ශ‍්‍රී ලංකාව: මහ ධනපති පක්ෂ විරැකියාව පිලිබඳ බොරු පොරොන්දු දෙයි

Sri Lanka: Big business parties issue false pledges on unemployment

මිනූෂ ෆර්නෑන්ඩො විසිනි, 2015 අගෝස්තු 13

නැවත වරක් පාලක දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) ප‍්‍රමුඛ සන්ධානය තරුනයින්ගේ ඡන්ද කඩා ගැනීම සඳහා විරැකියා අර්බුදයට විසඳුම් පොරොන්දු වෙයි. කෙසේ වෙතත් තරුනයන් මුහුන දෙන ගැටළු මෙම පක්ෂ සහ ඒවා පවත්වාගෙන යනු ලබන ධනේශ්වර ක‍්‍රමය පිලිබඳ චෝදනා පත‍්‍රයකි.

සමස්ථ විරැකියා අනුපාතය 4.7 දක්වා පහත වැටී තිබූ බව මෙම වසර මුලදී රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලේය. නියමිත ගනනට වඩා අඩුවෙන් දක්වා ඇති මේ සංඛ්‍යා වලට අනුව පවා රැකියා වියුක්තිය, වයස අවුරුදු 15-24ත් අතර සියයට 21.7ක් සහ තරුන කාන්තාවන් අතර 31ක් වශයෙත් ඉහල අගයක පැවතුනි. වයස අවුරුදු 25ත් 29ත් අතර මෙම අගය සියයට 8.7ක වූ අතර කාන්තාවන් අතර සියයට 16ක පැවතුනි.

ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආන්ඩුව විරැකියාව ඓතිහාසිකව අවම අගයකට ගෙන ආ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගසන පුරාජේරු මෙම සංඛ්‍යා විසින් කුඩුපට්ටම් කර දමයි.

අලුත්ම සංඛ්‍යාවන් නොමැති වුවත්, විරැකියාව වතුකරයට දරුනු ලෙස බලපා තිබේ. දරිද්‍රතාවය සහ ආන්ඩුවල නොසැලකිල්ලෙහි ප‍්‍රතිපලයක් වූ පහල අධ්‍යාපනික මට්ටම ගැටළුව උග‍්‍ර කරයි.

සිය මැතිවරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙසේ ප‍්‍රකාශ කලේය: සෑම වසරකම ශ‍්‍රම බලකායට අලුතින් එක්වන 400,000ක් වන තරුනයන්ට රැකියා අවස්ථා නිර්මානය කරන අතර විරැකියාව නැති කිරීමට සහ එමගින් දරිද්‍රතාවය සහ විරැකියාව දේශපාලන සටන්පාඨයක් ලෙස යොදාගැනීමට නොහැකි වන පරිදි දූරදර්ශි ආර්ථික කලමනාකාරීත්වයක් නිර්මානය කරමු.

මෙය තරුනයන් රැවටීමට ගොතන ලද සහාසික බොරුවකි. හයමසකට පෙර අවසන් වූ, තමන් බලයේ සිටි දශකය මෙවැනි “දූරදර්ශි ආර්ථික කලමනාකරනයක්” ක‍්‍රියාවට නැංවීමට නොහැකි වූයේ අයි දැයි එජනිස පැහැදිලි කලේ නැත. යතාර්ථයේදී, වර්තමාන එජාප ආන්ඩුවේ මෙන් එහි දේශපාලනය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නිර්දේශ අනුගමනය කරයි.

ඒ හා සමානවම “පංච විධ ක‍්‍රියාවලිය” ලෙස නම් කල එජාප ප‍්‍රමුඛ පෙරමුනෙහි මැතිවරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වසර පහක් තුල රැකියා දස ලක්ෂයක් පොරොන්දු විය. මෙය ප‍්‍රධාන වශයෙන් පදනම් වූයේ බලාපොරොත්තු වූ ආකාරයට GSP+ සහනය-යුරෝපීය සංගමයේ තීරු බදු සහනයක්- නැවත ලබා ගැනීම මතය. “විවෘත වෙලඳපොල ආර්ථිකය” නමැති බැනරය යටතේ 1978දී එජාප ය විසින් පිහිටුවන ලද නිදහස් වෙලඳ කලාප වලට සමාන ආකාරයෙන් මෙම විසඳුම යටතේ ලාභ ශ‍්‍රම වේදිකා සැපයීම සලකා බලයි.

මෙම පක්ෂ වල ආන්ඩු යටතේ දියුනු වූයේ එක් “රැකියා අංශයක්” පමනි. එනම් තරුනයන් දෙමල ජනයාට එරහි වර්ගභේදවාදී යුද්ධයට සහ කම්කරුවන්ට දුගීන්ට සහ තරුනයන්ට එරහිව ගොඩනගා ඇති මිලිටරි-පොලිස් යන්ත‍්‍රයට බඳවා ගැනීමය. ප‍්‍රධාන වශයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල විරැකියාවෙන් පෙලෙන තරුනයන් යුද්ධයේදී බිල්ලට යැවෙන සොල්දාදුවන් ලෙස ආරක්ෂක හමුදාවන් තුනට බඳවා ගත්තේය.

නිර්මානය කෙරුනු වෙනත් රැකියාවන් උචිත විශ‍්‍රාම වැටුප් පටිපාටියක් හෝ නිවාඩු හිමිකම් නැති, “කුලියට ගැනීම සහ දොට්ට දැමීමේ” කොන්දේසි යටතේ වැඩි වශයෙන් අනියම් සහ කොන්ත‍්‍රාත් මාදිලියේ රැකියාය. අද වනවිට ශ‍්‍රම බලකායෙන් සියයට 54ක් සමන්විත වන්නේ කෲර සූරා කෑමකට මුහුන දෙන කොන්ත‍්‍රාත් හෝ අනියම් කම්කරුවන්ගෙන්ය. මෙය සංස්ථාපිත ලාභ පද්ධතිය යටතේ තරුනයන් මුහුන දෙන අනාගතය පිලිබඳ ඇඟවුමක් පමනි.

එජනිස සහ එජාප විසින් වර්නගන්වන ලද අනාගත සමෘද්ධිය පිලිබඳ සතුටුදායක චිත‍්‍ර මුළුමනින්ම වංචනිකය. 2008 මුල්‍ය බිඳවැටීමේ සිට රට ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුධයෙන් මිරිකී ඇත. අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වල සිට පසුගාමී රටවල් දක්වා තරුනයන් විරැකියාවට සහ දරිද්‍රතාවට මුහුන දී සිටී. ශ‍්‍රී ලංකාවට විශේෂයක් නොමැත.

තරුන ප‍්‍රජාව ගැන සලකන කල අනාගතය රඳා පවතින්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලාභ පද්ධතිය බිඳ දැමීමට සහ සමාජවාදී සමාජයක් පිහිටුවීමට සටන් කිරීම මතය. කොලඹ, නුවර එලිය සහ යාපනය යන දිස්ත‍්‍රික්ක තුන සඳහා මහා මැතිවරනයට තරඟවදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) නව රැකියා නිර්මානය කිරීමට මහජන සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන ගනනින් වියදම් කිරීමට යෝජනා කරයි. රැකියා අවස්ථා වැඩි කිරීම සඳහා වැටුප් හෝ සේවා තත්වයේ අඩුවක් නොමැතිව කම්කරුවන් වැඩ කරන පැය ගනන අඩු කල යුතුය.

මෙවැනි වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට නැංවිය හැක්කේ, විශාල බැංකු සහ විශාල කොම්පැනි ජනසතු කිරීම සහ විදේශ නය අහෝසි කිරීම ඇතුලත් සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන කම්කරුවන්ගේ ගොවියන්ගේ ආන්ඩුවක් යටතේ පමනි.

තමන් මුහුන දෙන කොන්දේසි පිලිබඳ පිලිකුල ප‍්‍රකාශ කරමින්, සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ උද්ඝෝෂන කන්ඩායම් සමග තරුනයෝ කතා කලෝය.

කොලඹ කාර්ය බහුල කොම්පඤ්ඤවීදියේ වයස 23ක් වන කොයිසාර් මුස්තාන් ප‍්‍රධාන දේශපාලන පක්ෂ වල පොරොන්දු පිලිබඳ සිය අත්දැකීම පැහැදිලි කලේය. ආයෝජකයන් සඳහා ඉඩම් නිදහස් කරගැනීමට, ආන්ඩුව ඔහුගේ පවුලේ නිවස විනාශ කලේය. පියා සහ ඔහු රැකියාවක් කලද ආදායම එදිනෙදා ජීවත් වීම සඳහා ප‍්‍රමානවත් නැත. “මම දැනට ගෝල් ෆේස් එක ලඟ කඬේක වේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා” ඔහු පැවසීය.

“මම ඕලෙවල් වෙනකන් ඉගෙන ගත්තා. දත්ත සම්පාදනය ගැන අවුරුද්දක පලපුරුද්ද තියෙනව කියල සහතිකයක් මං ගාව තියෙනවා. ජනාධිපතිවරනය වෙලාවේ මට කිව්වා රෙජිස්ටර් වෙන්න කියල එවක ආන්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලඥයෙක්. ඊට පස්සේ මුකුත් වුනේ නෑ. මේ පාරත් ඒ ගොල්ලො මේ වගේ දේවල් කියයි. මෙහෙම තමයි ඒ ගොල්ලෝ රස්සා ගැන, හොඳ ජීවිතයක් ගැන අපේ බලාපොරොත්තු ගසාකන්නේ”.

තරුනයන් සහ කම්කරුවන් මුහුන දෙන බරපතල තත්වය උද්ඝෝෂකයන් පැහැදිලිකරන විට මුස්තාන් ඕනෑකමින් ඇහුන්කන් දුන්නේය. ඔහු සසප මැතිවරන ප‍්‍රකාශනය කියවන බව පැවසීය.

හැටන් ප‍්‍රදේශයේ ශනොන් වතුයායේ අවුරුදු 21ක් වන සුරේෂ් මෙසේ ප‍්‍රකාශ කලේය: “මම පවුලේ හය වෙනිය. මම උසස්පෙල වෙනකන් ඉගෙන ගත්තා එත් අමතර පන්ති වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිබුනේ නැති නිසා මට විභාගෙට වාඩිවෙන්න බැරි වුනා. අපේ ඉස්කෝලේ උසස්පෙල වෙනකන් තිබුනත් ප‍්‍රමානවත් තරම් සම්පත් නෑ.”

“විභාගේ ගත්තනම් අපිට අමතර පන්ති වලට යන්න වෙනවා. මගේ දෙමව්පියන් විතරයි රැකියාවක් කලේ. මගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ බැඳලා වෙන්වෙලා ගිහින් තිබුනේ. මගේ සහෝදරයොත් සාමාන්‍ය පෙල දක්වා ඉගනගත්තා ඒත් කොලඹ රස්සාවක් කරන්න අධ්‍යාපනේ අත ඇරලා දැම්මා.”

තම සමාජ කොන්දේසි විස්තර කිරීමෙන් පසුව සුරේෂ්, ප‍්‍රධාන දේශපාලන පක්ෂ පිලිබඳ කෝපය පල කලේය. “මැතිවරන ක‍්‍රියාවලිය ගැන මම කලකිරිලා ඉන්නේ. තවදුරටත් කවුරුවත් ගැන විශ්වාසයක් නෑ. මං වගේ තවත් ගොඩක් තරුනයෝ ඉන්නවා.”

අප්කොට් හී ග්ලෙනුජි වතුයායේ ඩීසයිඩ් කොටසේ සිටින වයස අවුරුදු 21ක් වන ගෝපිනාත් දේශපාලන පක්ෂවල අත්ගෙඩි ලෙස වැඩ කරන වෘත්තීය සමිති තියුනු ලෙස විවේචනය කලේය. උසස් පෙල අවසන් කල නමුත් වැවිලි කම්කරුවන් වන දෙමාපියන්ට ඔහුගේ අධ්‍යාපනය දිගටම සිදු කරගෙන යාමට වියදම් කිරීමට නොහැකි විය.

ගෝපිනාත් පාසල් වල තත්වය විස්තර කලේය. “පරිත්‍යාග කරපු ගොඩනැගිලි තිබුනා ඒත් ඉස්කෝලෙට අවශ්‍ය පහසුකම් සහ සහය කාර්යය මන්ඩලය සිටියේ නෑ. මන් ගිය ඉස්කෝලේ විතරක් නෙවෙයි. අනිත් ඉස්කෝල වලත් ජලය වැසිකිලි වගේ මූලික පහසු කම් හරිම අඩුයි. මෙය වතුකරයේ සුලබ තත්වයකි.”

මැතිවරනය ගැන සඳහන් කරමින් ගෝපිනාත් මෙසේ පැවසීය: “ලංකා කම්කරු කොන්ග‍්‍රස් නායකයෝ කලින් ආන්ඩුවේ හිටියා. තොන්ඩමන් කිව්වා එයා ප‍්‍රශ්න විසඳනවා කියල. අනිත් වෘත්තීය සමිති නායකයෝ දැන් තියෙන ආන්ඩුවට එකතු වෙලා. තමන්ට ඡන්දය දුන්නොත් ප‍්‍රශ්න විසඳන බව කියනවා. මෙහෙම තමයි ඒ ගොල්ලෝ වැඩ කරන්නේ.”

තමන් කිසිදු පක්ෂයකට ඡන්දය නොදෙන බව ගෝපිනාත් ප‍්‍රකාශ කලේය. සාකච්ඡාවන් කිහිපයකින් පසු ඔහු “මම ඔයගොල්ලන්ගේ පක්ෂයේ ප‍්‍රතිපත්ති ගැන අහන්නේ පලවෙනි වතාවට. මට ඒවත් එක්ක එකඟ වෙන්න පුළුවන්” යයි පැවසීය.

Share this article: