බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාල සිසුහු භාෂනයේ නිදහස ආරක්ෂා කරති

Student groups defend freedom of expression at Berlin’s Humboldt University

ක්‍රිස්ටෝෆ ඩ්‍රියර් විසිනි , 2015 ජූනි 10

බර්ලින්හි හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු තුනක - ඉතිහාසය, අධ්‍යාපනය හා ලිංගික අධ්‍යයන අංශවල - සිසු නියෝජිතයින් මාධ්‍ය විසින් එල්ල කරන ප්‍රහාර විවේචනය කරමින් හා සිසුන් ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත්කර තිබේ. මොවුන් කටයුතු කරන්නේ, නිශ්චිත අධ්‍යයන පීඨයන්හි ශිෂ්‍ය සංගම් වල සාමාජිකයින් ලෙසය.

සිසුන්ගේ කටයුතු වලට මඩ ගසමින් හා ඔවුන්ට පහර ගසමින් මැයි 17දා ෆ්‍රෑන්ක්ෆර්ටර් ඇල්ජමින් සොන්ටග්සේටුන් හි පලවූ ලිපියකට පිලිතුරු වශයෙන් මෙම ප්‍රකාශය නිකුත්කර තිබේ. ඉහත ලිපියේ කතුවරයා වන ෆ්‍රීඩරීක හොප්ට්, තම සිසුන් ගැන නිරන්තර බියකින් පසුවන, බියගැන්වීමට ලක්ව සිටින මහාචාර්යවරුන් පිලිබඳ විකෘති චිත්‍රයක් ඇඳ ඇත. එම කතුවරිය, දේශපාලන අදහස් පිලිබඳ තර්කාන්විත විවේචනයක් අන්තර්කරගත් එය, “බෝම්බ තර්ජන හා මිනී මැරීමේ තර්ජන” පවා එල්ල කරන්නේ යයි පැවසීමට තරම් දුර ගොස් ඇත.

විශේෂයෙන්ම “මුන්ක්ලර් වොච්” වෙබ් පිටුව හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, මහාචාර්යවරුන් ගැන කරන විවේචන ඇතුලු විවිධාකාරයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් එල්ල කර මෙම ප්‍රහාරය දියත් විය. වසර ආරම්භයේදී දේශපාලන විද්‍යා සිසුන් විසින් ආරම්භ කල “මුන්ක්ලර් වොච්” වෙබ් පිටුව, නිතිපතා ලිපි පල කරමින් දේශපාලන විද්‍යා මහාචාර්ය මුන්ක්ලර්ගේ දේශන විවේචනය කර ඇත. සසජාතශී එක දිගටම විශ්වවිද්‍යාලයේ යුද ප්‍රචාරනයට විරෝධය පල කරමින්, ජර්මන් මිලිටරිවාදයේ ඓතිහාසික අපරාධ වසං කිරීම පිලිබඳව නැගෙනහිර යුරෝපීය ඉතිහාසඥ බාබරොව්ස්කි හා මුන්ක්ලර් විවේචනය කර ඇත.

ශිෂ්‍ය කන්ඩායම් “සිසුන්ගේ විවේචන පිලිබඳ” හොප්ට්ගේ “ද්වේෂ සහගත ප්‍රකාශ මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන” බව ඒකාබද්ධ ප්‍රකාශය සඳහන් කරයි. “විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විවේචන ආරක්ෂා කරන බවත් මෙයට 'පහලින් එන' එනම් ගුරුවරුන් පිලිබඳ සිසුන්ගේ විවේචන ද ඇතුලත් බවත්” එය ප්‍රකාශ කරයි. සිසුන් භුක්ති විඳින අදහස් පල කිරීමේ නිදහසට එරෙහි ප්‍රහාරයන් ද ප්‍රතික්ෂේප කරන ඔවුහු, ඒ වෙනුවට “මුඛ්‍ය අන්තර්ගතය” කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිති.

එමෙන්ම ඔවුහු, තමන්ගේ විවේචන නිර්නාමිකව ඉදිරිපත් කිරීමේ අයිතිය ද ආරක්ෂා කරති. “මුන්ක්ලර් වොච්” යලි යලිත් දරුනු ප්‍රහාරයට ලක්ව ඇත්තේ, සිසුන් ඒවා අන්තර්ජාලය තුල නිර්නාමිකව පල කිරීමේ කාරනය නිසාය. “විවේචකයින් නිර්නාමික වීම ගැන කෙරෙන චෝදනා සමීපව පරීක්ෂා කරන කල අර්ථයක් නැති දේ බව පෙනී යයි” යනුවෙන් ඔවුන් ලියා ඇත. මක්නිසා ද යත්, නිර්නාමික විමර්ෂන පිලිබඳව විශ්වවිද්‍යාලයට දිගු සම්ප්‍රධායක් ඇතුවාක් මෙන්ම, හොප්ට් විසින් සඳහන් කරනු ලැබ ඇති සියලු කන්ඩායම් නිර්නාමික නොවීම ද නිසාය. ඔවුන් නිදසුන් ලෙස සඳහන් කරන Knowledge Against Ignorance (මුග්ධත්වයට එරෙහිව දැනුම) කන්ඩායම, අධ්‍යාපන විද්‍යා ගුරුවරයෙකුට විරුද්ධව මැදිහත් වුනේ ප්‍රසිද්ධියේය.

සසජාතශි සම්බන්ධයෙන් ප්‍රකාශය මෙසේ සඳහන් කරයි: “ඉතිහාසඥ ජෝර්ග් බාබරොව්ස්කි විවේචනය කරන්නේ ද ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානයක නමෙන් එහි සාමාජිකයින්ය. ඔවුන් පෙනී සිටින්නේ ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රධාය මතය. එබැවින් වගකිවයුත්තන් නොදන්නා අය නොවේ. ඔවුන්ගේ ප්‍රකාශකයින් වන්නේ නමින්ම දන්නා සිසුන් වන අතර යමෙකුට ඔවුන් සොයා ගැනීමට අවශ්‍ය නම්, මෙම පරිශ්‍රය තුල නිතිපතා පත්‍රිකා බෙදාහැරීමේ යෙදී සිටියදී එසේ කල හැකිය. ඊට අමතරව පසුගියදා එක් නියෝජිතයෙක් ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ද තේරී පත් විය. එබැවින් මෙහි නිර්නාමිකත්වයක් ගැන කථාවක් තිබිය නොහැකිය. ඇත්තේ එහි අනෙක් පැත්තය. එම කන්ඩායම බාබරොව්ස්කි සමග ප්‍රසිද්ධ විවාදයක් ද කැඳවුම් කර ඇත.”

බාබරොව්ස්කි කිසිවිටෙකත් සසජාතශි ඉදිරිපත් කර තිබෙන විවේචන වලට පිලිතුරු දී නැත. ඒ වෙනුවට ඔහු විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ඉල්ලා ඇත්තේ, ඔවුන් වාරනය කරන ලෙසය. ඉතිහාස දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද විශ්වවිද්‍යාලයේ සභාපති ද සිසුන්ට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා ඇත. ඔහුගේ අධ්‍යයන කටයුතු මින් පසුව වෛෂයිකව අගැයීමකට ලක් නොකරන බව සසජාතශි සාමාජිකයෙකුට මහාචාර්යවරයෙක් තර්ජනාත්මකව පවසා ඇත.

පීඨයේ සිසු නියෝජිතයෝ, සිසුන් තමන්ගේ ගුරුවරුන් මත “රඳාපවතින සම්බන්ධතාව” ගැන විශේෂයෙන් සඳහන් කර තිබීම වැදගත්ය. මහාචාර්යවරු සිසුන් අගැයීමට ලක්කරන බැවින් ඔවුන් මත සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමේ හැකියාව ගුරුවරුන්ට ඇති බව ද ඔවුන් කියා ඇත.

ප්‍රකාශනය අවසන් කර ඇත්තේ, වඩා විවේචනාත්මක විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව මතු කරමිනි: “විශ්විද්‍යාලය විවිධාකාර ඉදිරිදර්ශනයන් මත විකසිත වේ. 'සිතීමට ඉගෙන ගැනීමෙහි' අර්ථය, වෙනස් අදහස් සමග එකඟවීම පමනක් නොව, ඒවා සමග ගැටුමකට යාම ද වේ. විරුද්ධ ආස්ථාන පරීක්ෂාවට ලක් කිරීම, සම්ප්‍රධායන් හා සම්මුතීන් ප්‍රශ්නයට බඳුන් කිරීම හා යෝග්‍ය නම් ඒවායින් බිඳී වෙන්වීම ද ඒ අතර වේ. යමෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවාය යන්නෙන්, අධ්‍යාපනය එහි විවේචනශීලී ගුනයේ පිලිඹිඹුවකින් තොරව සිතාගැනීමටවත් නොහැකිය යන්න අදහස් කෙරේ.”

ප්‍රකාශනය ඉතා වැදගත් වන්නේ, ෆ්‍රෑන්ක්ෆර්ටර් ඇල්ජමින් සොන්ටග්සේටුන් පත්‍රයේ පිටුවලට පමනක් සීමාවී නැති මඩ ව්‍යාපාරයට එය විරෝධය පල කරන බැවින්ය. පසුගිය සති කිහිපය පුරා සියලු ප්‍රධාන පුවත්පත්වල, “මුන්ක්ලර් වොච්”වෙබ් පිටුවට හා සසජාතශියට තියුනු ලෙස පහර ගසමින් සිසුන්ට සිය මහාචාර්යවරු විවේචනය කිරීමේ අයිතිය හෙලා දකින ලිපි පලවිය.

මුන්ක්ලර් සිය විවේචකයින් නාසීන්ට සමාන කර තිබේ. සිසුන් “පිස්සු පුද්ගලයින්” ලෙස හඳුන්වමින් බාබරොව්ස්කි, ඔවුන්ට විශ්වවිද්‍යාලය තහනම් කර ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනු කල යුතු යයි කියා ඇත. විශ්වවිද්‍යාලයේ සභාපති යන්-හෙන්රික් ඔල්බර්ට්ස්, සිසුන්ට මඩ ගසමින් මහාචාර්යවරුන්ට සහාය පලකරන ප්‍රකාශ දෙකක් පල කලේය.

මෙම ව්‍යාපාරයේ අරමුන, මහාචාර්යවරුන්ගේ දක්ෂිනාංශික හා මිලිටරිවාදී ආස්ථාන විවේචනය කිරීමට තරම් නිර්භීත වන ඕනෑම කෙනෙක් නිහඬ කිරීමය. ඒකාබද්ධ ප්‍රකාශනයෙන් පැහැදිලි වන්නේ, සිසුන් මෙය පිලිගැනීමට සූදානම් නැති බවයි. සිසු කන්ඩායම් වල එකිනෙකට වෙනස් ආස්ථාන පිලිබඳව නිගමන පල කිරීමට තමන්ට අවශ්‍ය නොවන බව එහි කතුවරු පවසති. ඔවුහු ධෛර්ය සම්පන්නව විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත්ව සිටිති.

ශිෂ්‍ය කන්ඩායම් සිය ප්‍රකාශනය පල කර ඇත්තේ, හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙහි ඊලඟ සැසිය පැවැත්වීමට දින තුනකට පෙරාතුවය. අදහස් පල කිරීමේ නිදහස ආරක්ෂා කිරීම දැනටමත් න්‍යායපත්‍රයට ඇතුල් කර තිබේ. සසජාතශි, “මුන්ක්ලර් වොච්” වෙබ් පිටුව ආරක්ෂා කරමින් හා විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නිකුත්කර තිබෙන ප්‍රකාශනය ඉල්ලා අස්කර ගත යුතු යයි ඉල්ලන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවට සහාය දක්වන ලෙසත් සැලසුම් කර තිබෙන ප්‍රසිද්ධ රැස්වීමට එක්වන ලෙසත් සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

Share this article: