ශ‍්‍රී ලංකා ආන්ඩුව ව්‍යාජ “දින 100 ක‍්‍රියාකාරී වැඩ සටහනක්” සාකච්ඡා කරමින් සිටියි

Sri Lankan government discusses phony “100-day work program”

වසන්ත රූපසිංහ විසිනි, 2015 ජනවාරි 20

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ස්ථාපිත කිරීම හා “මහජනතාවට සහන” ලබා දෙන බව කියන තමන්ගේ “දින 100යේ ක‍්‍රියාකාරී වැඩසටහන” පිලිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නව ආන්ඩුව පසුගිය 15දා ජාතික විධායක සභාවේ (ජාවිස) රැස්වීමක් කැඳවී ය. සිරිසේන හා ඔහුට පිටුබලය දුන් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුලු විරුද්ධ පක්ෂ පසුගිය 8දා පැවැති ජනාධිපතිවරන ව්‍යාපාරය තුල මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වූහ. මෙම පියවරයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව වැඩකරන ජනයා අතර පැවති පුලුල් අසහනය ගසා කෑමටත් නව පෙරමුනේ එක්සත් ජනපද ගැති පිලිවෙත් ඇතුලු ආන්ඩුවේ දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රය වසං කිරීමේ වෑයමකටත් වැඩි දෙයක් නොවේ.

එජාපය, සිංහල වර්ගවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ), හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පක්ෂය (ප‍්‍රප) හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය යන පක්ෂවලින් සමන්විත පාලක ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුන හැරුනු විට, රැස්වීමට සහභාගීවූ අනෙකුත් පක්ෂ අතර ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ද විය. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීමේ මෙහෙයුම සැලසුම් කල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා බෞද්ධ භික්ෂුවක් නායකත්වය දෙන රාජ්‍ය නොවන සංවිධානයක් වන සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය ද රැස්වීමට සහභාගී විය.

ජාතික විධායක සභාව වනාහී නව ආන්ඩුවට සහය ගොනු කිරීමට යාන්ත‍්‍රනයක් වසයෙන් ආරම්භයේදී ජවිපෙ විසින් යෝජනා කරන ලද දක්ෂිනාංශික හවුලකි. ජවිපෙ හා ටීඑන්ඒ ආන්ඩුවට එකතුවීම ප‍්‍රතික්ෂේප කරන නමුත්, එය හරහා වක‍්‍රව ආන්ඩුවට සහය දෙති. රැස්වීමෙන් අනතුරුව, මෙම කමිටුවට “කැබිනට් මන්ඩලයට ඉහලින් ක‍්‍රියාත්මක විය හැකි” බව, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මාධ්‍යය හමුවේ පැවසීය.

සිය මැතිවරන උද්ඝෝෂනය පුරාම “ජාතික එක්සත් ආන්ඩුවක්” තැනීමට සියලුම පක්ෂවලට සිරිසේන ආරාධනා කලේ ය. ජාවිස වනාහී එවැනි ආන්ඩුවක් සඳහා පූර්වරංගනයක් වන අතර උග‍්‍ර අතට හැරෙමින් පවතින ගෝලීය ආර්ථික පරිහානිය හා වැඩෙන භූදේශපාලනික ආතතීන් මධ්‍යයේ මෙරට පාලක පන්තිය මුහුනදී සිටින දේශපාලන අර්බුදයේ ගැඹුර මොනවට ප‍්‍රදර්ශනය කරයි.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීමේ” නාමයෙන්, සිරිසේනගේ වැඩපිලිවෙල යෝජනා කරන්නේ, ජනාධිපතිවරයාගේ බලතල අවම කිරීමටත් පාර්ලිමේන්තුවට වගකියන විධායක කැබිනට් මන්ඩලයක් නිර්මානය කිරීමටත් ය. රාජ්‍යයේ හා අධිකරනයේ ඉහල නිලධාරීන් පත්කිරීමට සහ අල්ලස් හා දූෂන චෝදනා විභාග කිරීමට “ස්වාධීන කොමිෂන් සභා” ස්ථාපිත කිරීමට එමගින් පොරොන්දු වෙයි.

මෙම පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේය යන්න මුසාවකි.

එක්සත් ජනපද ගැති එජාපය හා කුමාරතුංග යන දෙදෙනාම බලය හොබවද්දී වැඩකරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් තලා දැමූ අතර කම්කරු පන්තිය බේදභින්න කිරීමේ අරමුන ඇතිව බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ම්ලේච්ඡ වර්ගවාදී යුද්ධයක් දියත් කලෝ ය. පසුගිය නොවැම්බරය වන තෙක්ම පූර්ව ආන්ඩුවේ ජ්‍යෙෂ්ට කැබිනට් අමාත්‍යවරයෙක් වසයෙන් කටයුතු කල සිරිසේන වැඩකරන ජනයාට එරෙහි එකී ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ට රාජපක්ෂ තරම්ම වගකිව යුතු ය. ජාහෙඋ ය හා ජවිපෙ ඔවුන්ගේ වර්ගවාදී ප‍්‍රකෝපකරයන් හා යුද්ධයට සහය දීම පිලිබඳව කුප‍්‍රකට වාර්තාවකට හිමිකම් කියයි.

නව “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” යටතේ, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා 26 අවුරුදු සිවිල් යුද්ධය අතරතුර ගොඩනැගූ මිලිටරි-පොලිස් යන්ත‍්‍රනය වැනි කුරිරු නීතී කිසිදු වෙනසකට ලක්වෙනු නැත. බහුතරයක් දෙමල ජනයා වෙසෙන උතුරේ හා නැගෙනහිර හමුදාව දිගටම රඳවා තැබෙනු ඇත. තමන්ගේ ජීවන තත්වයන්ට හා මූලික අයිතීන්ට නියත ලෙසම එල්ල වෙනු ඇති ප‍්‍රහාරයන්ට කම්කරුවන් හා පීඩිත ජනතාව විරෝධය පෑම ආරම්භ වනවිට රාජපක්ෂගේ පාලන කාලයේදී සිදුවූවාවට සමානව සිරිසේන ඉතා වේගයෙන් පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් යොදාගනු ඇත.

මහජනයා මුහුන දෙන “දුෂ්කරතාවන්” ලිහිල් කිරීමට බව පවසන නාමික යෝජනා 100ක් සිරිසේනගේ වැඩපිලිවෙලට ඇතුලත් ය. කොටස් දෙකක් වසයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 (ඇමෙරිකන් ඩොලර් 76) කින් - එක කොටසක් පෙබරවාරි අගදී ද අනෙක අනාගතයේ තීන්දු නොකල දිනකදී ද වසයෙන් - වැඩි කිරීම, විශ‍්‍රාමිකයන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීම සහ සමෘද්ධි සහනාධාරය මසකට රුපියල් 2,000කින් වැඩි කිරීම මේවාට ඇතුලත් ය. අනෙකුත් ඒවා වන්නේ: අත්‍යවශ්‍ය භාන්ඩ 10ක බදු අඩු කිරීම, ගොවියන්ගේ නය සියයට 50කින් අඩුකිරීම, ගොවියන් සඳහා විශ‍්‍රාම දීමනාවක්, වී, තේ හා රබර් සඳහා සහතික මිලක්, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් පිලිවෙලින් සියයට 6ක් හා සියයට 3ක් දක්වා වැඩිකිරීමට ආරම්භකත්වයක් ගැනීම ය.

අතීතයේදී එජාපය මෙන්ම රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රී ලනිප) විසින් මෙවැනි මැතිවරන පොරොන්දු ලබා දී ඇත්තේ බලයට පැමිනීමෙන් පසු ඉවත දැමීමට පමනි. “දින සියයේ වැඩපිලිවෙල” වනාහී ඔහු දින සියයෙන් පසු පැවැත්වීමට පොරොන්දු වී ඇති පාර්ලිමේන්තු මැතිවරනය සඳහා සිරිසේන හා ඔහුගේ සගයන් විසින් ඉදිරිපත් කරන හුදු මැතිවරන වැඩසටහනක් පමනි.

මැතිවරනයෙන් පසුව සිරිසේනගේ සැබෑ ආර්ථික හා සමාජ න්‍යාය පත‍්‍රය ඉතා ඉක්මනින්ම එලිමහනට පැමිනෙනු ඇත. මහජන දුක් කම්කොටලු ඉහිල් කිරීමට රජයේ මුදල් වැඩිකිරීම කෙසේ වෙතත් ඊලඟ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ ඉල්ලීම් අනුව කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දමනු ඇත. 2013දී දල ජාතික නිෂ්පාදිනතයෙන් සියයට 5.8ක්ව පැවැති අයවැය හිඟය 2016දී සියයට 3.8ට අඩු කරන ලෙස දැනටමත් එය නියෝග කර තිබේ.

රාජපක්ෂ විසින් ගසා කෑ හැකි විරුද්ධත්වයකට තමන් මුහුන දෙනු ඇති බව නව ආන්ඩුව හොඳාකාරවම දැන සිටියි. රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් මැතිවරන දිනයේදී “කුමන්ත‍්‍රන වෑයමක” යෙදුනු බවට කෙරෙන චෝදනා ඔවුන් සිය වාසියට යොදා ගනියි. විදේශ ඇමති මංගල සමරවීර ප‍්‍රසිද්ධියේම රාජපක්ෂට චෝදනා කලේ, මිලිටරියේ සහයෙන් මැතිවරන ප‍්‍රතිපල අවලංගු කිරීමට හිටපු ජනාධිපතිවරයා වෑයම් කල බව යි. මේ පිලිබඳව චෝදනා ඉදිරිපත්වනු ඇති විමර්ශනයක් දැනටමත් දියත් කර තිබේ. මෙම ව්‍යාපාරය පිටුපසින් ආන්ඩුව, ඇමරිකාවට හා ඉන්දියාවට ඇඟවුම් කර ඇත්තේ, මෙරට විදෙස් පිලිවෙත රාජපක්ෂගේ චීනයට නැඹුරු පිලිවෙත කරා යලි නොපැමිනෙනු ඇති බවයි. රාජපක්ෂ පෙරලා දැමීමේ මෙහෙයුම දියත් කල සියලු ප‍්‍රමුඛ චරිත, එනම්, දැන් අගමැති ලෙස පත්ව සිටින එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා කුමාරතුංග, චීනය දනගැස්සවීම හා එරටට එරෙහි යුද්ධයට සූදානම් වන වොෂින්ටනයට හා එහි “ආසියාවට හැරීම” වැඩපිලිවෙලට උපරිම සහාය ලබා දෙති.

විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් තමාට උපදෙස් දීම සඳහා සිරිසේන, බටහිරට නැඹුරු නිලධාරීන් පත්කර ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු වන්නේ, එක්සත් ජාතින්ගේ නිරායුධ කරන කොමිසමේ හිටපු නියෝජ්‍ය සභාපති ජයන්ත ධනපාල හා 2002-2003 කාලයේ පැවති එජාප ආන්ඩුව හා එල්ටීටීඊය අතර සාම සාකච්ඡාවන්හිදී ඇමරිකාව හා යුරෝපීය බලවතුන් සමග එකට වැඩ කල ඔස්ටින් ප‍්‍රනාන්දු ය.

විදේශ ඇමති සමරවීර, සිය පලමු විදේශීය සංචාරය සඳහා ඉන්දියාව තෝරාගෙන ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝඩි, විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් හා අනෙකුත් ඉහල නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. ඔහු හා ස්වරාජ්, “සමීපව හා පුලුල් ලෙස වැඩකිරීමට” එකඟවී ඇත.

රාජපක්ෂ විසින් ඉවත දමන ලද යෝජිත පුලුල් ආර්ථික හවුල්කාරිත්වය පිලිබඳව යලි සාකච්ඡා කිරීමට සමරවීර එකඟවී ඇත. ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ඉන්දියාවේ සිට නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, “අලුතෙන් බලයට පත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාලනය සමග සමීපව කටයුතු කිරීමට” ඔබාමා ආන්ඩුව බලාපොරොත්තු වන බවයි. රාජපක්ෂගේ පරාජයත් සිරිසේන බලයට පත්වීමත් පිලිබඳව වොෂින්ටනය නිකුත් කර තිබෙන පනිවිඩ ගනනාවකින් අලුත්ම එක මෙයයි. මෙරට විදෙස් පිලිවෙතේ ඉක්මන් මාරුව ගැන සඳහන් කරමින් ජැපෑන් ටයිම්ස් පත‍්‍රය, සිරිසේනගේ ප‍්‍රකාශනය “නව දිල්ලියේ, වොෂින්ටනයේ හා ටෝකියෝවේ බලාපොරොත්තු ඉහල නංවා ඇති බව පවසයි. ඒ කොලඹ පාලනයේ කැපවීම ගැනය. ඉදිරියේදී කලාපයේ බලවතුන් සමග සමාන සම්බන්ධතා පිහිටුවීට සිරිසේන පලකොට ඇති තම අභිලාශය ගැන සොයා බැලීමට සුදානම් බව ද එය පවසයි. මේ මාසය අවසාන දිනවල අගමැති නරේන්ද්‍ර මෝඩි සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ නව දිල්ලි සංචාරය අතර තුර මෙය සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ.”

Share this article: