නව සමසමාජ පක්ෂයේ ව්‍යාජ වම්මු එක්සත් ජනපදයේ සහාය ලබන “වර්න විප්ලවයකට” තල්ලුව දීමට සැරසෙයි

Sri Lanka: Pseudo-left NSSP prepares to support US-backed “colour revolution”

කේ.රත්නායක විසිනි, 2015 අගෝස්තු 08

අගෝස්තු 17 මහ මැතිවරනය එලඹෙමින් තිබියදී ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේත් ඇමරිකානු ගැති දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේත් ප්‍රචාරකයෙකු ලෙස ඉටුකරමින් සිටින්නේ අසාමාන්‍යවූ නරුම ක්‍රියා කලාපයකි.

“ෆැසිස්ට් රාජපක්ෂ රෙජිමයට” එරෙහි “ප්‍රජාතන්ත්‍ර විප්ලවය” යනුවෙන් තමන් විසින් චර්යාවක් ලෙස නම් කර ගත් ජනවාරි 8 මැතිවරනයේ දී කරුනාරත්න, මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා හුරේ දැමීමට නායකත්වය දුන් අය අතුරින් කෙනෙකි.

මෙතරම් සත්‍යයෙන් තොර ප්‍රකාශයක් ගැන සිතා ගැනීමටත් නොහැකිය.

ජනවාරියේ සිදු වූයේ, වොෂිංටනය සමඟ සමීප සම්බන්ධකම් ඇති යූඇන්පී නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මාස ගනනක් තිස්සේ කුමන්ත්‍රනකාරි ලෙස සංවිධානය කල, ඇමරිකානු සහාය ලත් තන්ත්‍ර මාරුකිරීමේ මෙහෙයුමකි. රාජපක්ෂ, මැතිවරනය කැඳ වූ වහාම සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වූ සිරිසේන, යූඇන්පිය හා අනෙකුත් පක්ෂවල මෙන් ම ඉහල මධ්‍යම පන්තික කොටස් මත පදනම් වූ දුසිම් ගනනක් විද්වත් කන්ඩායම්වල, සිවිල් සංවිධානවල සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇතුව සිය පක්ෂයේ නායකත්වයට එරෙහිව ඉදිරිපත් විය.

සිරිසේන සහ වික්‍රමසිංහ “ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන්” ලෙස හුවා දක්වා, වැඩකරන ජනතාවට පහර දීම සම්බන්ධ ඔවුන්ගේ දිගු කාලීන ඉතිහාසය වසන් කර, ඔවුන් සමග ප්‍රසිද්ධ වේදිකාවවල පෙනී සිටිමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කල කරුනාරත්න, මෙම මෙහෙයුමේ පෙරමුන ගෙන සිටියේ ය. සිරිසේන සහ වික්‍රමසිංහ නියෝජනය කරන්නේ, රාජපක්ෂගේ හා ඔහුගේ සහචරයින්ගේ ඒකාධිපති පාලනය විසින් නොතකාහැරුනු සහ චීනය සමග ඔහුගේ සමීප සබඳතාව එක්සත් ජනපදයේ පලි ගැනීමකට තමන් ලක් කරනු ඇත යන කරුන සම්බන්ධයෙන් සංවේදී පාලක පන්තියේ කොටස්ය. දැන් පවතින විකාර තත්වය නම් සිරිසේන තවමත් රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම එහි නාම මාත්‍ර නායකයා ද වීමයි.

රාජපක්ෂ කෙරේ වොෂිංටනයේ සතුරුකම, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධයේ දී සිදුකරන ලද මිලිටරි අපරාධ සම්බන්ධ ඔහුගේ ආන්ඩුවේ වගකීම පිලිබඳව හෝ ඔහු ක්‍රියාත්මක කල පොලිස් රාජ්‍ය විධික්‍රම පිලිබඳව පලවූවක් නොවේ. චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේදී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සැලකිල්ලට ගත් අතර දිවයින තමන් පිටුපස පෙලගස්වා ගැනීමට අධිෂ්ඨානවත් විය. සිරිසේන ජනවාරියේ දී පරාජයට පත් වූයේ නම් “වංචනික මැතිවරනය” ආපසු හැර වීම සඳහා නසසපය සහ සෙසු ව්‍යාජ වාම සංවිධාන මූලික ක්‍රියා කලාපයක් ඉටු කරනු ඇති “වර්න විප්ලවයක්” ඒ වන විටත් සූදානම් වෙමින් තිබුනි.

හත් මසකට පසු කරුනාරත්න යලි එම වැඩ කටයුතු සඳහා සූදානම් වෙමින් සිටින අතර ඔහුගේ “විප්ලවවාදී” ඝෝෂාව වඩාත් විකාර සහගතවී තිබේ. ඔහුගේ නසසපය මැතිවරන දිස්ත්‍රික්ක පහකට අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති නමුත් මෙය යූඑන්පීයේ ජයග්‍රහනය සහ රාජපක්ෂගේ පරාජය සහතික කිරීමේ අරමුනින් ඔහු ගෙන යන උද්ඝෝනයේ නියම ස්වභාවය වසන් කිරීමට වැඩි දෙයක් නො වේ.

පසුගිය මාසයේ රාජපක්ෂ අගමැති බවට පත් වීමේ එල්ලය ඇතිව මැතිවරන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමෙන් අනතුරුව, කුපිත වූ කරුනාරත්න සිය කටයුතු වේගවත් කලේ ය. ආන්ඩුවේ ප්‍රචාරක උපකරනයක් වන රජය සතු ඩේලි නිව්ස් පත්‍රයේ “බිය සහ බලාපොරොත්තු අතරින්” යන හිසින් යුතු තීරුවක ඔහු, ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” ආරක්ෂා කිරීම සඳහා “යලි උපදින සතුරා” සමග “දෙවන පොරය” සඳහා සූදානම් වන ලෙස ඉල්ලා සිටියේ ය.

මුලු තීරුවම පදනම්ව තිබුනේ අමූලික බොරු මතය. එසේ නමුත් ශ්‍රී ලංකාවේ තත්වය සහ 1917 රුසියාවේ සිදු වීම් අතර සැසඳීම මඟින් හොඳ හෙලිදරව්වක් සිදුකර ඇත. ජනවාරි 8 මැතිවරනය සමග සාර් ඒකාධිපතිත්වය පෙරලා දැමූ රුසියාවේ පෙබරවාරි විප්ලවයේ සමානත්වය සොයා ගැනීමෙන් අනතුරුව කරුනාරත්න මෙසේ කියයි. “දැන් අපි කෙරෙන්සිගේ යුගය වැනි කාල පරිච්ඡේදයක් තුලින් ගමන් කරමින් සිටින අතර මැතිවරනයකට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ රාජපක්ෂ තීරනය සම වන්නේ 1917 අගෝස්තුවේදී ජෙනරාල් කොර්නිලොව් විසින් ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනය සඳහා දැරුනු ප්‍රයත්නයට ය.

කරුනු කීපයක් මතු කල යුතු ය. සාර් පලවා හැරුනු පෙබරවාරි විප්ලවය ලෙනින් හා බොල්ෂෙවික් පක්ෂය විසින් උගන්වා ගන්නා ලද කම්කරු පන්තියේ අතිශයින්ම පන්ති විඥානයෙන් යුතු කම්කරුවන්ගේ නායකත්වයෙන් මෙහෙයවුනු හා විප්ලවවාදී කම්කරු ක්‍රියාකාරි කමිටු හෙවත් සෝවියට් සභා ගොඩ නැගීමට උත්තේජනය සැපයූ අව්‍යාජ මහජන ව්‍යාපාරයකි. 1917 ජූලි මාසයේ සිට ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි විසින් නායකත්වය දෙන ලද ධනේශ්වර තාවකාලික ආන්ඩුව පලමු ලෝක යුද්ධයට දිගින් දිගටම රුසියාව මැදිහත් කල අතර මහජනයාගේ අවශ්‍යතා ඉටු කිරීමට එය මුලුමනින් අසමත් විය. කොර්නිලොව්ගේ ප්‍රති විප්ලවවාදී කටයුතු අනුකරනය කල කෙරෙන්ස්කිට පැවති මහජන සහාය දියවී ගියේය. ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් ඔක්තෝබර් විප්ලවය තාවකාලික ආන්ඩුව පෙරලා දමා ඉතිහාසයේ ප්‍රථම වතාවට කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කලේ ය.

කරුනාරත්නගේ තීරුවෙහි දේශපාලන ඇඟවීම් පරික්ෂා කිරීමට පෙර ඔහුගේ අබූත සාදෘෂ්‍යයන්ගේ ප්‍රධාන ලක්ෂන කෙටියෙන් වුව සලකා බැලීම අවශ්‍ය ය.

ශ්‍රි ලංකාව තුල “50 වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්” පැවැතී ඇති නමුත් “අපට එම ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම පාහේ අහිමි වී ඇති අතර අපි ඒකාධිපති වර්ගයේ හා සාර් තන්ත්‍රය තරම් ම ප්‍රතිගාමී (රාජපක්ෂ) තන්ත්‍රයකට එරෙහිව සටන් වදිමින් සිටිමු!”

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුනුවර හැම විටම වැරහැල්ලක් ලෙස පැවතුනි. මෙතෙක් පැවති යූඑන්පී සහ ශ්‍රිලනිප ආන්ඩු දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිවත් කම්කරුවන්ට හා පීඩිත ගම්බද ජනයාට එරෙහි පොලිස් රාජ්‍ය පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහාත් වරින් වර සිංහල බෞද්ධ වර්ගවාදය ඇවිලවීමට කටයුතු කර තිබේ. ගනන් බලා ඇති පරිදි 1980ගනන් අවසාන භාගයේ 60,000ක් ගම්බද තරුනයින් සංහාරය සඳහා මිලිටරියේ පිටුබලය ලත් මිනීමරු කල්ලි මුදා හල යූඑන්පී ආන්ඩුවේ, වික්‍රමසිංහ ඇමතිවරයකු ව සිටියේ ය. යූඑන්පීය මැතිවරනය ජය ගතහොත් රාජපක්ෂ හා ශ්‍රීලනිපය මෙන් ම කම්කරු පන්තිය තලා දැමීම සඳහා දශක 3ක වාර්ගික යුද්ධය තුල වැඩි දියුනු කල පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය භාවිතයට ගැනීමට එය පසුබට නො වනු ඇත.

රාජපක්ෂ ආන්ඩුව නිසැකයෙන්ම ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර දෙමල ජනයාට එරෙහි යුද අපරාධ පිලිබඳව සහ කම්කරු පන්තියට එරෙහි කෲර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වග කිව යුතු බව සැබෑ කරුනක් වන නමුත් එය “ෆැසිස්ට්වාදී” යයි නම් කල නොහැක්කේ, මාක්ස්වාදීන් මෙම වචනය යොදා ගනු ලබන්නේ කම්කරු පන්තියේ සියලු පක්ෂ සහ සංවිධාන සුනු විසුනු කල ජර්මනියේ නාසි තන්ත්‍රය වැනි පාලනයක් හැඳින්වීමට මිස හිතුවක්කාරී විශේෂනයක් ලෙස නොවන හෙයිනි. එසේම සටහන් කර ගත යුතු කරුනක් නම්, 2005 සිට 2014 නොවැම්බර් දක්වා “රාජපක්ෂ තන්ත්‍රයේ” කොටස්කරුවකු ව සිටි සිරිසේන ද ඒකාන්තයෙන් ම එහි සියලු අපරාධවලට වග කිව යුතු බවය.

⋆ 2015 ජනවාරි “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” ගැන සඳහන් කරමින් කරුනාරත්න මෙසේ නිවේදනය කරයි: “සෝවියට් සභා ගැන නො විමසනු; ඒ වෙනුවට ජනතා සංවිධාන, සමාජ සාධාරනත්වය සඳහා ව්‍යාපාරය, සමගි බලය සහ විපක්ෂයේ විරෝධය, ජනතා හඬ, දූෂන විරෝධී පෙරමුන, මහජන ජාතික මන්ඩලය, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සභාව, ජනතා හඬ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ තවත් එවැනි මහජන සංවිධාන...”

මෙම ලැයිස්තුව නසසපයේ පන්ති දිශානතිය කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කරයි. මෙහි සඳහන් සියලු සංවිධාන ඉහල මධ්‍යම පන්තික තට්ටු මත පදනම් වන අතර , ඒවාට නායකත්වය සම්පාදනය කරනු ලබන්නේ විද්වතුන්, බෞද්ධ භික්ෂූන් , නීතිඥයන්, වෘත්තීය සමිති නිලධරයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් විසිනි. මේ එකකට හෝ මහජන සාමාජිකත්වයක් නැත. රුසියාවේ කම්කරුවන්, ගොවීන් සහ සොල්දාදුවන් විසින් කම්කරු හා ගම්බද ජනතාවගේ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රීය සංවිධාන ලෙස ගොඩනැගූ සෝවියට් සභා සමග සමාන වන කිසිවක් මේවාට නැති බව පැවසීම අවශ්‍ය නැත.

මෙම සියලු කන්ඩායම් ප්‍රසිද්ධ රැස්වීම් සහ රාජපක්ෂගේ “ඒකාධිපති පාලනය” හෙලා දකින විරෝධතා පවත්වමින්, එක්සත් ජනපදයේ සහාය ලත් තන්ත්‍ර මාරු ක්‍රියාන්විතයෙහි නියම අරමුන වසන් කිරීමට ජනවාරි මැතිවරනය තුල ක්‍රියාත්මක වූහ. මෙහිදී වොෂිංටනයේ අනුබලය ලත් වර්න විප්ලවය තුල මධ්‍යම පන්තිය ඉටුකල ප්‍රමුඛ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අතිශය උචිත සැසඳීම වන්නේ, නැගෙනහිර හා මධ්‍යම යුරෝපයත් 2009 ඉරානය තුල අසාර්ථක වූ උත්සාහයත් ය. රාජපක්ෂ ආන්ඩුවට ලබා දෙන සහාය පිලිබඳව විවෘතව හෝ අනියම් ආකාරයෙන් බීජිනය ව්වේචනය කිරීම තුලින් ශ්‍රී ලංකාවේ මෙම කන්ඩායම්වල එක්සත් ජනපද ගැති දිශානතිය පැහැදිලිව දැක ගත හැකිය.

⋆ කරුනාරත්න සිද්ධීන්ට විප්ලවවාදී වර්න ගැන්වීමේ සිය ප්‍රයත්නය තුල දී, සිරිසේන හා වික්‍රමසිංහ විසින් ආන්ඩුවේ ඉහලම උපදේශක මන්ඩලය ලෙස බිහි කල ජාතික විධායක සභාව, අගෝස්තු 17 මැතිවරන සූදානම තුල විසුරුවා හැරීම ගැන හඬා වැටෙමින් එය ශ්‍රී ලංකාවේ “විප්ලවවාදී කවුන්සිලය” ලෙස නම් කලේ ය.

යුඇන්පී නායකත්වය යටතේ ආන්ඩුවට උපදෙස් දෙන උපදේශක ආයතනයේ ඉහලම සාමාජිකයන් 13 දෙනා අතරට තමන් ද ඇතුලත් වී සිටීම ගැන උඩඟු ලෙස කයිවාරු ගසන කරුනාරත්නගේ එකම “විප්ලවවාදී” අංශය ජාතික විධායක සභාවයි. එය පිහිටුවන ලද්දේ ජවිපෙ සහ දෙමල ප්‍රභූව නියෝජනය කරන ටීඑන්ඒ ඇතුලු ධනපති පක්ෂවල සහාය ගොනුකර ගැනීම සඳහා ය. හිටපු ජනාධිපති කුමාරතුංගත්, එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමට කෙලින්ම සම්බන්ධ, එවක හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාත් මෙහි සාමාජිකයෝ ය. කරුනාරත්න ඔවුන්ගේ ප්‍රචාරක ප්‍රධානියා ලෙස වැඩ කලේය.

⋆ රුසියාවේ 1917 සිදුවීම් සමග සැසදීමේ දී ඉතා වැදගත් අංශය වන්නේ, කරුනාරත්න, කොර්නිලොව් වර්ගයේ ප්‍රති විප්ලවයකට දොරහැර දුන් කෙරෙන්ස්කි පිලිබද විවේචනය පසෙක තබා එම කෙරෙන්ස්කි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ලෙස වර්නනා කිරීමයි. “ලංකාවේ සාර් වන මහින්දගේ දෙවන සම්ප්‍රාප්තියට” මුහුන පෑ කරුනාරත්න මෙසේ පවසයි. “රුසියාවේ මෙන් බලයෙන් පහ කෙරුනු එක කෙරෙන්ස්කි කෙනෙකු නොව, කෙරන්ස්කිලා දෙදෙනෙකු! සිටීමේ වාසිය ශ්‍රී ලංකාවට ඇත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට නායකත්වය දීම සඳහා එක් අයකු වෙනුවට මෛත්‍රී සහ රනිල් යන ද්විත්ව ස්වරූපයේ සංයෝගයක් අපට ඇත.”

මෙබඳු ප්‍රකාශයන්හි අරමුන හැකිතාක් දුරට දේශපාලන ව්‍යාකූලත්වය වැපිරීම පමනක් නො වේ. වර්ධනය වන සමාජ ආතතීන් මැද ධනේශ්වර පාලනය රැකගැනීම සඳහා නසසපය, 1917දී කෙරෙන්ස්කි ඉටුකලා වැනි මූලික ක්‍රියා කලාපයක් තමන් ද අවසානය දක්වාම ඉටු කරනු ඇතැයි ධනපති පන්තියට සහතික වීම ද සිදුවේ. අප්‍රේල් මාසයේ සිට ඔක්තෝබර් දක්වා ඇදී ගිය විප්ලවය තුල දී කෙරෙන්ස්කි, තාවකාලික අන්ඩුව හා කෙරන්ස්කි රෙජිමය බලයේ රැඳී සිටි මෙන්ෂෙවිකයන් සහ සමාජ විප්ලවවාදීන් වැනි සෝවියට් සභා තුල ක්‍රියාත්මකවූ නොයෙක් වර්ගයේ සම්මුතිවාදීන් දේශපාලනිකව නිර්දය ලෙස හෙලිදරව් කිරීමට ලෙනින් , ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික්වරුන් ඉටු කල ක්‍රියා කලාපය කරුනාරත්න 1917 ගැන තම වාර්තාව තුල සඳහන් නොකරයි.

මෙය හුදෙක් න්‍යායික විහිලු සහ ඓතිහාසික මුසාවන් පිලිබඳ කරුනක් නම් කරුනාරත්න, ඔහුගේ හාස්යෝත්පාදක ධ්‍යානය උදෙසා අත් හැර දමනු ලැබීමට හැකිය. එහෙත් සිරිසේනට හා වික්‍රමසිංහට විප්ලවවාදී සලුපිලි පෙරවීමේ ඔහුගේ උත්සාහයට නිශ්චිත තර්කනයක් ඇත. ඔහුගේ තීරුව, අගෝස්තු 17 මැතිවරනයේ දී යූඇන්පිය රාජපක්ෂට පැරදුනහොත්, ඊට එරෙහිව නැවත වැඩ අරඹන ලෙස, ජනවාරියේ දී සිරිසේන වටා රොක් වූ ඉහල මධ්‍යම පන්තික කොටස් වලට කල ආයාචනයකි. “ජනවාරි විප්ලවයට සහභාගී වූ සියලු ජනතා සංවිධාන ජීවමානව හා ක්‍රියාශීලිව පවතින බව” ඔහු පෙන්වා දෙයි.

කරුනාරත්න නායකත්වය දීමට සූදානම් වන එකම විප්ලවය වන්නේ වොෂිංටනය විසින් ඒ සඳහා සංඥා කලහොත්, වර්න විප්ලවයකි . ජනවාරියේදී රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට සැලකිය යුතු ප්‍රයත්නයක් දැරූ එක්සත් ජනපදය, නැවත අගමැති ධුරය ගැනීමට ඔහුට හා නැවතත් බීජිනය දෙසට පැද්දීමට කොලඹට ඉඩ දෙන තත්වයක නැත. වොෂිංටනයේ එක් තෝරා ගැනීමක් වනු ඇත්තේ කොලඹ සිදු කරන ‘වර්න විප්ලවයකි'.

එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉතා සමීප ලෙස මැතිවරනය පිලිබඳ විමසිලිමත්ව සිටීමේ කරුන තුලින් වොෂිංටනයේ උත්සුකයන් පිලිබඳ සාක්ෂි දැනටමත් ලැබී ඇත. “අගමැති ධුරයට පත්වීමට ඔහුට (රාජපක්ෂට) ඇති හැකියාව මුලුමනින්ම බැහැර කල හැක්කක් නො වේ. හිටපු ජනපතිගේ නැවත බලයට පත්වීම, යුද්ධයෙන් ඉරිතැලී ගිය රටක තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන දෙසට යොමු වූ ප්‍රයත්නයන් අවුල් කරනු ඇතැයි අනතුරු ඇඟවූ ලිපියක් “අනාගතය වෙත ආපස්සට” යන හිසින් ජූලි 31 දා ඇමරිකාවේ Foreign Policy ( විදෙස් පිලිවෙත්) ජර්නලයේ ප්‍රකාශයට පත් විය.

කරුනාරත්නගේ නසසපය, එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි සෙසු ව්‍යාජ වාම සංවිධාන, ඉදිරියේ දී ඉටු කිරීමට නියමිත ප්‍රතිගාමී ක්‍රියා කලාපය හඳුනා ගැනීමට අගෝස්තු 17 මැතිවරන ප්‍රතිපලය සහ පසුගිය සිද්ධීන් ගැන සමපේෂනය කිරීමට වුවමනා නො වේ. මෙම කන්ඩායම් සියල්ලම මොඩලයක් ලෙස හුවා දක්වන සිරසා සංවිධානය ග්‍රීසියේ දී සිදු කර ඇතිවාක් මෙන් කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීමට සහ වැඩ කරන ජනයා යටත් කිරීමටත්, නිදසුනක් ලෙස ධනපති පන්තියේ සිරිසේන - වික්‍රමසිංහ කන්ඩායමට යටත් කිරීමට ඔවුන් තම මුලු ශක්තියම යොදවනු ඇත. ශ්‍රී ලංකාවේ “වර්න විප්ලවයක” අරමුන මෙයයි.

රුසියානු විප්ලවයේ තීරනාත්මක පාඩම වූයේ එය ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායයේ සෑම තීරනාත්මක අංශයක්ම සනාථ කර තිබීමයි. කුමන හෝ ධනේශ්වර කන්ඩායමක‍ට මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අපේක්ෂාවන් ඉටු කිරීමට නොහැකිවීමේ අර්ථය, රුසියාව සහ ලෝකය පුරා සමාජවාදය සදහා අරගලයෙහි කොටසක් ලෙස ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කර්තව්‍යන් ඉටු කිරීම කම්කරු පන්තිය වෙත පැවරී ඇති බවය. බොල්ෂෙවිකයන් විසින් මෙහෙයවන ලද කම්කරු පන්තිය, 1917 තාවකාලික ආන්ඩුව පෙරලා දමා කම්කරු රාජ්‍යක් ස්ථාපිත කිරීමේ ගමන් මගේදී ගම්බද ජනතාව තමන් වෙත දිනා ගත්තේ ය.

මෙම මැතිවරනයේ දී රාජපක්ෂ සහ සිරිසේන - වික්‍රමසිංහ ද ඔවුන්ගෙන් යැපෙන විවිධ කොටස් සේම වාම ක්ෂමාලාපකයන් විසින් නියෝජනය කෙරෙන සියලු ධනේශ්වර කන්ඩායම්වලට එරෙහිව කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීම වෙනුවෙන් සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි. දකුනු ආසියාවේ සහ ලොව පුරා සමාජවාදය සඳහා අරගලයෙහි කොටසක් වන ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ පක්ෂයේ ඉදිරි දර්ශනය පදනම් වන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලවය මතය. පක්ෂයේ ක්‍රියා මාර්ගය අධ්‍යනය කරන ලෙසත්, අපගේ මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දෙන ලෙසත් එලඹෙන විප්ලවවාදී අරගලයට නායකත්වය දීම සඳහා සසපට බැඳෙන ලෙසත් කම්කරුවන්ගෙන් ගම්බද වැඩ කරන ජනයාගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: