ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල ඔබ නැතිව ඔබ එක්ක චිත‍්‍රපටයට පනවා ඇති වාරනය වහා ඉවත් කරනු !

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන විසිනි, 2014 දෙසැම්බර් 25

ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල නවතම චිත‍්‍රපටිය, ඔබ නැතිව ඔබ එක්ක වෙත පනවා ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාරනය පිලිකුලෙන් හෙලා දකින මම, එම චිත‍්‍රපටය කොන්දේසි විරහිතව වහාම මහජන ප‍්‍රදර්ශනයට මුදාහල යුතුයැයි දැඩි ලෙස කියා සිටිමි. මෙය, කලාත්මක ප‍්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් මත එල්ල කල බරපතල ප‍්‍රහාරයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය තරයේ අවධාරනය කරන අතර රාජපක්ෂ ආන්ඩුව උත්සන්න කරමින් සිටින මිලිටරි-පොලිස් පාලන ක‍්‍රමෝපායන් ඉතා තියුනු ලෙස ප‍්‍රකාශයට පත්කල අවස්ථාවකි.

විතානගේ නිර්මානය කල යුද විරෝධී චිත‍්‍රපට ත‍්‍රිත්වයේ අවසන් කොටස වන ඔබ නැතිව ඔබ එක්ක 2013 පෙබරවාරි මස ජාත්‍යන්තරව මුදා හැරුනු තැන් පටන් සිනමා උලෙල ගනනාවක සම්මානයට පාත‍්‍ර විය. එමෙන්ම එය, ඕස්ටේ‍්‍රලියාවේ ද ඉන්දියාවේ ද සිනමා ශාලා කීපයක ප‍්‍රදර්ශනය කෙරුනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අන්තර්ජාල ප‍්‍රකාශය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම චිත‍්‍රපටිය පිලිබඳව විචාරයක් පසුගිය ජූලි 14දා පල කලේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව දශක තුනක් තිස්සේ ඇදී ගිය යුද්ධයේ ප‍්‍රතිවිපාක පිලිබඳව කලාත්මකව විවරනය කිරීමට දැක්වූ ප‍්‍රශස්ත වෑයමක් ලෙස එම විචාරය තුලින් චිත‍්‍රපටිය ඇගයුමට ලක් කෙරුනි.

මධ්‍යම කඳුකරයේ රූගත කර ඇති චිත‍්‍රපටියේ කතාව ගොඩ නැගී ඇත්තේ, දැන් ස්වර්නාභරන උකස් ගන්නෙකු වන හිටපු හමුදා සොල්දාදුවෙකු හා යුද්ධයෙන් දිවි ගලවා ගනුවස් යාපනය ප‍්‍රදේශයෙන් සිට කඳුකරයට පැමින ඔහු හා විවාහවූ සුරූපී දෙමල තරුනියකගේ පේ‍්‍රමය වටා ය. මානව සබඳතා සුපුෂ්පිත වීමට වර්ගය හෝ ආගම බාධාවක් නොවන බව චිත‍්‍රපටිය තුලින් ඉතා ප‍්‍රබලව ඉදිරිපත් වන්නේ පටු සිංහල හා දෙමල වර්ගවාදීන්ට අතුල් පහරක් එල්ල කරමිනි. දෙමල හා සිංහල කම්කරු පන්තිය භේදභින්න කිරීම සඳහා ආන්තික වර්ගවාදය මත යැපෙන රාජපක්ෂ පාලනය මෙම චිත‍්‍රපටියට වාරන පැනවීමට තීන්දු කර ඇත්තේ නිසැකවම මෙම කාරනාව නිසා ය.

ලංකාව තුල ප‍්‍රදර්ශනය කිරීමට අවසර ගැනීමට අධ්‍යක්ෂවරයා එය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන, නිල කලා පොලීසිය ලෙස කුප‍්‍රකට, ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයට (පීපීබී) ඉදිරිපත් කල අවස්ථාවේ ආන්ඩුවේ මෙම වාරන තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුනි. පසුගිය ඔක්තෝබර් 16දා පීපීබී සභාපති ගාමිනී සුමනසේකර විතානගේට එවන ලද ලිපියකින් දන්වා සිටියේ චිත‍්‍රපටිය තුල “හමුදාවේ ප‍්‍රතිරූපයට හානි වන” අයුරින් ඇති සියලු දර්ශන කප්පාදු කරන ලෙසයි. කලාකරුවාට තමන් දරන අදහස නිදහසේ ප‍්‍රකාශ කිරීමට විලංගු ලන පීපීබී ලිපිය එහි දක්වා ඇති කරුනු හතරෙන් තුනක්ම ගොනු කර ඇත්තේ අදාල දර්ශන නැරඹීමෙන් “මහජන අවබෝධය විකෘති විය හැකිය” යන පූර්ව විනිශ්චයන් මත පාදක වෙමිනි. මෙය, ඕනෑම කලා නිර්මානයක් පූර්ව විනිශ්චයන් මත පදනම් වෙමින් වාරනය කිරීමට අනාගතයේදී ආන්ඩුව යොමුවනු ඇති බවට දෙන ලද සංඥාවකි.

යුද්ධය පැවති කාලයේදීත් ඉන් පසුවත් ආන්ඩුවේ මාධ්‍ය හා කොලඹ යුදකාමී මාධ්‍ය විසින් “රනවිරුවා” ලෙස ඔජ වඩවන ලද හමුදාව යුද්ධයෙන් අනතුරුව දකුනේ මහජන නැගිටීම් මැඩලීම සඳහා දිගේලි කර ඇත. එහි ඛේදජනක ප‍්‍රතිපල ලෙස 2013 වසරේ ගම්පහ, රතුපස්වල කාර්මික දූෂනයට එරෙහිව වීදිබට ගම්වැසියන්ට ම්ලේච්ඡ ලෙස පහර දී තරුනයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ මේ “රනවිරුවන්” ය. එවැනි සිදුවීම් ගනනාවක් සහන් කල හැකිවුවද මෙම ක‍්‍රියාව පමනක් වුව සලකන කල පැහැදිලි වන්නේ, මාධ්‍යයන්ට හා සහන සේවාවන්ට වැට බැඳ උතුරේ දෙමල ජනයාට එරෙහිව ගෙනගිය යුද්ධයේදී කෙතරම් නම් අපරාධ කන්දරාවක් මොවුන් අතින් සිදුවන්නට ඇති ද යන්න යි. පීපීබීය සටහන් කරන “හමුදාවේ ප‍්‍රතිරූපයට හානි වීම” පිලිබඳව කතාවේ වංචනික බව මේ කාරනාවලින් සනාථ කෙරෙයි.

පීබීපී ලිපියෙන් අනාවරනය වෙන තවත් සිත්කාවදින කරුනක් වන්නේ, මෙම වාරනයන් පැනවීමෙහිලා පීපීබීයේ සේවය කරන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සාමාජිකයන්ගේ “නිරීක්ෂන ද අවධානයට ගත් බවට” කෙරෙන සඳහනයි. රාජපක්ෂ ආන්ඩුව යටතේ සිදු කෙරෙමින් පවතින මිලිටරිකරන කි‍්‍රයාදාමය කෙතරම් ගැඹුරු කෙරී ඇත්ද යත් මහජනයා සිතනමතන ආකාරය තීන්දු කිරීමට ධනේශ්වර රාජ්‍යය විසින් අටවා ගෙන තිබෙන නිල කලා පොලීසිය වැනි ආයතනතුල පවා මිලිටරිය වැඩට බැස ඇති බව මෙයින් තහවුරු වෙයි.

වාරනය පිලිබඳ පැන නැගිය හැකි මහජන විරෝධය යටපත් කිරීමේ අරමුනෙන්, විතානගේ සිය චිත‍්‍රපටිය තුල “සත්‍යයෙන් තොර” දේවල් ඉදිරිපත් කර ඇතයි පීපීබී ය සඳහන් කරයි. එහෙත් යුද දර්ශන හෝ නිල ඇඳුම් හැඳගත් සොල්දාදුවෙකු පවා නොපෙන්වන මෙම චිත‍්‍රපටියේ අතරින් පතර යුද්ධයට අදාලව කියවෙන දෙබස් මගින් ඇඟවෙන යුද අපරාධ, දේශීය හා විදේශීය වාර්තා තුල ඉතා සවිස්තරාත්මකව ගොනු කෙරී ඇත. චිත‍්‍රපටය සම්බන්ධයෙන් නගන මෙවැනි අභූත චෝදනාවන් හරහා මතු වන්නේ, සැබෑ සත්‍ය පිලිබඳව ගනුදෙනු කරන කලාකෘති සම්බන්ධයෙන් පාලක පන්තිය තුල පවතින අශමනීය විරුද්ධත්වය යි.

යුද්ධය හෝ මිලිටරිය පිලිබඳව මොනම විවේචනයක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය අතිශය සංවේදී ය. කොලඹ ආන්ඩුවේ ජනඝාතක යුද්ධයට ඉත සිතින් සහය දුන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් දැන් යුද අපරාධ චෝදනා පදනම් කරගෙන රාජපක්ෂ පාලනයට බලපෑම් දමමින් සිටී. ඒ, මොනයම්ම හෝ ආකාරයකින් දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳ හැඟීමක් ඇති නිසා නොව, දිවයින තුලත් ආසියානු කලාපය තුලත් සිය මූලෝපායික අවශ්‍යතාවලට ප‍්‍රතිමල්ලව සිටිනේයැයි වොෂිංටනය සලකන චීනයෙන් කැඩී වෙන්වන ලෙස රාජපක්ෂ පාලනයට බලකිරීමට ය. චීනයත් ඇමරිකාවත් අතර අසීරු සමතුලිතබවක් පවත්වා ගැනීමට වෑයම් කරන ජනාධිපති රාජපක්ෂ මහජනයා රැවටීමටත් ප‍්‍රතිගාමී වර්ගවාදී පිලිවෙත් ශක්තිමත් කරගැනීමටත් විදෙස් කුමන්ත‍්‍රන පිලිබඳ දොඩවන අතරේ යුද අපරාධ පිලිබඳ මොනයම්ම හෝ පරීක්ෂනයකට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කරයි.

තම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත්වලටත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආඥාවන් ක‍්‍රියාවට දමමින් ඔහු ගෙන යන කප්පාදු පිලිවෙත්වලටත් එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වයකට මුහුන දෙමින් කල්තියාම ජනාධිපතිවරනයක් කැඳවූ ජනාධිපතිවරයා දැන් විරුද්ධ පක්ෂවල හා වොෂිංටනයේ නිහඬ පිටුබලය ලබමින් ආන්ඩුවෙන් කැඩීගිය පොදු අපේක්ෂකයා බවට පත්ව ඇති මෛත‍්‍රීපාල සිරිසේන පෙරටුකරගත් ඒකාබද්ධ විරෝධතාවකට මුහුන දී සිටී. රාජපක්ෂ දියත් කල යුද්ධයටත්, ඔහු දියත් කල ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත්වලටත් ඉතසිතින් සහය දී ඇති සිරිසේන දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කරන දෙසුම් වංචා සහගතය.

කලාකරුවන්, වෘත්තිකයන් ඇතුලු රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කලකිරුනු සුලු ධනේශ්වර තට්ටුවල සැලකිය යුතු කොටසකගේ සහය ලබන සිරිසේන, ඔබ නැතිව ඔබ එක්ක චිත‍්‍රපටයට පනවා ඇති වාරනය පිලිබඳ වචනයක් හෝ පවසා නැතිවීම හුදු අහම්බයක් නොවේ. රාජපක්ෂට නොදෙවෙනි ආකාරයෙන් වර්ගවාදී පිලිවෙත් මත පය ගසා සිටින සිරිසේනගේ පාලනයක් පටන් ගනු ඇත්තේ රාජපක්ෂ අවසන් කල තැනින්ම ය. ධනේශ්වර ආන්ඩුවල හොරැනෑ බවට පත්ව ඇති කොලඹ මාධ්‍යයද මේ වාරනයට එරෙහිව හඬ නොනැගීමද මේ වර්ගවාදී පිලිවෙත්වලට ඒවා නිහඬවම පිටුබලය සපයන බවට සාක්ෂියකි.

විතානගේගේ චිත‍්‍රපටියට යොදා ඇති වාරනය ධනේශ්වර රාජ්‍ය විසින් ඉදිරිකාලයේදී කම්කරු පීඩිත මහජනයා මත එල්ල කිරීමට නියමිත සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරය පිලිබඳ අනතුරු ඇඟවීමකි. සියලුම කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින් හා බුද්ධිමතුන් මෙම වාරනයට එකහෙලා විරුද්ධ විය යුතු වන්නේ එබැවිනි. පීපීබීය වැනි කලාවට සාකල්‍යයෙන් සතුරු කලා පොලීසි අහෝසි කරමින් කලාවේ නිදහස ද අනෙකුත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ද ආරක්ෂා කරගත හැකි වන්නේ, එකී අයිතීන්ට එරෙහිව පිහිටා සිටින සුලුතරයකගේ ලාභය සඳහා බහුතරයක් වන කම්කරු පන්තියේ ශ‍්‍රම ශක්තිය සූරාකෑම මත පදනම්වූ ධනේශ්වර ක‍්‍රමය සමාජවාදී විප්ලවයකින් පෙරලා දැමීම සඳහා කරන අරගලයක් හරහාම පමනි.

“විප්ලවය සඳහා කලාවේ නිදහස.

“කලාවේ පරිපූර්න විමුක්තිය සඳහා විප්ලවය!”

Share this article: