කොලඹ “සීඝ්‍රයෙන් වැඩෙන සංචාරක නගරය ” ලෙස විරුදාවලි ලබන්නේ පීඩිත ජනතාවගේ වියදමිනි

Colombo’s “fastest growing tourism” status obtained at the poor’s expense

විලානි පීරිස් විසිනි, 2015 ජූලි 04

මාස්ටර් කාඩ්හි නවතම ජාත්‍යන්තර ගමනාන්ත නගර දර්ශකය, කොලඹ නගරය ලොව වේගයෙන්ම සංවර්ධනය වන සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රේනිගත කලේය. 2009 සිට එක්රැස් කල දත්ත වලට අනුව, සියයට 21ක සමුච්චිත වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කල කොලඹ, පිලිවෙලින් 20.7 සහ 20.4 ලෙස දෙවන සහ තුන්වන ස්ථානවල රැඳී සිටින චීනයේ චෙන්ග්ඩු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි යන නගර පරයා ගියේය.

මාස්ටර් කාඩ් දර්ශකය (එම්සීඅයි) පදනම් වන්නේ රටවල් 132ක් බලා යන සංචාරකයින් ගනන සහ ඔවුන් සිය සංචාරය තුල වියදම් කරන මුදල් ප්‍රමානය මතය. කොලඹ “වේගයෙන් වැඩෙන” තත්වය අත්කරගෙන ඇත්තේ, අහස උසට විහිදෙන වානිජ ගොඩනැගිලි, සුඛෝපබෝගී හෝටල්, මහල් නිවාස සංකීර්න සහ විනෝද උයන් තැනීමට ඉඩ ලබා ගැනීම සඳහා දහස් ගනන් දුප්පත් පවුල් පිටමන් කිරීමේ ප්‍රතිපලය වශයෙන් බව එම දර්ශකය සඳහන් නොකරයි.

සුපිරි පෙලේ සංචාරක සාප්පු මධ්‍යස්ථානයක්

එය වනාහි “මගේ ආන්ඩුවේ ජයග්‍රහනයක්” සහ තමන්ට “විශාල ආඩම්බරයක්” ගෙනදුන් දෙයක් බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම පුවත වහාම ඩැහැ ගත්තේය. ඔහු කියා සිටියේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයෙන් පසු ඔහුගේ ආන්ඩුව “කොලඹ නගරය නඟාසිටුවීමේ අභිලාශවත් වැඩසටහනක්” දියත් කල බවයි. ඔහු සඳහන් කල ආකාරයට එහිදී ප්‍රමුඛ ක්ෂේත්‍ර වූයේ, ජලමාර්ග පිරිසිඳු කිරීම, ගංවතුර වැලැක්වීම, පැල්පත් ඉවත් කිරීම, නව නිවාස සංකීර්න, කසල එක්රැස් කිරීම් වැඩිදියුනු කිරීම සහ නව උද්‍යාන සහ ඇවිදීමේ මංතීරු ගොඩනැඟීමය.

කොලඹ නගර සංවර්ධන වැඩසටහන, එවකට ආරක්ෂක ලේකම් වූ ඔහුගේ සොහොයුරු ගෝටාභය රාජපක්ෂට පවරා දෙන ලදී. කොලඹ නගරයේ මෙම ශ්‍රේනිගත කිරීමෙන් තමන් “සැබවින්ම ප්‍රමෝදයට” පත් වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයාද පැවසීය.

හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා මෙම “සංවර්ධන ව්‍යාපෘතිය” දියත් කිරීමට යොදාගත් නිර්දය ක්‍රියා මාර්ගයන් සහ ඉන් මුදුන් පමුනුවාගත් ආශක්තයන් නින්දිත ලෙස යට ගසයි. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි ලේ වැකි ජයග්‍රහනයෙන් පසුව රාජපක්ෂ ආන්ඩුව, කම්කරුවන්ට සහ පීඩිතයින්ට එරෙහිව “ආර්ථික යුද්ධයක්” ප්‍රකාශයට පත් කලේය. එමඟින් ධනවත් සංචාරකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂනය කරගනිමින් කොලඹ දකුනු ආසියාවේ ප්‍රමුඛ වානිජ කේන්ද්‍රයක් බවට පත්කිරීමට ප්‍රතිඥා දී තිබුනි.

ආන්ඩුව සහ ජන මාධ්‍ය කියාපෑවේ ගංවතුර සහ අනේක විධ සමාජ අපචාරයන්ට කොලඹ නගරය තුල පිහිටි මෙම පැල්පත් නිවාස සහ එහි වෙසෙන දුප්පත් ජනතාව වග කිවයුතු බවයි. නගරය අලංකාර කිරීමේ මුවාවෙන්, පවුල් 135,000ක් ඉවත් කර ඔවුන්ගේ නිවාස කඩා දමන්නට සැලසුම් කෙරුනි. දුප්පත් පවුල් වලට වඩා හොඳ පහසුකම් සමඟ නව මහල් නිවාස පොරොන්දු විය. වැඩසටහන කෙරෙහි කවර හෝ මහජන විරෝධයක් තලා දමනු වස් හිටපු ජනාධිපති රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) සහ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව යන සිවිල් කාර්යාංශ දෙකම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරීය.

ලෝක බැංකුව වැඩසටහනට පිටුබලය දුන් අතර ඇ.ඩො 223ක අඩු පොලී නයක් මහ කොලඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට සපයා දුනි. පාරවල් සහ ඇල මාර්ග සංවර්ධනය කෙරුනු අතර ලන්දේසි රෝහල, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් ගොඩනැගිල්ල, තුරඟ තරඟ පිටිය වැනි පෞරානික ගොඩනැගිලි නවීකරනය කර පිලිසකර කෙරිනි.

කඩා දමන ලද නිවාස

ගෙවුනු වසර හය තුල කොම්පඤ්ඤවීදිය, කොටුව, වනාතමුල්ල, දෙමටගොඩ, නාරාහේන්පිට සහ බ්ලූමැන්ඩල් ඇතුලු ප්‍රදේශ වල දුප්පත් පවුල් දහස් ගනනක් ඉවත්කර තිබේ . එසේ ඉවත් කෙරුනු බොහොමයකට උන්හිටිතැන් මෙන්ම සිය ජිවිකාව ද අහිමිව ඇත. විරෝධතාවය පලකල අය පොලිස් කමාන්ඩෝ භටයින් විසින්ද විටෙක හමුදාව විසින්ද බලහත්කාරයෙන් ඉවත්කර තිබේ.

ආයෝජන මන්ඩලය වටිනා ඉඩකඩම් ප්‍රමානයක් විදේශ සමාගම් වලට සහ මහාපරිමාන ශ්‍රීලාංකික සමාගම් වලට 99 අවුරුදු බදු මත පවරා ඇත. ඉන්දියාවේ ක්‍රිෂ් සමුහ ව්‍යාපාරයට “ඩොලර් මිලියන ගනනක සුපිරි ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සඳහා මැද කොලඹින් ඉඩම් පිරිනැමිනි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට අනුව, ක්‍රිෂ් සමාගම 99 අවුරුදු බද්ද වශයෙන් ගෙවා ඇත්තේ රු. බිලියන 5ක් (ඇ.ඩො මි. 38ක්) පමනි. සමාගමට තවදුරටත් 10 අවුරුදු ආදායම් බදු විරාමයක් සහ ඊලඟ අවුරුදු පහලොවට 6%ක සහනදායී බද්දක්ද, කොටස්කරුවන්ට වසර 11කට බදු රහිත ලාභාංශ ද, තීරු බදු, අයබදු ඇතුලු තවත් බදු විරාම ගනනාවක් ද ලබා දුනි.

සුපිරි තට්ටු නිවාස

ඇවික් ඉන්ටනැෂනල් චීන සමාගම ඇ.ඩො මිලියන 300ක සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දියානු ටාටා නිවාස සංවර්ධන සමාගමට ආන්ඩුව, කොම්පඤ්ඤ වීදියෙන් අක්කර අටක් ලබාදී ඇත. ඇ.ඩො මිලියන 406ක් ආයෝජනය කිරීමට ද අක්කර 5ක් ව්‍යාපාරවලට ද ඉවත්කල අය සඳහා අක්කර තුනක ඉඩක නිවාස සංකීර්නයක් තනා දීමටද ටාටා සමාගම පොරොන්දු විය. පවුල් 456 කට සහ වානිජ දේපල හිමියන් 90 කුට ව්‍යාපෘතියට වෙන්කර ඇති ප්‍රදේශය හැරයන ලෙස නාසඅ විසින් අන කරනු ලැබූ අතර ඉවත්කල පිරිස් වෙත නිවාස තැනීම නවතා දමා ඇත.

එසේ ඉවත් කරනු ලැබූ අයට සිදු වුයේ කුමක්ද? රාජපක්ෂ ආන්ඩුව විසින් පොරොන්දු වූ අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ව්‍යාපෘති එක්කෝ අත්හැර දැමුනි නැතිනම් කිසිදා සම්පුර්න නොකෙරුනි. සත්‍ය වශයෙන්ම ඉවත් කෙරුනු පවුල් වලට ප්‍රමානවත් තරම් නිවාස සම්පාදනය කිරීමේ සැබෑ සැලසුමක් කවර කලෙක හෝ නොපැවතුනි.

1500කට වැඩි උසස් තත්වයේ නිවාස ඒකක ජනතාවට සපයා ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය පවසතත් මෙම අඩු වියදම් නිවාස තත්වයෙන් බාල, ඉතා කුඩා කාමර වලින් සමන්විතය. බොහොමයක් ඉවත් කරන ලද පවුල් තාවකාලික පදිංචි කිරීම් ලෙස හඳුන්වන මුලික පහසුකමින් පවා තොර ලෑලි මඩු තුලට බලහත්කාරයෙන් ගාල් කොට ඇත. තොටලඟ නාගලගම් වීදියේ කඳවුර සහ ඉවත්කරනු ලැබූවන් 2010 සිට ජීවත්වන තවත් කොලඹ උප නගරයක් වන වැලිගොඩවත්ත කඳවුර මීට ඇතුලත්ය.

නිවාසවලින් ඉවත් කෙරුනු පවුල් සදහා වැලිගොඩවත්තේ තනා ඇති තාවකාලික නිවාස

පවුල් සිය ගනනකට ආන්ඩුව විසින් දෙමටගොඩ ඉදිකල නව මහල් සංකීර්න වල නිවෙස් ලබා දී ඇත. කෙසේ වෙතත් වර්ග අඩි 400කට සීමා වන මෙම තට්ටු නිවාස වල බිත්ති සහ ගෙබිම යන්තමින් අවුරුද්දක් ගතවද්දී ඉරි තලා ඇත. අපද්‍රවය එක්රැස් කිරීමට නිසි ක්‍රම වේදයක්නොමැති අතර පොදු ස්ථාන සහ බිත්ති අතිශයින්ම අපිරිසිදුය. තිබෙන විදුලි සෝපාන කිහිපය නිරන්තරයෙන් ක්‍රියා විරහිත වන බව පදිංචි කරුවෝ පැමිනිල් කරති.

මාස්ටර් කාඩ් ශ්‍රේනිගත කිරීම අනුව, සංචාරකයින්ගේ ආකර්ෂනය දිනාගත් නගර අතර පලමු වැනි තැන කොලඹට පිරිනමා තිබියදී නාගරික පීඩිත ජනතාව මුහුන දෙන යතාර්ථය මෙයයි. ඉවත් කරන ලද කොලඹ පැල්පත් වාසීහු දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙති.ලිපිය බලන්න)

අගෝස්තු 17 පැවැත්වෙන මහා මැතිවරනයේදී අගමැති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට රාජපක්ෂ සැලසුම් කරයි. සිය මැතිවරන වාසිය සඳහා මාස්ටර් කාඩ් දර්ශකයේ වාර්තාව යොදා ගන්නට රාජපක්ෂ දුෂ්කර උත්සාහයක යෙදී සිටියි. දහස්ගනන් දුප්පත් සහ කම්කරු ජනතාව, ඉවත්කිරීම් සහ අනෙකුත් සමාජ ප්‍රහාරයන්ට එරෙහි විරෝධතා චන්දයකින් ජනවාරි 8 ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ප්‍රතික්ෂේප කලහ.

රාජපක්ෂ රෙජීමයේ සෞඛ්‍ය ඇමති වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය (එජාපය) පසුගිය ආන්ඩුවේ කොලඹ සංවර්ධන සැලසුම් අනුමත කලහ. ව්‍යාපෘතියේ සමහර අංඟ පිලිබඳ එජාපයේ ප්‍රසිද්ධ විවේචන නින්දා සහගත ලෙස ඉලක්ක කලේ, දුප්පතුන්ගේ සහ කම්කරුවන්ගේ අතෘප්තිය ගසාකෑම වෙතටය.

ජනවාරියේ ජනාධිපතිවරනයෙන් පසු සිරිසේන විසින් පත් කරන ලද එජාපය විසින් මෙහෙයවෙන නව ආන්ඩුව කොලඹ “අලංකරන” වැඩසටහන පසුගිය මාස කිහිපය තුල ඉදිරියට ගෙන නොගියේ එය මහ මැතිවරනයට මුහුන දීමට නියමිතව සිටින නිසා පමනි. එළඹෙන මාසයේ මැතිවරනයෙන් බලයට පැමි‍නෙන කවර ආන්ඩුවක් වුවද ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රය සමඟ පෙලගැසෙමින් කඩිනමින් කොලඹ සංවර්ධන වැඩපිලිවෙල යලි පනගන්වනු ඇත.

Share this article: