හජාජාක අන්තර්ජාල මැයි දින රැලියට ලොව පුරා සහභාගිත්වයක්

Worldwide attendance at ICFI May Day online rally

අපගේ වාර්තාකරුවන් විසිනි, 2014 මැයි 05

පසුගිය 04 වන ඉරිදා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පවත්වන ලද අන්තර්ජාල මැයි දින රැලියට මහාද්වීප හයක, රටවල් 84ක කම්කරුවන් හා තරුනයින් සහභාගී විය. ශ්‍රාවකයින් අමතා කථා කල එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ ශ්‍රී ලංකාවේ හා ඔස්ට්‍රේලියාවේ කථිකයින් දස දෙනෙකුට ඔවුහු සවන් දුන්හ.

රැලිය එවැනි පලමු අත්දැකීම ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයට මුනගැස්වීය. එහිදී ගෝලීය ශ්‍රාවකත්වය යුද්ධයට, අසමානතාවයට හා ආඥාදායකත්වයට එරෙහි පොදු වේදිකාවකට එක්රැස් කරවීය. එය සංවිධානය කරන ලද්දේ, හජාජාක දිනපතා අන්තර්ජාල ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලිනි.

දෙදහසකට වැඩි පිරිසක් අවස්ථාවට සහභාගී වීම සඳහා ලියාපදිංචිව සිටි අතර එය විකාශනය වූ පැය දෙක හමාරක කාලය තුල අදහස් දැක්වූවන් 700කට වැඩිය. රැලිය සඳහා පලවූ දැවැන්ත ප්‍රතිචාරය, ලෝකය පුරා යුද්ධයේ හා සමාජ ප්‍රතිවිප්ලවයේ පිලිවෙතට එරෙහිව පලවන වැඩෙන මහජන විරුද්ධත්වයේ ද දේශපාලන විශ්ලේෂනයක් හා දේශපාලන විකල්පයක් සඳහා පැතිර පවතින පිපාසාවේ ද ප්‍රකාශනයක් විය.

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජිකාවක් ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ 40 වසරකට වැඩි කලක් සාමාජිකාවක්ව සිටින්නාවූ ද හෙලන් හෙල්යාඩ් රැලියේ මුලසුන හෙබවීය.

එක්සත් ජනපද සසප ජාතික ලේකම් ද ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ද වන ඩේවිඩ් නෝර්ත් රැලියේ සමාරම්භක වාර්තාව ඉදිරිපත් කලේය. එහිදී ඔහු රැලිය පදනම් වන මූලික ඓතිහාසික හා දේශපාලන සංකල්ප ගෙනහැර දැක්වීය.

ලෝකය පුරා අන්තර්ජාල රැලියට සහභාගී වන වැඩකරන ජනතාවගේ පුලුල් පැතිකඩ, දැවැන්ත වෛෂයික වැදගත්කමක් දරන බව නෝර්ත් පැවසීය. “වාර්ගිකත්වය, ආගම, ජාතිකත්වය, භාෂාව, ලිංගිකත්වය පමනක් නොව වයස අනුව පවා ජනතාව බෙදා වෙන්කිරීම සඳහා පාලක පන්තීන් ගසාකන සෑම වෙනස්කමක්ම, ලෝක ධනවාදයේ අර්බුදයෙහි මඟ නොහැරිය හැකි යථාර්තය ද පන්ති අරගලයේ දේශපාලන විධානය ද නූතන සමාජය තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී භූමිකාව ද හමුවේ දියවී යයි.

හජජාක දේශපාලන ඉදිරිදර්ශනය පදනම්ව ඇත්තේ, ගෝලීය ධනවාදයේ ප්‍රතිවිරෝධතා පිලිබඳ විද්‍යාත්මක වැටහීම හා ස්ටැලින්වාදයට හා සංශෝධනවාදයට එරෙහිව විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් ගෙනගිය අරගලය තුල වර්ධනය කරන ලද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් ද මත යයි නෝර්ත් පැවසීය.

“විසිවන සියවසේ පන්ති අරගලයෙහි කටුක පාඩම් යලි යලිත් පෙන්නුම් කරන්නේ, සෑම රටකම කම්කරු පන්තියේ අරගලයන්ට මග පෙන්වන ජාත්‍යන්තර මූලෝපායේ හා ක්‍රියාමාර්ගයේ තීරනාත්මක වැදගත්කමයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පිටින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙන ගිය බව සැබවින්ම කියා සිටිය හැකි අන් කවර ව්‍යාපාරයක්වත් වත්මන් ලෝකය තුල ඇත්තේ නැත.” නෝර්ත් තවදුරටත් කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු සසප ජාතික ලේකම් නික් බීම්ස්, 2008 මූල්‍ය බිඳවැටීමත් සමග නැඟී ආ ලෝක ධනවාදයේ ගෝලීය කඩාවැටීම තුල, ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ මූලාශ්‍රය විමසුමට ලක් කලේය. (නික් බීම්ස් හා අනෙකුත් සියලු කථිකයින්ගේ එකතු කිරීම් ඉදිරි දිනවලදී ලෝසවෙඅ පලකරනු ඇත. )

උතුරු ඇමරිකාව හා යුරෝපය පුරා දැන් පැතිර පවතින ආර්ථික පල්වීමේ කොන්දේසි බීම්ස් ගෙනහැර දැක්වීය. ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ඊනියා “නැඟීඑන වෙලඳපොලවලට” විකල්පයක් සම්පාදනය කල නොහැකි මන් ද යන්න ද ඔහු පැහැදිලි කලේය.

අර්බුදය පිලිබඳව බැරෑරුම් පැහැදිලි කිරීමක් ඉදිරිපත්කල නොහැකි පාලක පන්තිය හා එහි ක්ෂමාලාපකයෝ, එය අවාසනාවන්ත අනතුරක් ලෙස පෙන්වීමට උත්සාහ කරති. “මාක්ස්වාදීන්ට ඇත්තේ අති මූලිකව ප්‍රතිවිරුද්ධ ඉදිරිදර්ශනයකි. අර්බුද හා ආර්ථික බිඳවැටීම ධනේශ්වර ක්‍රමයට පිටතින් හටගන්නේ නැත. ඒවා මුල්බැස ඇත්තේ, එහිම අනිවාර්ය අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තුලය.” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, ලෙනින් හා ට්‍රොට්ස්කි යටතේ බොල්ෂෙවික් පක්ෂය විසින් ආරම්භ කල ලෝක සමාජවාදය සඳහා සටන, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය මත පාදකව ජාත්‍යන්තර කමිටුව අඛන්ඩව පෙරට ගෙනගිය ආකාරය පැහැදිලි කලේය.

ධනේශ්වර ජාතිකවාදයටත් ස්ටැලින්වාදයටත් අනුගතවූ සියල්ලන්ටම එරෙහිව, සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්තියේ ප්‍රමුඛ ක්‍රියාකලාපය පිලිබඳ ඉදිරිදර්ශනයේ පදනම මත ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සටන් වැදුනි. ඔහු, ඊජිප්තුවේ හා දකුනු අප්‍රිකාවේ මෑත අත්දැකීම් මෙන්ම, ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු උප මහාද්වීපය තුල කම්කරු පන්ති අරගල වලින් උකහාගත් පාඩම් ද විමසුමට ලක් කලේය.

“ලෝක සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරය බාරගැනීම සඳහා කම්කරු පන්තිය විද්‍යාත්මක සමාජවාදී විඥානයෙන් යලි සන්නද්ධ කිරීමට ට්‍රොට්ස්කි ගෙන ගිය අරගලය ජාත්‍යන්තර කමිටුව අඛන්ඩව පෙරට ගෙනගියේය. මෙම රැලිය තුල ඉස්මතුකර ඇත්තේ මෙම බලගතු විප්ලවවාදී සම්ප්‍රධායයි.” විජේ පැවසීය.

ජාත්‍යන්තර කමිටුවේ යුරෝපීය ශාඛාවන්ගේ කථිකයින් සිව් දෙනෙක්, යුක්‍රේන අර්බුදය මගින් මතුකර තිබෙන යුද්ධයේ තර්ජනය හා දක්ෂිනාංශික වේවා සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂ නායකත්වය යටතේ වේවා සෑම ආන්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලබන මිලිටරිවාදී, කප්පාදු හා පීඩාකාරී ප්‍රතිපත්තීන්ට එරෙහිව යුරෝපය පුරා කම්කරු පන්තියේ අරගල පිලිබඳව සාකච්ඡා කලහ.

ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාස්, ජර්මන් හා බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂ විසින් මේ මාසයේ අවසානයට පැවැත්වීමට නියමිත යුරෝපීය මැතිවරන ව්‍යාපාරය තුල ගෙන යන ඒකාබද්ධ උද්ඝෝෂනයේ පෙරමුනෙහිම තබා ඇත්තේ යුද්ධයේ තර්ජනය බව පැහැදිලි කලේය.

“යුරෝපීය සංඟමය, යුරෝපය පුරා අතිශය බලගතු ආර්ථික හා මූල්‍ය අවශ්‍යතාවන්ගේ ආඥාදායකත්වය මිස, ජනතාවන්ගේ එකමුතුකම නියෝජනය නොකරයි. යුරෝපීය සංඟමයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක ඉදිරිදර්ශනය පෙරටුකොට ගනියි.” ඔහු පැවසීය.

එක්සත් රාජධානියේ සසප ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන්, ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය සහිතව යුක්‍රේනයේ දක්ෂිනාංශික පාලන තන්ත්‍රය විසින් සිදුකරන අපරාධ විස්තර කලේය. එක්සත් ජනපදය හා එහි යුරෝපීය අනුචරයින්, විනාශකාරී ලෝක යුද්ධයක තර්ජනය මතුකරන, රුසියාව සමග ගැටුමක් අවුලුවයි.

ඓතිහාසික ආස්ථානයකින් සලකන කල යුක්‍රේනය පිලිබඳ අර්බුදය, ස්ටැලින්වාදය විසින් පාවාදෙනු ලැබ විනාශ කල සෝවියට් සංඟමය බිඳවැටීමේ දුරදිග යන ප්‍රතිගාමී ප්‍රතිවිපාක පෙන්නුම් කරයි.

“අප පෙනී සිටින්නේ, ෆැසිස්ට්වාදීන් හා කතිපයාධිකාරීන් එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සඳහා යුක්‍රේනියානු, රුසියානු හා යුරෝපීය කම්කරු පන්තිය එක්සත් කිරීමටයි.” ඔහු පැවසීය.

ජර්මානු සසප ජාතික ලේකම් උලී රිපට්, යුක්‍රේන අර්බුදය කඩතුරාවක් කරගෙන, සියලු පක්ෂ විසින් ජර්මානු මිලිටරිවාදය පුනර්ජීවනය කිරීම හා ජර්මානු මාධ්‍යයේ යුදවාදී ප්‍රචාරන මහෝගය පිලිබඳව කථා කලේය.

එක් හෝ තවත් අවධියකදී මිලිටරිවාදයට විරුද්ධ යයි කියාගත් හරිතයින්, සාමවාදීන් හා වාම පක්ෂයේ තියුනු දකුනට පැද්දීම පිලිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කලේය.

“ජර්මානු අධිරාජ්‍යවාදය සාමවාදී ආකාරයකින් කටයුතු කල තාක් දුරට වාම පක්ෂය ද සාමවාදී විය. ජර්මානු මිලිටරිවාදය ලෝක කරලියට යලි පිවිසීමට සූදානම්වන එම මොහොතේම වාම පක්ෂය ද සිය සාමවාදී වාචාලය හැර දමයි.” ඔහු පැවසීය.

මහාද්වීපය අලලාගත් කප්පාදු, සමාජ පිරිවැය පහත හෙලීම හා රැකියා විනාශය පිලිබඳ ප්‍රතිපත්ති හමුවේ යුරෝපය තුල මිලියන සිය ගනනක් දෙනා මුහුන දෙන ජීවන තත්වයන් පිලිබඳව බ්‍රිතාන්‍යෙය් සසප සහකාර ජාතික ලේකම් ජුලී හයිලන්ඩ් කථා කලාය.

නිල වශයෙන් යුරෝපය තුල මිලියන 120ක් දුප්පත් කමේ ගිලී සිටිති. එහෙත් අර්බුදයේ බරින් තත්වය වඩාත් නරක අතට හැරී තිබේ. වෛද්‍ය ගාස්තු ගෙවන තෙක් අලුත උපන් ලදරුවන් ද තුරුලු කරගෙන මව්වරුන් රෝහල් තුල රඳවාගෙන සිටින ආකාරය ඇතුලු සමාජ පිරිවැය කප්පාදුවේ ඛේදජනක ප්‍රතිවිපාකයන්ට මුහුන දෙන ග්‍රීසියේ තත්වය ඈ ගෙනහැර දැක්වූවාය.

“මෙම නව ජාත්‍යන්තර තත්වය තීරනය කල යුත්තේ කම්කරු පන්තියේ දිශාවනතිය තුලින්ය යන්න යථාර්තය වන අතර කම්කරුවන් තම විප්ලවවාදී සම්ප්‍රධායන් කරා යලි පැමිනීය යුතු මාවත මැයි දිනය විසින් මීට පෙර පෙන්නුම් කර තිබුනි.” ඇය පැවසුවාය.

මෑතකදී ජපාන, දකුනු කොරියානු හා වයඹ දිග ආසියාව තුල ඔබාමා කල සංචාරය මගින් පෙන්නුම් කල පරිදි, එක්සත් ජනපද පාලනයේ “ආසියාවට හැරීම” යන ආක්‍රමනික පිලිවෙත ආසියා පැසිෆික් කලාපය තුල ජනනය කර තිබෙන යුද්ධයේ වැඩෙන අන්තරාය පිලිබඳව ඕස්ට්‍රේලියාවේ සසප සහකාර ජාතික ලේකම් ජේම්ස් කෝගන් කරුනු දැක්වීය.

එක්සත් ජනපද මිලිටරිය, චීනයට විරුද්ධව එල්ල කල මිලිටරි කටයුතු සඳහා සූදානම් වීමට ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ හා ෆිලිපීනයේ නව කඳවුරු පිහිටුවාගෙන ඇත. ඒ සමගම, අන්තර් පැසිෆික් වැනි ආර්ථික ගිවිසුම් හරහා “එක්සත් ජනපදය අධිරාජ්‍යවාදයට අවශ්‍යවී ඇත්තේ, ඇමරිකාව පාලනය කරන ව්‍යාපාරික කතිපයාධිකාරයට සමස්ත කලාපයම යටත්කර ගැනීමය.” කෝගන් එසේ පැවසීය.

එක්සත් ජනපද සමාජ සමානතාවය සඳහා තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ ජාතික ලේකම් ඇන්ඩෘ ඩැමෝන් මෙසේ පැවසීය. “ධනේශ්වර අර්බුදය වඩාත්ම කැපී පෙනෙන ලෙස ප්‍රකාශයට පත් වන්නේ එක්සත් ජනපද හා යුරෝපය, ලතින් ඇමරිකාව, ආසියාව හා අප්‍රිකාව දක්වා ලෝකය පුරා තරුනයින් මුහුන දෙන කාලකන්නි සමාජ තත්වයන් තුලය. මේ වනාහි අනාගතයක් නොදකින, වාර්තාගත විරැකියාවකට මුහුනපා සිටින, පුලුල් ලෙස පැතිර ඇති දුප්පත්කමට, නිමක් නැති නයගැතිකමට හා තොරක් නැතිව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර වදින පරම්පරාවකි.”

තරුනයින්ට ඇති එකම සැබෑ අනාගතය පවතින්නේ සමාජවාදය සඳහා අරගලය තුලය. වත්මන් තත්වය කෙරහි පවතින සතුරුකමේ හිඟයක් නැති නමුත් තරුනයින්ට, කම්කරු පන්තිය හමුවේ පවතින විප්ලවවාදී කර්තව්‍යයන් පිලිබඳ දේශපාලන හා ඓතිහාසික වැටහීමක් අත්කරගැනීම අත්‍යවශ්‍යය. ඔහු පැවසීය.

අවසාන කථාව පැවැත්වූයේ එක්සත් ජනපද සසප ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසිනි. “ඒ හැටියට ගත් කල මේ රැලිය, ඉතිහායේ අවසානය පිලිබඳ ප්‍රකාශ සුන්කර දැමීය. මක්නිසා ද යත්, අද දිනයේදී ඉතිහාසය ගොඩනැඟෙමින් තිබීම නිසාය.” ඔහු පැවසීය.

රැලියේදී පැවැත්වූ බොහෝ කථාවල මූලික යොමුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූමිකාව විය. එසේ වීම නිවැරදි වන්නේ, ලෝක පරිමාන කුමන හෝ විප්ලවවාදී ව්‍යාපාරයක්, ඇමරිකානු පාලක පන්තියේ බලය හා ප්‍රචන්ඩත්වයට මුහුන දිය යුතු බැවිනි.

“ඇමරිකානු අධිරාජ්‍යවාදය ශක්තිමත් විය හැකිය. එහෙත් ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධතා ඊටත් වඩා ශක්තිමත්ය. එසේ වන්නේ හරියටම එහි ගෝලීය ක්‍රියාකලාපය නිසාවෙනි. ප්‍රතිවිරෝධයන්ගේ වඩාත්ම සංකේන්ද්‍රිත ප්‍රකාශනය අත්කරගන්නේ, එක්සත් ජනපද තුලින්මය. ඇමරිකානු පාලක පන්තියේ පෙනෙන්නට තිබෙන ශක්තිය පවතින්නේ අන්තයටම දිරාපත්වූ පදනම් මතය.”

ඔහු, පසුගිය දශක හතර පුරා සිදුවූ ඇමරිකානු ධනවාදයේ පරිහානිය, කලෙක රථවාහන නඟරය ලෙස සැලකූ ඩෙට්රොයිට්හි බංකොලොත් වීම තුල කුලුගැන්වුනු එරට කාර්මික පදනමේ බිඳවැටීම සමග සම්බන්ධ කලේය.

“ඇමරිකානු ධනවාදයේ පෙනීයන ශක්තියෙන් ගිනිකන වැටුනු අය එරට ආර්ථික පරිහානිය නොසලකා හරිති. අද දිනයේ ලෝකයෙහි ඇති දැවැන්තම විප්ලවවාදී සාධකය ඇමරිකානු කම්කරු පන්තිය බව ද ඔවුන්ට වටහාගත නොහැකිවේ.

ඇමරිකානු කම්කරු පන්තිය ලෝක දේශපාලනය තුල නිදාසිටින යෝධයෙකු වන්නේය. මූල්‍ය වංශාධිපතීන්, මේ රටේ කම්කරුවන්ට වඩා බලගතු එදිරිවාදියෙකුට මුහුන දෙන්නේ නැත. මෙම දැවැන්ත සමාජ බලවේගයේ පලමු නිදිගැට හැරීම පවා වොෂින්ටන්හි ආන්ඩුවේ ගොඩනැඟිලි අරක්ගෙන සිටින වෝල් වීදියේ දේශපාලන රූකඩයින් සියලු දෙනාගේ ගනන් බැලීම් වඳ භාවයට පත්කරනු ඇත.”

වසර 128කට පෙර 1886දී, ජාත්‍යන්තර කමිටුවේ රැලිය පැවැත්වෙන මෙම දිනයේම, හේමාකට් ඝාතනයෙන් සංලක්ෂිතවූ ඇමරිකානු කම්කරුවන්ගේ ශ්‍රේෂ්ඨ අරගලයන්ගෙන් එකක් කෙරෙහි පලවූ ජාත්‍යන්තර ප්‍රතිචාරයකි මැයි දිනය.”කිෂෝර් එසේ පැවසීය.

සිය අවශ්‍යතා ආරක්ෂා කරන ස්වාධීන ජනතා දේශපාලන සංවිධානයක් ගොඩනැඟීමට අසමත් වීමේ ප්‍රධාන දේශපාලන දුබල කම ඇමරිකානු කම්කරු පන්තිය දැන් ජයගත යුතුව ඇතැයි කථිකයා තර්ක කලේය.

ඔහු මෙසේ පවසමින් සිය කථාව සමාප්ත කලේය. “ලෝකය පුරා සිටින අපේ සහෝදරවරුන්ට අපි මෙසේ පවසන්නෙමු. ඇමරිකාවල් දෙකක් තිබෙන බව සැමවිටම මතකතබා ගන්න. බොරු කියන, තර්ජනය කරන හා වද දෙන වෝල් වීදියේ, පෙන්ටගනයේ, සීඅයිඒහි, හා ආඥාදායකත්වයෙහි ඇමරිකාවක් තිබේ. ප්‍රගතිශීලී සියලු දෙය දරා සිටින්නාවූ, අනාගතය සඳහා සැබෑ බලාපොරොත්තුව වන්නාවූ කම්කරු පන්තියේ ඇමරිකාවක් ද තිබේ.”

මෙම කථා පැවැත්වෙන අතරතුර නොයෙකුත් අදහස් රැලියේ අන්තර්ජාල පිටුවෙහි සඳහන් කෙරී ඇත. ඒ ප්‍රකාශ පලවූයේ එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, පේරු, ඌරුගුවේ, චිලී හා බ්‍රසීලයෙනි. බ්‍රිතාන්‍ය, ප්‍රන්සය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෝල්ටාව, බෙල්ජියම, පෝලන්තය, රුමේනියාව, නෝර්වේ, යුක්‍රේනය හා රුසියාව සාකච්ඡාවට එකතුකිරීම් කලේය. චීනය, ඉන්දියාව, තායිලන්තය, දකුනු කොරියාව, ජපානය, සිංගප්පූරුව, ෆිලිපීනය, කසකස්තානය එක්සත් අරාබි එමිරේට් යන රටවලින් ද ප්‍රකාශ එකතු විය. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ දුසිම් ගනන් ශ්‍රාවකයෝ ප්‍රකාශ පලකල අතර ජාත්‍යන්තර කමිටුවේ දකුනු අප්‍රිකානු හා තුර්කි ආධාරකරුවෝ රැලියට ශුභ පැතුම් එවූහ.

සියලු කථා ජර්මානු, සිංහල, දෙමල භාෂා වලට එසැනින් පරිවර්තනය කර ප්‍රචාරය කෙරුනු අතර පැරිසියේ රැස්ව සිටි ආධාරකරුවන් කන්ඬායමක් ප්‍රන්ස භාෂා පරිවර්තනයක් ලබා දුන්නේය. අන්තර්ජාල සාකච්ඡා, තරමක් වෙනස්, ස්පාඤ්ඤ, තුර්කි, ඉතාලි, රුසියානු හා ප්‍රන්ස භාෂා වලින් ද පැවැත්වෙයි.

Share this article: