පූර්ව මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා ඉහල යයි

වසන්ත රූපසිංහ විසිනි , 2015 ජනවාරි 7

ජනාධිපති වරනයෙන් ජය ගැනීම සදහා ආන්ඩු පක්ෂය සහ විපක්ෂය අතර තරගය තියුනු වන තතු තුල පූර්ව මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා උත්සන්න වීමට පටන් ගෙන ඇත. නිදහස් හා සාධාරන මැතිවරනයක් සඳහාවූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ වාර්තාවලට අනුව මැතිවරන නීති උල්ලංඝනය කිරීම් හා මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා 1358ක් වාර්තා වී ඇත. එයින් 157 ක් මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට අදාල සිදුවීම් ය. ඉන් 19ක් ගිනි අවි සම්බන්ධ සිදුවීම් ය. මැතිවරන මහලේකම් කාර්යාලය වෙත ලැබී තිබූ පැමිනිලි 603න් 55ක් ගිනි අවි භාවිතා කෙරුනු බරපතල ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ ය.

මෙම ප‍්‍රචන්ධ ක‍්‍රියාවලින් බහුතරය මැති ඇමතියන් විපක්ෂයට පැනීමෙන් හා මහජන විරුද්ධත්වය නිසා මැතිවරනයෙන් ජය ගැනීමට මංමුලාසහගත ලෙස පාලක එක්සත් ජනතා නිදහස සන්ධානයේ හා එහි ප‍්‍රධාන පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) දේශපාලකයන් හා ආධාරකරුවන් විසින් සිදු කෙරුන ඒවාය. විපක්ෂයේ ආධාරකරුවන්ට පහරදී අඩත්තේට්ටම් කිරීම, රැස්වීම්වලට ගල් ගැසීම, මැතිවරන කාර්යාල ගිනි තැබීම, වෙඩි තැබීම යනාදී වසයෙන් සිදුවන මෙම ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට ආන්ඩුවේ වක‍්‍ර සහ සෘජු අනුබලය ලැබේ. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ට අනුව මෙම ප‍්‍රචන්ඩ ක‍්‍රියා සිදු වූ බොහෝ අවස්ථාවල දී පොලීසිය නිෂ්ක‍්‍රීයව සිට ඇත.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය හමුවේ තමන්ගේ ඡන්ද පදනම් ඛාදනය වීමේ තතුතුල ජනාධිපති මහින්ද රාජපක්ෂ වසරකටත් පෙරාතුව මැතිවරනය කැඳවූයේ, කල්බලමින් සිටියොත් යලි බලයට පත්වීමට ඉඩ නොලැබේ යයි ගනන් බලමිනි. එලෙස බලයට පත්ව තමාට යලි ජනවරමක් ලැබී ඇතයි පවසමින් කප්පාදු පිලිවෙත් සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ප‍්‍රහාරයන් තීව‍්‍ර කිරීමට රාජපක්ෂ අපේක්ෂා කලේ ය. ඒ සමගම එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් රාජපක්ෂට එල්ල කරන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවලට එරෙහිව මෙම ඊනියා ජනවරම ගසා කෑමට ද රාජපක්ෂට මාන බැලුවේ ය.

නමුත් විපක්ෂය විසින් කල් තියා සැලසුම් කරන ලද වැඩපිලිවෙලක කොටසක් ලෙස රාජපක්ෂගේ කැබිනට්ටුවේ සෞඛ්‍ය ඇමතිව සිටි මෛත‍්‍රීපාල සිරිසේන ඇමෙරිකානු ගැති විපක්ෂයේ "පොදු අපේක්ෂකයා" ලෙස ඉස්මතුවීමත් සමග පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) වියරු සහගතව සිටී. රාජපක්ෂ පූර්වයෙන් අපේක්ෂා කර තිබූ අයුරේ මැතිවරන ප‍්‍රචාරක උද්ඝෝෂනයක් ගෙන යාමට එයින් වල කැපී ඇති තතු යටතේ ආන්ඩු පක්ෂයේ මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා වඩාත් ඉහල නංවා ඇත.

විපක්ෂයට එරෙහි මෙම ප‍්‍රචන්ඩ ක‍්‍රියා අතුරින් කැපී පෙනෙන සිදුවීම් දෙකක් වූයේ "පොදු අපේක්ෂකයාට" සහය පලකරමින් ප‍්‍රසංග පවත්වනු ලැබූ "නව පරපුරේ කලාකරුවන්"පිරිසකට සහ "වියරුවට එරෙහිව, වීදියේ විරෝධය" නම් ප‍්‍රසංගය පවත්වමින්, සංචාරය කරන ජයතිලක බන්ඩාර නම් කලාකරුවාට ආන්ඩුවේ මැරයින් විසින් එල්ල කල ප‍්‍රහාරයන් ය.

දෙසැම්බර් 05දා බන්ඩාර ඇතුලු පිරිස, ඔවුන්ගේ ප‍්‍රසංගය පැවත්වූ එප්පාවලදී ප‍්‍රහාරයකට ලක්වූ අතර තලාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු සහ ඔහුගේ මැර පිරිසක් විසින් ඔවුන්ට අතින් පයින් පහරදී අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇත. මෙම අවස්ථාව රූගත කල මාධ්‍යවේදියෙකුට ද පහරදී ඇති අතර ඔහු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා තිබේ.

ඉන් අනතුරුව මෙම ප‍්‍රසංගයම දෙසැම්බර් 22දා ජනාධිපති රාජපක්ෂගේ ගම්පියස වන හම්බන්තොට පැවත්වූ අවස්ථාවේ බන්ඩාර ඇතුලු පිරිසට එරෙහිව හමබන්තොට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් තවත් මැර ප‍්‍රහාරයක් දියත් කෙරිනි. මැරයෝ යකඩ පොලූ සහ දැලිපිහි මානමින් පිරිසට පහර දුන් අතර පිස්තෝලයක් රැගත් නගරාධිපති විසින් බන්ඩාර පැහරගෙන යාමට වෑයම් කල බව පුවත්පත් වාර්තා කලේ ය. ප‍්‍රහාරයෙන් බන්ඩාර ඇතුලු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනි. මෙම ප‍්‍රහාරය කෙරෙහි නැගුනු මහජන විරෝධය යටපත් කිරීමට පොලිසිය හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලදුව පසුව ඇපමත මුදා හැරින.

දෙසැම්බර් 29දා කුරුනෑගල කුඹුක්ගැටේදී සිරිසේනට සහය පලකිරීමට අත් පත‍්‍රිකා බෙදාහරිමින් ප‍්‍රසංගයක් සංවිධානය කල "නව පරපුරට" ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් ඇතුලු පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කලහ. "නිල් බලකාය" නම්වූ පාලක සන්ධානයේ ශ‍්‍රීලනිපයට සම්බන්ධව ගොඩ නගා ඇති මැර සංවිධානයේ සාමාජිකයෙකු වන වයඹ පලාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික ඇතුලු පුද්ගලයින් පිරිසක් මොවුන්ට ගල්මුල්වලින් පහර දුන්නේ පොලිසිය බලා සිටියදී ය. කලාකරුවන් දෙදෙනෙකු තුවාල ලැබ රෝහල් ගතකල අතර ප‍්‍රහාරය කෙරෙහි මහජන පිලිකුල වැඩෙත්ම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන කුරුනෑගල මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කෙරින.

පහත දැක්වෙන්නේ කැෆේ සංවිධානය වාර්තා කල තවත් මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා කීපයකි.

*ජනවාරි 5දා කහවත්ත ප‍්‍රදේශයේ "පොදු අපේක්ෂකයා" වෙනුවෙන් වේදිකාවක් සකසමින් සිටි විපක්ෂ ආධාරකරුවන් පිරිසකට ආන්ඩුවේ මැරයින් පිරිසක් වෙඩි තැබීම නිසා තිදෙනෙකුට තුවාල සිදුවූ අතර එයින් බරපතල ලෙස තුවාල ලැබූ අයෙක් 7දා මරනයට පත් විය. වෙඩි තැබීම සම්බන්ධයෙන් ආන්ඩුවේ නියෝජ්‍ය ඇමති පේ‍්‍රමලාල් ජයසේකර ඇතුලු ප‍්‍රාදේශීය දේශපාලනයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් 7දා පොලිසියට නියෝග කලේ ය.

*උතුරේ එරාවුර් ප‍්‍රදේශයේ ඉදිකර තිබූ "පොදු අපේක්ෂකයාගේ" මැතිවරන කාර්යාලයට දෙසැම්බර් 26දා රාත‍්‍රියේ දී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කෙරුනු අතර හිටපු මහඇමති පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්ෂයේ කන්ඩායමක් විසින් මෙම ප‍්‍රහාරය සිදුකර ඇත.

*එදිනම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අක්කරෙයිපත්තුවේදී සිරිසේනට සහය පලකරන රැලියක් අමතමින් සිටියදී වේදිකාවට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කෙරින.

*පොදු අපේක්ෂකයාගේ ප‍්‍රචාරක රැලියක් සඳහා වලස්මුල්ල හොරේවෙල මංසන්ධියේ ඉදිකොට තිබූ වේදිකාවට රැලිය අවසන්වීමෙන් පසුව දෙසැම්බර් 28දා අලුයම වෙඩි ප‍්‍රහාරයක් එල්ල කොට ඇත. වේදිකාව අසල තිබූ කොඩි, සැරසිලි මෙම පිරිස විසින් ගිනි තබා ඇත. මෙම රැලියට පැමිනි පිරිසක් ගමන් ගත් ත‍්‍රීරෝද රථයකට උඩහගොඩල නමනැලිය දී එල්ල කල ප‍්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇත.

*මල්වත්ත ප‍්‍රදේශයේ එජාප ආධාරකරුවන් පිරිසකගේ නිවෙස්වලට දෙසැම්බර් 27දා රාත‍්‍රීයේ යතුරුපැදිවලින් පැමිනි පිරිස් හිසට ගිනි අවි මොලවා තර්ජනය කොට ඇත. සිරිසේනගේ ප‍්‍රචාරක කටයුතු සදහා සම්බන්ධ නොවන ලෙස මෙම පිරිස තර්ජනය කලහ.

*28දා මඩකලපුව ක‍්‍රීඩාපිටියක පොදු අපේක්ෂකයාගේ රැලියක් සඳහා වේදිකාව සකසමින් සිටියදී විපක්ෂයේ ආධාරකරුවන් පිරිසකට ටීඑම්වීපීයේ ආධාරකරුවන් පිරිසක් පහරදී ඇත. එක් යූඇන්පී අධාරකරුවෙකු පැහර ගෙන ගොස් තිබෙන අතර පහරකෑ අය රෝහල් ගත කර තිබේ.

මෙම සිදුවීම්වලට අමතරව බරපතල මැතිවරන නීති උල්ලංඝනය කිරීම් පිලිබඳ සිදුවීම් සිය ගනනක් වාර්තා වන අතර රාජපක්ෂ පාලනය රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස භාවිතාවේ යොදමින් සිංහල ස්වෝත්තමවාදී මනෝගතීන් යහමින් අවුස්සමින් සිටී. සිය මැතිවරන ප‍්‍රචාරන වැඩකටයුතුවලට රාජ්‍ය දේපල සිතූමතේ යොදා ගනී.

"පොදු අපේක්ෂකයාගේ" පැත්තෙන් එවැනි මැතිවරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිලිබඳ අඩුවෙන් ඇසීමට ලැබෙන්නේ, ඔහු රාජපක්ෂට වඩා "දැහැමි" නිසා නොව, රාජ්‍ය දේපල හා පොලිසිය හා මිලිටරිය ඇතුලු ආරක්ෂක අංශ මුලුමනින්ම යොදාගෙන වත්මන් ජනාධිපතිවරයා අවුස්සා ඇති මැතිවරන ප‍්‍රචන්ඩත්වයට ඔහුට අභියෝග කල නොහැකි බැවිනි.

එහෙත් සිරිසේන නොවැම්බර් මාසයේ ආන්ඩුවෙන් බිඳෙන තෙක්ම වර්ගවාදී යුද්ධයට අනෙකුත් මර්දනයන්ට හා මැර ක‍්‍රියාවලට අනුමැතිය දී ගෙන සිටි අයෙකි. ඔහුව පෙරට දමා ඇති දක්ෂිනාංශික එජාපය බලයේ සිටින විට මැතිවරන ප‍්‍රචන්ඩකම් පිලිබඳව කුප‍්‍රකට වාර්තාවක් දරා සිටී. සිරිසේන බලයට පත්වුවහොත් ඔහු සහ ඔහුගේ පොදු විපක්ෂය 'මෛත‍්‍රී බන' පසෙක තබා එජනිස හා අනෙකුත් දේශපාලනික විරුද්ධකරුවන් මැඩීමේ ප‍්‍රචන්ඩත්වයන් මුදාහැරීමට හොඳටම ඉඩ තිබේ.

දැන් අවුලුවා ඇති මැතිවරන සැහැසිකම් පෙර ඇගවුම් කරන්නේ රාජපක්ෂ හා සිරිසේන යන දෙදෙනාගෙන් කවුරු ජනාධිපතිකමට පත්වුවත් කම්කරුවන් හා දුගීන් මැඩීමට කෙසේ කඩා පනිනු ඇතිද යන්න යි.

Share this article: