප ඉඩ දෙන්නේ නැතැ” යි පාරම්බෑවේ ය.

ඩොලර් මිලියන ගනනකින් රජයේ පාසල්වලට අරමුදල් සැපයීම කපා දමා ඇති සහ ගුරුවරුන් හා පාසල් සේවකයන් සිය ගනනක් දොට්ට දමා ඇති නගරාධිපති ලමුන් ගැන නො සලකන්නේ පාසල් රියදුරන් යැයි දෙඩවීම අතිශය හාස්‍යජනක ය. තව ද, පාසල් පද්ධතිය වසා දැමීම සඳහා මෙනිනෝ රියදුරන්ට පහර දෙන අතර ම ඔබාමා පාලනාධිකාරය හා කොන්ග්‍රස් මන්ඩල රිපබ්ලිකානුවන් විසින් සමස්ත ෆෙඩරල් ආන්ඩුව ම වසා දමනු ලැබ ඇත්තේ ඔවුන් සෞඛය්‍ය රැකවරන හා විශ්‍රාම වැඩසටහන් මත නව ප්‍රහාරයන් සැලැසුම් කිරීමත් සමග ය.

හාම්පුතුන් හා දේශපාලන සංස්ථාපිතය විසින් සිදු කරන මඩගැසීම ප්‍රමානවත් නැතුවාක් මෙන් එක්සත් වානේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ (යූඑස්ඩබ්ලිව්) ගර්හාවන්ට ද කම්කරුවෝ මුහුන දුන් හ. රියදුරන්ගේ වෘත්තීය පියවර වෙඕලියා, පාසල් බලධාරීන් හා නගර ශාලාව සමග වෘත්තීය සමිතියේ සැපපහසු සම්බන්ධතාව අවුල් කරතැ යි මෙකී සමිතිය කෝප විය. වර්ජකයන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ දුක්ගැනවිලි මහජනයාට තේරුම් කර දීම වෙනුවට යූඑස්ඩබ්ලිව්, කලමනාකාරනය හා නගරාධිපතිගේ හෙලාදැකීම සමග එක්වූයේ වැඩවර්ජනය කරන කම්කරුවන් බිලි දීමට මග සකසමිනි.

යූඑස්ඩබ්ලිව් 4වැනි ප්‍රාදේශිකයේ අධ්‍යක්ෂ ජෝන් ෂින් "යූඑස්ඩබ්ලිව් වර්තමාන පියවරට සමාව නො දෙන” බව නිවේදනය කරමින්, "වැඩවර්ජනය වහා ම නවත්වා හැකි ඉක්මනින් නැවත වැඩ අරඹන්නැ යි 8751 ප්‍රාදේශිකයේ සියළු සාමාජිකයන්ට සමිතිය උපදෙස් දී” ඇති බව පැවසීය. රියදුරන් ආපසු වැඩට ගොස් ඇති නමුත් වැඩවර්ජනයේ සමාජ හා දේශපාලන වැදගත්කම පවතින අතර එහි පාඩම් උකහා ගත යුතු ය.

එක්සත් ජනපදය තුල අවුරුදු 30ට වඩා වැඩි කාලයක් සැබවින් ම සංවිධිත කම්කරු පන්තියේ විරෝධයේ හා පන්ති අරගලයේ සෑම ප්‍රකාශනයක් ම මර්දනය කෙරී ඇත යන්න අත්‍යාසමාන කාරනයකි. එය එසේ වූයේ 1870 ගනන්වල සිට සියවසකට අධික කාලයක් තිස්සේ දශකයකට පසු දශකයක් වශයෙන් දැවන්ත අරගල හා ප්‍රචන්ඩ සමාජ විරෝධතා අත්දුටු රටක ය.

කෙසේ නමුත්, 1980 මැද සිට වැඩවර්ජන සැබවින් ම අතරුදහන් වී ඇත. එයට හේතු වන්නේ කුමක් ද?

කම්කරු පන්ති අරගලයේ ප්‍රසිද්ධ රටාවන්ගේ අතුරුදහන්වීම බැඳෙන්නේ ඇමරිකානු කම්කරු ව්‍යාපාරය ලෙසින් ප්‍රසිද්ධ වූ ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධානයේ වැටීම සහ සංගත කලමනාකරනයේ හා ආන්ඩුවේ ව්‍යූහයන්ට එය ඒකාබද්ධවීම සමග යි.

වෘත්තීය සමිතිවල පරිවර්තනය වෛෂයික හා ආත්මීය කාරනා සමග බැඳේ. පලමුව, ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය හා 1980න් මෙපිට වේගයෙන් වර්ධනය වුනු ඇමරිකානු ධනවාදයේ බිඳවැටීම වෘත්තීය සමිති පදනම් ව පැවතුනු ජාතික ප්‍රතිසංස්කරනවාදී වැඩසටහන යටින් වල කැපී ය. එක්සත් ජනපදයෙන් නිෂ්පාදනය පිටතට ගෙනයාමට හා විශ්වව්‍යාපී ශ්‍රම සංචිතයක් සූරාකෑමට පාලක ධනේශ්වර ප්‍රභූවට පැවති හැකියාවට ජාතික ව පදනම් වූ වෘත්තීය සමිතිවලට ප්‍රතිචාරය දැක්වීමට හැකියාවක් නොතිබුනි.

මෙම සංවිධාන පාලනය කල හා මේ වන විටත් ධනේශ්වර පද්ධතියේ ආරක්ෂාවට කැපවුනු නිලධාරීන් මෙම වර්ධනයන්ට ප්‍රතිචාරය දැක්වූයේ "සේවක -කලමනාකරන හවුල්කාරිත්වය” පිලිබඳ සංගතවාදී වැඩපිලිවෙල වැලඳ ගනිමිනි.

ආදියෙහි වෘත්තීය සමිති "නිලධාරීවාදියා” දැන් ව්‍යාපාරිකයෙකු වී ඇත, ඔවුන්ගේ ඉහල වැටුප් හා ඉහල මධ්‍යම පන්තික ජීවන රටාව පවතින්නේ කම්කරු බලකාය පාලනය කිරීම හා සංගත ලාභ වැඩිකිරීමට ශ්‍රම පිරවැය කප්පාදු කිරීම මත ය. ව්‍යාපාර කොටස්, සංගත පාලක මන්ඩලවල අසුන් හා ඩොලර් බිලියන ගනන් විශ්‍රාම අරමුදල් පාලනය සමගින් වෘත්තීය සමිති විධායකයන්ට පාරිතෝෂික පිරිනැමුනේ සූරාකෑමේ ක්‍රියාදාමය තුල ඔවුන් දෙවැනි පෙල කොටස් හිමිකරුවන් කරමිනි.

ඇමරිකාව තුල පන්ති අරගලය අතුරුදහන් ව නැත. කෙසේ නමුත්, පසු ගිය දශක තුනහමාර තිසිසේ එය ගෙන ගොස් තිබුනේ එක පැත්තකට බරව ය.

ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා සමාජ තත්වයේ ඓතිහාසික පසුබැසීමක් අත්විඳ ඇති අතර නූතන ඇමරිකානු ඉතිහාසය තුල අසමානතාව නො ඇසූ විරූ මට්ටම්වලට ලඟා වී ඇත.

සියයට 75ක නිෂ්පාදන ඵලදායිත්වය නො තකා, 1979 හා 2012 අතරතුර එක්සත් ජනපදය තුල සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුප වැඩි වී ඇත්තේ සියයට පහකින් පමනක් වන අතර පොහොසත් ම සියයට එකේ ආදායම සිව්ගුනයක් වී ඇත.

මහජන නොසන්සුන්තාව ඇමරිකාවේ සෑම තැන ම ගොඩනැගෙමින් පවතී. බොස්ටන් කම්කරුවන්ගේ වැඩවර්ජනය ඇමරිකානු සමාජ වෙඩි බෙහෙත් හෙප්පුව තුල කැලඹෙන ක්‍රෝධයේ එක් ආරම්භක ප්‍රකාශනයක් පමනි. එවැනි ක්‍රියා නැවත නැතත් සිදුවිය හැකි අතර රට පුරා වර්ධනය විය හැක.

සමාජවාදී සමානතා පක්ෂය විරුද්ධත්වයේ සෑම ප්‍රකාශනයක් ම උනුසම් ව පිලිගන්නා අතර ඒවා ධෛර්යමත් කර යි. එහෙත් මෙම අරගල සාර්ථක වීමට නම් පැහදිලි ඉදිරිදර්ශනයක් මත ඒවා පදනම් විය යුතු ය.

පලමුව, මෙම අරගලවල වර්ධනය සඳහා ඒවා , ස්වාධීනව හා නිල වෘත්තීය සමිතිවලට විරුද්ධව ගොඩනැඟිය යුතු ය. සිය අරගලය ගෙනයාම සඳහා මෙම කම්කරු විරෝධී සංවිධානවල සෑම සංවිධානමය පාලනයකින් ම කම්කරුවන් නිදහස් විය යුතු අතර ෆැක්ටරි කමිටු හා වැඩබිම් කමිටු ඇතුලත් ප්‍රජාතන්ත්‍රවාදී හා මහජන සංවිධානයේ නව රූපාකාරයන් වර්ධනය කල යුතු ය.

දෙවනුව, කම්කරුවන් තමන් මුහුන දෙන කොන්දේසි හා බැඳුනු, සමාජයේ ධනය නිෂ්පාදනය කරන කම්කරු පන්තියේ වියදමින්, අතලොස්සකගේ අභිවෘද්ධිය මත පාදක සමාජයක් වන ධනේශ්වර පද්ධතිය අතර සම්බන්ධය හඳුනාගත යුතු ය. කම්කරු පන්තියේ සෑම බැරෑරුම් සමාජ අයිතියක ම ආරක්ෂාව මතු කරන්නේ ආර්ථික හා සමාජ ජීවිතය මත සංගත හා බැංකුවල ආධිපත්‍යයට එරෙහිව අරගලයක අවශ්‍යතාව යි.

මේ අනුව යමින්, වැඩපොල හා කාර්මික අරගල දේශපාලන ස්වභාවයක් ගත යුතු ය. ධනවාදයේ දේශපාලනික ආරක්ෂකයින් වන මහා ව්‍යාපාරයන්ගේ පක්ෂ දෙකෙන් කම්කරු පන්තිය කැඩී වෙන් විය යුතුය. කම්කරු බලය සඳහා සටන එල්ල කරගත් දැවන්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. කම්කරුවන්ට සංගත හා බැංකුවල ග්‍රහනය අවසන් කල හැක්කේ කම්කරු ආන්ඩුවක් පිහිටුවීම හා පෞද්ගලික ලාභය නො ව මනුෂ්‍ය අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් ඔස්සේ දේශපාලන හා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම මගිනි.

අවසාන වශයෙන්, ඇමරිකානු කම්කරුවන් මුහුන දෙන සටන ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩා පුළුල් අරගලයක කොටසකි. එක්සත් ජනපදය, චීනය, මෙක්සිකෝ, බ්‍රසීලය හා ලෝකය පුරා කම්කරුවන් මුහුන දෙන්නේ එකම ධනේශ්වර හතුරෙකුට වන අතර ඔවුන්ගේ රැකියා හා ජීවන තත්වයන්ට පහර දෙන ගෝලීය වශයෙන් සංවිධානය වූ සංගතයන්ට එරෙහිව තම අරගලය සමායෝජනය සඳහා කම්කරුවන් ජාත්‍යන්තර ව එක්සත් විය යුතු ය.

මෙම ඉදිරිදර්ශනය මත සටන් වැදීම සඳහා කම්කරු පන්තියේ නව නායකත්වයක් හා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය ය. එය සමාජවාදී සමානතා පක්ෂය යි.

ජෙරී වයිට්

Share this article: