ලංකාවේ මුදල් ඇමති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 400ක ඇප නයක් ගැනීමේ සාකච්ඡා අරඹයි

සමන් ගුනදාස විසිනි, 2015 පෙබරවාරි 23

මෛත‍්‍රීපාල සිරිසේන ආන්ඩුවේ මුදල් ඇමති රවි කරුනානායක ඉහල පෙලේ නිලධාරින් පිරිසක් සමග ගිය අඟහරුවාදා හා බදාදා නිව්යෝර්ක් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) සහ ලෝක බැංකුවේ ප‍්‍රධානීන් හමුවී ඩොලර් බිලියන 4ක නය මුදලක් ලබා ගැනීමටත් ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් පිලිබඳවත් සාකච්ඡාවක නිරත විය. ජාමූඅ කලමනාකරන අධ්‍යක්ෂ කි‍්‍රස්ටිනා ලැගාඩ්, ලෝක බැංකුවේ කලමනාකරන අධ්‍යක්ෂ ශී‍්‍ර මුල්යානි ඉන්ද්‍රවතී සමග එලෙස සාකච්ඡා පැවැත්වූ කරුනානායක ඉන් අනතුරුව ඇමරිකානු භාන්ඩාගාර උපලේකම් රමින් ටොලොයි සහ උප රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ද ධවල මන්දිර නිලධාරීන් ද හමු වූයේ ය.

පසුගිය ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව තමන් නය උගුලක හිර කර ඇති බවට කරුනානායක කන්කෙඳිරි ගායි. ආන්ඩුව තැත් කරන්නේ රාජපක්ෂ තන්ත‍්‍රයේ කි‍්‍රයාවන් කඩතුරාවක් ලෙස යොදා ගෙන ගැඹුරුවන අර්බුදයේ බර වැඩ කරන ජනයා මත පැටවීම යුක්තිසහගත කිරීමටයි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය සඳහා ද විශාල පොදු කාර්ය ව්‍යූහයක් තැනීමට ද සුපිරි නිවාස සංකීර්න හා හෝටල් සඳහා ද රාජපක්ෂ ආන්ඩුව දැවැන්ත නය ගැනීම් සිදු කල බව ඇත්තකි. චීනයෙන් ද භාන්ඩාගාර බිල්පත් හරහා ජාත්‍යන්තර මුදල් වෙලඳපොලෙන් ද මේ නය වැඩි ප‍්‍රමානයක් ගන්නා ලදී. දැවැන්ත නය කන්දරාව ආර්ථික අර්බුදයේ එක් පැත්තක් පමනකි. අර්බුදය උග‍්‍රවී ඇත්තේ ලෝක ධනවාදයේ බිඳ වැටීමේ කොන්දේසි තුල ඇතිව තිබෙන ආර්ථික කැලඹිලි සහගත තත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස ය.

රුපියලෙහි අගය පහත වැටීම වලක්වා ගැනීම සඳහා ඩොලර් වියදම් කිරීම මගින් විදේශ සංචිත ඛාදනය වීම ඇරඹී ඇත. ගෙවුම් ශේෂ අර්බුදයකින් (එනම් විදේශ බැංකු වලට ගෙවිය යුතු නය වාරික, පොලී හා ආනයන සඳහා ගෙවීමට පවතින නොහැකියාව) කඩා නොවැටී ආර්ථිකය පවත්වා ගෙන යාමට තව තවත් නය ගැනීමට ආන්ඩුව හැරී සිටී.

ජාමූඅ සහ ලෝක බැංකුවේ ප‍්‍රධානීන් සමග කරුනානායකගේ හමුවෙන් පසුව නිකුත් කෙරුනු කෙටි ඒකාබද්ධ ප‍්‍රකාශයේ සඳහන්ව ඇත්තේ සාකච්ඡා දිගටම යන බවත් ටොඩ් ෂ්නෙයිඩර්ගේ නායකත්වයෙන් එන දූත පිරිසක් කරුනු සෙවීමෙන් පසු ලංකාවේ “බදු ප‍්‍රතිපත්තිය” හා “මූල්‍ය කලමනාකරනය” ආදිය පිලිබඳව සලකා බැලෙන බවත් ය. ඇඟවීම නම් තවත් දරුනු කප්පාදු වැඩපිලිවෙලක් ජාමූඅ නය දීමේ කොන්දේසි ලෙස කම්කරුවන් හා දුගීන් මත පැටවෙන බවයි.

විශාල වශයෙන් වානිජ නය පැවතීම නිසා ලංකාවේ ආර්ථිකය හදිසි බාහිර කම්පනයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි බව ජාමූඅ පසුගිය වසරේ කියා සිටියේය. 2013 අවසානයේ ඇ.ඩො. බිලියන 39.7 වූ විදේශ නය ප‍්‍රමානය පසුගිය වසර මැද වනවිට ඇ.ඩො. බිලියන 42.4 ට ඉහල නැග තිබිනි.

රාජපක්ෂ ආන්ඩුව විසින් රටෙහි නයබර රුපියල් ටි‍්‍රලියන 8.8 දක්වා වැඩි කර ඇති බැවින් ඒ අනුව රටෙහි ආර්ථික තත්වය ඉතා දැඩි අවදානම් තත්වයකට ඇද දමා ඇති බව සිය අය වැය කතාවේදී කරුනානායක පැවසීය. සිරිසේන ආන්ඩුව ලෝක බැංකුවෙන්ද නය මුදලක් ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන අතර එය නම් කර ඇත්තේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා යනුවෙනි.

2013දී රාජපක්ෂ ආන්ඩුව ඩොලර් බිලියනයක නය මුදලක් ජාමූ අරමුදලෙන් යලි ඉල්ලා සිටියද එම මුදල වියදම් කරන්නේ කෙසේද යන්න පිලිබඳව පැවති නොඑකඟතා නිසා නය නොලැබුනි.

චීනයෙන් නය ලබා ගැනීමට එරට සමග වඩ වඩාත් ආර්ථික හා මූලෝපායික සම්බන්ධතා වැඩි දියුනු කරගත් රාජපක්ෂ තන්ත‍්‍රය වෙනස් කිරීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරමින් බලයට පැමිනි සිරිසේන ගේ ආන්ඩුවට බටහිර බැංකුකරුවන්ගේ පිටුබලය යහමින් ලැබෙන බව ජාමූඅ හා ලෝක බැංකුවේ ප‍්‍රතිචාර වලින් සලකුනු වේ. ජාමූ අරමුදලෙන් නය මුදලක් ලබා ගැනීමට පවතින හැකියාව පිලිබඳව ඉඟි කරමින් “නව ආන්ඩුව පිහිටුවීමත් සමග ජාත්‍යන්තර ආශීර්වාදය අපට යහමින් ලැබෙමින් තිබේ” යැයි කරුනානායක කලින්ම සඳහන් කලේ ය.

ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් අග දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු විවිධ අතින් ලබා ගත් නය පියවීම සඳහා ලංකාවේ විදේශ සංචිතවලින් ඩොලර් කෝටි 150ක් ගෙවා ඇත. පසුගිය දින ගනනාව තුල රුපියලේ අගය වැටීම නතර කර ගැනීමට ආන්ඩුව විදේශ සංචිතවලින් මුදල් වියදම් කරමින් සිටී. බ‍්‍රහස්පතින්දා පමනක් ඒ සඳහා වියදම් කල මුදල ඩොලර් මිලියන් 240ක් පමන වේ. රුපියලේ අගය වැටීමට විශේෂයෙන් තුඩුදී ඇත්තේ ආන්ඩුවේ නයකර හා භාන්ඩාගාර බිල්පත් වල යොදවා තිබූ විදේශ ආයෝජන ඉවත් කර ගැනීම යි.

නය පැහැර හැරීමෙන් මතු වියහැකි බරපතල අර්බුදයක තර්ජනය ලංකාව මත ලඹ දෙයි. ඊට ගොදුරු නොවී නය වාරික හා පොලී ගෙවා තත්වය තුලනය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගෙවීම් කල් දෙන ලෙස කල ඉල්ලීම “සතුටු දායක ලෙස සලකා බැලුනේය”යි කරුනානායක සාකච්චාවලින් පසු පැවසුවේය.

ජාමුඅ යෝජනා කරනු ඇත්තේ වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි තලා දැමෙන වැඩපිලිවෙලකි. මෙය ලොව පුරාම ජාත්‍යන්තර බැංකුකරුවන් විසින් ගෙන යනු ලබන වැඩ පිලිවෙලකි. ගී‍්‍රසියේ නය අර්බුදය මධ්‍යයේ ජාමූඅ, යුරෝපා සංගමය හා යුරෝපියානු මහ බැංකුව එරට මත පනවා ඇති රුදුරු කප්පාදු කොන්දේසි මේ පිලිබඳව එක් නිදසුනකි. රාජපක්ෂ ආන්ඩුවෙන් පටන්ගෙන, මහජනයා මත බරපතල ප‍්‍රහාර පටවන අයවැය හිඟයේ කප්පාදු වැඩ පිලිවෙලක් දැනටමත් කියාත්මක වේ. ගිය අවුරුද්දේ අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.2 දක්වා කප්පාදු වූ අතර එය මේ අවුරුද්දේ සියයට 4.4ට පහත දමන බව කරුනානායක පවසා ඇත. දැනටමත් නියමිත 2016 වසරේ ඉලක්කය වන්නේ අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.8 වනසේ පහල දැමීම යි.

ඇමරිකානු-ගැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය දරන සිරිසේනගේ ආන්ඩුව තමන් පනවන කොන්දේසි අකුරටම පිලිපදිනු ඇතැයි අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ට විශ්වාසයක් පවතී. සිරිසේන ඔහු සිටි සෑම ආන්ඩුවකම කම්කරු විරෝධී පිලිවෙත්වලට සහාය දුන්නෙකි. 2001 - 2004 දක්වා රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස සිටියදී ජාමූ අරමුදලේ පූර්න අනුබලය සහිතව කි‍්‍රයාත්මක කල “යලි පුබුදමු ශී‍්‍ර ලංකා” වැඩ පිලිවෙල අනුව රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව, සුබ සාදන කප්පාදුව හා පුද්ගලීකරනය කි‍්‍රයාවට දැමුනු අතර අනතුරුව පැවති ජනාධිපතිවරනයෙන් වික‍්‍රමසිංහ ලැබූ තියුනු පරාජයට බරපතල හේතුව වුයේ වැඩ කරන ජනයාට එල්ල කල එම ප‍්‍රහාරයි.

එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනය එල්ල කර පසුගිය ජනවාරි 29දින ඉදිරිපත් කල අතුරු අයවැයෙන් වැඩකරන ජනයා හට සොච්චම් සහන කිහිපයක් ප‍්‍රකාශ කල කරුනානායක ජාමූ අරමුදලට මෙම නය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සමගාමීව ඒවාද දැන් අකුලමින් සිටී. අනෙක් පසින් රාජපක්ෂ පාලන සමයේ පොහොසත් වූවන්ට එල්ල කල බදු තාවකාලික බවත් ඒවා කි‍්‍රයාත්මක කිරීමේදී අතිශයින්ම සහනශීලී වන බවත් කරුනානායක ව්‍යාපාරික මන්ඩලවලට පුන පුනා සපථ කරයි. අතුරු අයවැයෙන් සොච්චම් බදු මුදල් කිහිපයක් අඩු කලද රාජපක්ෂ ආන්ඩුව විසින් පවත්වා ගෙන ගිය ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා බදු වලින් අති බහුතරය සිරිසේන ආන්ඩුව යටතේද කි‍්‍රයාත්මක ය.

රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුප රුපියල් 10,000න් වැඩි කරන බවට සිරිසේන ගේ මූලික ඡන්ද පොරොන්දුව අනුව අයවැයේ දී ඉදිරිපත් කල යෝජනාව ද දැනටමත් කප්පාදු කර ඇත. එය මූලික වැටුපට කෙරෙන වැඩිවීමක් නොව දීමනාවක් බවද, මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය දෙසැම්බර් මස ලබා දුන් රුපියල් 3000ක දීමනාව අඩු කොට මෙම දීමනාවේ පලමු කොටස රුපියල් 5000ද දෙවන කොටස රුපියල් 2000ද වන බව කරුනානායක ජනමාධ්‍ය අමතා කියා සිටියේය. ජාමූඅ සමග සාකච්ඡාවලට යෑමට පෙර මේ බව නිවේදනය කිරීම ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාවන් අනුව ආන්ඩුව කි‍්‍රයා කරන බවට යවන ලද පනිවුඩයකි.

අති බහුතරයක් වන පුද්ගලික අංශයේ කම්කරුවන්ට කිසිම වැටුප් වැඩිවීමක් අයවැයෙන් ප‍්‍රකාශ නොවුනි. පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් කල හොත් “ආර්ථිකය කඩා වැටෙනු ඇතැ”යි කරුනානායක සඳහන් කලේය. තම වැටුප් වැඩි නොකිරීම ගැන පුද්ගලික අංශයේ කම්කරුවන් අතර වැඩෙන කෝපය යටපත් කර ගැනීමට ආන්ඩුව තැත් කරයි. කැබිනට් ප‍්‍රකාශක හා ඇමති වරයෙක් වන රාජිත සේනාරත්න බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කලේ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී සියයට 15-35ත් අතර වැටුප් වැඩි වීමක් පුද්ගලික අංශයේ කම්කරුවන්ට ලබා දීමට රෙකමදාරු කල බවයි. මෙම සොච්චම් පඩි වැඩි කිරීම ද ලැබේදැයි අවිනිශ්චිත ය.

Share this article: