ශ්‍රී ලංකාවේ හිටපු රැඩිකල්වාදියෙක් ජවිපෙ ජනාධිපති අපේක්ෂකයෙකු කැඳවුම් කරයි

Sri Lankan ex-radical calls for a JVP presidential candidate

කේ. රත්නායක විසිනි, 2014 මැයි 13

හිටපු මධ්‍යම පන්තික රැඩිකල්වාදියෙකු, රාජ්‍යතාන්ත්‍රිකයෙකු හා ශ්‍රී ලංකා සංස්ථාපිතයේ දේශපාලන උපදේශකයෙකු වන දයාන් ජයතිලක යෝජනා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනේ නව නායක අනුර කුමාර දිසානායක ඊ ලඟ ජනාධිපතිවරනයේ දී විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා විය යුතු බව යි. ව්‍යවස්ථානුකූලව එය 2016 තෙක් පැවැත්විමට නියමිත නො වුනත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරනය 2015 වසරේ මුල දී පැවත්වීමට යන බවට බොහෝ මාධ්‍ය සමපේක්ෂනය කරයි.

1970 ගනන්වල ශිෂ්‍යයෙකු වශයෙන් සිටිය දී ජයතිලක මාඕවාදය හා කස්ත්‍රෝවාදය වැලඳගත් අතර, 1980දී සන්නද්ධ දෙමල බෙදුම්වාදී කන්ඩායමක් වන ඊලම් මහජන විමුක්ති පෙරමුනට (ඊපීආර්එල්එෆ්) එක්විය. පසු ගිය දශක තුන පුරා ඔහු කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග ඒකාබද්ධ විය. 1980 ගනන්වල පසු භාගයේ පලමුව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල ඔහු වඩා මෑත දී ජ්‍යේෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් පත් විය.

2007දී රාජපක්ෂ, ඔහු ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් පත් කල අතර එහි වසර හතරක් සේවය කලේ ය. රැකියාව සංවේදී එකක් විය. 2009 බෙදුම්වාදී එල්ටීටීඊයේ පරාජයෙන් පසු, මිලිටරියේ යුධ අපරාධ පිලිබඳ පරීක්ෂනයක් සඳහා එක්සත් ජනපදය මෙහෙයෙ වූ උද්ඝෝෂනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී (යූඑන්එච්ආර්සී) ඔහු රාජපක්ෂ ආන්ඩුව ආරක්ෂා කල යුතු විය. 2009දී කවුන්සිලයේ යෝජනාවක් අවහිර කිරීමත් සමග ඔහු රාජපක්ෂ සමග බේද වූ අතර පැරීසියට මාරු කර යවන ලදු ව පසුව දොට්ට දමන ලදී. එතැන් සිට ඔහු ආන්ඩුවේ වාචික විරුද්ධවාදියෙකු විය.

ජයතිලක කතා කරන්නේ රාජපක්ෂගේ කල්ලිවාදය හා ඒකාධිපති පාලන ක්‍රමවේදය තුලින් ඔවුන්ගේ උත්සුකතා යටපත් කරන ලද පාලක පන්තියේ කන්ඩායම් වෙනුවෙනි. සමාජ ආතතිය මේ වන විටත් පුපුරුන සුළු තත්වයක තිබිය දී , මාර්තු මාසයේ දී එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ඉදිරිපත්වුනු යූඑන්එච්ආර්සී මෑත ම යෝජනාව, රාජපක්ෂ ආන්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් පිලිබද ජාත්‍යන්තර පරීක්ෂනයක් ස්ථාපිත කරමින් ශ්‍රී ලංකාව තනි කිරීමට, සම්බාධකවලට හා ආර්ථික අර්බුදයට පූර්විකාවක් සපයනු ඇතැ යි ඔවුහු බියවෙති..

“මානව හිමිකම්” පිලිබඳ වොෂින්ටනයේ කුහක උත්සුකය, ශ්‍රී ලංකාව චීනයෙන් ඈත් කිරීම සඳහා පීඩනය යෙදීමේ මාධ්‍යයක් බව ජයතිලක හොඳින් දනී. ඔහු උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකා දෙමල ප්‍රභූව සමග ගිවිසුමකට එලඹෙමින් හා දිවයිනේ උතුරු හා නැගෙනහිරට පලාත් ස්වයංපාලනය ප්‍රදානය කරමින් බටහිර දෙසට මාරුවීමක් හා නව දිල්ලිය සමග වඩා කිට්ටු සම්බන්ධකම් ගොඩනඟා ගැනීමටය.

“2015 මැතිවරන: පරදුවට තැබීම” නම් ශීර්ෂයක් යොදා, පසු ගිය මාසයේ ප්‍රසිද්ධ කල ලිපියක ජයතිලක, රාජපක්ෂ යටතේ මෙරට විනාසයකට මුහුන දෙමින් සිටින බවට අනතුරු අඟව යි. රාජපක්ෂ ඊ ලඟ මැතිවරනය ජය ගත හොත් “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන යලි ඇරඹීමේ අවකාශය මුළුමනින් ම වාගේ අවුරනවා ඇත.” ශ්‍රී ලංකා රාජ්‍යය “එහි උතුරු නැගෙනහිර පර්යන්තයේ දී කැඩී යාහැකි අතර රට බෙදෙනු ඇත” මක්නිසා ද යත්, රාපක්ෂ ස්වයංපාලනය දීමට සූදානම් නැති බැවිනි. නැගී එන සමාජ අසහනය පිලිබඳව ඉඟි කරමින් ජයතිලක පවසන්නේ “(ආන්ඩුවේ) මර්දනය හා (වැඩකරන ජනතාවගේ) අරාජකත්වය දකුනේ දී එකිනෙකාට එරෙහිව යුද්ධයට” මඟ පාදන බව යි.

ජයතිලකගේ ලිපිය තුල, පිලිගත හැකි විපක්ෂ අපේක්ෂකයන් පිලිබඳව විමසුමක් කරන නමුත් ඔහුගේ නිගමනය කැපී පෙනෙයි. “විනාශය වැලක්වීමට අවශ්‍ය හසාන් රූහානි වර්ගයේ අපේක්ෂකයෙකි: මධ්‍යස්ථ දේශප්‍රේමී/ජාතිකවාදියෙක්, එනම් ලිබරල් හෝ ප්‍රගතිශීලී සිංහල බෞද්ධයෙකි.” ඔහු අවධාරනය කරන්නේ දක්ෂිනාංශික යූඑන්පියේ නායක හෝ වෙනත් “පොදු අපේක්ෂකයෙකු” රාජපක්ෂට තර්ජනයක් වන්නේ නැති බව යි.

රූහානි ගැන සඳහන් කිරීම වෙලුම් ගනනාවක් කතා කර යි. රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව ද ඉරානය වැනි ඉරනමක ට මුහුන දිය හැකි බව, එනම් වොෂින්ටනය විසින් දඩබ්බර ආන්ඩුවක් ලෙස හෙලා දැකීමේ හැකියාවයි. පසු ගිය වසරේ දී රූහානි ඉරානයේ ජනාධිපති වශයෙන් බලයට පත්වුනේ, ඉරානයට එරෙහි ජාත්‍යන්තර සම්බාධක අවසන් කිරීමට, වොෂින්ටනය සමග යලි සමගි වීමට සහ වෙලඳපොල හිතැති ප්‍රතිව්‍යුහකරන මාලාවක් හා කප්පාදු පියවර ක්‍රියාවට නැගීමේ පොරොන්දුවක් ලෙසය.

විරුද්ධ පක්ෂය බිරාන්තයට පත්කිරීම සඳහා ශ්‍රී ලාංකීය රූහානි කෙනෙකු සඳහා සලකා බලමින් ජයතිලක අභිෂේක කරන්නේ ජවිපෙ නායකයාය. “ වාමාංශික විරුද්ධ පක්ෂයේ ඉස්තාලයෙන් පිට ජනාධිපති අපේක්ෂකයෙකු මත වාරුවීම මගින් රටට යහපතක් වනු ඇත: අනුර කුමාර දිසානායක පිලිබඳව මා සලකන්නේ රාජපක්ෂට, “රාජ්‍ට“ වඩාත් බැරෑරුම්, සදාචාරවත්, හා ද්‍රෂ්ටිමය අභියෝගයක් එල්ල කල හැකි අයෙකු ලෙස ය” ඔහු කියා සිටි යි.

“ඔහුගේ (රාජපක්ෂගේ) ජයග්‍රහනයේ ප්‍රතිශතය පතුරු යනවා නම්, පාර්ලිමේන්තු මැතිවරනයේ දී දාදු කැට වැටීම ආරම්භ වනු” ඇති බව ජයතිලක ප්‍රකාශ කර යි. රාජපක්ෂ ඔහුගේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය හා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය අහිමි කර ගනු ඇත. “මෙය රාජපක්ෂ වටා රැලි කන ප්‍රභූවේ (කතිපයාධිකාරයේ) බලය අඩු කිරීමේ හැකියාව ගෙන එනු ඇත. ඒ හේතුවෙන් ආපසු පැමිනෙන තාර්කිකත්වය හා යතාර්ථය එහි අසැල්වැසියන් හා ලෝකය සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවන්හි අර්බුදය විසඳනු ඇත.”

ජවිපෙ වෙතට හැරී ම අතිශයින් ම අර්ථාන්විත ය. 1960 ගනන්වල අගභාගයේ දී ජවිපෙ ගොඩනැඟුනේ ස්ටැලින්වාදය, කස්ත්‍රෝවාදය, සිංහල ජනතාවාදය, හිස් අධිරාජ්‍ය විරෝධී කයිවාරු හා “සන්නද්ධ අරගලයේ” අච්චාරුවකිනි. එය 1971දී විනාසකාරී සන්නද්ධ නැගිටීමක් මෙහෙය වූ අතර එය කුරිරු ලෙස මඬින ලද්දේ අඩු වශයෙන් 15,000ක් ග්‍රාමීය සිංහල තරුනයක් ඝාතනය කිරීමෙනි.

1980 ගනන්වල එල්ටීටීඊයට එරෙහිව වාර්ගික යුද්ධය පිපිරී යාමෙන් පසු ජවිපෙ තියුනු ලෙස දකුනට පැද්දුනු අතර එහි මාක්ස්වාදී මවා පෑම් අතහැර දමා හමුදාවට සහාය දුන්නේය.1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ “දේශප්‍රේමී” උද්ඝෝෂනය, එහි සන්නද්ධ තුවක්කු කරුවන් කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ෆැසිස්ට්වාදී ප්‍රහාර එල්ල කිරිමෙන් සමන්විත විය.

ජයතිලක මෙන් ම ජවිපෙ ද බොහෝ කලක සිට දේශපාලන සංස්ථාපිතය සමග ඒකාබද්ධ වී ඇති අතර කොලඹ එත්සත් ජනපද තානාපති කාර්යාලය සමග එයට මිත්‍රශීලි සම්බන්ධකම් ඇත. 2004දී ජවිපෙ, රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්වගාමී චන්ද්‍රිකා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට එක් වී අමාත්‍යංශ තුනක බලය දැරූ අතර වෙපලඳපොල ගැති ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දුන්හ.

2005 මැතිවරනයේ දී ජේවීප ක්‍රියාකාරීව රාජපක්ෂ වෙනුවෙන් උද්ඝෝෂනය කල අතර රාජපක්ෂ එල්ටීටීඊය සමග ඇතිකරගෙන තිබූ සටන් විරාමය ඉරා දැමීමේ දී හා 2006දී සිවිල් යුද්ධය නැවත ඇරඹීමේ දී ඒවාට සහයෝගය දුන්හ. ඒ වන විට විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන සිටීම නො තකා ජවිපෙ යුද්ධයට මුලුමනින්ම සහාය දුන්නේය. එසේම ඔවුන් මිලිටරියේ සංහාර ආරක්ෂා කල අතර “මව්බිම ආරක්ෂා කිරීමේ” නාමයෙන් කම්කරුවන්ගේ වැඩවර්ජන මර්දනය කලහ. පෙබරවාරියේ දී “අපගේ දැක්ම” නමින් ජවිපෙ “නව ප්‍රතිපත්ති රාමුවක්” නිවේදනය කලේය.“ප්‍රජාතන්ත්‍රවාදය” හා “සාධාරනත්වය” පිලිබඳ ප්‍රකාශයන්ට පිටුපසින්, ආයෝජකයන්ගේ විශ්වාසය රැඳවිය හැකි ආරක්ෂකයින් හා “නවීකෘත හා කාර්මික ආර්ථිකයක්” සඳහා වාහනයක් ලෙස තමන් හුවාදක්වා ගනියි.. පක්ෂ සම්මේලනයේ දී එම ලියවිල්ල පිලිගැනීමට පෙර, ලංකා වානීජ මන්ඩලයේ මහා ව්‍යාපාරික නියෝජිතයින්ගේ පූර්ව අනුමැතිය සඳහා එය ඉදිරිපත් කර තිබුනි. පාලක කවයන් තුල ඔහුගේ සම්බන්ධකම් නිසා ප්‍රසිද්ධ දිසානායක, නායකයා ලෙස පත් වූයේ මෙම සම්මේලනයේ දී ය.

මෙම වාර්තා නො තකා පාලක පන්තියේ කොටස්, පාලන බලය දැරීමට තරම් ජවිපෙ තවමත් පරීක්ෂාවට ලක්කෙරී නැතැයි සලකනු ඇති බව නිසැකය. මාර්තු මාසයේ පල කල ලිපියක් තුල ජයතිලක, ඔහුගේ “ඉස්තාලයට පිටින්” යෝජනාව සිය අවශ්‍යතා ආරක්ෂා කිරීමට යෝග්‍ය මාධ්‍යයක් බව සැකකරන අය ඒත්තු ගැන්වීමට ලතින් ඇමරිකානු ධනේශ්වරයේ අත්දැකීම් වෙත ඇඟිල්ල දිගු කලේ ය.

“එහි නව තරුන නායකයා (දිසානායක) තුලින් ජවිපෙ ලත් පුනර්ජීවනය මතකයට නංවන්නේ, ලතින් ඇමරිකාවේ හිටපු විප්ලවවාදී කන්ඩායම්වල මැතිවරන පුනර්ජීවනය යි. මෙරට පවතින අර්බුදයේ හදිසිභාවය සලකන විට, දකුනු ඇමරිකානු ජනතාවාදී-ප්‍රජාතන්ත්‍රවාදී වමේ සාර්ථක ගමන් මාර්ගය ඔස්සේ සමාජය, ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනය යන දෙකේ දී ම ජවිපෙ-මධ්‍යස්ථ පුලුල් විපාර්ෂවික ව්‍යාපෘතිය කරා අඩි කීපයක් වමට හැරිය යුතුය හා හැකිය යනුවෙන් සඳහන් කිරීමට මම නොපැකිලෙමි...” ජයතිලක සඳහන් කලේ ය.

දශක ගනනාවක යුද්ධය සහ ජීවන තත්වයන් හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි කුරිරු ප්‍රහාරයන්ගෙන් පසු මතුවන්නා වූ පිපිරෙන සුලු ආතතීන් පිලිබඳ ව පාලක කවයන් තුල වැඩෙන භීතියක් පවතී. චීනයෙන් දුරස්ථව එක්සත් ජනපදය දෙසට හැරීම යන්නෙහි නො වැලක්විය හැකි අර්ථය වනුයේ, ලාභ නය අවසන් වීම හා කප්පාදු සඳහා වඩා වඩා දැඩි වන ඉල්ලීම් ය. කම්කරුවන් හා ගම්බද පීඩිත ජනතාව ආන්ඩුවෙන් හා එජාපය වැනි විරුද්ධ පක්ෂවලින් කැපී පෙනෙන ලෙස දුරස්තවීම මධ්‍යයේ, ඔවුන්ගේ විරෝධය මැඩපැවත්වීම සදහා “අඩි කීපයක් වමට හැරෙන” ලෙසට හා ජවිපෙ මත වාරුවන ලෙසට ජයතිලක පාලක පන්තියට උපදෙස් දෙයි.

එය මෙරට ධනවාදයේ නිර්දය ආරක්ෂකයෙකු වනු ඇති බවට ජවිපෙ මුලු ඉතිහාසයම කම්කරු පන්තියට අනතුරු අඟවයි.

Share this article: