පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගී‍්‍රක සිරිසාව වැලඳගනී

පානි විජේසිරිවර්දන විසිනි, 2015 මාර්තු 09

පසුගිය ජනවාරි 25 දා පැවති ගී‍්‍රක පාර්ලිමේන්තු මැතිවරනයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් සිරිසා සංවිධානය, ඉන්ඩිපෙන්ඩන්ට් ග‍්‍රීක්ස් නමැති අන්ත දක්ෂිනාංශික පක්ෂය සමග එක්ව නව ආන්ඩුවක් පිහිටුවා ගත්තේය. කප්පාදු වැඩ පිලිවෙලට එරෙහි බවක් මවා පෙන්වීමට සිරිසා නායක සිප්රාස් ඇලෙක්සිස් කල පූච්චානම් කතා ද මැතිවරනයේදී ඉදිරිපත් කල කි‍්‍රයා මාර්ගය ද කුනු කූඩයට දැමූ සිරිසා ආන්ඩුව, යුරෝපා සංගමය, යුරෝපීය මධ්‍යම බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ති‍්‍රත්වයේ නියමයන්ට යටත්ව කම්කරු පන්තියේ හා අනෙකුත් පීඩිත ජන කොටස් තවතවත් දරිද්‍රතාවයේ ගිල්වන වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දමමින් සිටී.

ව්‍යාජ වාම සංවිධාන සහ ධනපති රැඩිකල් කන්ඩායම් රොත්තකින් සමන්විත සිරිසාව මොඩලය කර ගනිමින් නව ධනපති පෙරමුනු ගොඩ නැගීමේ බලාපොරොත්තු දල්වා ගත් ජාත්‍යන්තර ව්‍යාජ වාම සගයන් සමග එක්ව ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද සිරිසාව උත්කර්ෂයට නැංවීය. සිරිසා වැඩි ආසන සංඛ්‍යාවක් දිනනු ඇති බව පෙනී යාමත් සමග ඉන් කිතිකැවී ගී‍්‍රක මැතිවරනය පැවති දිනයේ ම පෙසප ජනරල පුවත්පතේ රාමචන්ද්‍රන් නමැති ලියුම් කරුවෙක් “ගෝලීය දේශපාලනයේ සයිරීසා මොහොත” යන මැයෙන් කොලමක් පල කලේය. එම ලිපිය පෙසප විසින් සිරිසා වැලඳ ගනු ලැබීම පමනක් නොව එබඳු ධනපති සංවිධාන තැනීම කෙරෙහි තම පක්ෂපාතිත්වය ද පෙන්වා එය “න්‍යායික” අච්චාරුවකින් යුක්ති සහගත කර ඇත. සිරිසා බලයට පත්ව ගතවී ඇති සති පහේ පෙන්නුම් කෙරී ඇත්තේ පෙසපයේ මෙම ආස්ථානවල අන්ත බංකොලොත්කම හා ප‍්‍රතිගාමී ස්වභාවයයි.

ජනරල ලිපිය මෙසේ සඳහන් කරයි: “එලැඹෙන මැතිවරනයෙන් සයිරිසා ජයග‍්‍රහනය කලහොත් ස්පාඤ්ඤයේ පෙඩොමාස් පක්ෂයේ තත්වය බලවත් කිරීමට එය හේතුවනු ඇත. මෙය යුරෝපය තුල වාමගාමී දේශපාලන රැල්ලක් ජනිත කරමින් අයර්ලන්තයේ සින් ෆෙන්, ජර්මනියේ ඩයි ලින්කෙ ආදී වාමාංශික නැඹුරුව සහිත පක්ෂ ඒ ඒ රටවල් තුල බලවත් කෙරෙනු ඇත.”

පෙසප මෙවන් සංවිධාන පිහිටුවීම ඉදිරි පියවරක් ලෙස වර්නනා කරයි. “වාම නැඹුරුව” සහිත සංවිධාන ලෙස ජනරල නම් කර ඇති මේ සංවිධාන ධනපති “ව්‍යාජ වාම” මවා පෑම්ය. “වාමාංශික නැඹුරුවක්” සහිත මෙම පක්ෂ බලයට පැමිනීමට පසු සිදු කරන්නේ කුමක්ද යන්න සිරිසාවම පැහැදිලි කර ඇත. බලයට ඒමට පෙර ධනපති විරෝධී පුච්චානම් දොඩවමින් සම්ප‍්‍රදායික පක්ෂ කෙරෙහි කල කිරෙන ජනයා අලුත් ධනපති පෙරමුනක් තුල රුවා කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය යටපත්කර දැමීමට එය කි‍්‍රයා කලේය. ස්පාඤ්ඤයේ පොඩෙමොස් (අපිට පුලුවන්) හා අයර්ලන්තයේ සින්ෆෙන් කරන්නේද එයයි.

පොඩෙමොස් යනු පැබ්ලෝවාදී ධනපති විරෝධී වාමාංශය විසින් ගිය අවුරුද්දේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනය සඳහා සැදූ සංවිධානයකි. එලඹෙන ස්පාඤ්ඤ මැතිවරනයට ඉදිරිපත් කල කි‍්‍රයා මාර්ගයේ එය තමන් ගැන ලියා ගෙන ඇත්තේ තමන් “වගකීම බාර ගන්නා කලමනාකරනයේ උපරිම ආරක්ෂාව ද විශ්වාශය ද ඇති කරවමින් දේශපාලන ස්ථාවරත්වය සහතික කරනු ඇත” යනු වෙනි. පොඩෙමොස් පාලනයක් කෙරෙහි මුල්‍ය වෙලඳ පොලවල නිශේධනීය ප‍්‍රතිකි‍්‍රයාවක් සිදුවීමට ඉඩ ඇතත් “තථ්‍ය වශයෙන් නම් එය (පොඩෙමොස්) ස්පාඤ්ඤයේ දුෂනය සහ ආයතනයන් කෙරෙහි අවිශ්වාසය ... ආදී ප‍්‍රශ්න විසඳීමේලා රක්ෂන සහතිකයක්” වනු ඇති බවයි. මුල්‍ය කතිපයාධිකාරයට පොඩෙමොස් සහතිකය එවැනිය.

2016 ඊලඟ මැතිවරනය දිනීමට ද එවැනි ම සහතික දෙන සින්ෆෙන් අයර්ලන්තයේ ධනපති පක්ෂයකි. නැගෙනහිර ජර්මනියේ බිඳ වැටීමෙන් පසු පැරනි ස්ටැලින්වාදීන් කොටසක් තවත් දකුනට පැද්දී අටවා ඇති ජර්මනියේ ඩයි ලින්කේ හෙවත් වාම පක්ෂයේ අලුත්ම වාර්තාව නම් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් යුක්රේන අර්බුදයට ඉදිරිපත් කල ජර්මානු අධිරාජ්‍යවාදී අවශ්‍යතා රැකගැනීමේ පිලිවෙතට සහාය දීමයි. එම පිලිවෙත නම් යුක්රේනය යුරෝපීය සංගමයේ හා නේටෝ සංවිධානයේ ආර්ථික හා මූලෝපායික රාමුව තුලට ගැනීමයි.

පෙසප විසින් හුවා දැක්වෙන සිරිසා හා අනෙකුත් සංවිධාන වල කි‍්‍රයා කලාපයෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප ගොඩනැගීමට යෝජනා කරන වමේ පෙරමුනේ ස්වභාවයයි.

ජනරල ලියුම්කරු එම සංවිධාන ගැන මෙසේ සඳහන් කරයි: මේ “සංවිධානවල විශේෂත්වය නම් ඒවා පහල සිට ඉහලට ගොඩනැගුනු සංවිධාන වීමයි. එනම් ආධිපත්‍යධාරී ප‍්‍රභුවාදී දේශපාලන සංස්ථාපිතයන්ට විකල්පයක් ලෙස බිම් මට්ටමේ බහුජන කි‍්‍රයාකාරීත්වයන් තුලින් මෙම පක්ෂ සංවර්ධනය වී තිබේ.” රැඩිකල් වචනවලින් මෙම සංවිධානවලට අපූරු කමක් ආදේශ කරන්නට තැටමුවත් ඇත්තේ එක අර්ථයකි. එනම් කම්කරුවන් හා ප‍්‍රහාරවලට ගොදුරුවූ අනෙකුත් ජන කොටස් මුලා කිරීම සඳහා ඔවුන් විවිධ නොමග යවන උද්ඝෝෂනවලට මෙහෙයවීමට මුලු වැර යොදා වැඩ කල බව හා වැඩ කරන බවයි.

මෙම බොරු වාම සංවිධානවල “විශේෂත්වයක්” හුවා දැක්වීමට පෙසපට තවත් සාධක ඇත. ජනරල ලියුම්කරු මෙසේ කියයි: “නව ලිබරල්වාදය විසින් බිඳ වට්ටන ලද සුබසාධන රාජ්‍යයන් නැවත පුනර්ජීවනය කිරීම පරිකල්පනය කරගත්” මෙම සංවිධාන වල විශේෂත්වය නම් ඒවා “ප‍්‍රාග්ධනයේ අත්තනෝමතිකත්වයට එරෙහිව ශ‍්‍රමයේ ප‍්‍රතිවිරෝධය පෑම නියෝජනය කරන බවයි.”

“ප‍්‍රාග්ධනයේ අත්තනෝමතිකත්වය” ගැන කරන මෙම කතාව කෙලින්ම ගමන් කරනේ “ප‍්‍රාග්ධනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීත්වයක්” ගැන අඟවන තැනටය. පෙසපට අනුව මෙම “අත්තනෝමතිකත්වය” ධනපති පන්තිය කි‍්‍රයාවට දමන නව ලිබරල්වාදී පිලිවෙත්ය. එය නතර කර ගතහොත් ධනපතිවාදය පිරිසුදු කර තබා ගත හැකිය. මෙය අන්ත විකෘතයකි. නව ලිබරල්වාදී පිලිවෙත් ගැටගැසී ඇත්තේ පද්ධතිමය අර්බුදයක ගිලී ඇති ධනවාදයේ අතිරික්ත ශ‍්‍රම සුරාකෑම තීව‍්‍ර කර ගැනීමේ උවමනාව සමගයි. මෙම සංවිධාන කි‍්‍රයා කරන්නේ බිඳ දැමුනු සමාජ සුබසාධන යලි ඇති කරගත හැකිය යන මුලාවක් ඔස්සේ වැඩකරන ජනතාව හිර කර තැබීමට යි.

කම්කරු පන්තියට වලකපන ධනපති පන්තියේ ව්‍යාජවාම වෙස් ගත් සංවිධාන හුවා දැක්වීම මගින් පෙසප ප‍්‍රතිබිම්බනය කරන්නේ තම සංවිධානයේ කි‍්‍රයා කලාපයයි. ධනපති මාධ්‍යවලින් සමාජවාදී යයි පිරුවටක් අන්දා ගත්තද මෙම පක්ෂයට මාක්ස්වාදය හෝ සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැත. එනමුදු පෙසප මෙසේ සඳහන් කරයි: “සයිරිසා බඳු සංවිධාන තුල හා ඊට පිටින් කි‍්‍රයාත්මක වන මාක්ස්වාදීන් කල යුත්තේ මෙම ව්‍යාපාර සමග ගැට ගැසී තිබෙන නිර්ප‍්‍රභූ බහුජන කි‍්‍රයාකාරීත්වයෙන් දුරස් නොවී ඒවා සමග විවේචනාත්මකව අභිමුඛ වෙමින් එම ව්‍යාපාරවල චින්තන ක්ෂිතිජය පුලුල් කිරීමය.” කොටින් කියතොත් “මාක්ස්වාදීන් කලයුත්තේ” එම ව්‍යාපාරවල “චින්තන ක්ෂිතිජය පුලුල් කිරීම” නමින් ඒවාට ගැට ගැසී පුම්බා තැබීමට කි‍්‍රයා කිරීමයි. පෙසප තව දුරටත් මෙසේ කියා සිටී: “සයිරිසා සංවිධානය ඇතුලු යුරෝපයේ වාමාංශය බලවත් වීම විසින් විකල්ප සමාජ රටාවක් පිලිබඳ පරිකල්පනයන් සඳහා “අවකාශයන් වඩාත් පුලුල් කරනු ඇත.” . . . “එය එනයින්ම සමාජවාදී පරිවර්තනයක් ඇති නොකරන බව සැබෑය. එහෙත් එමගින් පුලුල් වන අවකාශය සමාජවාදී පරිවර්තනයක් සඳහා වූ විභවය වඩා විවෘත තලයකට ගෙන එයි.”

මෙය මාක්ස්වාදීන්ගේ කර්තව්‍යයට ඉඳුරාම පටහැනි පෙසප බඳු සංවිධානවල කි‍්‍රයාකාරිත්වයයි. ලෙනින් ප‍්‍රකාශ කල පරිදි මාක්ස්වාදීන්ගේ කර්තව්‍යය ධනේශ්වර දෘෂ්ටිවාදයේ ද එහි ඒජන්තයන්ගේ ද සෑම රූපාකාරයකටම එරෙහිව සටන් වදිමින් විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම වන අතර එය සමාජවාදී විප්ලවය සඳහා පුර්ව කොන්දේසියකි. කුමනාකාරයේ ධනපති සංවිධානයකින් වුව “සමාජවාදී පරිවර්තනයක් සඳහා වූ විභවය වඩා විවෘත තලයකට” ගෙන ඒයයි යන බලාපොරොත්තුව ගී‍්‍රසියේ සිදුවී ඇත්තාක් මෙන් අන්ත මුලාවකි.

වැඩකරන ජනයා එලෙස මුලා කිරීමට ජනරල ලියුම්කරු තවත් කුතර්කයක් ගෙන එයි. ඔහු මෙසේ කියයි: “යම් හෙයකින් සයිරිසා සංවිධානය පරාජය වුවහොත්?” එබඳු බලවේගවල පරාජය නව ලිබරල් සවිඥානය සඳහා ‘විකල්පයක් නැත’ යන ප‍්‍රතිගාමී ආස්ථානය අතිශය බලවත් කිරීමේ ලා හේතු වනු ඇත.” ප‍්‍රතිගාමීත්වය පරාජය කිරීමට නම් කල යුත්තේ සිරිසා බඳු ධනපති සංවිධාන වටා පෙලගැස්මයි. මෙය වනාහි අවස්ථාවාදී දේශපාලන තක්කඩියන් හැම විටම තොරොම්බල් කරන තර්කයකි. කම්කරු පන්තියේ ඉතිහාසය පෙන්නුම් කර ඇත්තේ එහි පන්ති ස්වාධීනත්වය ධනපති සංවිධානවලට පාවා දීම ප‍්‍රතිගාමිත්වයට හා ප‍්‍රතිවිප්ලවයට පාර කපන බවයි. සම්ප‍්‍රදායික පක්ෂ තරයේ හෙලිදරවු වී ඇති තත්වය තුල දැන් ව්‍යාජ වාම සංවිධාන ප‍්‍රතිවිප්ලවයට පාර කැපීමට ඉදිරි පත් වී සිටියි.

පෙසප සිරිසා සංවිධානය වැලඳගෙන සිටියේ අද ඊයේ නොවේ. ජනරල ලියුම්කරුවෙකු 2012 සැප්තැම්බර් 2 දා කලාපයට ලියමින් “ග‍්‍රීසියේ සයිරිසා වැනි රැඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව දැල්වීම සඳහා වන ඒ කතිකාව” ගෙන යාමේ උවමනාව අවධාරනය කලේය. සිරිසා සංවිධානයේ අත්දැකීම සාකච්ඡා කිරීමට පෙසප කොලඹදී ප‍්‍රසිද්ධ රැස්වීමක් කැඳවූයේය.

විවිධ ධනේශ්වර සහ සුලු ධනේශ්වර සංවිධානයන්හි යලි කාන්ඩ ගැසීමකට පදනම දැමීම සඳහා පෙසප විසින් 2013 නොවැම්බර් 23 දා කැඳවා තිබූ “වාමාංශික දේශපාලන පක්ෂ, වාමාංශික කන්ඩායම් සහ වාමාංශික කි‍්‍රයාකාරීන්ගේ සංවාදයකට” සහභාගි වන ලෙස කරන ලද ආරාධනය ප‍්‍රතික්ෂේප කරමින් සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් පෙසප දේශපාලනයේ විසකුරු ස්වභාවය මෙසේ පැහැදිලි කලේය: “පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ස්ථාපිත කිරීමට උනන්දු කරවන්නේ ගී‍්‍රසියේ සිරිසා සංවිධානය වැනි පක්ෂයක් බව සසප සටහන් කරගෙන ඇත. ගී‍්‍රසියේ සිදුවන වර්ධනයන් ගැන බැරෑරුම්ව සලකන කවරෙකුට වුව ද පැහැදිලි වන්නේ සිරිසා වනාහී කම්කරු පන්තිය රැවටීමට, අපසරනය කිරීමට හා පාවාදීම සඳහා ම ‘වාම ’ දෙඩවිලි ප‍්‍රසිද්ධියේ යොදා ගන්නා ධනපති පක්ෂයක් බව ය.”

වර්ගවාදී යුද්ධයට සහාය දීම, 1989-1990 කාලයේ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ඝාතනය කිරීම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවීම ආදී නිමක් නැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ධනපති ගැති කි‍්‍රයා නිසා ජවිපෙ අපකීර්තියට පත් වීමෙන් පසු පක්ෂයෙන් බිඳුනු කන්ඩායමක් විසින් පෙසප පිහිටුවා ගන්නා ලදී. එම කන්ඩායම ජවිපෙහි ඉහත ප‍්‍රතිගාමී කි‍්‍රයාවන්ට මුලුමනින්ම හවුල්ව සිටි අතර ජවිපෙට එරෙහි වාගාලාප හැරුනු කොට පෙසප එහි දේශපාලනයෙන් මොනම මූලික බෙදීමක් වත් ඇති කර නොගත් සංවිධානයකි.

පෙසප පසුගිය ජනාධිපතිවරනයේදී දෙබිඩි කි‍්‍රයා කලාපයක යෙදී ගත්තේය. තමන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර මෛතී‍්‍රපාල සිරිසේනගේ ව්‍යාපාරයට විරුද්ධ බවක් මවා පෑමට තැත් කරන ගමන් ම පෙසප හා එය විසින් හසුරුවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය සිරිසේනට උද්ඝෝෂන කලවුන්ට වේදිකා සකස් කිරීමේ යෙදී ගත්හ. මැතිවරනය අවසන් වූ පසු එය සිරිසේන ආන්ඩුව දින සීයේ වැඩපිලිවෙල නිසිකලට කි‍්‍රයාවට නොදැමීම ගැන “විවේචන” එල්ල කරමින් ද විවිධ ඉල්ලීම් වටා ආන්ඩුවට බල කිරීමේ උද්ඝෝෂන දියත් කරමින් ද සිටී. රාජපක්ෂ ආන්ඩුව සමයේ පෙසප උද්ඝෝෂන යොමුවූයේ ඊට බලපෑම් දැමීමටය. මෙම කි‍්‍රයා, “පහල සිට බිම් මට්ටමෙන්” හා “බහුජන කි‍්‍රයාකාරීත්වයන්” සංවිධානය කිරීම ආදී ලෙස, කම්කරුවන් හා තරුනයන් අතර ධනපතිවාදය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය ගසා කෑමේ හා නොමග යැවීමේ එල්ලය ඇතිව කරන ලද සිරිසා ආකාරයේ මැදිහත්වීම්ය.

කම්කරුවන් හා තරුනයන් කල යුත්තේ ලංකාව ඇතුලු දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී විප්ලවයට සටන් කිරීම සඳහා පෙසප හා එබඳු සංවිධානවල බොරු වාම මවා පෑම් ප‍්‍රතික්ෂේප කර ධනපති පන්තියේ සෑම කොටසකින්ම බිඳී සමාජවාදී සමානතා පක්ෂයට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට එක්වීමයි.

Share this article: