වැඩ වේගවත් කිරීම සහ වැටුප් කැපීමට විරුද්ධව සටන් වැදුනු රබර් වතු කම්කරුවන්ට නඩු

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 අගෝස්තු 05

සේවා තත්වයන් උග‍්‍ර කිරීමට සහ වැටුප් කැපීමට එරෙහිව සටන් වැදුනු කැලනි වැලි සමාගමට අයත් යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් 13 දෙනෙක් ජුලි 15 දා අත් අඩංගුවට ගත් කිතුල් ගල පොලීසිය ඔවුන් රුවන්වැල්ල උසාවියට ඉදිරිපත් කර, යලිත් අගෝස්තු 6 වෙනිදා උසාවියට ඉදිරිපත් වන තෙක් දිනක් හැර දිනක් පොලිසියට වර්තා කරන ලෙස නියම කොට ඇත. මෙම කම්කරුවන්ට එල්ල කොට ඇති බොරු චෝදනාව නම් වතු අධිකාරීන්ට සහ ඔවුන්ට සහය දුන් හොරිකඩයන්ට පහරදීමට තර්ජනය කලේය යන්නයි. මෙය ගොතන ලද්දක් බව කම්කරුවෝ පෙන්වා දෙති.

ජුනි මාසයේදී වැස්සෙන් වැඩ පාඩු වී යයි දිනකට වරුවක් බැගින් කම්කරු වැටුප් කපා දමා ඇත. රුපියල් පන්දාහකින් පමන අඩු වූ මෙම වැටුප ප‍්‍රතික්ෂේප කල කම්කරුවෝ කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිනිලි කලහ. කම්කරු නිලධාරියා කම්කරුවන්ගේ ඉල්ලීම සාධාරන යයි නිගමනය කල ද එය නොතැකු පාලකයෝ ජුලි මස සිට වැඩ කාලය සවස 3 දක්වා දික් කිරීමට තීන්දු කලහ: නැවත වගාවට නියමිත පැරනි ගස් සහිත කොටසේ නිෂ්පාදන ඉලක්කය දිනකට කිරි කිලෝ 3-4 සිට 5-6 දක්වා ඉහල දැමූහ. මේ අතරම වැසි දින වල පැයක කප්පාදුව ද යලි කි‍්‍රයාත්මක කර ඇත. කම්කරුවන් මෙය ප‍්‍රතික්ෂේප කොට පුරුදු පරිදි වැඩ කරගෙන ගිය තතු තුල පාලකයෝ පඩි ගනන් බැලීමේදී දිනකට පැයක් අඩුවෙන් ගනන් බැලූහ. වත්තේ පහල කොටසේ 110ක් කම්කරුවෝ වැඩ කරති. ඉන් සියයකට අධික පිරිසක් මෙම අරගලයේ යෙදී සිටිති.

ජුනි වැටුප ප‍්‍රතික්ෂේප කර ජුලි මුල සිට සෙමින් වැඩ කිරීම ඇරඹු කම්කරුවෝ දවසක ට කපන කිරි ප‍්‍රමානය කිලෝ දෙක දක්වා අඩු කලහ. ජුලි 15 දක්වාම මෙසේ සෙමින් වැඩ කිරීම කල අතර පාලකයෝ රුපියල් 1000 දෛනික වැටුප් ගෙවා හොරිකඩ කම්කරුවන් තුන්දෙනක් යොදවා කිරි කැපීම අරඹා ඇත. හොරිකඩයින් යෙදවීම නවතා එම දීමනාව වතු කම්කරුවන්ට ගෙවන ලෙස ඉල්ලමින් කම්කරුවන් විරෝධය පල කල විට ජුලි 15 වන දා කම්කරුවන් තමන්ට පහර දි, ඇසිඩ් ගැසීමට තර්ජනය කල බව වතු පාලකයෝ කිතුල්ගල පොලීසියට පැමිනිලි කලහ. පැමිනිල්ලේ කම්කරුවන් 13 දෙනෙකුගේ නම් සඳහන් කර තිබුනි.

ඒ ගැන කට උත්තරයක් දීමට වෘත්තීය සමිති නියෝජිත සෙබෙස්තියන්, මිචෙල්, රත්නපාල, දිනේෂ් කුමාර්, රවීන්ද්‍රන්, ජෙයරාම්, රන්ජිත් කුමාර්, පුෂ්පරානි, කුමාරි, ඉන්ද්‍රානි යන කම්කරුවෝ එදින සවස 4 ට පමන කිතුල්ගල පොලිසියට ගියහ. ඒ වන විට කැලනි වැලි වතු සමාගමේ ප‍්‍රාදේශීය ප‍්‍රධානීන් වන උදාර පේ‍්‍රමතිලක, බුද්ධික, සේනක ප‍්‍රනාන්දු යන අය අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී දලූවත්ත සමග පොලිසියේ සිටි බව කම්කරුවෝ පැවසූහ. සහකාර පොලිස් අධිකාරී මොනම පරීක්ෂනයක්වත් නොකොට කම්කරුවන් ට කඩාපැන “උද්ඝෝෂන බෑ, කෑගහන්න බෑ, අත් දික් කරන්න බෑ, එහෙම කලොත් එස්ටීඑෆ් දාල වත්ත හදනවා” කියා තර්ජනය කලේ ය. කාන්තාවන් දෙදෙනා හැර සෙස්සන් පොලිස් කූඩුවට දැමිනි. ජුලි 29 දා සවස පොලීසිය වත්තට පැමින සිද්ධිය පිලිබඳ ව තවත් කම්කරුවන් 24 දෙනෙකුගේ කට උත්තර ගත්තේ ය.

හොරිකඩයන්ට පහර දීමට ද පාලයන්ට ඇසිඩ් ගැසීමට ද තර්ජනය කලා කියන බොරු චෝදනා මත පහුවදා උදේ රුවන්වැල්ල උසාවියට ඉදිරිපත් කරන ලද කම්කරුවන් 13 දෙනාට විරුද්ධව නඩුව අගෝස්තු 6 වෙනිදාට නියම කොට ශරීර ඇප මත තබා 6 වෙනිදා දක්වා දවසක් හැර දවසක් කිතුල්ගල පොලීසියේ අත්සන් කරන ලෙස නියෝග කෙරුනි.

මෙම කම්කරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 6 වැනි දා රුවන්වැල්ල උසාවියේ දී ඇසීමට නියමිතය. පොලිස් මර්දනය එතනින් නොනැවතිනි. අගෝස්තු 3 දා වතු පාලකයින්ගේ සහකරුවෙකු වූ දිනේෂ් කුමාර් නැමැත්තාට පිහියෙන් ඇනීමට තැත් කලේයයි රූපිකා නමැති ගැහැනු කම්කරුවාට ද චෝදනා කොට පොලිසිය විසින් ප‍්‍රශ්න කරන ලදී.

මෙම සිද්ධීන් තුල වත්තට පැමිනි එක්සත් ජාතික පක්ෂයේ ද, තොන්ඩමන් ගේ ද මැතිවරන අපේක්ෂකයින් කම්කරුවන්ට කියා ඇත්තේ සටන අතහැර වැඩට යන ලෙසය. බලයට පත්වන ආන්ඩුව එම ප‍්‍රශ්න විසඳනු ඇතැයි ඔවුහු කම්කරුවන්ට පොරොන්දු වුහ. එහෙත් මැතිවරනය ප‍්‍රකාශිත තතු තුල අරගලයට පිවිසි කම්කරුවන් පෙන්නුම් කර ඇත්තේ තම ප‍්‍රශ්න විසඳාගැනීම පාර්ලිමේන්තුව මගින් කරගත නොහැකි බව ට ඔවුන්ගේ වැටහීමයි.

වැඩෙන ලෝක අවපාතය නිසා අමුද්‍රව්‍ය මිල පහත වැටෙන තතු තුල පාලකයන් ඊට ප‍්‍රතිචාර දැක්වීමට උත්සාහ කරන්නේ කම්කරුවන් සුරාකෑම උග‍්‍ර කිරීම සඳහා වැටුප් කපා සේවා කොන්දේසි දැඩි කිරීමෙනි. ලෝක වෙලඳපොලේ අර්බුදයකට මුහුන දී ඇති තේ කර්මාන්තයේ කම්කරුවන් මතට ද වතු සමාගම් මෙවැනි ම ප‍්‍රහාරයක් මුදා හැර ඇත.

Share this article: