සසප හා සසජාතශි සිරියාවට එරෙහි ඇමරිකානු යුද තර්ජනයට විරුද්ධව රැස්වීමක් පවත්වයි

සුජීව අමරනාත් විසිනි, 2013 සැප්තැම්බර් 26

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එක්සත් ජනපදයේ ඔබාමා පරිපාලනය සිරියාවට එරෙහිව සූදානම් කරමින් සිටින යුද්ධයට එරෙහි රැස්වීමක් සැප්තැම්බර් 17දා කොලඹ බාලදක්ෂ සංගම් මූලස්ථාන ශාලාවේ දී පැවැත්වී ය. සසප සාමාජිකයෝ, තරුනයෝ හා හිතවතුන් ද ඇතුලු පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

රැස්වීම පැවැත්වීමට සති එකහමාරකට පමන පෙර සිට සසප හා සසජාතශි සාමාජිකයෝ කොලඹ කොම්පඤ්ඤවීදිය හා වරාය නිල නිවාස, ජයවර්ධනපුර හා කොලඹ යන විශ්ව විද්‍යාලවල රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනවල නිරත වූහ. ප්‍රධාන දුම්රිය ස්ථානවල සිරියාවට අත නො තබනු යන මැයෙන් සසප උතුරු පලාත් සභාවට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කල අපේක්ෂක කන්ඩායමේ නායක පරමු තිරුඥානසම්බන්දර් විසින් නිකුත් කරන ලද ලියවිල්ලේ කොපි දහස් ගනනක් සිංහල හා දෙමල භාෂාවලින් බෙදා හැරුනි. සිරියාවට එරෙහි යුද තර්ජනයට විරුද්ධව සසප ලංකාවේ සංවිධානය කල පලමු රැස්වීම සැප්තැම්බර් 15දා යාපනයේ දී පවත්වන ලදී.

රැස්වීමේ මුලසුන දරමින් ආරම්භක කතාව කල සසප දේශපාලන මන්ඩල සාමාජිකා විලානි පීරිස් රැස්වීම පවත්වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ හා එහි තරුන ව්‍යාපාරය කම්කරුවන් හා තරුනයන් අතර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට ගෙන යන අරගලයේ කොටසක් ලෙස බව සඳහන් කලා ය. "ලෝක සමාජවාදී වෙබ් අඩවිය මධ්‍යධරනී මුහුදු කලාපය කේන්ද්‍ර කරගෙන ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධය සූදානම් කරන්නේ කෙසේදැයි පැහැදිලි කර තිබෙනවා. මෙම යුද්ධය එක්සත් ජනපදය රුසියාවට හා චීනයට විරුද්ධව සූදානම් කරන පුලුල් යුද ප්‍රයත්නයක කොටසක්” යයි පීරිස් කීවා ය.

"එක්සත් ජනපදය තුල ද ලෝකය පුරා ද මහජනයා අතර යුද්ධයට පවතින බලවත් විරුද්ධත්වය හේතුවෙන් ඔබාමා පරිපාලනය උපායාත්මකව අඩියක් පසුපසට ගෙන ඇත. එහෙත් ආර්ථික අර්බුදයක් මගින් එක්සත් ජනපදය වෙලාගෙන ඇති තතු තුල අහිමි වී යන සිය ලෝකාධිපත්‍යය මිලිටරි බලය යොදාගෙන රැකගැනීමට එක්සත් ජනපදය ක්‍රියාකරයි.

“ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ගෝලීය සැලසුම් සකස් කලේ 1992 තරම් ඈතක ඉඳන්. සෝවියට් සංගමය විසුරුවා හැරි තැන් පටන් එක දිගට ම එය යුද්ධ මාලාවක නිරත වී තිබෙනවා. පලමුවන ගල්ෆ් යුද්ධය හා බෝල්කන් යුද්ධය එහි කොටසක්. ඇමරිකානු විදෙස් පිලිවෙත තියුනු ලෙස වෙනස්වීම ගලාගෙන එන්නේ ලෝක ආධිපත්‍ය සඳහා එහි මිලිටරිවාදී හැරී ගැනීමෙන්" යනුවෙන් පීරිස් පැහැදිලි කලා ය.

ඊලඟ කථිකයා වූ සසජාතශි කැඳවුම්කාර කපිල ප්‍රනාන්දු සිරියාවට එරෙහි යුද ප්‍රයත්නයේ දී ද ඉරාක යුද්ධයේ දී කලාක් මෙන් මහා බොරු මත ඔබාමා පරිපාලනය පදනම් වූ බව කියා සිටියේ ය. එය ව්‍යාජ මානව අයිතීන් රැකීමේ කඩතුරාවකි. රුසියාවේ මැදිහත් වීම මත සිරියාව පිලිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී පවා එක්සත් ජනපදය සිරියානු විපාක්ෂික කරලිකරුවන්ට ආධාර සපයමින් සිටී. “ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවලින් එකක් සතු රට ඊස්රායලය යි. දැනට මාස කිහිපයකට පෙර ඊස්රායලය සිරියාවට ප්‍රහාරයක් එල්ල කලා. ඇමරිකාව එහි දී කිසිදු පියවරක් ගත්තේ නැහැ” යයි ප්‍රනාන්දු එක්සත් ජනපදයේ දෙබිඩි පිලිවෙත පැහැදිලි කරමින් කීවේ ය.

සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය යුද්ධයකට අවශ්‍ය මනෝගතිය නිර්මානය කිරීමට අනවරත උද්ඝෝෂනයක නිරත වුවත් එක්සත් ජනපදය තුල ම ගත්කල යුද්ධයකට යාමට සහයෝගය දක්වන්නේ සියයට 9ක් තරම් සුලු පිරිසකි. “එහෙත් ඒ හෝ මේ ආකාරයෙන් යුද්ධයකට යාම හැර වෙනත් විකල්පයක් පාලක කතිපයාධිකාරයට නැහැ. යුද්ධය අවශ්‍ය වන්නේත් පරපුටු මූල්‍ය කතිපයාධිකාරයට යි. ඔබාමා පරිපාලනය යුද්ධයට කල් ගැනීම යුද තර්ජනය පහ කරන්නේ නැහැ. දැන් එලැඹෙන්නේ ලෝක යුද්ධ හා මහා සමාජ විප්ලවවල යුගයක්” යයි ප්‍රනාන්දු සිය කතාව සමාප්ත කලේ ය.

රැස්වීමේ අවසාන කතාව පැවැත්වූ සසප දේශපාලන මන්ඩලයේ කේ. රත්නායක, ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන තත්ත්වයට අවධානය යොමු කලේ ය. ජාත්‍යන්තර මාධ්‍ය යුද අනතුර පහව ෙගාස් ‍ ඇතැයි යන මිථ්‍යාව පතුරවමින් සිටී. එලැඹෙමින් තිබූ යුද තර්ජනය කෙරෙහි නෑසූ කන්ව සිටි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද යුද තර්ජනය අහවර වීමක් ගැන වාර්තා ලියයි. එහෙත් එවැනි මිථ්‍යාවක් මාරක වේ. අධිරාජ්‍යවාදී පාලක කවයන් යෙදී සිටින්නේ පලමු හා දෙවන ලෝක යුද්ධවලට වඩා විනාශකාරී යුද්ධයකට මනුෂ්‍ය වර්ගයා ඇදගෙන යාමේ ය.

“අසාද් ආන්ඩුව රසායනික අවි භාවිතා කිරීමට දඬුවම් ලෙස සිරියාවට බෝම්බ වැසි ප්‍රහාරයක් එල්ල කල යුතු යයි ඔබාමා පරිපාලනය ප්‍රෝඩා ප්‍රකාශ නිකුත් කරයි. එහෙත් කිසිම බලගතු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහුට බෑ. එවැනි අවි භාවිතා කිරීමට ඉඩ ඇත්තේ සීඅයිඒ පිටුබලය ලබ්න කරලිකාරීන්. පසුගිය මැයි මාසයේ රසායනික අවි ඔවුන් යොදාගත්බව එලිදරවු වී තිබෙනවා."

යුද තර්ජනය මහජන විඥානය වෙනස් කරමින් පවතින බව රත්නායක පැවසීය. ඇමරිකානු පාලක පන්තිය 2003 ඉරාකය ආක්‍රමනය කිරීමේ දී එරට සතුව මහජන සංහාරක අවි පවතීය යන බොරුව යොදා ගත්තේ ය. ඒ සමයේ යුද්ධයට එරෙහිව මහජනයා මිලියන ගනනින් වීදි බට හ. මෙවර එම විරෝධතාවල ඉදිරිපෙලේ සිටි ව්‍යාජ වම්මුන් ද ඇතුලු සංවිධාන අධිරාජ්‍යවාදී යුද්ධය පිටුපස පෙල ගැසී ඇත.

ඇමරිකානු යුද තර්ජනය අවසන් වී නැත. යුද පිලිවෙත ගලාගෙන එන්නේ පාලකයන්ගේ කැමැත්ත අකැමැත්ත තුලින් නොව ධනපති ක්‍රමය මුහුන පා සිටින වෛෂයික ආර්ථික හා දේශපාලන අර්බුදයෙනි. අව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයකට නායකත්වය සැපයීමේ විභවය ඇත්තේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාකට පමනි. දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට වසර 5කට පමන පෙර 1934 දී ලියොන් ට්‍රොට්ස්කි ලියූ "යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය" නම් ප‍්‍රකාශනයෙන් උපුටා දැක්වූ රත්නායක ඇමරිකාව අර්බුදය තුල පුපුරා එන ආකාරය පෙරදුටු අයුරු සඳහන් කලේය. "ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල ප්‍රශ්නය වුයේ යුරෝපය 'සංවිධානය' කිරීම යි. ඇමරිකාව ලෝකය 'සංවිධානය' කල යුතු ය. ඉතිහාසය විසින් මනුෂ්‍ය වර්ගයා ගෙන එනු ලබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනි කඳුමය පිපිරීමකට කෙලින්ම මුහුන දෙන තත්වයකටය" යයි ට්‍රොට්ස්කි පැවසුවේ ය.

ලංකාව තුල ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඇමරිකාව හා චීනය අතර පැද්දෙමින් සිටින ආකාරය රත්නායක විස්තර කලේය. යුද්ධයකට එරෙහි මහජන සහයෝගය අල්ප තත්ත්වයකට පත්ව ඇතත් කලින් යුද විරෝධීන් ලෙස පෙනී සිටි එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය හා ලංකාවේ නව සම සමාජ පක්ෂ වැනි ව්‍යාජ-වාම සංවිධාන සිරියාවේ අසාද් තන්ත්‍රයට එරෙහිව සටන් වදින ඊනියා කැරලිකරුවන් නිරත වන්නේ විප්ලවකාරී අරගලයක බව කියමින් අධිරාජ්‍යවාදී බලයන් සමග පෙලගැසී ඇති ආකාරය රත්නායක පෙන්වා දුන්නේ ය.

ලංකාව තුල බොරු වාම වාදී පක්ෂයක් වූ එක්සත් සමාජවාදී පක්ෂය සිරියාව තුල සිදුවන්නේ දෙරටක් අතර යුද්ධයක් බව කියා ඇත. ඇමරිකාව ප‍්‍රමුඛව සිවිල් යුද්ධය අවුලුවා ඇති බවත් අධිරාජ්‍යවාදී යුද තර්ජනයක් සිරියාවට එරෙහිව එල්ල වී ඇති බවත් ඔවුහු වසන් කරති. අව්‍යාජ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප හා එහි තරුන ව්‍යාපාරය සමග එක්ව මූලිකත්වය ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. ලෝක යුද්ධයක් නතර කිරීමේ බලගතු බලය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව පෙන්වා දුන් ඔහු එහි මුලෝපාය නම් ලෝක සමාජවාදී විප්ලවය බව අවධාරනය කලේ ය.

රැස්වීම අවසානයේ පැවති ප්‍රශ්න ඇසීමේ වාරයේ දී එක් අයෙක් යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන් අතර සිරියාවට එරෙහි යුද්ධයක් කෙරෙහි පවතින නො එකඟතා පිලිබඳව විමසා සිටියේ ය. එක්සත් ජනපදයේ ඉලක්කය වන්නේ ට්‍රොට්ස්කි සිය සම්භාව්‍ය යුරෝපය හා ඇමරිකාව නමැති කතාව තුල සඳහන් කල ආකාරයට යුරෝපය ප්‍රතිසංවිධානය කොට එහි වියදමින් සිය අර්බුදය විසඳා ගැනීම බව විස්තර කල රත්නායක අධිරාජ්‍යවාදීන් අතර සබඳතා සැමවිටම සරල හා සුමටව නො පවතිනු ඇති බව ද ඔවුන් අතර අන්තර් අධිරාජ්‍යවාදී ප්‍රතිඝතිතා ඉස්මතු වෙමින් පවතින බව කීවේ ය.

මතු කෙරුනු තවත් ප්‍රශ්නයක් වූයේ සිරියාවට ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරනීකරනය කිරීමට ඉඩහසර සකසා දීමේ දී අසාද් තන්ත්‍රයේ භූමිකාව පිලිබඳව සසප ස්ථාවරය කුමක්ද යන්නයි. සසප අසාද් වැනි සියලු ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන්ට කිසිදු දේශපාලන සහනයක් නො දෙන බවත් එහෙත් අසාද් සමග ගනුදෙනු කිරීම ප්‍රගතිශීලී පදනමක කල හැක්කේ සිරියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මිස අධිරාජ්‍යවාදී පාලකයන්ට නො වන බවත් පැවසූ රත්නායක සිරියාව මත ඇමරිකානු යුද්ධයකට සසප විරුද්ධ වන්නේ සප්‍රතිපත්තික පිලිවෙතක් මත බව පැහැදිලි කලේ ය.

Share this article: