වතු තරුනයාගේ මරනයට විරෝධය දැක් වූ කම්කරුවෝ බන්ධනාගාර ගත කරති

එම්. දේවරාජා විසිනි, 2015 පෙබරවාරි 10

තලවකැලේ ගේ‍්‍රට් වෙස්ටර්න් වත්තේ තරුනයකු පොලිස් අත්අඩංගුවේ දී මිය යාම සම්බන්ධයෙන් විරෝධය පල කල වතු කම්කරුවන් පස් දෙනකු පෙබරවාරි 5 දා අත් අඩංගුවට ගෙන ඇති පොලිසිය එම ප‍්‍රදේශයේ වතු කම්කරුවන්ට එරෙහි පුලුල් මර්දනයක් දියත් කර තිබේ. කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම සඳහා සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා මාරු කර ඇතත් කම්කරුවන් අත් අඩංගුවට ගැනීමේ සහ ඔවුන් ව ත‍්‍රස්ත කිරීමේ පොලිස් මෙහෙයුම දිගටම කි‍්‍රයාත්මක වේ.

බාබුල් නමැති මත් ගතිය ඇතිකරන පුවක් වර්ගයක් ලඟ තබා ගත්තේ යයි කියමින් ජනවාරි 31 දා අත් අඩංගුවට ගනු ලැබූ මනෝජ් මාරිමුත්තු නමැති 21 හැවිරිදි තරුනයා තී‍්‍ර රෝද රථයකින් තලවකැලේ පොලිසිය වෙත ගෙන යමින් සිටිය දී රථයෙන් ඉවතට පැන දිව ගොස් ඉහල කොත්මලේ ජලාශයට පැනීමෙන් මරනයට පත්වූ බව පොලීසිය පවසයි. සිය අත් අඩංගුවේ දී මරනයට පත් වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිය වගකීම යටගසනු වස් පොලීසිය මෙවන් ප‍්‍රකාශ කිරීම ලංකාව තුල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එම තත්වය තුල මෙම තරුනයාගේ මරනය ද එවන් අධිකරන කි‍්‍රයාදාමයෙන් පරිබාහිරව කෙරුනු ඝාතනයක් වීමට බෙහෙවින් ඉඩ තිබේ.

මනෝජ් අත් අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ ජනවාරි 31 සවස 2.30 ට පමනය. එහෙත් එදින සවස 7 වනතුරු ඒ පිලිබඳව ඔහුගේ දෙමව්පියන්ට දැනුම් දී නැත. මනෝජ් කොත්මලේ ජලාශයට පැනීමෙන් මරනයට පත් වී ඇති බව ඔවුන් දැන ගෙන ඇත්තේ පසුව ය.

මනෝජ් ජලාශයට පැන්නේයැයි කියන පොලිස් නිලධාරීන් ඔහුගේ දිවි ගලවා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් නොගත්තේ ඇයිදැයි කම්කරුවෝ ප‍්‍රශ්න කරති. මෙම සිද්ධියේදී පොලීසිය එවන් උත්සාහයක් ගත් බවට කිසිදු සාක්ෂියක් නැත. මනෝජ් ගේ මෘත දේහය ගොඩ ගෙන ඇත්තේ පසුදින සවස 5 ට පමනය.

පසුදින සවස ඔහුගේ සිරුර ගොඩ ගත් අවස්ථාවේ ජලාශය අවට රැස්වූ ගේ‍්‍රට් වෙස්ටර්න් වත්තේ සහ අවට වතුවල දහස් ගනනක් කම්කරුවෝ ඔහුගේ මරනය ගැන පොලිසියට චෝදනා කරමින් උද්ඝෝෂනය කලහ. උද්ඝෝෂකයෝ කොලඹ-බදුල්ල දුම්රිය මාර්ගය සහ තලවකැලේ මහාමාර්ග අවහිර කලහ. ඔවුන් මඩිනු පිනිස ආන්ඩුව විසින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) කැඳවන ලදි. අහසට වෙඩි තැබූ එස්ටීඑෆ් භටයෝ උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන්ට පහර දී තිබේ.

සෙල්වන් සිවකුමාර් (32), නල්ලසාමි යෝගේෂ්වරන් (32), පලනියන්ඩි වසන්ත කුමාර් (33), වීරසාමි ආනන්දරාජ් (35) සහ පොන්නසාමි ප‍්‍රදීප්කුමාර් (34) යන කම්කරුවන් පසුව අත් අඩංගුවට ගෙන පෙබරවාරි 16 දක්වා බන්ධනාගාර ගත කර ඇත. පශ්චාත් මරන පරීක්ෂනය පැවැත්වූ මහේස්ත‍්‍රාත්වරියගේ රාජකාරියට බාධා කිරීම, අයුතු අවහිරය, සාපරාධි බලහත්කාරය, අයුතු ජනරාශිය. කොලඹ බදුල්ල දුම්රිය මාර්ගය අවහිර කිරීම යන චෝදනා ඔවුන්ට විරුද්ධ ව ඉදිරිපත් කොට තිබේ. පොලිසියේ වීඩියෝ දර්ශන මගින් හඳුනා ගත් තවත් 84 දෙනෙකු ගේ ලැයිස්තුවක් පොලිසිය අත තිබේ. ඔවුන්ට පොලිසියට බාර වන ලෙස දැනුම් දී ඇත.

යුක්ති සහගත විරෝධය පෑමක නිරත වූ තලවකැලේ වතු කම්කරුවන්ට එරෙහිව මුදා හැර ඇති පොලිස් රාජ්‍ය මර්දනය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආන්ඩුව, සිය පූර්වගාමී රාජපක්ෂ ආන්ඩුව මෙන්ම, කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රුදුරු ලෙස මැඩලීමට හැරී ඇති ආකාරයයි. මෙම ආන්ඩුවට වහ වැටී සිටින නව සම සමාජ පක්ෂය ඇතුලු ව්‍යාජ වම්මුන් හා ප‍්‍රතිගාමී සමිති නිලධරය ආන්ඩුවේ “යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන කරන ස්තෝත‍්‍ර ගායනවලට මුවාවී මසක් ගත වීමටත් ප‍්‍රථම කම්කරුවන්ට එල්ල කර ඇති ප‍්‍රහාරයෙන් එහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය මැනවින් එලිදරව් වී ඇත.

ලංකා කම්කරු කොන්ග‍්‍රසය, කඳුරට ජනතා පෙරමුන, ජාතික කම්කරු සමිතිය ඇතුලූ කිසිදු වෘත්තීය සමිතියක් පොලිසියේ මෘග කි‍්‍රයාව හෙලා දැක නැතිවා පමනක් නොව “සැකකරුවන්” ලෙස හංවඩු ගසා ඇති කම්කරුවන් පොලිසියට භාරදීමේ වගකීම ද භාර ගනිමින් කම්කරුවන්ට එරෙහි මර්දනයේ ඍජු කොටස්කරුවන් බවට ඔව්හු පත්වී සිටිති.

මාරිමුත්තු පොලිසියේ චෝදනා මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කරමින්

මනෝජ් ගේ පියා මාරිමුත්තු පොලිසියේ චෝදනා මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කරයි. පොලිස් අත්අඩංගුවට ගත් තලවකලේ මනෝජ් ගේ මරනය ගැන පොලිසිය වග කිවයුතු බව ඔහුගේ පියා වන මාරිමුත්තු සහ තලවකැලේ ගේ‍්‍රට් වෙස්ටර්න් වත්තේ කම්කරුවෝ කියති.

“මගේ පුතා අත් අඩංගුවට ගත්තේ කුමකට ද කියල මා දන්නේ නැහැ. ඔහු නීති විරෝධී බාබුල් හෝ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. පොලිසිය මෙම මරනයට වගකිව යුතු” බව මාරිමුත්තු ප‍්‍රකාශ කලේය.

“ඔහු මගේ එක ම දරුවා. වයස අවුරුදු 21යි. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පුද්ගලික ටෙලිකොම් සමාගමක් විසින් ගොඩනගන ටෙලිකොම් කුලුනක වැඩකරමිනුයි හිටියේ. මමයි මගේ බිරිඳයි විශ‍්‍රාමිකයෝ. අපිට පොඩි කුකුල් ගොවිපොලක් තිබුනත් වැඩි හරියක් යැපෙන්නේ ඔහුගෙන්. අත් අඩංගුවට ගත්ත දවසේ ඔහු ගිහිල්ල තිබුනේ කුකුල් කෑම ගේන්න. මගේ පුතා නීති විරෝධී බාබුල් වික්ක කියල සමහර මාධ්‍ය බොරු කියනවා. ඒක පොලිසිය ගොතපු කතාවක්. මගේ පුතා මිනිස්සුත් එක්ක හරි එකමුතුයි.” මාරිමුත්තු වැඩිදුරටත් පැවසුවේ ය.

“ඔහුගේ ජීවිතය බේර ගැනීම සඳහා ක්ෂනික පියවර ගත යුතුව තිබුනා. මේක හරිම කනගාටුදායක සිදු වීමක්. ඒ නිසයි මිනිස්සු පොලිසියට විරුද්ධව උද්ඝෝෂනය කලේ,” එක් කාන්තාවක් කීවාය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල ගේ‍්‍රට් වෙස්ටර්න් වත්තේ කම්කරුවෝ සිද්ධිය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල කි‍්‍රයා කලාපය දැඩි ලෙස හෙලා දුටුවහ. “වෘත්තීය සමිති එන්නේ චන්දෙ කාලෙට පමනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ඔවුන් අපිව මුලුමනින් ම හුදකලා කරලා. ඔවුන් බලයට පත්වෙන ආන්ඩුවලට සම්බන්ධ වෙලා තමන්ගේ වරප‍්‍රසාද රැක ගන්නවා මිස අපි ගැන තැකීමක් නැහැ. ලිඳුල පොලිස් ස්ථානාධිපති වෘත්තීය සමිති නායකයන්ට කිව්වා වීඩියෝ දර්ශනවලින් හඳුනාගෙන තිබෙන 84 දෙනාගෙ නම් සහ පදිංචි ස්ථාන සොයල දෙන්න කියල. සමිති නායකයෝ ඒකට එකඟ වුනා” එක් කම්කරුවෙක් ප‍්‍රකාශ කලේය.

වතුකරයේ වෘත්තීය සමිති කි‍්‍රයා කරන්නේ කම්කරුවන්ට එරෙහි පොලීසියක් ලෙසය. වතු කම්කරුවන් ලංකාවේ අතිශයින්ම පරිපීඩිත කොටසකි. ඔවුන් එම තත්වයේ සිර කර තැබීමට ප‍්‍රධාන කොටම වගකිව යුත්තේ වෘත්තීය සමිති ය.

නව ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව මහජනතාවට එරෙහි පොලිස් හිංසනය තවත් ඉහල ගොස් ඇති බව තලවකැලේ නගරයේ තී‍්‍ර රෝද රථ රියදුරෙකු පැවසීය. “වතුකරයේ කිසිම දේශපාලන පක්ෂයක් ඒවාට අභියෝග කරන්නේ නැහැ. කිසි කෙනෙක් ඊට විරුද්ධව සටන් කරන්නේ නැති” බව ඔහු කීවේය.

සාප්පු හිමියෙකු සඳහන් කලේ “එදා මෙතැන යුද පිටියක් වගේ. මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය සහ කැරලි මර්දන පොලීසිය මෙහෙයවල තිබුන. ලංකාවේ යුද්ධය අවසන් වෙලා නැහැ. මේ ප‍්‍රදේශවල මහජනයාට විරුද්ධ යුද්ධයක් දැන් යන්නෙ. අපිට විරුද්ධව ආන්ඩුවට එකතුවන අපේ නායකයෝ ආත්මාර්ථකාමියෝ.”

පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය හෝ “සියදිවි නසා ගත්” පලමු පුද්ගලයා මනෝජ් නොවේ: පසුගිය වසර කිහිපය තුල දුසිම් ගනනක් පුගලයෝ එසේ මරනයට පත් වු බව පොලීසිය නිවේදනය කර ඇත. සරලව ම එකී මරන සම්බන්ධයෙන් ආත්මාරක්ෂාවට වෙඩි තැබීම, ගඟකට හෝ ඔයකට පැන සැකකරුවා විසින් ම දිවිනසා ගැනීම, පොලිස් කූඩුව තුල දී හදිසි හෘදයාබාද වලට ගොදුරු වීම වැනි හේතු පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලබන අතර ඒවා මෙතෙක් කිසිදු අධිකරනයක අභියෝගයට ලක්කර නැත. ගංජා හෝ කුඩු වැනි මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම ආදී වසයෙන් නඩු මැවී ම ගැන ද පොලිසිය කුප‍්‍රකටය.

මෙසේ මරනයට පත්වන පුද්ගලයන් දරුනු අපරාධ කරුවන්, ස්තී‍්‍ර දූෂකයන්, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් හා පාතාල ලෝකයේ සාමාජිකයන් ලෙස පොලිසිය විසින් කරන ප‍්‍රකාශ ඒ අයුරින් ම වමාරමින් ධනපති ජනමාධ්‍ය ද එකී නීතිවිරෝධී සහ අත්තනෝමතික පොලිස් ඝාතන යුක්ති සහගත කරනු ලබයි.

දෙමල ජනයාට එරෙහි 25 වසරක වාර්ගික යුද්ධය තුල දී පොලිසියට සහ හමුදාවට හිතුමතයට කි‍්‍රයා කිරීමට කොන්දේසි රාජපක්ෂ ආන්ඩුව විසින් සකසා දුන් අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ආන්ඩුව යටතේ ද එම පොලිස් රාජ්‍ය පිලිවෙත් එලෙසම කි‍්‍රයාත්මක වන බවට මනෝජ්ගේ මරනය සාක්ෂියකි. එමෙන් ම රාජපක්ෂ ආන්ඩුව යටතේ හමුදාව කැඳවීමේ චක‍්‍රලේඛය සිරිසේන විසින් ද පෙබරවාරි 2 යලි බලාත්මක කරමින් කලින් දිස්ති‍්‍රක්ක 22 ට පමනක් සීමා කර තිබු මෙම කැඳවුම දිවයිනේ දිස්ති‍්‍රක්ක 25 ට ම අදාල වනසේ පුලුල් කර ඇත. එමෙන් ම සිවිල් ජනයාට එරෙහිව කි‍්‍රයාත්මක වීමේ සහ ඔවුන් ව අත් අඩංගුවට ගැනීම ඇතුලු පොලිස් බලතල ද පෙර පරිදි ම ලබා ඇත.

මෙය පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව යටතේ පවත්වාගෙන ගිය වැඩකරන ජනයාට එරෙහි පොලිස් රාජ්‍ය සැලසුම් තව තවත් ශක්තිමත් කිරීමට සිරිසේනගේ ආන්ඩුව ද කි‍්‍රයාත්මක වී ඇති බවයි. ගේ‍්‍රට් වෙස්ටර්න් වත්තේ කම්කරුවන්ට එරෙහි පොලිස් මර්දනයට විරුද්ධවෙමින් ඔවුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: