සිංහල-බෞද්ධ අන්තවාදියෝ දෙවනගල පෙදෙසින් මුස්ලිම් ජනයා පලවා හැරීමට තර්ජනය කරති

ගාමිනී කරුනාසේන හා ඊවන් වීරසිංහ විසිනි, 2014 පෙබරවාරි 1

ෆැසිස්ට් පන්නයේ බෞද්ධාගමික කල්ලි කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ දෙවනගල ගම්මානයේ පදිංචි මුස්ලිම් වැසියන් පලවා හැරීමේ ප්‍රකෝපකාරී ක්‍රියා උසිගන්වා ඇත. මෙම කල්ලි ප්‍රකෝපකාරිත්වය සඳහා යොදා ගෙන ඇත්තේ මුස්ලිම් ජනයා පදිංචි පෙදෙස පැරැනි බෞද්ධ විහාරයක පූජා භූමියකට අයත්ය යන කඩතුරාව යි.

මෙම මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන ප්‍රකෝපකරනයන් හා බිය ගැන්වීම් විශේෂයෙන් පසුගිය අවුරුදු තුන තුල ආන්ඩුවේ අනුග්‍රහය ලබමින් මතුවී ඇති, බෞද්ධ භික්ෂූන් නායකත්වය දෙන බොදු බල සේනා, සිහල රාවය, රාවනා බලකාය, මෛත්‍රී සහන පදනම යනාදී අන්තවාදී සංවිධාන විසින් උග්‍ර කර ඇති ප්‍රහාරවලින් තවත් එකකි.

දෙවනගල මුස්ලිම් හා සිංහල පවුල් අවුරුදු සිය ගනනක් පමන එකට වෙසෙති. එදිනෙදා කුලී වැඩ, සුළු ගොවිතැන් හා ව්‍යාපාරවල යෙදෙන සිංහල මුස්ලිම් පවුල් 800ක් පමන මෙම දුප්පත් ගම්මානයේ සිටිති. 1940 පටන් එහි පිහිටි පැරැනි බෞද්ධ පූජාස්ථානය සඳහා භූමිය පුළුල් කිරීම ක්‍රමයෙන් වැඩි කර ඇති අතර 2005 දී ආන්ඩුවේ ගැසට් නිවේදනයක් මගින් පූජා භූමියට අයත් පෙදෙස නෛතිකව අත්පත් කර දීම නිවේදනය කර තිබේ.

අනුප්‍රාප්තික ආන්ඩු සිංහල-බෞද්ධ වර්ගවාදය අවුස්සමින් කම්කරු පන්තිය බෙදීමට මෙන්ම තම ඡන්ද පදනම් වැඩි කර ගැනීමට ක්‍රියා කලේ ය. බෙදුම්වාදී එල්ටීටීයට එරෙහි යුද්ධය යලි අරඹා කම්කරු පන්තිය මැඩීමේ යෙදුනු රාජපක්ෂ ආන්ඩුවට වර්ගවාදය ඇවිස්සීම ඉහලින්ම උවමනා විය. ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට කතා කල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ සිංහල-බෞද්ධ අන්තවාදීන් පසුගිය වසර කීපයේ වරින් වර දෙවනගල ආගම්, ජාති බේදයන්ගෙන් තොරව සහයෝගයෙන් ජීවත්වූ ජන කොටස් භේද කිරීමට මැදිහත්වූ බව යි.

එක් සිංහල නිවැසියෙක් චෝදනා මුඛයෙන් මෙසේ පැවසීය: "අපි මුස්ලිම් අයත් එක්ක සහෝදරයො වගේ හිටියෙ. අවුරුදු හය හතක ඉදල මෙහෙ පදිංචි නැති අය කන්ඩායම් විදිහට ඇවිත් මේක සීයට සීයක්ම සිංහලයින්ට හිමි ප්‍රදේශයක් බවට මේ හැම තැනම ප්‍රචාරය කලා. කීප දෙනෙකු එය පිලිගත්තත් වැඩි දෙනෙක් විරුද්ධයි, ඒ මිනිස්සු [මුස්ලිම් ජනයා] කොහෙ යන්නද? මෑත කාලයේ මේක පටන් ගත්තේ 2005 ගැසට් නිවේදනයට අනුව. පූජා භූමිය නෛතිකව මැන ලබාදෙන්නැයි අනුරාධපුර අමිත ධම්ම නැමති අන්තවාදී බෞද්ධ භික්ෂුවක්, සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත භික්ෂුව ඇතුලු භික්ෂූන් අට දෙනෙකු සමග පසු ගිය නොවැම්බර් මාසයේ මාවනැල්ලේ බස්නැවතුම අසල උපවාසයක යෙදුනා. එය නැවතුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වන බවට දුන් පොරොන්දුවකින්. දෙසැම්බර් 3 දා මැනීම සදහා නිලධාරීන් පැමිනියත් ප්‍රදේශවාසීන් එක් රොක්වී බේදයකින් තොරව ඊට විරෝධය පෑම හේතුවෙන් ඔවුන්ට සිද්ධ වුනේ අකුලාගෙන යන්ට."

එක් කාන්තාවක් සඳහන් කලේ වාර්ගික භේද ඇවිස්සීමේ දැනුවත් උත්සාහයක් පවතින බවයි. "මුස්ලිම් පවුල් 500 ක් විතර ඉන්නවා ,අපි හරි සහෝදරත්වයෙන් ඉන්නෙ, පල්ලියෙන් ගේන කෑම බීම අපිත් එක්ක බෙදා හදාන කනවා. දුකේදි සැපේදි එකට ඉන්නෙ. ජනයා ඉවත් කිරීමේ දී [සිංහල]අපිට ප්‍රශ්නයක් වෙන්නෑ කියලා ඒ අය කියනවා, මුස්ලිම් අයටලු යන්න වෙන්නෙ, අපි කියන්නේ ඔක්කොටෝම සාධාරනයක් කරන්න."

උතුරුමැද පලාතේ අනුරාධපුරයෙන් පැමිනි අමිත ධම්ම නමැති භික්ෂුවක් ගම බේද කරන බව කී, ඇය මෙසේ ද කීවාය: "මේ හාමුදුරුවෝ පූජා භූමිය මුස්ලිම් අයගෙන් බේරා ගන්න කියල මිනිසුන්ට විෂ බීජ දැම්මා, මේක හරි අපරාධයක්."

සර්ව ආගමික සංවිධානයකින් කන්ඩායමක් පැමිනි විට එක තරුනයෙක් මුස්ලිම් ජනයාට සිදුවන අසාධාරනේ ගැන කරුනු කියා ඇත. එහිදී භික්ෂුවක් තරුනයාට තිත්ත කුනුහරුපෙන් බැන පහර දෙන්නට තැත් කරනවිට අනෙක් තරුනයන් ඔහු බේරාගෙන තිබේ. "ඒත් පස්සෙ පාරෙදි හාමුදුරුවන්ගෙ මැරයො දෙන්නෙක් එයාට ගහල තියෙනවා" යැයි තරුනයෙක් කෝපයෙන් ප්‍රකාශ කලේ ය.

මුස්ලිම් වැසියෙකු ද ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට කරුනු පැහැදිලි කලේ ය: "මේ කටුගහවත්ත ප්‍රදේශයේ ගෙවල් 56ක් පමන තියෙනවා. පුරාවිද්‍යා එකෙන් ඉඩම මැනල අපිව එලවන්නයි යන්නෙ. අවුරුදු 130 ක් වෙනවා අපි පදිංචි භූමියට. අපේ තාත්තලා සීයලා පදිංචිව හිටියෙ මේකේ." ඤානසාර නමැති භික්ෂුවක් මාවනැල්ලේ පැවති විරෝධතාවක දී මාස දෙකකින් මුස්ලිම් මිනිස්සු පන්නන බව කියා ඇතැයි සඳහන් කල ඔහු "කුලීවැඩ කරල දවස් ගෙවන අපි ඉතින් කොහාටද යන්නෙ?" යයි ප්‍රශ්න කලේ ය. තවත් තරුනයෙක් චෝදනා කලේ හාමුදුරුවරු පාලකයින්ට අවශ්‍ය දේ කරන බව යි.

දෙවනගල වැසියන් කල ඉහත ප්‍රකාශ පෙන්නුම් කරන්නේ, එකට ජීවත් වන වැඩකරන ජනතාව භේද කිරීමට බෞද්ධ අන්තවාදීන් විෂකුරු ලෙස වාර්ගික භේද වපුරන ආකාරය යි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව බලයේ රැඳී සිටීමට යොදා ගන්නා එක් මුගුරකි, මේ වර්ගවාදී කල්ලි.

පූජා භූමි සංවර්ධනය, බෞද්ධ ආගම්වාදය පතුරුවා ගැනීමේ එක තුරුම්පුවකි. දඹුල්ල පූජා භූමිය සංවර්ධනය කිරීමේ නමින් මුස්ලිම් ජනයාට එරෙහිව පටන් ගත් ප්‍රහාරය කෙලවර කෙරුනේ, අනෙකුත් දුගී ජන කන්ඩායම් ද ප්‍රදේශයෙන් පලවා හැරීමෙනි. දුප්පතුන් පලවා හැර විදෙස් ආයෝජකයන් ආකර්ෂනය කර ගන්නා නගර සංවර්ධනයක කොටසක් ලෙස දඹුල්ල සංචාරක පුරයක් හා වානිජ මධ්‍යස්ථානයක් කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලේ කසකරුවන් ලෙස රන්ගිරි දඹුලු විහාරයේ සංඝ ප්‍රභූ නඩය පසුගිය අවුරුදු දෙකේ ක්‍රියා කලේ ය.

‍‍‍‍

ඓතිහාසිකව, බෙලහීන ලංකාවේ පාලක පන්තිය 1948 වැඩ පටන්ගත්තේම දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමෙනි. 1950 ගනන්වල සිංහල පමනක් සටන් පාඨය පෙරට ගෙන සිංහල-දෙමල වාර්ගික භේද තවත් ගැඹුරු කල පාලක පන්තිය, 1972 ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍ය ආගම කලේ ය. මේ භේදභින්න කිරීම් පෙරට ගෙන ගියේ වර්ගවාදී යුද්ධයක් අවිලවීමට ය.

රාජපක්ෂ ආන්ඩුව යුද්ධය මහා ලේ වැගිරීමකින් අවසන් කලේ ය. ඉන් අවුරුදු පහකට පසු දැන් ෆැසිස්ට් පන්නයේ සංවිධාන පෙරට පන්නවා ගැනීම පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර අර්බුදයේ කොටසක් ලෙස ගැඹුරුවන දේශපාලන අර්බුදයක රාජපක්ෂ ආන්ඩුව ගිලී යමින් සිටින බවයි. අන් සියල්ලටමත් වඩා කම්කරු පන්තිය වාර්ගික බෙදීම් කපාගෙන ගෙන අරගලයට ඇදෙතැයි ආන්ඩුව බියවී සිටියි.

වාර්ගික ලේ වැගිරීම් තුලට තමන් දක්කන ආන්ඩුවේ හා බෞද්ධගමික අන්තවාදීන්ගේ ප්‍රතිගාමී වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදී එකමුතුවට සටන් කිරීම කම්කරු පන්තියේ ප්‍රතිඋත්තරය යි.

Share this article: