සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන ප‍්‍රකාශය - 2015
සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න!
යුද්ධයට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් වදිමු!

SEP statement for Sri Lanka’s presidential election

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2014 දෙසැම්බර් 15

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලබන වසරේ ජනවාරි 08දා පැවැත්වෙන ජනාධිපතිවරනය සඳහා අප ගෙනයන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත් ඊට සම්බන්ධ වන ලෙසත්, සියලුම කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ගෘහනීන්ගෙන් ඉල්ලා සිටියි.

අපගේ අපේක්ෂක පානි විජේසිරිවර්ධන වනාහි, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට අතොරක් නැතිව එල්ල කරන ප‍්‍රහාරයන්ටත් ලෝක යුද්ධයේ වැඩෙන තර්ජනයටත් එරෙහිව, සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් වදින එකම අපේක්ෂකයා ය. සියලු ධනපති අපේක්ෂකයින්ටත්, නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු ඔවුන්ගේ ව්‍යාජ වාම හෙන්චයියන්ටත් අපි විරුද්ධ වන්නෙමු.

සසප දේශපාලන කමිටු සාමාජිකයෙක් වන විජේසිරිවර්ධන, දශක හතරක පමන කාලයක් තිස්සේ කම්කරු පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් දේශපාලන අරගලයක යෙදීමේ දිගු වාර්තාවකට හිමිකම් කියයි. විශ‍්‍රාමික ගුරුවරයෙකු වන ඔහු, බලයට පත්වූ සැම ආන්ඩුවක්ම එල්ල කල ප‍්‍රහාරයන්ටත් වෘත්තීය සමිතිවල ද්‍රෝහිත්වයටත් එරෙහිව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා අධිෂ්ඨාන සහගත අරගලයක යෙදුනු අයෙකු ලෙස ප‍්‍රසිද්ධ ය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කතෘ මන්ඩලයේ සේවය කරයි.

රටේ සමස්ත මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයම, යුද්ධයේ නැගී එන අන්තරාය පිලිබඳව කම්කරුවන් හා තරුනයින් අඳුරේ තබා ඇත. අන් සෑම පක්ෂයකටම එරෙහිව, සසප, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සිය මැතිවරන උද්ඝෝෂනයේ හරි මැද තබයි. යුද අන්තරාය පිලිබඳව පවත්වාගෙන යන නිහඬතාවයේ කුමන්ත‍්‍රනය බිඳ දැමීමටත්, ජාත්‍යන්තර කමිටුවේ අපගේ සහෝදර පක්ෂ සමග සහයෝගීව, ධනවාදය අවසන් කර දමන කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමටත්, අපි සටන් වදිමු.

2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදය සලකුනු කලේ, භූ දේශපාලන ආතතීන් හා එදිරිවාදිකම් ඉමහත් ලෙස උග‍්‍ර කර තිබෙන, ධනවාදයේ ගැඹුරු වන බිඳවැටීමක ආරම්භයයි. යලිදු වතාවක් ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, මිලිටරිමය විධික‍්‍රම ඇතුලු, සියලු විධික‍්‍රම යොදාගනිමින්, සම්පත්, වෙලඳපොලවල් හා මූලෝපායික මධ්‍යස්ථාන මත ගෝලීය පාලනය තහවුරු කරගැනීමේ උත්සාහයක යෙදී සිටිති. පලමු ලෝක සංග‍්‍රාමයෙන් සියක් වසරක හා දෙවන ලෝක සංග‍්‍රාමයෙන් හැත්තෑ පස් වසරක ඇවෑමෙන් දිරාපත්වන ධනවාදී පර්යාය, ඊටත් වඩා විශාල පරිමානයේ විනාශයක් කරා මානව වර්ගයා ඇද දැමීමට තර්ජනය කරයි.

2014 වර්ෂය යුද ධාවනයේ නාටකාකාර උග‍්‍රවීමක් සලකුනු කර තිබේ. ජර්මනිය සමග එක්ව එක්සත් ජනපදය, පසුගිය පෙබරවාරියේදී යුකේ‍්‍රනය තුල ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත‍්‍රනයක් සැලසුම් කොට කි‍්‍රයාවට දමමින් න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග කිසිදු වගවිභාගයකින් තොරව ගැටුමක් අවුලුවාලීය. අගෝස්තු මාසයේදී ජනාධිපති ඔබාමා, ඉස්ලාමීය සටන්කරුවන් මැඩීමේ කඩතුරාව යටතේ ඉරාකය හා සිරියාව තුල මැද පෙරදිග ගිනිඇවිලවීමේ හා මහ බලවතුන් ද ඇදී ඒමේ හැකියාව සහිත විවෘත යුද්ධයකට අනුමැතිය දුන්නේය.

ආසියාවේදී, එක්සත් ජනපදය, තම “ආසියාවට හැරීමේ” ප‍්‍රධාන ඉලක්කය වන න්‍යෂ්ටිකව සන්නද්ධ චීනයට එරෙහිව මිලිටරි ශක්තිය තරකිරීමේ ප‍්‍රයත්නය උත්සන්න කරමින් සිටියි. වොෂින්ටනය කලාපය පුරා මිලිටරි සන්ධාන, මූලෝපායික හවුල්කාරිත්වයන් හා කඳවුරු පිහිටුවීමේ ගිවිසුම් පුලුල් කරමින් සිටියි. කොරියානු අර්ධද්වීපය, දකුනු හා නැගෙනහිර චීන මුහුදු ප‍්‍රදේශවල නාවික ආරවුල් හෝ චීනය සමග ඉන්දියාවේ දේශසීමා මතභේද ඇතුලු යුද ගිනි ඇවිලවීමේ ශක්‍යතාව සහිත කාරනාවන් මාලාවකින් එකක් යුද්ධයක නිමිත්ත බවට පත්විය හැකිය.

පසුගිය මාසයේ ජී 20 සමුලුව කාලයේ පැවැත්වූ කථාවක් තුල ඔබාමා, පසුගිය ලෝක යුද්ධයේදී එක්සත් ජනපදය, කලාපය තුල “ලේ හා සම්පත්” ආයෝජනය කර ඇතැයි ප‍්‍රකාශ කරමින් “හැරීම” කෙරෙහි තම කැපවීම යලිත් දැඩිව අවධාරනය කලේ, යලිත් එසේ කරනු ඇති බවට ඇඟවුම් කරමිනි.

ආසියා-පැසිපික් කලාපයේ සෑම රටක්ම එදිරිවාදිකම්වල හා යුද සූදානමේ වාසුලිය තුලට ඇද ගනිමින් තිබේ. එක්සත් ජනපදය ඉන්දියාව සමග සිය මූලෝපායික හවුල්කාරිත්වය ද ජපානය, දකුනු කොරියාව, ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය හා තායිලන්තය සමග සිය සන්ධානයන් ද ශක්තිමත් කරමින් සිටින අතර කලාපය පුරා මිලිටරි ගිවිසුම් ඇති කරගැනීමේ උත්සාහයක ද නිරතය. ශී‍්‍ර ලංකාව මෙම කි‍්‍රයාවලියෙන් කිසිසේත්ම පරිබාහිර නැත.

ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපද යුද තල්ලුව

මෙම භූ-දේශපාලනික ආතතීන් ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරනය වටා වූ දේශපාලන අර්බුදය තුල සෘජුවම ප‍්‍රකාශයට පත්ව ඇත.

පසුගිය වසර පහක කාලය තිස්සේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජනපදය හා චීනය අතර අස්ථාවර සමතුලිතතාවක් පවත්වා ගැනීමේ උත්සාහයක යෙදී ඇත. ඔහුගේ ආන්ඩුව චීන ආධාර හා ආයෝජන මත තවමත් බොහෝ සෙයින් රඳා පවතින අතර ම රාජපක්ෂ එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන “මානව හිමිකම්” පිලිබඳ නරුම ප‍්‍රහාරාත්මක ව්‍යාපාරයකට මුහුන දී ඇත. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයට පිටුබලය සපයා ශී‍්‍ර ලංකා මිලිටරියේ ජනඝාතනයන් සම්බන්ධයෙන් ඇහැකන පියාගෙන සිටි එක්සත් ජනපදය, බෙයිජිං වෙතින් ඉවතට හැරෙන ලෙස රාජපක්ෂට බල කරනු පිනිස එම යුද අපරාධ ම නරුම ලෙස ගසා කා තිබේ.

රට තුලත් විදේශයන්හිත් වැඩෙන විරුද්ධත්වයට මුහුන දී ඇති තතු යටතේ, රාජපක්ෂ වසර දෙකකට පෙර මැතිවරනය කැඳවා ඇත්තේ සිය විරුද්ධවාදීන්ගේ අවස්ථාවන් පූර්ව-භංග කරමින් තවත් වාරයක් බලයට පත්වීම පිනිස ය. කෙසේ වෙතත්, පැහැදිලිවම දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කෙරුනු මෙහෙයුමක් ලෙස, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන වහාම ආන්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහයෝගය ඇතිව විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තමන් මැතිවරනයට තරග කරන බව නිවේදනය කලේය.

පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) සහ එහි සන්ධානය භේද කිරීමේත් මැතිවරනයේ දී රාජපක්ෂගේ පරාජය සඳහා පදනම දැමීමේත් මෙම ප‍්‍රයත්නයට වොෂිංටනය පැහැදිලිව කොල එලිය දැල්වීය. මෙම සැලැස්මේ කඩ ඇනය ලෙස කි‍්‍රයා කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. ඇය සිරිසේන හා එජාප අතර සන්ධානයක් සැලසුම් කොට නිර්මානය කරනු පිනිස ශී‍්‍රලනිප තුල තමන්ට පවත්නා ආනුභාවය යොදා ගත්තාය. ක්ලින්ටන් පදනම තුල ඇයගේ කි‍්‍රයාකාරිත්වය හරහා කුමාරතුංග, ඔබාමාගේ “හැරීමේ” ප‍්‍රධාන නිර්මාන ශිල්පිනියක වන හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට සම්බන්ධිත ය.

සිරිසේනගේ හා විපක්ෂ කඳවුරේ ධජය - “රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය” - නීති විරෝධී ආක‍්‍රමනික යුද්ධ සහ වධ බන්ධනයන් හා ඩ්‍රොන් ප‍්‍රහාර ගෙනයන අතරම “මානව හිමිකම්” වල කප්පිත්තකු ලෙස වොෂිංටනයේ මවාපෙන්වීම මෙන්ම වංචා සහගතය.

රාජපක්ෂ නායකත්වය දෙන්නේ, එල්ටීටීඊයට එරෙහි යුද්ධය තුලදී දසදහස් සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ මරනයන් ද සිය කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරුද්ධත්වය මැඩීමේ පොලිස්-රාජ්‍ය පියවර ද සම්බන්ධයෙන් වගකිව යුතු ඒකාධිපති තන්ත‍්‍රයකට ය. කෙසේවෙතත්, මැතිවරනයෙන් තේරී පත් වුව හොත්, සිරිසේන ද පාලක පන්තියේ අවශ්‍යතා කි‍්‍රයාවට දැමීමෙහිලා රාජපක්ෂ මෙන්ම රුදුරු වනු ඇති බවට සසප අනතුරු අඟවයි. “පොදු අපේක්ෂකයා” වටා රොක්වී සිටින සියලු විරුද්ධ පක්ෂයන්ගේ අත්වල ලේ තැවරී ඇත.

• සිරිසේනම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ලෙස, රාජපක්ෂ ආන්ඩුවේ සියලු අපරාධ හා අපයෝජනයන් සම්බන්ධයෙන් මුලුමනින්ම වගකිව යුතුය. ඔහු ඒ කිසිවක් ප‍්‍රතික්ෂේප කර නැත.

• එජාපය 1983 ලේවැකි දෙමල-විරෝධී ජනඝාතන සමග දිවයිනේ සිවිල් යුද්ධය දියත් කල අතර 1980 ගනන් අග දී තරුනයන් 60,000ක් ඝාතනය කොට ගම්බද අසහනය මැඞීම පිනිස ඝාතක කල්ලි මුදාහැරියේය.

• වොෂිංටනයේ උපකරනය වන කුමාරතුංග, යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වෙමින් 1994 දී ජනාධිපතිනි ලෙස බලයට පත්ව එය අවසන් කරනු වෙනුවට යුද්ධය උත්සන්න කලාය. 2004 දී ඇය ඡන්දයෙන් තේරී පත්ව තිබු එජාප ආන්ඩුවක් බලයෙන් පහකරනු පිනිස සිය පුලුල් විධායක බලතල යොදා ගත්තාය.

• ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන්නේ දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මරා දැමූ 2009 එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වගකිව යුතු වූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ය.

• රාජපක්ෂ සන්ධානයෙන් බිඳී ඇති ජාතික හෙල උරුමයේ සිංහල-බෞද්ධ අන්තවාදීන් වර්ගවාදී යුද්ධයේ උමතු උද්ඝෝෂකයන් වූ අතර ඔවුහු දෙමල-විරෝධී වෙනස්කම් කිරීමේ පිලිවෙතේ ප‍්‍රවර්ධකයන් ලෙස දිගටම කටයුතු කරති.

• රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් හඬ නැගීම හා තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීම මගින් සිරිසේනට වක‍්‍රව සහයෝගය දෙන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සම්බන්ධයෙන් ද එය සත්‍ය ය.

මෙම ප‍්‍රතිගාමී පෙල ගැස්ම එකට අලවා තබන මැලියම “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” නොව ආන්ඩුවේ ඥාතිසංග‍්‍රහවාදය මෙන්ම බෙයිජිනයට එරෙහිව වොෂිංටනය සමග මුලුමනින්ම පෙල ගැසීමට එය දක්වන අසමත්කම සිය ව්‍යාපාරික ලාභාපේක්ෂාවන්ට හා වෘත්තිමය අවස්ථාවන්ට වල කපන බවට පාලක පන්තියේ ඉහල මධ්‍යම පන්තික කොටස් අතර පවත්නා ගැඹුරු අසහනයයි.

සිරිසේනට විවෘතවම පිටුබලය නොදුන්නත් දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ඔහුට වක‍්‍රව සහයෝගය දෙයි. ඒ එක්සත් ජනපදය සමග පෙලගැසුනු ආන්ඩුවක් මගින් සිය කුලී හේවා අවශ්‍යතා වඩාම හොඳින් ඉටු වනු ඇතැයි විශ්වාසයෙනි. ටීඑන්ඒ සංවිධානය, උතුරු හා නැගෙනහිර පලාත්වලට වඩා පුලුල් ස්වතන්ත‍්‍ර භාවයක් ලබා දුන හොත් එය දෙමල කම්කරුවන්ට හා ගොවීන්ට ප‍්‍රතිලාභ ගෙන එනු ඇතැයි වන මිථ්‍යාව තොරොම්බල් කරයි. යථාර්ථය නම්, එය දෙමල ප‍්‍රභූ කොටස්වලට සිය සාක්කු පුරවා ගැනීමට පමනක් උදව් කරනු ඇති බවයි.

වඩාත්ම ද්‍රෝහී දේශපාලන කි‍්‍රයාකලාපය ඉටු කරනු ලබන්නේ විවිධාකාර ලිබරලුන්, එන්ජී ඕ නිලධාරින්, මානව හිමිකම් කි‍්‍රයාකාරින්, ශාස්ත‍්‍රාලිකයන් හා විශේෂයෙන් ම ව්‍යාජ-වාම සංවිධාන විසිනි. ඔවුහු සිරිසේන හා ඔහුගේ අධම සන්ධානය සඳහා වඩාත්ම අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිලි සම්පාදනය කරති.

සිරිසේනට එසේ හුරේ දමන්නන් අතර ප‍්‍රමුඛයා ව්‍යාජ-වාම නසසපයයි. එහි නායක වික‍්‍රමබාහු කරුනාරත්න, දැන් සිරිසේනගේ උද්ඝෝෂන වේදිකාවලට ගොඩ වී ආන්ඩුවෙන් කැඩුනු මොහුට “රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීමේ” විධික‍්‍රමයක් ලෙස ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටී.

එසප සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එතරම් විවෘතව කි‍්‍රයා නොකරයි. එහෙත් රාජපක්ෂට එරෙහි ඔවුන්ගේ හෙලාදැකීම් හා සිරිසේනගේ හා ඔහුගේ සගයන්ගේ කම්කරු-විරෝධී වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් පවත්වාගෙන යන නිශ්ශබ්දතාව බොහෝ දේ කියයි. එය මෙම දක්ෂිනාංශික එක්සත් ජනපද-ගැති සන්ධානයට පුදන ලැජ්ජා විරහිත සහයෝගයකි.

සසප සිරිසේනට, ඔහුගේ සියලු සගයන්ට, ක්ෂමාලාපකයන්ට හා ආධාරකරුවන්ට ඉතා පැහැදිලිවම විරුද්ධය. ඔහු තේරී පත් වුව හොත්, වැඩ කරන ජනතාව සඳහා ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එමින්, ශී‍්‍ර ලංකාව තව දුරටත් වොෂිංටනයේ යුද සැලසුම්වලට ඇද ගැනෙනු ඇතැයි අපි කම්කරුවන්ට හා තරුනයන්ට අනතුරු අඟවමු.

එමෙන්ම, සසප රාජපක්ෂට කිසිදු සහයෝගයක් නොදෙන අතරම “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක ගොදුරක්” බවට ඔහු කරන මවාපෙන්වීම ප‍්‍රතික්ෂේප කරයි. රාජපක්ෂ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදියෙක් නොවේ. සත්තකින්ම ඔහුගේ රාජ්‍යතාන්ති‍්‍රක උපාමාරු කි‍්‍රයාදාමය තුල දී, ඔහුගේ ආන්ඩුව එක්සත් ජනපද හා ශී‍්‍ර ලංකා මිලිටරිය අතර සමීප කි‍්‍රයාකාරී සබඳතා සහතික කොට පෙන්ටගනය සමග මිලිටරි සේවා ගිවිසුමක් අත්සන් කර තිබේ.

සමාජ ප‍්‍රතිවිප්ලවයේ න්‍යාය පත‍්‍රය

යුද්ධය සඳහා ධාවනය සැමවිටම කම්කරු පන්තියට එරෙහි සමාජ ප‍්‍රතිවිප්ලවය සමග එකට ගමන් කරයි. ජනවාරි 8දා මැතිවරනයෙන් රාජපක්ෂ හා සිරිසේන යන දෙදෙනොගෙන් කවරෙකු ජයග‍්‍රහනය කලත් ඔවුහු ආර්ථික අර්බුදයේ බර කරට ගැනීමට වැඩකරන ජනයාට බලකරමින්, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය නියම කරන කප්පාදු න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීම උග‍්‍ර කරනු ඇත. වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි දැනටමත් කාබාසිනියා කර ඇති වෙලඳපොල හිතැති “විවෘත ආර්ථික පිලිවෙත” ඉදිරියට ගෙන යාමට දෙදෙනාම ප‍්‍රතිඥා දී ඇත.

ඔහුගේ ආන්ඩුව රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,280ට නැංවූ බවට රාජපක්ෂ පම්පෝරි ගසයි. එහෙත් යථා වශයෙන් ගත් කල, ධනවතුන් හා දුප්පතුන් අතර සමාජ පරතරය තව දුරටත් ගැඹුරු වී ඇත. ජනගහනයෙන් ධනවත්ම සියයට 20 රටේ සමස්ත ආදායමෙන් සියයට 53.5ක් භුක්ති විඳින අතර දුප්පත්ම සියයට 20ට ලැබෙන්නේ යන්තම් සියයට 4.4ක් පමනි. ඊලඟට බලයට පත් වන ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අනුව 2016 වන විට අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.8ට කප්පාදු කිරීමත් සමග ම වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි තවදුරටත් නරක අතට හැරෙනු ඇත. මූලික භාන්ඩ සඳහා වන මිල සහනාධාර ද අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන් ද කප්පාදු කෙරෙන අතර මහා ව්‍යාපාරිකයන්ට හා ධනපති ප‍්‍රභූවට තවතවත් බදු සහන හා ආර්ථික ප‍්‍රතිලාභ පුදනු ඇත.

කම්කරු පන්තියෙන් පැනනැංවෙන විරුද්ධත්වයකට තමන් කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇතිද යන්න ගැන රාජපක්ෂ දැනටමත් පැහැදිලි කර තිබේ. 2009 වසරේ එල්ටීටීඊයේ පරාජයෙන් අනතුරුව ඔහු කටයුතු කර ඇත්තේ, මිලිටරි හා පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් ශක්තිමත් කිරීමටත් ය. 2011 දී කටුනායක නිදහස් වෙලඳ කලාපයේ තරුන කම්කරුවෙකු ද 2012 දී හලාවත විරෝධතාවක යෙදෙමින් සිටි ධීවරයෙකු ද 2013 දී වැලිවේරිය කාර්මික දූෂනයට එරෙහි විරෝධතාවක දී තරුනයින් තිදෙනෙකු ද ඝාතනය කරමින් පොලීසිය හා මිලිටරිය පෙලපාලිවලට හා වර්ජනයන්ට එරෙහිව ප‍්‍රචන්ඩ ප‍්‍රහාර එල්ල කර තිබේ. සිරිසේන ජනපති පදවියට පත්වුව හොත් වැඩ කරන ජනතාවගේ ප‍්‍රතිරෝධය තලාදැමීමේදී ඔහු රාජපක්ෂ තරම්ම නිර්දය වනු ඇත.

රාජපක්ෂ ආන්ඩුව වැඩ කරන ජනතාව භේද කිරීමේ විධික‍්‍රමයක් ලෙස වර්ගෝත්තමවාදය හිතාමතාම අවුලුවා තිබේ. භීතිය ඇවිලවීමත් උතුරේ හා නැගෙනහිර පලාත්වල සිය දැවැන්ත මිලිටරි වාඩිලෑම යුක්තියුක්ත කිරීමත් පිනිස, “එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් යලි පන ලබමින් සිටින” බවට එය සාවද්‍ය කියාපෑම් කරන්නේ, මුස්ලිම් ජනයා ඉලක්ක කරගැනීමට බොදු බල සේනා හා රාවනා බලකාය වැනි ෆැසිස්ට්වාදී සිංහල-බෞද්ධ කන්ඩායම් පෝෂනය කරන අතරය. හෙල උරුමයේ වර්ගෝත්තම අන්තවාදීන් වැලඳගැනීමේ සිරිසේනගේ පිලිවෙත මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු ද ඊට සමාන විධික‍්‍රම යොදා ගනු ඇති බවයි.

සසප, ජාතිකවාදයේ, ස්වෝත්තමවාදයේ හා වර්ගවාදයේ සියලු රූපාකාරයන්ට විරුද්ධ වන අතර ජනවර්ගය, භාෂාව හෝ ආගම නොතකා ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා සඳහා වන අරගලයක් තුල කම්කරුවන් ඒකාබද්ධ කිරීමට සටන් වදී.

යුද්ධයට හා කප්පාදු පිලිවෙතට එරෙහි අරගලය

අධිරාජ්‍යවාදී යුද්ධයට හා කප්පාදු පිලිවෙත්වලට එරෙහි අරගලය එහි පරිමාවෙන්ම ගත්කල අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ය. කොතරම් විශාලද කුඩාද යන්න නොතකා එක් ජාතියක පදනම මත අධිරාජ්‍යවාදයේ හෝ ගෝලීය සංගතවල හා මූල්‍ය ආයතනවල කොල්ලකාරී පිලිවෙත්වලට විරුද්ධවීම ඇත්ත වශයෙන්ම කල නොහැකි ය.

1948 නාමික නිදහසේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය යලියලි සනාථ කර ඇත්තේ, අධිරාජ්‍යවාදයට එරෙහිවීමෙහිලා එහි ඓන්ද්‍රීය නොහැකියාව යි. අධිරාජ්‍යවාදයට හා එහි යුද ධාවනයට එරෙහිව සටන් කල හැකිවන්නේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැංවීමට දකුනු ආසියාවෙත් ජාත්‍යන්තරවත් සිය පන්ති සහෝදර සහෝදරියන් සමග අත්වැල් බැඳගනිමින් සසප නායකත්වය යටතේ බලමුලු ගැන්වෙන කම්කරු පන්තියටම පමනි.

ඒ අයුරින්ම, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උදෙසා අව්‍යාජ අරගලයක් ඉදිරියට ගෙනයා හැකි වන්නේ ද කම්කරු පන්තියටම පමනි. සියලුම මර්දනකාරී හා වෙනස්කම් කිරීමේ නීති අහෝසි කරන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ප‍්‍රජාතාන්ත‍්‍රිකව තේරී පත්වූ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් සඳහා සසප කැඳවුම් කරයි. ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීම සඳහා වන ඉල්ලීම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සහතික කිරීමට සමත් වන්නේ, එය ධනවාදය අහෝසි කිරීම උදෙසා කම්කරු පන්තිය හා පීඩිත මහජනයා බලමුලු ගැන්වීමට ගෙනයන දේශපාලනික අරගලයක කොටසක් වන තාක් දුරට පමනි.

කම්කරුවන් හා දුගීන් මුහුන දී සිටින සමාජ අර්බුදය විසඳීමට සසප පහත පිලිවෙත් ඉදිරිපත් කරයි:

• රැකියා විරහිත තරුනයින්ට රැකියා සහතික කරදීම සඳහා, මොනමයම්ම හෝ ආකාරයෙන් වැටුප් අඩුකිරීමකින් තොරව වැඩ සතිය පැය 30කට පහල දැමීම හරහා රැකියා අවස්ථා පුලුල් කිරීමට අපි යෝජනා කරමු. මනා වැටුප් ගෙවන රැකියා නිර්මානය කිරීම සහ නිවාස, පාසැල්, රෝහල් හා මහාමාර්ග වැනි අත්‍යවශ්‍ය මහජන අවශ්‍යතාවන් සැපිරීම පිනිස, රුපියල් බිලියන ගනනක් වෙන් කරමින් මහජන වැඩසටහනක් දියත් කල යුතු ය.

• සමස්තයක් ලෙස කම්කරු පන්තියේ වැටුප් හා කොන්දේසි කප්පාදු කිරීමට යොදා ගෙන තිබෙන කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමය අහෝසි කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ශ‍්‍රම බලකායෙන් අඩකට වැඩි ප‍්‍රමානයක් සිටින්නේ කොන්ත‍්‍රාත් හා අනියම් කම්කරුවන් ලෙසය. මනා වැටුප් ගෙවන සුරක්ෂිත රැකියාවක් කිරීමට සෑම කම්කරුවෙකුටම අයිතියක් තිබිය යුතු ය. වැටුප්, උද්ධමනයට අනුව, ජීවත් වීමට සරිලන මට්ටමට ඉහල දැමිය යුතු ය.

• සියලු දෙනාටම නොමිලේ හා ඉහල ගුනාත්මක සේවාවන් සහතික කරනු පිනිස, මහජන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව පුලුල් කිරීමට රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කරන ලෙස සසප ඉල්ලා සිටී. දැරියහැකි මිල ගනන්වලට ගුනාත්මක වාසස්ථාන සම්පාදනය කිරීම සඳහා මහජන නිවාස ව්‍යාපෘති යෝධ ලෙස පුලුල් කල යුතු ය.

• ඔවුන්ගේ වාර්ගිකත්වය නොතකා සෑම ඉඩම් අහිමි ගොවියෙකුටම රජයේ ඉඩම් ලබා දිය යුතු යයි අපි ඉල්ලා සිටිමු. සියලුම දුප්පත් ගොවීන්ගෙන් හා ධීවරයන්ගෙන් අයවීමට තිබෙන නය වහාම අහෝසි කල යුතු අතර අඩු පොලී නය, තාක්ෂනික උපදෙස් හා අනෙකුත් ආධාර ඔවුන්ට ලබා දිය යුතු ය. යහපත් ජීවන මට්ටමක් සහතික කර ගැනීමට හැකි ආකාරයෙන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සහතික මිල ක‍්‍රමයක් ඇති කල යුතු ය.

• ඉහත පිලිවෙත් යෝධ සංගත හා බැංකුවල පෞද්ගලික අයිතිය සමග පෑහෙන්නේ නැත. ඒවා වැඩකරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනය යටතේ ජනසතු කල යුතු ය. සුපිරි ධනවතුන් අතලොස්සකගේ ලාභය සඳහා නොව, බහුතරයක් ජනයාගේ දැවෙන අවශ්‍යතා සැපිරීම පිනිස, සමාජවාදී පිලිවෙත් මත ඉහල සිට පහලට සමස්ත සමාජයම ප‍්‍රති-සංවිධානය කල යුතු ය.

• සමාජවාදය සඳහා සටන ගෙන යා හැක්කේ, ධනපති පන්තියේ සියලුම කල්ලිවලින් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කරගැනීම සඳහා සිදුකෙරෙන අනවරත අරගලයක් හරහාම පමනි. කම්කරු පන්තිය, සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය තුල ගම්බද මහජනයා බලමුලු ගැන්විය යුතු ය. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් වසයෙන්, ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප සටන් වදියි.

සසප ගොඩනගමු

• සසප පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 දී ස්ථාපිත කරනු ලැබුවේ, ලංකා සමසමාජ පක්ෂය සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුව හා සම්බන්ධවෙමින් ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් නිර්ලජ්ජිත ලෙස පාවාදීමට එරෙහිව සිදු කෙරුනු දේශපාලනික අරගලයක් තුලිනි. දිග්ගැස්සුන සිවිල් යුද්ධය පුරාම කම්කරු පන්තියේ ඒකාබද්ධතාව සඳහා අනවරතයෙන් සටන් කලේ ද එම පදනම මත උතුරෙන් හා නැගෙනහිරින් හමුදා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ද විකොස හා සසප පමනි.

• අපගේ පක්ෂය පදනම් වන්නේ, 1917 රුසියානු විප්ලවයේ සම-නායක ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලනික හා න්‍යායික උරුමය මත යි. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල මත පදනම්ව කම්කරු පන්තියේ නායකත්වයේ අර්බුදය විසඳීමට 1938 දී ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය පිහිටුවී ය. ශ‍්‍රී ලංකාව වැනි කල් පසු වූ ධනපති වර්ධනයක් සහිත රටවල දී කම්කරු පන්තිය පමනක්ම සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ප‍්‍රජාතාන්ත‍්‍රික කර්තව්‍යයන් විසඳාලීමට සමත් වන බව පෙන්නුම් කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත සසප පදනම් වේ.

• අපගේ දේශපාලන උද්ඝෝෂනයට සහය දෙන ලෙස කම්කරුවන්ගෙන්, ගම්බද දුගීන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. අපගේ උද්ඝෝෂනවලට ඒකාබද්ධ වෙන්න, අපගේ රැස්වීම්වලට සහභාගී වන්න, අපගේ මැතිවරන අරමුදල සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන්න. අපගේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න. සියල්ලටමත් ඉහලින් අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ, අපගේ දේශපාලන ඉදිරි දර්ශනය හා වැඩපිලිවෙල ප‍්‍රවේශමෙන් හදාරා සසප කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩ නගනු පිනිස සසපට බැඳීමට ඉල්ලුම් කරන ලෙසයි.

Share this article: