සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුව දූෂනය වැලැක්වීමේ මුවාවෙන් පාසල් තුල මුදල් අයකිරීම නීත්‍යානුකූල කරයි

සුරංග සිරිවර්ධන විසිනි, 2015 මාර්තු 2

පාසල් තුල “අවිධිමත් අයුරින් මුදල් එකතු කිරීම තහනම් කිරීම” යන තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගිය ජනවාරි මස 29 වන දින නව චක‍්‍රලේඛයෙන් රජයේ පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කෙරී ඇත. ඊනියා දූෂනය වැලැක්වීමේ කඩතුරාවට මුවා වෙමින් නව ආන්ඩුව ගෙන ඇති මෙම පියවර අධ්‍යාපනයේ බර කම්කරු පීඩිත මහජනයා මත මුලුමනින්ම පැටවීම සඳහා රාජපක්ෂ තන්ත‍්‍රය ගෙනගිය වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙන යාමකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ ගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 05/2015 අංකය දරන එම චක‍්‍රලේඛය මගින්, “වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව” වහාම කි‍්‍රයාත්මක වන පරිදි පාසල් සිසුන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් “අවිධිමත්” අයුරින් මුදල් එකතු කිරීම සපුරා තහනම් කෙරෙන අතර මුදල් එකතු කරනු ලබන්නේනම් ඒ සඳහා අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතු බවට රෙගුලාසි පැනවෙයි.

චක‍්‍රලේඛය අනුව විදුහල්පතිවරයෙකුට පහසුකම් ගාස්තු සහ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් එකතු කල හැකිය. පලමු කොටම අත්‍යවශ්‍ය වියදම් පිලිබඳ ඇස්තමේන්තුවක් විදුහල්පති විසින් සකස් කල යුතුය. දෙවනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ වෙනත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට එම මුලු මුදලත් ඉහත ඇස්තමේන්තු මුදලත් අතර පරතරය සෙවිය යුතුය. එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් අයෙකුගේ කොටස තීරනය කොට එම අය කිරීම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතුය.

මුදල් අය කිරීම සඳහා ලබා දී ඇති මෙම අවසරය සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය සමග සෘජුවම බැඳී පවතී. මෙම රෙගුලාසි පැනවෙන්නේ “වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව” බව චක‍්‍රලේඛයමත් සහතික කරයි. රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම නව ආන්ඩුවේ ද ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව යමින් රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය වසරේ අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 5.2 දක්වා කප්පාදු කල අතර මේ වසරේ එය සියයට 4.2 දක්වා පහත හෙලන බවට මුදල් ඇමති රවි කරුනානායක දැනටමත් පවසා ඇත. මෙම නියෝගයන්ට අනුව 2016 වසරේ අයවැය හිඟය දජානියෙන් සියයට 3.8 වනසේ පහල දැමීමට නියමිතය.

ආන්ඩුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරනය ඉලක්ක කර ගනිමින් සීමිත සහන කීපයක් සහිතව රැගෙන ආ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වන වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.7 සිට සියයට 6ක් දක්වා, ක‍්‍රමයෙන් ඉහල නංවන බවට ප්‍රෝඩාකාරී ප‍්‍රකාශ කෙරුන ද යොදවන මුදල් පරිමානයන් සම්බන්ධයෙන් වචනයකුදු සඳහන් නොකිරීමට වග බලා ගත්තේ සිදු කිරීමට නියමිත කප්පාදුවල පරිමාව කරුනානායක හොඳින්ම දන්නා බැවිනි.

2008න් ඇරැඹි ගෝලීය මුල්‍ය අර්බුදය තුල නාසය තෙක් ගිලී සිටින ආන්ඩුව ඩොලර් කෝටි 400ක ඇප නයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමේ සාකච්ඡා මේ වන විටත් අරඹා ඇත. ලොවපුරා අනෙක් තන්ත‍්‍රයන් මෙන්ම සිරිසේන‐වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ද සිදුකරමින් පවතිනුයේ පසුගිය සියවසේ කම්කරු පන්තිය විසින් දිනාගත් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ සුභසාධන සේවාවන් මුලුමනින්ම විනාශ කිරීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයයි.

වත්මන් අගමැති වික‍්‍රමසිංහ විසින්ම අධ්‍යාපන ඇමතිධුරය දැරූ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1981 දී මහජන අධ්‍යාපනය වලලා දැමීමට ගෙන ආ ධවල පති‍්‍රකාව කම්කරු පන්තියේ අඛන්ඩ අරගලය හේතුවෙන් තාවකාලිකව හකුලා ගැනුන ද අනතුරුව බලයට පත් සියලු ආන්ඩු විසින් ධවල පති‍්‍රකාවේ යෝජනා ද ඉක්මවා යන පරිදි මහජන අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර කි‍්‍රයාවට නංවා තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ගේ සිට උපාධි පිරිනමන පෞද්ගලික ආයතන ගනනාවක් මේවන විට රට තුල ස්ථාපිත කර ඇත. මේ හා සමගාමීව මහජන අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම් වේගවත් කප්පාදු කිරීමකට ද ලක් කෙරින. මේ හේතුවෙන් පාසැල් ගොඩනැගිලි පිලිසකර කිරීම, ඩෙස්ක් බංකු ඇතුලු උපකරන සම්පාදනය කිරීම හා ගුරුවරුන් නොමැති විෂයයන් සඳහා පිටතින් කැඳවා ගන්නා ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම ඇතුලු සියලු කටයුතු සඳහා වන වියදම් දෙමාපියන්ගෙන් අය කර ගැනීම අතිමහත් වේගයෙන් වර්ධනය විය.

මේ පසුබිම යටතේ මෙතෙක් නොනිල වශයෙන් දෙමාපියන්ගෙන් අයකරගත් මුදල් නිල වශයෙන්ම අයකර ගැනීමේ කොන්දේසි නව චක‍්‍රලේඛය මගින් නිර්මානය කෙරී ඇත. පාසැල් තුල මුදල් අයකිරීම් සම්බන්ධයෙන් වැඩී ඇති බලගතු මහජන විරෝධය විදුහල්පතිවරුන් වෙත යොමු කිරීමේ අරමුනෙන් “අවිධිමත්” ලෙස මුදල් අයකල විදුහල්පතිවරුන්ට දඬුවම් කිරීමේ ව්‍යාපාරයක් ද ආන්ඩුව විසින් මේ වන විට අරඹා තිබේ. පසුගිය ජනාධිපතිවරනයේදී සිරිසේන‐වික‍්‍රමසිංහ කඳවුර විසින් තොරොම්බල් කල “දූෂනයට සහ වංචාවට එරෙහි යහපාලන” සටන් පාඨය වටා රැලි වූ මධ්‍යම පන්තික තට්ටුවක් මෙම පියවර හේතුවෙන් උද්දාමයට පත්විය හැකිය. එනමුදු පීඩිත මහජනතාවගේ යථා අවශ්‍යතාව වන්නේ මෙම අයකිරීම් “විධිමත්” කිරීම නොව අයකිරීම් මුලුමනින්ම නවතාලීම හා මහජන අධ්‍යාපනයට අවශ්‍ය ප‍්‍රතිපාදන දැවැන්තව ඉහල දමා ගැනීමයි.

සමානතාවයෙන් යුත් ගුනාත්මක මහජන අධ්‍යාපනයක් තහවුරු කිරීමට නම් බිලියන සංඛ්‍යාත මුදල් ඒ සඳහා වෙන් කල යුතුවේ. බිඳ වැටෙමින් පවතින ධනේශ්වර පද්ධතිය තුල ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදනයක් ලොව කවර හෝ ආන්ඩුවකින් අපේක්ෂා කල නොහැක. මෙම මුදල් සපයා ගැනීමට නම් මහා පරිමාන බැංකු සහ මූල්‍ය ආයතන කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කල යුතුය. එය සාක්ෂාත් කරගත හැකිවනුයේ කම්කරු පන්තිය ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් තමා වටා රැලිකර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙනි. අධ්‍යාපන කප්පාදු වලින් බැටකන දෙමාපියන් ද ශිෂ්‍යයන් ද හැරී ගත යුත්තේ මේ වැඩපිලිවෙලටයි.

මෙම වැඩපිලිවෙලට එරෙහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) එහි ශිෂ්‍ය දේශපාලන හස්තය ලෙස කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයත් (අවිශිබම) නව චක‍්‍රලේඛයට එරෙහි බොරු හඬ තැලීමක නිරතව සිටී. අවිශිබම කැඳවුම්කරු නජිත් ඉන්දික සිය නිල වෙබ් අඩවිය තුල මෙසේ පවසයි: “අපි අනිවාර්යයෙන්ම මීට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත අරගලක් ආරම්භ කරමු. මේකට වෙන විසඳුමක් නැහැ. මේක මහා වංචාවක්, අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයො විදිහට පාසලක් පාසලක් ගානෙ, ගමක් ගමක් ගානෙ ගිහින් මීට විරුද්ධව ජනතාව එක් රැස් කරනව. ඉදිරි සතිවලදි අපි සෑම විශ්ව විද්‍යාලයකම උද්ඝෝෂන පවත්වනවා.”

පෙසපයේ සහ අවිශිබමයේ මූලික දේශපාලන ඉලක්කය වන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමේ ව්‍යාජ විරෝධතා තුල සිසුන් සහ පීඩිත මහජනතාව සිරකොට ඔවුනගේ විරෝධය වාෂ්ප කර දැමීමයි.

Share this article: