ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක්- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක්

A socialist perspective to defend Sri Lankan plantation workers

සමාජවාදී සමානතා පක්ෂය, 2015 දෙසැම්බර් 02

කලින් පැවති වැටුප් ගිවිසුමේ කාලය ඉකුත් වීමෙන් පසුව මාර්තු මාසයේ සිට වතු කම්කරුවන් 200,000ට, නව වැටුප් ගිවිසුමකින් තොරව මාස නවයක් තිස්සේ වැඩ කිරීමට බල කෙරී තිබීම පෙර නො විරූ තත්වයකි. වැවිලි කරුවන්ගේ සංවිධානය, වෘත්තීය සමිති විසින් මුලින් යෝජනා කර තිබූ රුපියල් 1,000ක දෛනික වැටුප පමනක් නො ව, කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින්, කම්කරුවන්ගේ ජීවන තත්වයන් කාබාසිනියා කිරීමේ මාර්ග සොයමින් සිටී.

යහපත් වැටුප් හා සේවා කොන්දේසි සඳහා වන කම්කරුවන්ගේ සෑම අරගලයක් ම අවහිර කිරීමට වෘත්තීය සමිති, ආන්ඩුව හා හාම්පුතුන් සමග කුමන්ත්‍රනය කර ඇත. වෘත්තීය සමිතිවල ද්‍රෝහිත්වය හමුවේ පොලීසිය, මැයි මාසයේ දී කම්කරුවන් දුසිම් ගනනාවක් ද නැවත ජූලි මාසයේ දී නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය හා නෝවුඩ් වතුවල සහ කෑගලු දිස්ත්‍රික්කයේ ගනේපල්ල වත්තේ කම්කරුවන් අත්අඩංගුවට ගත්තේ ය. අසාධාරන හා අත්තනෝමතික ලෙස වැඩ ප්‍රමානය ඉහල නැංවීමට විරුද්ධවීම ඔවුන් කල එකම “වරදයි“. ඔවුහු දැන් ගොතන ලද චෝදනා යටතේ නඬු පැවරීමට මුහුනදී සිටිති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට කියා සිටින්නේ, හාම්පුතුන් හා ආන්ඩුව වෙනුවෙන් කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති වලින් මුලුමනින් ම ස්වාධීන නොවී ඔවුන්ට කිසිදු ජයග්‍රහනයක් ලබාගත නො හැකි බව යි. වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පනදම් ව සෑම වත්තකම හා කම්හලක ම, ස්වාධීන සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට සසප යෝජනා කරයි.

වැවිලිකරුවන්ගේ සංඟමය හා ශ්‍රී ලංකා තේ කම්හල් අයිතිකරුවන්ගේ සංවිධානයේ සහභාගිත්වයෙන්, තේ අපනයන කරුවන්ගේ සංවිධානය විසින් කැඳවන ලද හදිසි රැස්වීමක දී, වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේ ස්වභාවය හා පරිමාව ගෙනහැර දක්වා තිබුන අතර ඩේලි එෆ්ටී.එල්කේ වෙබ් අඩවිය මෑත දී එය වාර්තා කර තිබුනි.

නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදයේ කොන්දේසි යටතේ හාම්පුත්තු, තේ හා රබර් අපනයනය ද ඇතුලු වෙලඳපොල සඳහා උග්‍ර වන තරඟයකට හා භාන්ඩ මිල ගනන් පහත වැටීමේ තත්වයට මුහුන දෙති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පසු ගිය වසරේ පමනක් ප්‍රමුඛ වැවිලි සමාගම් 22න් 19ක්, රුපියල් මිලියන 2,850ක පාඩු ලැබූ බව වාර්තා විය.

හදිසි රැස්වීම යොමුව තිබුනේ, තේ අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමට ය. එය ඉල්ලා සිටියේ “ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා ආදර්ශයක් වශයෙන්, ආදායම් බෙදාගැනීමේ” ක්‍රමයකි. සෑම කම්කරුවෙකුට ම තේ පඳුරු 1,500ත් 2,000ත් අතර සංඛ්‍යාවක් වෙන් කෙරෙනු ඇති අතර, ආදායමෙන් පංගුවක් ඔවුන්ට ලබා දෙනු ඇත. මෙම ක්‍රමය කම්කරුවන් ඇට පොත්තට මිරිකනු ඇති අතර, සමාගම්වල හා ලෝක වෙලඳපොලේ අනුකම්පාව මත රැඳෙන “අඳ ගොවීන්ගේ” තත්වයට ඇද දමනු ඇත.

වැවිලි සංඟමයේ සභාපති රෝෂාන් රාජදුරෙයි, වතු කම්කරුවන්ගේ සියලු සමාජ ශුභසාධන අතුගා දැමිය යුතු බව ද කියා සිටියේ ය. විශ්‍රාම ගැනීමේදී කම්කරුවන් සිය බලාපොරොත්තු තබා සිටින, සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට හාම්පුතුන්ගේ දායකත්වය වැනි නෛතික අවශ්‍යතාවන් ද ඇතුලුව, තුරන් කල යුතු වියදම් ලැයිතුවක් ඔහු ඉදිරිපත් කලේ ය.

වැවිලි සමාගම් මේ වන විටත් කම්කරුවෙක් සඳහා දිනකට රු.1,100ක් වියදම් කරන බව රාජදුරෙයි පැමිනිලි කලේ ය. සැබවින් ම කම්කරුවෙකුගේ දෛනික දල වැටුප රුපියල් 620ක් වන අතර නොපැමිනි දින හා සම්පූර්න නො කල ඉලක්කවලට අඩු කිරීමෙන් පසු ඊටත් වඩා අඩු විය හැක. වැවිලි සංඟමය ඉලක්ක කරන්නේ, වැටුප් සහිත නිවාඩු, වෛද්‍ය ප්‍රතිකාර, ලමා සුරකුම් සේවා හා නිවාස ඇතුලුව සම්ප්‍රදායානුකූලව කම්කරුවන්ට සලසා ඇති හෝ අරගල මඟින් දිනා ගන්නා ලද සියලු සහන ය. හාම්පුතුන් මේවා සලකන්නේ, කම්කරුවන්ගේ මූලික අයිතීන් ලෙස නො ව සමාගම් ලාභයෙන් කරනු ලබන අසාධාරන අඩු කිරීම් ලෙස ය.

එක් එක් කම්කරුවා සඳහා නිෂ්පාදන ඉලක්ක මෙන් ම දලු කිලෝග්‍රෑමයකට ගෙවන මුදල ද තනි මතයට තීන්දු කිරීමේ බලය කලමනාකරනයට පැවරෙන හා සියලු සමාජ ප්‍රතිලාභ තුරන් කරනු ඇති, වැඩ පරිපාලනයේ දුර දිග යන ප්‍රතිව්‍යුහකරනයක් සඳහා හාම්පුත්තු බල කරති.

වැවිලි සංඟමය සාකච්ඡා දිග්ගස්සමින්, මෙම දැඩි කොන්දේසි ශ්‍රම බලකාය මත පැටවීම සඳහා ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල සහාය ගොනු කරමින් සිටී. මුදල් ප්‍රවාහය පිලිබඳ ගැටලු පෙන්වා දෙමින් ඔවුන් අවධාරනය කලේ, “පවතින වැටුප් සාමූහික ගිවිසුම තවත් එක් අවුරුදු කාලයකට දීර්ග කිරීමට” හා “වෘත්තීය සමිති සමග ගිවිසුමක් ගසා ගැනීමට” ආන්ඩුවේ සහයෝගය අවශ්‍ය බව යි.

රාජදුරේ මාධ්‍යය වෙත මෙසේ පැවසී ය: “කර්මාන්තයේ අනාගත ස්ථාවරත්වය හා අඛන්ඩතාවය බොහෝකොටම රැඳී ඇත්තේ, කම්කරුවාගේ අතෙහිම ය.” අතීතයේ දී කර ඇතුවාක් මෙන් වෘත්තීය සමිති, කම්කරුවන් සමාගම්වල ලාභ වැඩි කර දීම සඳහා කැපවීමට හෝ තොග පිටින් රැකියා අහිමිවීමට මුහුන දිය යුතු බව අවධාරනය කරමින් ඒ මඟම ගනු ඇත.

වතු කම්කරුවන්ගේ ඕනෑ ම ස්වාධීන අරගලයක් මර්දනය කිරීමේ දී සියලු වෘත්තීය සමිති ඉටු කර ඇත්තේ අන්තිම ද්‍රෝහී ක්‍රියාකලාපයකි.

* දැවන්ත වැඩවර්ජන ව්‍යාපාරයක් මධ්‍යයේ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද ව්‍යායාමය කඩාකප්පල් කරන්නේ යයි එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනාව නැඟූ විට, 2006දී වෘත්තීය සමිති, ආන්ඩුවේ හඬට යටත් වූහ.

*2009දී ලංකා කම්කරු කොන්ග්‍රසය හාම්පුතුන් සමග පාවාදීමේ ගිවිසුමක් අත්සන් කල විට එයට විරුද්ධ යයි කියා සිටි කඳුරට ජනතා පෙරමුන හා අනෙකුත් වෘත්තීය සමිති, දස දහස් ගනන් කම්කරුවන්ගේ හෙමින් වැඩ කිරීමේ උද්ඝෝෂනනකට සහාය දෙන බව පැවසූහ. ඒ කම්කරුවන්ගේ විරුද්ධත්වය පාලනය කර දියකර හැරීම සඳහා පමනි.

*2011දී ආන්ඩුවේ බලපෑම යටතේ වෘත්තීය සමිති, සමාගම් සමග කඩිමුඩියේ සාමූහික ගිවිසුමක් අත්සන් කල අතර එය සොච්චම් වැටුප් වැඩිවීමකට හිලිව් වශයෙන් කම්කරුවන්, වසර දෙකක් සඳහා වැඩවර්ජන නො කරන ගිවිසුමකට බැඳ දැමී ය. නිෂ්පාදන ඉලක්ක බලාත්කාරී ලෙස වැඩි කිරීමට එරෙහිව කම්කරුවන් වැඩවර්ජන තීරනයක් ගත් විට සීඩබලිව්සීය, ඔවුන්ගේ ක්‍රියාව නීතිවිරෝධී බව ප්‍රකාශ කල අතර කම්කරුවන් බිය වැද්දීමට කලමනාකරනය හා පොලීසිය සමග පෙල ගැසුනි.

*වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් වෘත්තීය සමිති, 2013දී රහස් සාමූහික ගිවිසුමක් අත්සන් කලහ. සොච්චම් වැටුප් වැඩි වීමකට හිලව් වශයෙන්, ඵලදායිතාව පිලිබඳ වගන්තියක් ඊට ඇතුල් කර තිබුනු අතර එය යොදාගනු ලැබුවේ හිතුවක්කාරී ලෙස කම්කරුවන්ගේ වැඩ ප්‍රමානය ඉහල දැමීමටය.

සියලු ම වෘත්තීය සමිති එක් හෝ වෙනත් ආකාරයකට දේශාපලන සංස්ථාපිතයට ගැට ගැසී සිටිති. සීඩබ්ලිව්සීය කලින් පැවති ආන්ඩුවේ කොටසක් වූ අතර එහි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේ ය. යූපීඑෆ් හා කම්කරු ජාතික වෘත්තීය සමීතිය (එන්යූඩබ්ලිව්) හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමයේ (ඩීඩබ්ලිව්යූ) නායකයෝ, වර්තමාන ආන්ඩුවේ ඇමතිකම් දරති. ඔවුහු අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත්, පසුව ඕනෑවට වඩා ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ යයි සීඩබ්ලිව්සීය හෙලා දුටුවෝ ය!

ජනවාරී මැතිවරනයේ දී වොෂින්ටනයේ පිටුබලය සහිතව බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කෙරෙහි, කම්කරුවන් විශ්වාසය නො තැබිය යුතු ය. කම්කරුවන්ගේ වියදමින් ව්‍යාපාරිකයින්ගේ ලාභ ආරක්ෂා කිරීමේ දීර්ග ඉතිහාසයකට හිමිකම් කියන එජාප මෙන්ම සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මහා ව්‍යාපාරිකයින්ගේ පක්ෂ වෙයි.

සිරිසේන-වික්‍රමසිංහ බලයට පැමිනියේ, “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ක්‍රියාත්මක කිරීමට ඇතැ යි පවසමිනි. එහෙත් බලයට පැමින වසරක් ඉක්මෙන්නටත් පෙරම ආන්ඩුව, පිරිසුදු පානීය ජලය ඉල්ලූ ග්‍රාමීය ජනතාවට හා නිදහස් අධ්‍යාපනය රැකගැනීම පිනිස විරෝධතා දැක්වූ ශිෂ්‍යයින්ට මෙන් ම ජීවන තත්වයන් හා සේවා තත්වයන් ආරක්ෂා කර ගැනීමට අරගල කරන කම්කරුවන්ට එරෙහිව පොලිස් මර්දනය මුදාහැර ඇත.

2012 මැයි මාසයේ දී සසප වතු කම්කරුවන්ගේ සම්මේලනයක් පවත්වා, වෘත්තීය සමිතිවල දශක ගනනාවක පාවාදීම්වල අත්‍යාවශ්‍ය දේශපාලන නිගමන උකහා ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. වෘත්තීය සමිති වලින් සංවිධානාත්මකව හා දේශපාලනිකව වෙන්වන ලෙසත්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙසත් අපි ඉල්ලා සිටියෙමු.

ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය හමුවේ මෙම කර්තව්‍යයන් එදාටත් වඩා අද, හදිසි බවක් අත්කර ගනියි. ශ්‍රී ලංකාව තුල තේ වගාව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ය. එකම ප්‍රශ්නය, එය කරන්නේ කුමන පන්තිය ද - ධනේශ්වරය ද නැත්නම් කම්කරු පන්තිය ද යන්න යි? ආන්ඩුව හා වෘත්තීය සමිති සමග කුමන්ත්‍රනය කරමින් වතු සමාගම්, තමන්ගේ ප්‍රතිගාමී න්‍යායපත්‍ර පැහදිලි කර ඇත. වතු කම්කරුවන් තමන්ගේ පිලිතුර දිය යුතු ව ඇත.

අප යෝජනා කරන්නේ පහත දැක්වෙන ඉල්ලීම් මත පාදක එක්සත් අරගලයකි.

* සියළු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය!

* ජීවන වියදමට අනුව සැකසෙන සහතික කල මාසික වැටුපක්!

*වැඩි වැඩ බර එපා! රැකියා විරහිත තරුනයන්ට රක්ෂා හා සමාන වැටුප්!

* සියල්ලන්ට යහපත් නිවාස, සෞඛ්‍යය හා අධ්‍යාපන පහසුකම්!

2012 සසප ප්‍රකාශනය මෙසේ පැහැදිලි කලේ ය:

“මෙම මූලික ඉල්ලීම් සම්පූර්නයෙන් සාක්ෂාත් කර ගැනීම, පුද්ගලික ලාභය සඳහා දුවන වතුවල ධනේශ්වර අයිතිය යටතේ ඉටු කර ගත නො හැක. සසප හා සසජාතශි යෝජනා කරන්නේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ වතු ජනසතු කිරීම යි.”

“ ජීවන තත්වයන් ප්‍රහාරයට ලක්ව තිබෙන කම්කරු පන්තියේ අනෙකුත් කොටස් හා පීඩිත ග්‍රාමීය ජනතාව වෙතට වතු කම්කරුවන් හැරිය යුතු ය. තුනී පොහොසත් ප්‍රභූවකගේ ලාභ සඳහා නො ව කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට, ඉහල සිට පහලට සමාජය යලි හැඩගැස්විය යුතු ය. සසප හා සසජාතශි සටන් කරන්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ය.”

මෙම දේශපාලන ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත පුළුල් සාකච්ඡාවක් ඇරඹීම සඳහා සසප අමතන ලෙස අපි වතු කම්කරුවන්ගෙන් ඉල්ලමු.

Share this article: