සිංහල බෞද්ධ අන්තවාදීහු ක්‍රිස්තියානි පල්ලි දෙකකට පහර දෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 ජනවාරි 19

ලංකාවේ දකුනු පලාතේ සංචාරක නගරයක් ලෙස ප්‍රකට හික්කඩුවේ පිහිටි ක්‍රිස්තියානි යාඥා මධ්‍යස්ථාන දෙකක් වන කල්වරි නිදහස් පල්ලියට සහ දේව සභාවට බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ සිංහල බෞද්ධ අන්තවාදී මැර කන්ඩායමක් පහරදී අලාභ හානි කර ඇත. ජනවාරි 12 දා සිදුකල මෙම ප්‍රහාරය සංවිධානය කර ඇත්තේ බොදු බල පවුර නම් සංවිධානයක් විසිනි.

ෆැසිස්ට් පන්නයේ බෞද්ධ භික්ෂු සංවිධාන විසින් සුළුතර ආගමික හා වාර්ගික කන්ඩායම්වලට එරෙහිව උසිගන්වා ඇති ප්‍රචන්ඩ ක්‍රියාවල මෑතම සිද්ධිය මෙය යි. බොදු බල සේනා, සිහල රාවය හා රාවනා බලකාය ආදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය ලබන සංවිධාන අතරට බොදු බල පවුර නමින් තවත් කල්ලියක් මෙලෙස ඉදිරිපත්ව සිටී.

ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රදේශයේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂු නායකයන් කීප දෙනෙක් ඇතුළු භික්ෂූන් 30ක් පමන, ලමුන්, කාන්තාවන් ඇතුළු ගිහියන් 200ක පමන පිරිසක් සමග එදින උදේ දහයට පමන ක්‍රිස්තියානි විරෝධී පාඨයන් සහිත පුවරු සහ බැනර් ද බෞද්ධ කොඩි ද ප්‍රදර්ශනය කරමින්, ත්‍රීරෝද රථයක බැඳගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් සටන් පාඨ හඬ නගමින් හික්කඩුව බද්දේගම මහ පාර දිගේ පෙලපාලියකින් පැමිනියහ. හෙල බොදු පවුර සභාපති මීවන පලාන ධම්මරතන, එම සංවිධානයේ දොඩංගොඩ විහාරාධිපති කිරිමැටියේ සුමංගල, බද්දේගම පාර ජනානන්දාරාමාධිපති ඥානරතන හා වැරැල්ලාන ශ‍්‍රී නෙලූම්විල විහාරාධිපති එම භික්ෂූන් අතර සිට ඇත.මෙම අන්තවාදීන් පිරිස පලමුව එම මාවතේ පිහිටි ලංකා දේව සභාවට පහර දී ඇත.

පෙලපාලිය ආරම්භ කෙරී ඇත්තේ ලංකා දේව සභාවට මීටර් 300-350 පමන දුරින් පිහිටි ජනානන්දාරාමයෙනි. ඉරිදා දහම් පාසලට පැමිනි ලමුන් හා ඔවුන්ගේ දෙමාපියන් ද පෙලපාලියට සම්බන්ධ කරගෙන ඇත.

අගුලු ලා තිබුන ප්‍රධාන ගේට්ටුව කැඩීමට අසමත් වූ මැර කන්ඩායමක් පසෙකින් පිහිටි ගේට්ටුවක් කඩාගෙන දේව සභා පරිශ්‍රයට ඇතුළු වී තිබේ. අනතුරුව ඔවුහු අසල පිහිටි කල්වරි යාඥා මධ්‍යස්ථානයට කඩා වැදුනහ. මෙම යාඥා මධ්‍යස්ථානවල වහලට හා ජනෙල්වලට ගල්වලින් පහර දුන් මැරයෝ ඒවායෙහි තිබු කොම්පියුටර්, ගෘහ භාන්ඩ හා දැන්වීම් පුවරු කඩා විනාශ කර බයිබලය ඇතුළු ක්‍රිස්තියානි ආගමික සාහිත්‍යයට ගිනි තැබූහ.

මූලික තක්සේරුකිරීම්වලට අනුව ප්‍රහාරයෙන් ලංකා දේව සභාවට ලක්ෂ 5ක හා කල්වරි දේවස්ථානයට ලක්ෂ 15ක පමන අලාබයක් සිදු කර තිබේ. යාඥා මධ්‍යස්ථානවල සිටියවුන් ප්‍රහාරයෙන් බේරී ඇත්තේ අසල නිවෙස්වල සැඟවී ගැනීමෙනි. ලංකා දේව සභාවේ පූජක චින්තක ප්‍රසන්න ඝාතනය කරන බවට මැරයන් තර්ජනය කර තිබේ.

ප්‍රහාරයට ලග් වූ කල්වරි නිදහස් පල්ලිය

පහර දීමේ සූදානමක් ඇති බව පොලීසිය විසින් ඊට පෙර දින මෙම පල්ලිවල පූජකවරුන්ට දැනුම් දී ඇතත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මුරට යෙදවීම හැර එවැන්නක් වැලක්වීමට අන් කිසිදු පියවරක් ගෙන නැත. නමුත්, සටන්පාඨ හඬ නගමින් පැමිනි ප්‍රහාරකයන්ගේ පෙලපාලියට ආරක්ෂාව සැපයූ පොලීසිය ප්‍රචන්ඩ ක්‍රියා නිදැල්ලේ සිදුකිරීමට ඉඩ හැර බලා සිටියේ ය.

පොලීසිය කිසිවෙකුත් අත්අඩංගුවට නො ගත්තේ ය. "අතපසුවීමක්" සිදු වී ඇති බවත් ප්‍රමානවත් තරම් පොලිස් නිලධාරීන් නොසිටීම ඊට හේතු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහන මාධ්‍යට ප්‍රකාශ කලේ ය.

එහෙත් මෙම ප්‍රකාශ පොලිසිය මැරයන්ට දුන් සහාය ආවරනය කිරීමට ගොතන ලද බේගලයකි. දින ගනනකට පෙර සිටම දේව මෙහෙය පැවැත්වීමට ඉඩ නොදෙන බව හෙල බොදු පවුර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිනි . ප්‍රකෝපකාරී ක්‍රියාවක් සිදුවන බව පොලිසිය කලින් දැන සිටියේ ය. ප්‍රහාරය පැයක පමන කාලයක් කෙරී ගෙන ගිය අතර එය මැඩ පැවැත්වීමට හෝ මැරයන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගැනීමෙන් පොලීසියේ අනුග්‍රහය පෙන්නුම් කෙරුනි.

කම්කරුවන්ගේ, ශිෂ්‍යන්ගේ හෝ සෙසු ජනයාගේ විරෝධතාවල දී පොලීසිය ක්‍රියාත්මක වන්නේ මීට හාත්පසින් ම වෙනස් ආකාරයකිනි. මහජන සාමයට තර්ජන ලෙස හුවා දක්වා එවන් උද්ඝෝෂන වැලැක්වීම සඳහා අධිකරන නියෝග ගන්නා පොලීසීය, උද්ඝෝෂන පැන නැගි විට මැඩලීම සදහා කැරලි මර්දන හමුදා, කඳුළු ගෑස්, ජල ප්‍රහාරක හා ඇතැම් විට ජීව උන්ඩ පවා යොදා ගනිමින් පහර දී දුසිම් ගනන් එතැන්හිදී ම අත්අඩංගුවට ගනියි.

භික්ෂූන් අටක් ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ වූ 24 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රහාරයෙන් දින 4කට පසු 16 දා පොලීසිය උසාවියට වාර්තා කලේ ය. ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුනසිංහ එකී සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර ඇත. සිද්ධියට අදාලව පටිගත කල වීඩියෝ දර්ශනවල සංස්කරනය නොකල පිටපත් පොලිසියට භාර දෙන ලෙස ද අධිකරනය ජනමාධ්‍ය වෙත නියෝගයක් නිකුත් කලේ ය.

ලංකා දේව සභාවේ පූජක චින්තක ප්‍රසන්න ප්‍රහාරයෙන් සිදු වූ අලාභහානි විස්තර කරමින්

ප්‍රහාරය මෙහයවූ හෙල බොදු පවුර සිය මැර ක්‍රියාව යුක්ති සහගත කිරීමට තැත් කරන්නේ බුද්ධශාසන හා ආගමික අමාත්‍යංශය 2008 වසරේ නිකුත් කල චක්‍ර ලේඛයකට අනුව මෙම යාඥා මධ්‍යස්ථාන ලියා පදිංචි කර නැත යන්න කියාපාමිනි. එහෙත් 1996 සහ 1997 ආරම්භ කෙරුන මෙම පල්ලි එලෙස ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් අමාත්‍යංශ නිලධාරීන් එය පිලිගත් බවත් පූජකවරු කීහ. එසේ තිබිය දී චක්‍රලේඛය කඩකර ඇති හෙයින් යාඥා මධ්‍යස්ථාන දෙකේ ආගමික කටයුතු නතර කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇත. බෞද්ධ අන්තවාදීන්ගේ ඉල්ලීම් අනුව පොලීසිය විසින් ද දින 15ක තහනමක් ද පනවා ඇත. බුද්ධශාසන හා ආගමික අමාත්‍යාංශ චක්‍ර ලේඛනය ම වර්ගවාදීන්ට උඩගෙඩි දීමට නීති ගත කල එකකි.

මීට පෙර 2002 දීත් මෙම ආගමික මධ්‍යස්ථාන දෙකට පහර දී ඇත.මෙම ප්‍රකෝපකාරී ක්‍රියාව උසි ගැන්වීමේ දී ආන්ඩුව ද දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධරය හා පොලීසිය ද එකට කටයුතු කර තිබෙන බව පැහැදිලි ය.

හික්කඩුවේ මැර ක්‍රියාව ලංකාවේ අන්‍ය ආගමික ස්ථානවලට එල්ලවූ පලමු ප්‍රහාරය නොවේ. නමුත් එම ප්‍රහාර තවතවත් එල්ලකරන බව පෙන්නුම්කර ඇත. පසුගිය වසර කිහිපය තුල ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික ස්ථාන 200කට බොදු බල සේනා, රාවනා බලකාය හා හෙල බොදු පවුර ඇතුළු බෞද්ධ භික්ෂූන් විසින් නායකත්වය දෙනු ලබන සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් පහර දී තිබේ.

පසුගිය වසරේ දඹුල්ල හා කොලඹ ග්‍රෑන්ඩ්පාස්හි මුස්ලිම් පල්ලිවලට පහර දුන් බෞද්ධ අන්තවාදීහු පැෂන්බග් නිමි ඇඳුම් ආයතනය ඇතුළු මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගනනාවකට ද පහර දුන්හ. ෆැෂන් බග් ව්‍යාපාරයට පහර දීම අනෙකුත් ක්‍රියා මෙන්ම නීතියට අනුව අපරාධයන් ය. එසේවුවද, මුස්ලිම් ව්‍යාපාරිකයාට සිය පැමිනිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කෙරුනු අතර උසාවිය එය පිලිගත්තේ නීතියට අනුව නම් නඩුව ඉදිරියට ගෙන යා යුතුව තිබියදී ය.

මෙම කිසිම ප‍්‍රහාරයකදී ඒවාට වගකිවයුතු මැරයන්ට එරෙහිව පවතින ධනපති නීතියට අනුව හෝ කිසිදු පියවරක් ගෙන නැත. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ආගමික හා වාර්ගික ගැටුම් ඇති කිරීමේ එල්ලය ඇතිව ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානවලට රාජපක්ෂ ආන්ඩුවේ හා ධනපති රාජ්‍යයේ පූර්න අනුමැතිය ලැබෙන බව යි.

අඛන්ඩව වැඩිවන මේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රචන්ඩ ක්‍රියා කිසිසේත්ම අඩු තක්සේරු නොකල යුතු ය. ලංකාවේ මෙතෙක් පාලනය කල ආන්ඩු හා සිංහල ධනපති පන්තිය තම දුර්වල අර්බුදකාරී පාලනය රැක ගැනීම සඳහා කම්කරු පන්තිය භේද කිරීමට දෙමල විරෝධී වර්ගවාදය අවුස්සා සිංහල -දෙමල-මුස්ලිම් වැඩ කරන ජනතාව තිස් අවුරුදු යුද්ධයක ගිනිමැලයක් තුලට ඇද දැමූහ. පස් වසරකට පෙර දෙමල වැසියන් දසදහස් ගනනක් මරා දමමින් යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කලේ ය.

එහෙත් රාජපක්ෂ ආන්ඩුවට හා සිංහල ධනපති පන්තියට වර්ගවාදී ප්‍රකෝපකාරීත්වය ගැඹුරු කිරීම අවශ්‍යව තිබේ. වැඩෙන ලෝක ආර්ථික අවපාතයේ වාසුලියට හසු වී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ ක්‍රියාවට දමන රුදුරු කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු හා සෙසු පීඩිත ජන කන්ඩායම්වල අරගල පුපුරා එතියි භීතියෙන් පෙලෙයි. වර්ගවාදී ෆැසිස්ට් පන්නයේ නඩ පොලා පැන්න වීමට ආන්ඩුව ක්‍රියා කරන්නේ කම්කරුවන් දුගීන් මැඩලීමේ පොලිස් රාජ්‍ය පාලනයක් ඇති කිරීමේ වැඩවල කොටසක් ලෙස ය.

උග්‍රවන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ බොහෝ රටවල් තුලින් මෙවැනි ෆැසිස්ට් නඩ ඉස්මත්තට එමින් තිබේ.ආර්ථික හා දේශපාලන අර්බුදය ඉහවහා ගිය ග්‍රීසිය තුල ගෝල්ඩන් ඩෝන් නම්වූ ෆැසිස්ට් සංවිධානයක් පොලීසියේ හා ධනපති පන්තියේ ඇතැම් කොටස්වල සහයෝගය ඇතිව ක්‍රියාවට බැස ඇත. හික්කඩුවේ බෞද්ධ ප්‍රකෝපකාරී නඩයේ ප්‍රහාරය කම්කරු පන්තිය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

Share this article: