ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ශ්‍රී ලංකාව තුල තන්ත්‍ර වෙනසක් සඳහා එක්සත් ජනපදය ගෙනයන කුමන්ත්‍රනයට අවධානය යොමු කරයි

Financial Times points to US regime-change intrigue in Sri Lanka

කේ. රත්නායක විසිනි, 2014 දෙසැම්බර් 30

ජනවාරි 8 දා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය මූල්‍ය ප්‍රභූවේ ප්‍රමුඛ හොරනෑවක් වන ෆිනෑන්ෂල් ටයිම්ස් හි පල වූ විශේෂාංග ලිපියක්, එම මැතිවරනය ලන්ඩනයේ හා වොෂිංටනයේ ඉතා සමීප අවධානයට ලක්ව ඇති බව අවධාරනය කරයි.

දෙසැම්බර් 22 දා පල වූ එම වාර්තාව, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කොට ඇමරිකානු-ගැති පක්ෂවලින් හා සංවිධානවලින් යුක්ත සන්ධානයක පිටුබලය ලබන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීමේ එක්සත් ජනපද කුමන්ත්‍රන සමග මුලුමනින්ම පෙල ගැසෙයි.

එම ලිපියේ ලිපියේ පක්ෂපාතී භාවය එහි ශීර්ෂ පාඨය, එනම්, “තමා මැතිවරනයෙන් පැරදුන හොත් සාමකාමීව බලය මාරු කරන බවට ශ්‍රී ලංකාවේ නායකයා පොරොන්දු වෙයි” යන්න, මගින් ම පෙන්නුම් කෙරේ. එය ෆිනෑන්ෂල් ටයිම්ස් මාධ්‍යවේදියා රාජපක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවක දී ඔහුගෙන් මිරිකා ගත් පොරොන්දුවකි.

රාජපක්ෂ නියමිත කලට වසර දෙකකට කලින් මැතිවරනය කැඳවූයේ, රට තුල ඔහුගේ පාලනයට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය මෙන්ම ජාත්‍යන්තර පරිමානව එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් ගෙන යන ඊනියා මානව හිමිකම් උද්ඝෝෂනය ද හමුවේ, සිය බලය සංකේන්ද්‍රනය කර ගැනීමේ උත්සාහයක් ලෙසයි. එවන් සියලු උද්ඝෝෂනයන්හි දී මෙන්, එක්සත් ජනපදය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය තුල දී ශ්‍රී ලංකාවේ මිලිටරිය සිදු කල අපරාධ, ආසියාව තුල තමන්ගේ ම කොල්ලකාරී අභිලාෂයන් වෙනුවෙන් නරුම ලෙස ගසා කයි. එය වනාහි, වොෂිංටනයේ පූර්න පිටුබලය ලද යුද්ධයකි.

රාජපක්ෂ මැතිවරනය කැඳවූ වහාම, ඔහුගේ ම සෞඛ්‍ය ඇමති වූ සිරිසේන, තමන් මැතිවරනයට තරග කරන බව නිවේදනය කල අතර, ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපිය මගින් එය ගුනාංගීකරනය කර තිබුනේ "බලාපොරොත්තු නොවුනු ලෙස මනාව සංවිධානය කෙරුනු විපක්ෂයේ ව්‍යාපාරයක්” ලෙසයි.

පැහැදිලි හේතු නිසාම එම ලිපිය එතරම් හොඳින් සිරිසේන ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ එම ව්‍යාපාරය සංවිධානය කලේ කෙසේ ද සහ කවුරුන් ද යන කාරනාව විභාග කලේ නැත. සිරිසේන හදිසියේ ම පිල් මාරු කිරීම රාජපක්ෂට පුදුමයට පත් කල කාරනාවක් වුවත් ඉහල පෙලේ එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන් එය සති ගනනාවකට පෙර දැනගෙන සිටියේය.

සිරිසේන සහ එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර ගනුදෙනුව සඳහා ප්‍රධාන අතරමැදි ඒජන්තකම කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගයි. ඇය බලයෙන් ඉවත් වූවාට පසුව ක්ලින්ටන් පදනම සමග කල ඇගේ වැඩකටයුතු හරහා වොෂිංටනය සමග සබඳතා වර්ධනය කරගෙන තිබුනි.

“එරට ඊලඟ ආන්ඩුව සිවිල් යුද්ධය තුල සිදු කෙරුනු යුද අපරාධ පිලිබද චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් යුක්තව බටහිර ආන්ඩු ශ්‍රී ලංකාවේ මැතිවරනය සමීපව නිරීක්ෂනය කරනු ඇති.” බව ෆිනෑන්ෂල් ටයිම්ස් තහවුරු කරයි. එමෙන්ම රාජපක්ෂ “යුද අපරාධ පිලිබද චෝදනා සම්බන්ධයෙන් මුලුමනින්ම නොතකන පිලිවෙතක් අනුගමනය කරන තතු යටතේ”, ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සහ “බටහිර ආන්ඩු” රාජපක්ෂගේ විරුද්ධවාදියාට හුරේ දමන බව පැහැදිලිය.

එම ලිපිය රාජපක්ෂට එරෙහි එක්සත් ජනපදයේ වෛරයට පිටුපසින් පවතින සැබෑ හේතුවට ද ඉඟි කරයි. තමන් ජය ගත හොත් “චීනය සමග වඩා ගැඹුරු ආර්ථික සබදතා ඇති කර ගැනීම ඇතුලුව” ආයෝජන සඳහා නව ධාවනයක් සඳහා රාජපක්ෂ පොරොන්දු වී ඇතැයි එය සඳහන් කරයි. එක්සත් ජනපදය හා ඔවුන්ගේ සගයන් 2009 දී එල්ටීටීඊයේ පරාජයෙන් අනතුරුව "මානව හිමිකම් " සම්බන්ධයෙන් රාජපක්ෂ ඉලක්ක කරගැනීම ආරම්භ කලේ, චීන අවි ආයුධ, මූල්‍ය ආධාර, ආයෝජන හා දේශපාලන සහයෝගය මත වඩා වඩා වාරු වීම නතර කරන ලෙස ඔහුට බල කිරීමේ ප්‍රයත්නයක් ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ සම්මත කල එක්සත් ජනපද පිටුබලය ලද යෝජනා මාලාවක් හරහා රාජපක්ෂට එරෙහි ව්‍යාපාරය උත්සන්න කෙරුනු අතර මේ වසරේ දී ජාත්‍යන්තර පරීක්ෂනයක් ස්ථාපිත කිරීම මගින් එය කුලු ගැන්වුනි. ශ්‍රී ලංකාවේ ඉහල නිලධාරින්ට එරෙහිව යුද අපරාධ චෝදනා නිර්දේශ කිරීමට එවන් පරීක්ෂනයකට හැකිය.

රාජපක්ෂට පීඩනය යෙදීමේ ප්‍රයත්නයන්, ඔබාමා ආන්ඩුවේ වඩා පුලුල් “ආසියාවට හැරීමේ” පිලිවෙතේ කොටසකි. එහි ඉලක්කය චීනයට එරෙහි යුද සූදානම සඳහා, චීනය මිලිටරිමය ලෙස වටලෑම සහ කලාපය පුරා එහි ආනුභාවයට වල කැපීමයි. පසුගිය වසර පහ තිස්සේ එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව, ජපානය, දකුනු කොරියාව හා පිලිපීනය වැනි සිය සගයන් සමග පමනක් නොව, ඉන්දියාව, වියට්නාමය හා ඉන්දුනීසියාව ඇතුලු ආසියාවේ සෑම රටක් සමග ම මූලෝපායික සබඳතා තරකරගැනීමට ක්‍රමානුකූලව වැඩ කර ඇත.

වත්මන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, 2009 දී එවකට සෙනෙට් විදේශ සබඳතා කමිටු වාර්තාවක සම-කතුවරයා ලෙස, වොෂිංටනයට ශ්‍රී ලංකාව “නැති කර ගත නොහැකි” බව පැහැදිලි කලේය. එය, ඉන්දියානු සාගර කලාපය තුල මෙම දිවයිනේ තීරනාත්මක මූලෝපායික පිහිටීම ගැන සැඳහුම් කිරීමකි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය තුල වොෂිංටනයේ මැදිහත්වීම මගින් සංඥා කෙරෙන්නේ, රාජපක්ෂට දිගු කාලීනව පීඩනය යොදමින් සිටීම වෙනුවට මෙහි තන්ත්‍ර-වෙනසක් සිදු කිරීම දැන් එක්සත් ජනපදයේ ප්‍රමුඛත්වය බවට පත්ව ඇති බවයි.

වොෂිංටනය බලාපොරොත්තු වන ප්‍රතිඵලය මැතිවරනයෙන් නොලැබුන හොත් සිදු වීමට ඇත්තේ කුමක් ද යන වග පිලිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් පැහැදිලි ඉඟියක් ලබා දෙයි. “ඉතා අඩු ඡන්ද ගනනකින් පරාජය වීමෙන් පසුව රාජපක්ෂ මහතාගේ පවුලේ ආධිපත්‍යය සහිත තන්ත්‍රය බලයේ දිගටම රැදී සිටීමට උත්සාහ කල හොත් එය අස්ථාවරත්වයට හා ප්‍රචන්ඩත්වයට තුඩු දිය හැකි බවට බිය පල කරමින්, මැතිවරනය කරට කර තරගයක් ලෙස විස්තර කරන” නිර්නාමික “දේශීය විශ්ලේෂකයන්ගෙන්” එය උපුටා දක්වයි.

හුදෙක් රාජපක්ෂට හා ඔහුගේ පාලක සන්ධානය පමනක් නොව එජාපය හා සෙසු විරුද්ධ පක්ෂ ද මැතිවරන දූෂන හා ප්‍රචන්ඩත්වය පිලිබඳ කුප්‍රකට ය. ආන්ඩුවේ ඇමතිවරයකු හා රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස සිරිසේන ද යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ය යන කාරනාවට මොන යම් හෝ සැඳහුමක් කිරීම ෆිනෑන්ෂල් ටයිම්ස් පරෙස්සමින් මග හරී. ඔහුට මැතිවරන දූෂන හා වංචා සම්බන්ධයෙන් හොඳ පලපුරුද්දක් ඇත.

එක්සත් ජනපදය හා එහි සගයන් කනස්සල්ලට පත්ව ඇත්තේ, රාජපක්ෂ ඉතා අඩු ඡන්ද ගනනකින් පරාජය වීමක් ගැන නොව, වොෂිංටනයේ සියලු කුමන්ත්‍රන තිබිය දී ම ඔහු ජයගනී ද යන්න ගැනයි. රාජපක්ෂ විපක්ෂ අපේක්ෂකයා පරාජය කල හොත් “අස්ථාවරත්වය හා ප්‍රචන්ඩත්වය” ඇති කිරීමට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ඔවුන්ගේ සෙසු සගයන් බලා සිටින බව, ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපිය මගින් සංඥා කෙරෙයි.

එලෙස මැදිහත් වීමේ රටාව, පැවති සෝවියට් සමූහාන්ඩු තුල හා ලෙබනනනය හා ඉරානය වැනි රටවල එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ සිදු කෙරුනු “වර්න විප්ලව” ගනනාවක් මගින් වඩාත්ම පැහැදිලි කෙරෙයි. විපක්ෂයේ අපේක්ෂකයා “දූෂිත” ඡන්ද ප්‍රතිඵලයට අභියෝග කරමින් එක්සත් ජනපදයට සම්බන්ධිත විවිධ පදනම්වල ද මැතිවරනයේ ජයග්‍රාහකයා යක්ෂයකු ලෙස පින්තාරු කරන ගෝලීය මාධ්‍යන්ගේ හදිසි ප්‍රචාරක ව්‍යාපාරයක ද වක්‍ර සහයෝගය ඇතිව අපේක්ෂාභංග මධ්‍යම පන්ති තට්ටුවල විරෝධතා ව්‍යාපාරයක් දියත් කරයි.

විවිධ මධ්‍යම පන්තික ලිබරල් කන්ඩායම්වල, රාජ්‍ය නොවන සංවිධානවල සහ නව සමසමාජ පක්ෂයේ (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) ව්‍යාජ-වම්මුන්ගේ පිටුබලය ඇතිව ගෙනයන එක්සත් ජනපදයේ “මානව හිමිකම්” පිලිබඳ ව්‍යාජ උද්ඝෝෂනය දැනටමත් ශ්‍රී ලංකාවේ වර්න විප්ලවයක් සඳහා පසුබිම සකසා තිබේ. ඒ හෝ මේ ආකාරයෙන් මෙම සියලු සංවිධාන, සිරිසේන හා ඔහුගේ දක්ෂිනාංශික සගයන් ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තන් නැතහොත් වඩා පරෙස්සම් සහගතව රාජපක්ෂට සාපේක්ෂව “අඩු නපුර” ලෙස වංචනික ලෙස හුවා දක්වමින් සිරිසේන වෙනුවෙන් මැතිවරන ව්‍යාපාරයේ යෙදී සිටී.

අවශ්‍ය නම් මැතිවරනයෙන් පසුව, සිය උද්ඝෝෂනය උත්සන්න කිරීමට වොෂිංටනය සූදානම් වන බව ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපිය සංඥා කලේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද නියෝජිත සමන්තා පවර් වැනි වොෂිංටනයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් “මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් රටවල් වගවීමට සැලැස්වීම පිලිබඳ වැදගත් අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව සලකන” බව එම ලිපිය සටහන් කරයි.

කොලඹ ක්‍රියාත්මක වන එක්සත් ජනපද ක්‍රමන්ත්‍රන, ලෝක යුද්ධයක් දෙසට තල්ලු වන ශීඝ්‍රයෙන් තියුනු වන භූ-දේශපාලනික ආතතීන් පිලිබඳව, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර පරිමානව, කම්කරු පන්තිය වෙත අනතුරු ඇඟවීමකි. ආසියාවේ හා ගෝලීයව ආර්ථික හා මූලෝපායික ආධිපත්‍යය සඳහා වන සිය අභිලාෂයන් ජයගනු වස් එක්සත් ජනපදය ඕනෑම දෙයක් කරනු ඇත.

ඒ හෝ මේ ධනපති පක්ෂයට සහයෝගය දීම හෝ මැතිවරන හරහා යුද්ධය සඳහා වන තල්ලුව නතර කල නොහැකිය. එය නතර කල හැක්කේ, යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කර දැමීම පිනිස ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම හරහාම පමනි. රාජපක්ෂ හා සිරිසේන නියෝජනය කරන්නේ, අධිරාජ්‍යවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව මොන යම් හෝ අව්‍යාජ අරගලයක් කිරීමට මුලුමනින්ම අසමත් ධනපති පන්තියේ ප්‍රතිවාදී කන්ඩායම්ය.

මෙම මැතිවරනය තුල මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තියේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිනිස දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදරසහෝදරියන් වෙත ඔවුන් හැරවීම පිනිස කම්කරුවන් උගන්වා ගැනීමටත් බලමුලුගැන්වීමටත් අපගේ අපේක්ෂක පානි විජේසිරිවර්දන සටන් වදී.

Share this article: