ආසියානු සුනාමියෙන් වසර 10ක්

Ten years since the Asian tsunami disaster

විජේ ඩයස් විසිනි, 2014 දෙසැම්බර් 27

මුහුද යට සිදුවූ භූමිකම්පාවකින් හටගැනුනු විනාශකාරී රල පහර මගින් ජීවිත 230,000ක් පමන බිලිගැනුනු ඉන්දියානු සාගර සුනාමියේ 10 වන සංවත්සරය දෙසැම්බර් 26 දාට යෙදුනි. ඉන්දුනීසියාව වඩාත්ම ව්‍යසනයට පත් රට වූ අතර ඊලගට ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය පිලිවෙලින් සුනාමියේ විනාශයට හසු විය. සිකුරාදා මෙම රටවල සහ තවත් ප්‍රදේශවල අනුස්මරන උත්සව පැවැත්වුනි.

අප මේ සමග යලි පල කරන්නේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජික, විජේ ඩයස්, සුනාමියේ ප්‍රතිවිපාක විභාග කරමින්, 2005 පෙබරවාරි 4 දා සිඩ්නි නුවර පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී “ආසියානු සුනාමි ව්‍යසනයට මුහුන දීමට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක්” යන මැයෙන් පැවැත්වූ කතාවකි.

****

බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් ඊනියා ස්වාධීනතාව ලැබීමේ 57 වන සංවත්සරය සිහි කිරීම සඳහා අද ශී‍්‍ර ලංකාවේ ජාතික නිවාඩු දිනයක්. මෙම සිද්ධිය සිහි කිරීම සඳහා ආන්ඩුව,සාමාන්‍යයෙන් යුද හමුදා පෙලපාලි සහිත සංදර්ශන පවත්වතත් මෙවර සුනාමි ව්‍යසනය නිසා ඒවා පැවැත්වෙනු ඇත්තේ ලාවට යි. නමුත් ප‍්‍රශ්නය වන්නේ:එවන් උත්සවයකට සහභාගි වීමට දුප්පත් ගොවියන්, ධීවරයන්, රැකියා විරහිත තරුනයන් ද, ඇතුලු වැඩකරන ජනතාවට මොනම හේතුවක් වත් තිබේ ද? යන්න යි.

මිලියන 1.2ක් ජනයා - මෙය දිවයිනේ සමස්ත ජනගහනයෙන් විස්සෙන් එකක් - දැන් ජීවත්වන්නේ අනාථ කඳවුරුවල. ඉන් 450,000ක්ම පසුගිය 20 වසර තිස්සේ එක පිට එකක් ධනේශ්වර ආන්ඩු විසින් පවත්වා ගෙන යනු ලබන සිවිල් යුද්ධය නිසා අවතැන් වූවන්. ඉතුරු අය සුනාමිය නිසා දුඃඛිත ජීවිතයකට ඇද දමනු ලැබූවන්.

සුනාමියෙන් 40,000ක් මිනිසුන්, ගැහැනුන්, හා දරුවන් මරනයට පත් වුනා. තවත් 4,000ක් අතුරුදහන් වූ අය ලෙස සැලකෙනවා. මෙය යුද්ධයෙන් මරනයට පත් කැරුනු බවට තක්සේරු කෙරුනු 65,000ක් ජන සංඛ්‍යාවට එක් වෙයි.

සුනාමිය සුමාත‍්‍රා දූපත අසල භූමි කම්පාවකින් හටගත් නමුත් දකුනු ආසියාවේ හා අප‍්‍රිකාවේ ප‍්‍රදේශ තුල ඉන් ඇතිවූ විනාශකාරී විපාක හුදෙක් ස්වාභාවික විපතක් නො වේ. විනාශය ප‍්‍රධාන වසයෙන් ම සිදුවූයේ, සියලු අර්ධ-යටත්විජිත රටවලට, මහාපරිමානව අරක් ගෙන සිටුනා දරිද්‍රතාවය නිසයි.

මෑත දී ෆ‍්‍රන්ට්ලයින් සඟරාවට ප‍්‍රෆුල් බිද්වායි ලියූ ලිපියක් මෙසේ පැහැදිලි කලා: "ව්‍යසනයන්ගේ විපාක අසමතුලිත ය. සාමාජික වසයෙන් නිර්නිත ය. ජපානයේ සාමාන්‍ය ස්වාභාවික ව්‍යසනයක් මිනිසුන් 63ක් මරා දමයි. එහෙත් පීරු රටේ එවන් මරනවල සාමාන්‍ය සංඛ්‍යාව 2,900කි, 46 ගුනයක් වැඩි ය. 1985 දී එලීනා සුලිසුලඟ එක්සත් ජනපදයට කඩා වැදීමෙන් මිය ගියේ 5 දෙනෙක් පමනි. එහෙත් 1991 දී බංග්ලාදේශයට කඩා වැදුනු සුලි සුලෙඟන් ලක්ෂ 5ක් ජනයා මරුමුවට පත් වූහ. 10,000 කට වැඩි ජනකායක් භූමිකම්පාවලින් මරනයට පත් වී ඇති අවස්ථා තිබෙන්නේ තුන්වන ලෝකයේ පමනි.”

මා මෙම දේශනයේ දී සඳහන් කරන්නේ, ප‍්‍රධාන වසයෙන් ම ශී‍්‍ර ලංකාව ගැන නමුත්, ඒ හුදෙක්, මා එමරට ගැන සමීපව දන්නා නිසා පමනක් නොවෙයි, ඒ රටේ උද්ගතව ඇති තත්වය ආසියාව, අපි‍්‍රකාව සහ ලතින් ඇමරිකාවේ සියලුම පසුගාමී රටවලට ද පොදුවන නිසා යි. මේ රටවල ජනගහනයෙන් බහුතරයක් පෙලන දරිද්‍රතාවය මිනිසා විසින් නිර්මානය කරන ලද්දක්. එහි හේතුව පවත්නේ ද්‍රව්‍යමය බලය හෝ සොබාදහමේ බලවේග තුල නොවේ. ස්වභාව ධර්මය මේ රටවලට අගනා ස්වාභාවික සම්පත් ද වාසිසහගත දේශගුනික තත්වයන් ද ලබා දී ඇතත් ජනකායයෙන් බහුතරයක් තුච්ඡ දිලිඳු බවෙහි ගිල්වා ඇත්තේ ධනේශ්වර සමාජ පර්යාය විසිනුයි.

අධිරාජ්‍යවාදීන් අතින් දේශීය ධනේශ්වර පන්තිය අතට - ස්වාධීනතාවේ නාමයෙන් - බලය මාරු කිරීම, පසුගිය අර්ධ ශතවර්ෂය තුල, කම්කරුවන්ට හෝ දුප්පත් ගොවි ජනයාට මොනම සහනයක් හෝ අත්කර දී නැහැ. මෙයට ප‍්‍රතිකූලව, මහාජනතාවගේ සමාජතත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට නිරන්තර ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙය විශේෂයෙන් ම පසුගිය දෙදශකය පිලිබඳව සත්‍ය තත්වයයි. මෙය, සුනාමියේ විපාකයක් ලෙස සාමාන්‍ය ජනතාවට මුහුන දීමට සිද්ධ වූ ව්‍යසනයට දැක්වුනු දේශපාලන සංස්ථාපිතයේ සහ පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිචාරයේදීත් දරුනු ප‍්‍රකාශනයක් අත් කර ගෙන තිබෙනවා.

විනාශ වූ නිවාසත් නැති වූ ජීවිතත් ප‍්‍රධාන වසයෙන්ම මුහුදුකරයේ ජීවත්වූ දුප්පත් ජනයාගේ යි. මින් බොහෝ දෙනා ධීවරයන් සහ ස්ථිර රක්ෂා නැත්තන්. ඔවුන්ගේ නිවෙස්, පැල්පත් යන නමට පමනක් ඔබින, බිඳෙන සුලු අට්ටාලයන්. මේවාට සුනාමියක් තබා කුඩා පරිමාන ජල ගැල්මක් හෝ කුනාටුවක් පවා දරා සිටීමට නොහැකි යි. සුනාමියෙන් පසුව, අප ගන්නා ලද සමහර පින්තූරවල ගොඩනැගිලි රොඩු බොඩු රාශියක් මැද නැගී සිටි එක් තනි නිවසක් සමහර විට දැකගත හැකි යි. මෙවන් නිවෙස් රැකුනේ ඒවා ව්‍යුහාත්මකව ශක්තිමත් වූ නිසාත් එවන් වියදමක් කර ගැනීමට ගෙහිමියා සමත්ව සිටි නිසාත්. ඒ ප‍්‍රදේශීය ධනපතියෙකුගේ නිවසයි.

ධීවරයන් තම ජීවනෝපාය නිසා මුහුදට ආසන්නව ජීවත් වූ අතර, ඉඩම් කෑල්ලක වියදම දරා ගත නොහැකි වූ වෙනත් මගීන් විශාල සංඛ්‍යාවකටත් එම පෙදෙස්වල ජීවත් වීමට සිදුව තිබුනා. වෙරලාසන්න දුම්රිය මාර්ගය වෙරලට සමාන්තරව දිවෙන්නක්. දුම්රිය පාර දෙපස විශාල ඉඩම් ප‍්‍රමානයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත බිම්. බොහෝ දිලින්දෝ මෙම ඉඩම්වල පැල්පත් තනා ගෙන සිටියා. දැන් මොවුන් වචනයේ සර්වාර්ථයෙන් ම සියල්ලට අහිමිව ගොසින්. ඔවුන් බැංකු ගිනුම් හා රක්ෂන පිලිවෙත් ඇත්තන් නොවෙයි.

තම නිවස වැනැසුනු කල්හි ඔවුන්ට ඉතුරු වූ දෙයක් නෑ. බොහෝ දෙනා රජයේ ඉඩම්වල "නීති විරෝධී පදිංචිකරුවන්” ලෙස සැලකෙන හෙයින් වන්දිවලට පවා අහිමි වූවන්. මේ මිනිස්සු කල් තබා අනතුරු හැඟවීමක් හෝ ලද්දේ නැහැ. ලංකාවේ නැගෙනහිර හා ගිනිකොන වෙරලට සුනාමිය වන් වහාම පනිවුඩයක් ප‍්‍රචාරය කරනු ලැබී නම් බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබුනි.

රලගෙඩිවලට දකුනු හා නිරිතදිග වෙරල කරා ලඟාවීමට තවත් මිනිත්තු 30ක් ගත වුනා. මහජනයා මිනිත්තු 15ක් රට තුලට ඇවිදගෙන ගියා නම් ඔවුන්ගේ ජීවිත ගලවා ගත හැකිව තිබුනා. එහෙත් අනතුරු හැඟවීමක් තිබුනේ නැහැ. ආන්ඩුවේ මෙම සාපරාධී නොතකා හැරීම වසන් කිරීමට බොහෝ යුක්ති ප‍්‍රතිපාදනයන් දැන් කරනු ලැබෙනවා. දෙසැම්බර් 26 දින නිවාඩු දවසක් යයි ද ආන්ඩුවේ කාර්යාල ඒ නිසා වසා තිබුනේ යයි ද යන්න ඉන් එකක්.

මෙයින් ඉස්මතු වන්නේ දේශපාලන සංස්ථාපිතය ද ප‍්‍රභූව ද සාමාන්‍ය ජනයාගේ ජීවිත කෙරෙහි දක්වන්නා වූ පරිපූර්න නොතැකීම යි. පොහොසත් රටවල ධනේශ්වරය දුප්පත් රටවල ජනතාව සලකන්නේ සූරාකෑමට උචිත අමුද්‍රව්‍ය ලෙස පමනයි. විදේශීය සහ දේශීය ආයෝජකයන්ට සූරාකෑම සඳහා ලාභ ශ‍්‍රමය ලෙස යි. මෙහිලා විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාව පිලිබඳව දැක්විය යුතු වූ තවත් කරුනක් නම්, ම්ලේච්ඡ සිවිල් යුද්ධය විසින් මිනිස් ජීවිත තුට්ටුවට බාල්දු කර ඇත යන්නයි.

වැඩ කරන ජනතාවගේ ප‍්‍රතිචාරය

සහනාධාර කටයුතු කෙරෙන අන්දමින් ම පැහැදිලි වූයේ ද සාමාන්‍ය ජනතාව කෙරෙහි ආන්ඩුවේ කිසි තැකීමක් නැති කමයි. විනාශයෙන් දින දෙකකට පසුව වුව ආන්ඩුව, නිලධරය සහ සන්නද්ධ හමුදා පක්ෂාඝාතව පැවැතුනි. තත්වයට මුහුන දීමට ස්වෙච්ඡාවෙන්ම නැගී සිට අබග්ගයට පත්වූවන්ට ආධාර ලබාදුන් ලඟපාත පෙදෙස් හි සාමාන්‍ය ජනතාව නොවන්නට තවත් දහස් ගනනක් මිය යන්නට ඉඩ තිබුනි. තමන්ට සුදුසු හව්හරනක් හා සහනයක් ලබා දීමට ආන්ඩුව අසමත් වීම පිලිබඳව කෝපය ප‍්‍රකාශ කල අවතැන් වූ මිනිසුන් අපමන දෙනා අපේ ලෝසවෙඅ වාර්තාකරුවන්ට මුන ගැසුනා. සාමාන්‍ය ජනතාවගේ මෙම ප‍්‍රතිචාරය කම්කරු පන්තියත් පීඩිත ජනයාත් භේද කර තබා ගැනීම සඳහා පාලක ධනේශ්වර පක්ෂ විසින් දශක ගනනාවක් පුරා තනා, වගා කොට, පවත්වා ගෙන යමින් ඇති වාර්ගික හා ආගමික භේදයන් හරහා කපාගෙන ගිය බව අවධාරනය කල යුතුයි. තමන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට මුලුමනින්ම යටත් වූ දේශීය ධනේශ්වරය මහජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර ඉල්ලීම්වලට මොනයම්මැ හෝ විසඳීමක් ලබාදීමට නොසමත්. එහෙයින් මුල පටන්ම, ධනේශ්වරය, බෙදා පාලනය කිරීමේ පිලිවෙතක් යොදාගනිමින්, ප‍්‍රතිගාමී සිංහල ජාත්‍යෝත්තමවාදය මත යැපී සිටිනවා.

දෙමල කතා කරන වතු කම්කරුවන් ඉන්දියාවෙන් සංක‍්‍රමනය වූවන් ය යි කියා 1948-49 දී ඡන්ද බලයට අහිමි කැරුනු තැන් පටන්, 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම දක්වා, සුලුතර ජනතාවට වෙනස්කම් කිරීමේ පිලිවෙත ඉදිරියට ගෙන ගියා.

තමන්ගේ රක්ෂා රැකගැනීමට නම් දෙමල කම්කරුවන් සිංහල උගත යුතු යයි බල කෙරුනා. 1977න් පසු විවෘත ආර්ථික පිලිවෙත් යොදාගැනීම මගින් කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාර එල්ල කිරීම සඳහා, 1983 දී සිවිල් යුද්ධය දියත් කරමින් මේ ජාත්‍යෝත්තමවාදය අවුලුවා ලීම ඉහල නැංවුනා. මෙම ප‍්‍රජාගන භේදවල අතාර්කික බව සහ කෘතී‍්‍රම බවයි, සුනාමියෙන් පන රැකගත්තවුන්ට ආධාර දීමට මහ ජනයා එකාවන්ව ඉදිරිපත් වීම තුලින් විදහා දැක්වුනේ. ආධාර අවශ්‍යව සිටියේ සිංහලයෙක් ද, දමිලයෙක් ද, මුස්ලිම් අයෙක් ද යන්න ඔවුන් ගනනට ගත්තේ නැහැ. ඔවුන්ට නවාතැන් සපයන්නේ පන්සලක ද කෝවිලක ද පල්ලියක ද යන්න සැලකුනේත් නැහැ.

තුවාලකරුවන්ට පිලියම් කරමින් ආධාර කරන සේ සෙස්සන් ද කැඳවමින් රෝහල් සේවකයන් සැලකියයුතු කි‍්‍රයාකලාපයක් ඉෂ්ට කලා. සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට ගෙනගිය සටන්කාමී අරගල නිසා මෙම රෝහල් සේවකයන්ම - වෛද්‍යවරුන් පටන් පහලම මට්ටමේ සේවකයන් දක්වා - පසුගිය දිනවලදී අවලාද කන්දරාවකට පාත‍්‍ර කරනු ලැබුනා. ධනේශ්වර මාධ්‍ය මොවුන් රෝගීන්ගේ සතුරන් යයි පින්තාරු කිරීමට උත්සාහ කලා.

සුනාමියට ගොදුරු වූවන්ට ආධාර කිරීම සඳහා වැඩකරන ජනතාවගේ ස්වාධීන මැදිහත් වීමෙන්, පාලක පන්තියත්, රාජ්‍ය තන්ත‍්‍රයත්, සන්නද්ධ හමුදාත් බියට පත් වුනා. ඔවුන්ට මෙම ඉදිරිපත්වීම පෙනී ගියේ සාමාන්‍ය ජනතාව තහනම් භූමියකට අනවසරයෙන් 23 ඇතුලු වීමක් ලෙසයි. ආන්ඩුව වහාම සියලු සහනාධාර කටයුතු හමුදාව යටතට පත් කිරීමට පියවර ගත්තා.

මෙම තීන්දුව යුක්ති සහගත කිරීමට ලමා කොල්ලයන් ද ස්තී‍්‍ර දූෂනය ද පිලිබඳ අතිශයෝක්ත වාර්තා පලකිරීම සඳහා මාධ්‍ය බලමුලූ ගැන්වුනා. පොදු ජනයාගේත් ව්‍යසනයට ගොදුරු වූවන්ගේත් ස්වෙච්ඡා සේවකයන්ගේත් දැඩි කෝපයට මුහුන දුන් ආන්ඩුව පසුව අඩියක් පස්සට ගෙන හමුදාව යෙදවෙන්නේ අනාථ කඳවුරු තුල ආරක්ෂක පියවර ගැනීමට පමනක් බව කිව්වා.

එහෙත් ජනාධිපති කුමාරතුංග, ඉන් දින කිහිපයකට පසු, ජනවාරි 6දා දිවයිනේ දිස්ති‍්‍රක්ක 25න් 14කට බලපාන පරිදි දරුනු හදිසි නීති නියෝග මාලාවක් පැනවූවා. මෙය අඩු ගනනේ පාර්ලිමේන්තුවේ තබා කැබිනට් මන්ඩලය තුල වත් සාකච්ඡාවට බඳුන් කලේ නැහැ. තමන් පාලනය කරනු ලබන්නේ කුමන නීති යටතේ දැයි දැන ගැනීමට මහ ජනයාට අයිතියක් තිබෙන බව මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දෙන තෙක් ම, මෙම රෙගුලාසි රහසිගතවයි තිබුනේ.

හදිසි නීති රෙගුලාසි මගින් පොදු සාමය සුරැකීමේත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේත් නාමයෙන් හමුදාවට සහ පොලීසියට පුලුල් බලතල පවරා දෙනු ලැබුනා. ප‍්‍රාදේශීය හමුදා අනදෙන නිලධාරීන්ට හා ජනාධිපති විසින් පත් කෙරෙන නිසි බලධාරියාට ගොඩනැගිලි, ඉඩම්, හා වාහන සහන කටයුතුවලට යයි බලෙන් පවරා ගැනීමට බලය ඇත. එපමනක් නොවෙයි, සුනාමි උවදුරට අමතරව ජාතික ආරක්ෂාව උඩ ද ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම වැඩක් කිරීමටත් සේවයක් සම්පාදනය කිරීමටත් බල කිරීමට ඔවුන්ට බලය තියෙනවා. මෙම රෙගුලාසිය අනුව හමුදාවට බලෙන් බඳවා ගැනීම පවා කල හැකි වනු ඇති. මේවා මගින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් බරපතල උල්ලංඝනයකට පාත‍්‍ර කර තියෙනවා. හමුදාව විසින් පසුගිය 20 වසරක් පුරා කරන ලද මෘග වධ දීම් හා මිනීමරු කි‍්‍රයා සලකා බලන කල්හි මෙම රෙගුලාසි මගින් මහ ජනතාව කොතරම් බරපතල අන්තරායකට මුන ගස්වා ඇත්දැයි පැහැදිලි යි.

මින් පසුව, දකුනේ හම්බන්තොට ප‍්‍රසිද්ධ රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ, ඉදිරි පස් වසර තුල මැතිවරන අහෝසි කල යුතු ය යන අදහස යි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව එල්ල කර ඇති මෙම කවර ප‍්‍රහාරයකට වත් - දකුනෙන් හෝ වමෙන්- විරුද්ධ පක්ෂවලින් හෝ වෘත්තීය සමිතිවලින් මොනම වර්ගයේ විරෝධයක් වත් ඉදිරිපත් වී නැහැ. මෙම විරෝධතාවක් නැතිවීම "සුනාමි කම්පනයේ” විපාකයක් නොවේ. එය මානව හිතවාදී සහන වැඩපිලිවෙල බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම අරමුනු කොට දක්වන නිශ්ශබ්දතාවකුත් නොවේ. එම නිශ්ශබ්දතාවයට හේතු වන්නේ, සමාජ අසමානතාව ගැඹුරුවන තතු තුල, මහා ජනතාවගෙන් බහුතරයේ ජීවිතය තවදුරටත් ඉසිලිය නොහැකි තරම් දුෂ්කර වන තතු තුල ධනේශ්වර පාලනය සමග කම්කරුවන්ගේත් දුප්පත් ජනයාගේත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සමහන් කල නොහැකි තත්වයක් උද්ගතව පැවතීම යි.

දල තක්සේරුවක් ලෙස ගත් කල, සමස්ත ජනගහනයෙන් පොහොසත්ම සියයට 20ක් ජාතික ආදායමෙන් අඩකට වඩා භුක්ති විඳින අතර අඩුම ආදායම් ලබන සියයට 20ට හිමිවන්නේ ජාතික ආදායමින් සියයට දහයයි. සියයට 40කට අධික ජනකායක් දරිද්‍රතා කඩ ඉමට පහලින්, දිනකට එක් ඩොලරයකට අඩු වැටුපක් ලබා දිවි ගෙවනවා. නිදහස් වෙලඳ කලාප කම්කරුවෙකු ලබන්නේ මසකට ඩොලර් 45කට අඩු, රුපියල් 4500ක යාන්තම් ජීවත්වීමට පමනක් සෑහෙන වැටුපක්. මෙම තතු තුල පාලක පන්තියට ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ද පාර්ලිමේන්තු පාලනය ද අනවශ්‍ය කරදරයක් ලෙස පෙනී යනවා. ව්‍යවස්ථාවට වල කපා ඒකාධිපති පාලනයක් ඇටවීමේ උත්සාහය දැන් කාලයක් තිස්සේ පාලක පන්තියේ න්‍යාය පත‍්‍රයට ඇතුලත්. 2003 නොවැම්බරයේ දී, කුමාරතුංග එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවෙන් ඇමති ධුර තුනක් අල්ලා ගෙන බල කොල්ලයක යෙදුනා. මින් මාස තුනකට පසු ඈ හිතුවක්කාර ලෙස මුලු ආන්ඩුවම පන්නා දැම්මා.

කම්කරු පන්තියේ නාමයෙන් කතා කරන පක්ෂ එකක්වත් මෙම ප‍්‍රතිගාමී පියවරයන් එකකටවත් විරුද්ධ වූයේ නැහැ. සිංහල ජාත්‍යෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන දැන් කුමාරතුංග සමග පෙලගැසී තමන්ගේ සමාජවාදී වාචාල දෙඩවිලි සියල්ල හලා දමා තියෙනවා.

එය දැන් "ස්ථාවර ජාතික ආන්ඩුවක්”, ඒ කියන්නේ දෙමල සුලුජාතියට එරෙහිව යුද්ධ කරන ආන්ඩුවක්, සඳහා ව්‍යායාමයක යෙදී සිටිනවා. කලෙකට පෙර, ලංකාවේ විශාලතම කම්කරු පන්තික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද සමග, ජනාධිපති පසුපසින් වැටීගෙන, ඇගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩසටහනට පූර්න සහයෝගය දෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා දැමීමේ දී පාලක ප‍්‍රභූව, අධිරාජ්‍යවාදී රටවල්, විශේෂයෙන් ම බුෂ් පාලනාධිකාරය, සමග තමන්ගේ සම්බන්ධතා වගා කර ගැනීම මගින් ධෛර්යයක් ලබා ගන්නවා. සුනාමියෙන් ඉක්බිත්තේ, එක්සත් ජනපදය 13,000ක භට පිරිසක් යුද නැව් 21ක් ගුවන් යානා 75ක් ඉන්දියානු සාගරය තුලට එවුවා. දකුනු ආසියා ප‍්‍රදේශය තුල ශී‍්‍ර ලංකාව, බුෂ් පාලනාධිකාරයේ භූ-දේශපාලනික මූලෝපායික සැලසුම්වල කේන්ද්‍රීය ලක්ෂයක්ව පවතිනවා. යේල් සරසවියේ ඉතිහාසඥ ජෝන් ලුවිස් ග්ලැඩ්ඩිස් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශ කලේ,

"ඉරාකයේ දී අත්පත් කරගෙන ඇති අපේක්ෂා භංගයෙන් ද, පූර්ව භංග පිලිවෙත මගින් ඉස්ලාමීය ලෝකය හා ඔහු ඇතිකරගෙන තිබෙන ආතති සහගත තත්වයෙන් ද ඔබ්බට ගමන් කිරීම සඳහා” සුනාමි ව්‍යසනය "අවස්ථාවක් ලබා දෙන” බවයි. "එය වනාහී එක්සත් ජනපදයට කාගෙන්වත් දොස් නොඅසා මැදිහත් වීමට ඉඩ ලබා දෙන සත්-කාර්යයක් පිලිබඳ උදාහරනයකි”යි ඔහු පැවසුවා. කෙසේ වෙතත්, එක්සත් ජනපද නාවික භටයන් මානව හිතකාමී සහන සේවකයින් යයි හුවා දැක්වීමට මාධ්‍යයන් විසින් කොතරම් උත්සාහ කලත් දශක ගනනාවක් තිස්සේ අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කොට සූරාකනු ලැබූ මෙම ප‍්‍රදේශයේ කම්කරු පන්තිය ඇමරිකානු නාවික භටයන් මෙහි සිටීම සතුටින් පිලිගන්නේ නැහැ. මහ ජනයාට වියට්නාමය පිලිබඳ මතකය තියෙනවා.

වත්මන් ඉරාකයේ එක්සත් ජනපද මිලිටරිය ඉටුකරන ම්ලේච්ඡ කි‍්‍රයා කලාපය එක්සත් ජනපද පාලනය කෙරෙහි ද පොදුවේ අධිරාජ්‍යවාදය කෙරෙහිද මහජනයාගේ විරුද්ධත්වය යලි පනගන්වනවා. එහෙත් කිව යුත්තේ, මෙම හැඟීම්වලටත් සුනාමියට ගොදුරු වූවන් කෙරෙහි පතල ස්වයංසිද්ධ සහානුකම්පාවටත් දැනුවත් දේශපාලන වැඩ පිලිවෙලක් තුලින් උච්චාරනයක් තවමත් ලබා දී නැත යන්නයි. ඒ ප්‍රෝත්සාහයන් සමාජවාදය සඳහා අප පක්ෂයේ අරගලය උදෙසා කම්කරු පන්තියේත් පීඩිත ජනයාගේත් පුලුල් ස්ථරයක් උගන්වා ගැනීම සඳහාත් ඔවුන් බලමුලු ගන්වා ගැනීම සඳහාත් සමත් කරවන්නා වූ වෛෂයික තත්වයන් වේගයෙන් මෝරා එමින් පවතින බව ප‍්‍රකාශිත කරනවා.

මාක්ස්වාදී පක්ෂයේ කර්තව්‍යයෝ

අප මෙහිදී එලඹෙන්නේ, සියලුම ප‍්‍රශ්නයන් අතුරෙන් තීරනාත්මකවන දේ කරායි. මාක්ස්වාදී පක්ෂයේ කර්තව්‍යය යි ඒ. අපට සුනාමියට ගොදුරු වූ අය ගැන හුදෙක් ශෝකවිය නොහැකි යි: එසේම සහනාධාර නැතිකම පිරිමසාලීමට ආදේශවීම ද අපගේ මූලික කටයුත්ත නොවේ. අප ස්වෙච්ඡා සේවක සංවිධාන කරගෙන යන සහන වැඩවලට එරෙහි නැහැ.

ඔවුන්ගේ ප‍්‍රයත්නය හා පරිශ‍්‍රමය අපි අගය කරනවා. එහෙත් සමාජවාදී විප්ලවවාදීන් ලෙස අපගේ ප‍්‍රධාන කර්තව්‍යය වන්නේ, මරනාසන්න ධනේශ්වර පද්ධතිය යටතේ මහජනතාව වහල් බවට පත් කොට ගෙන තිබෙන පීඩාකාරී සමාජ හා දේශපාලන කොන්දේසි පෙරලා දැමීම උදෙසා ඉදිරි දර්ශනයක් හා කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කිරීම යි. සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට අවශ්‍ය දෑ ඇති තරම් සම්පාදනය කිරීම රජයේ හා ආන්ඩුවේ වගකීම ය යන වැටහීම අප වැඩකරන ජනතාව තුල ප‍්‍රචලිත කල යුතු යි. මෙම මූලික අවශ්‍යතා සපුරා ලීමට ආන්ඩුව අසමත් වන තතු තුල විකල්පය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක ස්වරූපයෙන් රාජ්‍ය බලය කම්කරු පන්තිය අතට ගැනීමය යන්න අප ඉදිරිපත් කල යුතු යි.

ලියොන් ට්‍රොට්ස්කිගේ "ද යං ලෙනින්” (තරුන ලෙනින්) නම් කෘතියෙන් ඡේදයක් මෙහිදී උපුටා දැක්වීමට මම කැමතියි. එය රුසියාවේ 1891-92 සාගතය සමයේ මාක්ස්වාදීන්ගේ අත්දැකීම පිලිබඳව සාකච්ඡා කරයි. සාර් ඒකාධිපතිත්වයට තමන් නැතිව බැරි බව ඔප්පු කිරීම සඳහා අපේක්ෂාවෙන් සහනාධාර සම්පාදනයට ලිබරල්ලු හා රැඩිකල්ලු පැන ගත්තා. ලෙනින් මෙයට වෙනස් පිලිවෙතකයි පිහිටියේ. ඒ පිලිබඳව ට්‍රොට්ස්කි කල පැහැදිලි කිරීම මෙහි දී මාක්ස්වාදීන් අනුගමනය කල යුතු පිලිවෙත් පෙන්නුම් කරනවා.

"එකල පොදුවේ මාක්ස්වාදීන්ට එරෙහිව එල්ල කරන ලද චෝදනාව නම්, ඔවුන් ජාතික ව්‍යසනය තමන්ගේ න්‍යාය ධර්මයේ කන්නාඩි තුලින් දැකගත් බව ය. එම චෝදනාව මෙම විවාදයන්ගේ පැවැති පහත් න්‍යායික මට්ටම පෙන්නුම් කරයි. ඇත්ත නම්, සියලු බලවේග හා කන්ඩායම් දේශපාලන ආස්ථානයන් ගත් බව ය: ආන්ඩුව, තම කීර්තියේ අවශ්‍යතාව පෙරදැරි කොට ගෙන, සාගතයක් නොවී යැයි කීය. නැතහොත් එය අඩු තක්සේරු කලේ ය.

ලිබරල්ලු සාගතයක් පවත්නා බව එලිදරව් කරන අතර ම තමන්ට බලයේ බත්තුලක් දෙන්නට සාර් සූදානම් නම්, තමන් ඔහුගේ හොඳම සහකරුවන් වීමට සූදානම් බව ‘සාධනීය වැඩ’ මගින් ඔහුට පෙන්නුම් කිරීමට උත්සුක වූහ. ජනතාවාදියෝ ආහාර බෙදන ස්ථානවලට ද, උනසන්නිපාත රෝහල්වලට ද, දිව යමින් ජනතාවගේ සහාය දිනා ගැනීමට සාමකාමී හා නීත්‍යනුකූල මාවතක් සොයා ගැනීමට කැස කැවූහ. මාක්ස්වාදීන් විරුද්ධ වූයේ සාගතයෙන් පෙලෙන්නන්ට ආධාර සැපයීමට නොවේ, අගහිඟයේ සාගරය මානව හිතවාදයේ කන් හැන්දකින් ඉසින්නට හැකි ය යන මිථ්‍යාවට ය. නීත්‍යනුකූල කමිටුවක හෝ කැන්ටිමක හෝ සෙම්ස්ට්වෝ (ගම්සභා) නියෝජිතයෙකු ගේ හෝ නිලධාරියෙකු ගේ තැන විප්ලවවාදියෙක් බාර ගත හොත් ව්‍යාපාරය තුල විප්ලවවාදියාගේ තැන ගන්නේ කවු ද? පසු කලෙක ප‍්‍රසිද්ධ කරන ලද අමාත්‍යංශ සටහන් හා නියෝගවලින් නිසැකව ම පැහැදිලි වන්නේ ආන්ඩුව සාගතයෙන් පෙලෙන්නවුන්ට ආධාර පංගු ඉහල දැම්මේ විප්ලවවාදී උද්ඝෝෂනයට තිබුනු භීතිය නිසා බව ය. මේ අර්ථයෙන් ගත් කල්හි සැබැවින්ම ආධාර දිනාගැනීම පැත්තෙන් ගත්ත ද විප්ලවවාදී පිලිවෙත නිර්පාක්ෂික මානවහිතවාදයට වඩා බෙහෙවින්ම සාර්ථක විය.” (ලියොන් ට්‍රොට්ස්කි, ද යං ලෙනින්, රෙන් පබ්ලිකේෂන් 173 පි.)

අප මෙම අත්දැකීම්වලින් පාඩම් උකහා ගත යුතුයි. සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට වහාම සහන සපයන ලෙස ආන්ඩුවට හා රාජ්‍යයට බල කරන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අප වැඩ කරන ජනතාව බලමුලුගැන්විය යුතු යි. මෙම ව්‍යසනය මැද ඔවුන්ගේ ම අත්දැකීම්වල දේශපාලන අර්ථභාරය පැහැදිලි කිරීම මගින් ප‍්‍රජා ගන භේදයන් කපා ගෙන එකමුතුව වැඩකරන කල්හි, තමන්ගේ ගැටලු විසඳීමට තමන්ගේ ම ශක්තිය මත රැඳෙන කල්හි, තමන්ට කෙතරම් බලයක් මුදා හල හැක්කේද යන්න පිලිබඳව ඔවුන් දැනුවත් කරමින් මහ ජනතාවට දේශපාලන අධ්‍යාපනය ලබා දිය යුතු වෙනවා.

සියලුම අවතැන්වූවන්ට වහාම ඉඩම් හා නිවාස ලබා දිය යුතු යයි අපි කියා සිටිමු. මුහුදට මීටර 100කට වඩා ආසන්න ස්ථානවල කුමන නිවහනක් හෝ ගොඩ නොනැගිය යුතු ය යන තහනම මිලිටරිය හා පොලීසිය යොදාගෙන බලෙන් කි‍්‍රයාත්මක කිරීමට ආන්ඩුව සැරසෙයි. මෙතැනදීත් සිංහල මිනිසුන් බහුල ප‍්‍රදේශවල මේ සීමාව මීටර් 100ක් වන අතර දෙමල ජනයා බහුල උතුරු හා නැගෙනහිර පලාත්වල එය මීටර් 200කට වඩා පලල් කර ඇත. මෙයමත් වාර්ගික වෙනස්කම් කිරීමකි. මීට ප‍්‍රතිපක්ෂව අප අවධාරනය කල යුත්තේ තම දිවි පෙවෙත පවත්වාගෙන යාම සඳහා කොතැන ජීවත්වීම උචිත දැයි තීන්දු කිරීමේ අයිතිය මහජනයාට ලබා දිය යුතු බව යි.

තම ජීවනෝපාය යලි ආරම්භ කිරීම සඳහා මසුන් මරන්නන්ට අවශ්‍ය උපකරන තවදුර කල් නොමරා වහා ලබා දිය යුතු යි. තමන්ගේ සකල ආම්පන්න නැති වූ ධීවරයන් ට ආන්ඩුව දුන්නේ රු. 5000ක (ඩොලර් 50ක) සොච්චම් දීමනාවක්. හදිසි නීතිත් සහන ආධාර මත මිලිටරියට පවත්නා අධිකාරයත් වහාම අවසන් කල යුතු යි. සියලු රෝහල්, පාසල්, පාරවල්, හා සන්නිවේදන පද්ධතීන් යලි ගොඩ නැගීමට පොදුකාර්ය වැඩ පිලිවෙලක් වහා ඇරඹිය යුතු යි.

මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට යුද්ධය සඳහා කරන වියදම් කපා මුදල් මෙම කටයුතුවලට යෙදිය යුතු යි. ඒ සමගම ධනපතීන් ගොනු ගසන ලාභ පොදිවලට සමානුපාතිකව ධනපතියන්ගෙන් අය කරන බදු වැඩි කල යුතු යි.

මේ වන විට ධනපතියන් විසින් ජනාධිපති සහන අරමුදලට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 262ක් (යන්තම් එක්සත් ජනපද ඩොලර් මිලියන 2.6ක්) පමනයි. එහෙත් ඔවුන්ගේ සමාගම්, ශී‍්‍ර ලංකාවේ තත්වයන්ට අනුව, පසුගිය වර්ෂයේත් විශාල වසයෙන් ලාභ උපයා තියෙනවා. උදාහරනයක් හැටියට ලක්ධනවි සමාගම, 2004 මාර්තු 31 දිනට අවසන් වූ වර්ෂයේ දී, රුපියල් මිලියන 333.5ක බදු ගෙවූ-පසු ලාභයක් ලබාගත්තා. කොමර්ෂල් බැංකුව එම වසරේදී ම පලමුවන මාස 9ට රුපියල් මිලියන 1,310ක ලාභයක් ලබාගෙන තියෙනවා. 2004 වර්ෂයේ ප‍්‍රථම භාගය තුල ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කෝපරේෂන් බෑන්ක් (ඩීඑෆ්සීසී) රුපියල් මිලියන 539 ක ලාභ ගොනුකර ගත්තා. බ්ලූ චිප් සමාගමක් වන රිචඩ් පීරිස් සමාගම 2004 ප‍්‍රථම භාගය සඳහා රුපියල් මිලියන 433ක පෙර- බදු ලාභයක් ලැබුවා. මේ විධියේ ලාභ ගැරිල්ලත් සමග ගත් කල්හි මොවුන් සුනාමි අරමුදලට දුන් ආධාර, අඩුම තරමින් කිවහොත්, ඇත්තට ම විලිලැජ්ජා උපදවයි.

අප ආන්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ තම අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා විකල්ප දේශපාලන කි‍්‍රයා මාර්ගයක අවශ්‍යතාව වැඩකරන ජනතාව තුලට කාවද්දා ඔවුන් උගන්වා ගැනීමට යි. කම්කරු පන්තියේ නායකත්වය යටතේ වැඩකරන ජනතාව තමන්ගේ ම කමිටු ගොඩනගාගෙන සහන වැඩ පිලිවෙලවල් කි‍්‍රයාත්මක කිරීමේදී මූලිකත්වය ගත යුතු යි. එය රාජ්‍යයෙන් ද සකල ධනේශ්වර පක්ෂවලින් ද ස්වාධීනව ඉටු කල යුත්තක්. ආන්ඩුව ද පාලක ප‍්‍රභූව ද සත්තකින්ම කියනු ඇත්තේ මෙම ඉල්ලීම් "ප‍්‍රායෝගික නොවන” හෝ කරන්නට බැරි ඒවා ය කියා යි. කම්කරු පන්තියට මෙයට දැක්විය හැකි එකම ප‍්‍රතිචාරය නම් මොවුන් බලයෙන් පහකර කාර්යභාරය සියතට ගැනීම යි. ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු යි. අප සටන් වදින ඉදිරිදර්ශනය නම් එයයි.

සුනාමිය ජාතික රාජ්‍ය සීමා තැකුවේ නැත. ශී‍්‍ර ලංකාවේ වාර්ගික හා ප‍්‍රජාගන සීමා ගනනට නො ගනිමින් සුනාමිය - තමන්ව ම පුදුමයට පත් කල බව මහ ජනයා අපගේ වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කල අවස්ථා එමටයි. මේවා වැඩකරන ජනතාව ජාතික හා වාර්ගික සීමා ඉක්මවා ඒකාබද්ධ කිරීමට බලගතු නිදර්ශනයන්.

ඉදිරි සමයේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා නිරන්තර දෛනික භාවිතයේ දී වර්ධනය කරනු ලබන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මෙම ප‍්‍රදේශයේ පමනක් නොව ජාත්‍යන්තරව වැඩ කරන ජනතාව අත බලගතු අවියක් වනු නිසැකයි.

Share this article: