සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සරසවි සිසුන්ට එරෙහිව රුදුරු පොලිස් දඩයමක් දියත් කරයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2015 මැයි 19

අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව අරගලයට පිවිස සිටින සිසුන්ට එරෙහි මර්දනය තීව‍්‍ර කරමින්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, සිසු ක‍්‍රියාකාරීන් ඉලක්ක කොටගත් රුදුරු පොලිස් දඩයමක් දියත් කර ඇත. බියගැන්වීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් හරහා සිසුනට එරෙහිව ගෙනයන මෙම දඩයම ආසන්න සිද්ධීන් මාලාවක් හරහා පැහැදිලිව ප‍්‍රකාශයට පත්වෙයි.

⋆ මහපොල ශිෂ්‍යාධාර වාරිකය කප්පාදු කිරීම ඇතුලු ඉල්ලීම් දාහතරක් මුල්කරගෙන සරසවි සිසුන් විසින් පසුගිය මාර්තු 31 වනදා කොලඹදී පැවැත්වූ විරෝධතා පාගමනට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිසිය යොදා කඳුලු ගෑස්, බැටන් පොලු සහ ජලප‍්‍රහාර එල්ල කෙරුනු අතර එහිදී සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනින.

නව ආන්ඩුව තම ප‍්‍රමුඛ හා ක්ෂනික කප්පාදු පියවරයක් ලෙස රු. 4000 ක් දක්වා ඉහල දමා තිබූ මහපොල වාරිකය යලි රු. 2500 දක්වා පහත හෙලීය. පසුගිය වසර කිහිපය තුල නොකඩවා සිදුකෙරුනු විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු ඉහල දැමීම නොකඩවා පවත්වා ගෙන යාමට ද, කැලනිය හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුල ශාස්ත‍්‍රීය භාෂා පාඨමාලා සඳහා බඳවා ගැනුනු ශිෂ්‍ය සංඛ්‍යාව පහල දැමීමට ද ආන්ඩුව වහා පියවර ගත්තේය. කප්පාදුවේම තවත් අංගයක් ලෙස පාසල් පද්ධතිය තුල මුදල් අයකිරීම නීතිගත කෙරෙන පරිදි නව චක‍්‍රලේඛයක් ද සම්මත කෙරුනි. සිසුන් විරෝධතාවයේ යෙදුනේ මෙම ප‍්‍රහාරයන්ට එරෙහිවයි.

⋆ ශාස්ත‍්‍රීය භාෂා සිසු කප්පාදුවට එරෙහිව අපේ‍්‍රල් 29 වනදා සංවිධානය කල විරෝධතාවයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී එවැනිම පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය. එම උද්ඝෝෂනයේදී පොදු දේපලවලට හානි කලේයැයි යන චෝදනා මත ඊට පසු දින ශ‍්‍රී ජයවර්ධනපුර සහ කැලනිය යන විශ්ව විද්‍යාලවල සිසු නායකයින් දෙදෙනෙකු මහමඟදී අත්අඩංගුවගත් පොලීසිය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කලේය. මෙම මස 11 වන දින, ඔවුන් දෙදෙනා උසාවි කැඳවීමෙන් අනතුරුව යලිත් එලඹෙන 25වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

⋆ ගෙවුනු සති කිහිපය තුල කැලනිය, ශ‍්‍රී ජයවර්ධනපුර, රජරට සහ වයඹ විශ්වවිද්‍යාල තුල සිසු කි‍්‍රයාකාරිකයන් 20කට ආසන්න සංඛ්‍යාවක් රහස් පොලිසියේ ප‍්‍රශ්න කිරීම් වලට භාජනය කර ඇතිබව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු නජිත් ඉන්දික පවසයි. සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලීසිය සිසු ක‍්‍රියාකාරිකයන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුනගේ දෙමාපියන් බියවද්දා ඇත්තේ තම දරුවන් ඉදිරියටත් උද්ඝෝෂනවලට සහභාගී වන්නේ නම් ඔවුන් පිලිබඳ බලාපොරොත්තු අත්හැර ගන්නා ලෙස බියවද්දමිනි.

ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් 18 දෙනෙකුට සිතාසි නිකුත් කෙරී ඇති අතර, අපේ‍්‍රල් 29 උද්ඝෝෂනයෙන් පසු කැලනිය සරසවියේ ශිෂ්‍ය භික්ෂුන් 4 දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇත.

⋆ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන ඉසුරු සම්පත් ශිෂ්‍යයා බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමත්, ඔහුට තර්ජනය කොට බිය වැද්දවීමත් මගින් මෙම පොලිස් දඩයම දිගේලි කර ඇති රුදුරු ස්වභාවය වඩාත් විශද වේ. ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙකු වන මෙම ශිෂ්‍යයා පසුගිය 8 වනදා රාත‍්‍රී 7.30 ට පමන ගාලුමුවදොර පිටිය අසලින් පාරමාරු වීමේදී පොලිස් නිලාධාරීන් කිහිපදෙනෙකු ඔහු නවත්වා පරික්ෂා කර ප‍්‍රශ්නකර තිබේ. පැය භාගයක පමන කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු ඔහුව නිදහස් කොට ඇති අතර ඔහු නැවත විශ්වවිද්‍යාලයට පැමිනීම සඳහා කොටුව ප‍්‍රධාන බස් නැවතුමෙන් බසයට නැග ගමන් කරමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයෙකු ඔහුව බසයෙන් බස්සවා පොලිස් ජීප් රථයකට නංවාගෙන ඇත. ඒ මොහොතේ රථය තුල තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සිට ඇති අතර ඔහු එසේ රඳවා තබාගැනීමට අදාල කිසිදු වරෙන්තුවක් ඔවුන් පෙන්වා නැත. පොලිස් රථය සංචාරය කල සෑම තැනකටම ඔහු රැගෙන ගිය පොලීසිය පසුදා (9) අලුයම පහට පමන ඔහුව බම්බලපිටිය ප‍්‍රදේශයේදී මුදාහැර ඇත.

එම සිද්ධියට අදාලව තම සංවිධානය විසින් පසුගිය 10 වනදා කොලඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත් එයට සහභාගිවීමට සූදානම් වෙමින් සිටි සම්පත්ගේ බෝඩිමට පැමිනි බුද්ධි අංශ පොලිස් නිලධාරියෙකු, සාකච්ඡාවට සහභාගි නොවන ලෙස ඔහුට තර්ජනය කොට ඇතිබවත් අවිශිබම පවසයි.

ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ආන්ඩුවට මෙම උද්ඝෝෂන වලදී සිසුන් ඉල්ලා සිටින කිසිදු ඉල්ලීමක් ඉෂ්ඨ කර දීමේ කවර හෝ හැකියාවක් ඇත්තේ නැත. 2008 දී පුපුරා ගිය මූල්‍ය අර්බුදයෙන් ඇරැඹී පද්ධතිමය බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර ක‍්‍රමය තුල රටක් රටක් පාසා පාලකයන්, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන්ට අනුව, දැවැන්ත කප්පාදු පියවරයන් ගනිමින් සිටී. එම ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් අතරින් පැන නගින කවර හෝ අරගලයක් රුදුරු ලෙස මර්දනය කිරීම ලොවපුරා සෑම ආන්ඩුවකම පිලිවෙත වී ඇත. පෙර පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද අනුයන්නේ තම ජාත්‍යන්තර සගයන් විසින් කි‍්‍රයාවට දමමින් සිටින එම පිලිවෙතයි. දුසිම් ගනන් සිසුන්ගේ පන්ති තහනම් කරමින්, සිසු නායකයින් හා ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් සිර භාරයට ගනිමින්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් බිය වද්දමින් රාජපක්ෂ තන්ත‍්‍රය විසින් සිසුන්ට එරෙහි මර්දනය දිගේලි කලේය.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩුනු මහජන මතය ගසා කනුවස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන බවට බේගල් ඇද බාමින් බලයට පැමිනි සිරිසේන ආන්ඩුව ද කම්කරුවන්ට, සිසුන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව දියත්කර ඇති මෙම ප‍්‍රහාරයේ අඛන්ඩතාවය මගින් පිලිබිඹු කරනු ලබන්නේ කිසිදු ප‍්‍රජාතන්තී‍්‍රය හෝ සමාජ අයිතියක් තහවුරු කරලීමෙහි ලා ධනේශ්වර පාලක පන්තීන් පෙන්නුම් කරන ඓතිහාසික නොසමත්කමයි.

මෙම ඓතිහාසික නොසමත්කම වහංගු කරමින් කම්කරු පීඩිත මහජනතාවගේ ඇස් වලට වැලි ගසන නිමක් නොමැති සංවිධාන අතරින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (විවිආසස) ප‍්‍රමුඛ තැනක් ගනී. සිරිසේන බලයට ගෙන ඒමේ උද්ඝෝෂනයට දර දිය ඇදි මෙම සංවිධානයෙහි සභාපති ප‍්‍රභාත් ජයසිංහ, මාධ්‍යයට පවසා සිටියේ සිසුන්ට එරෙහි මෙම ප‍්‍රහාර “පිලිකුලෙන් යුතුව හෙලා දකින” බවත් “මෙවැනි ප‍්‍රහාරයක් නව ආන්ඩුව වෙතින් කෙලෙසවත් බලාපොරොත්තු නොවූ” බවත්ය. සිරිසේන ආන්ඩුවේ යහපාලන බේගලයට උඩගෙඩි දෙමින් ඒ වටා රැලිවී සිටි බොහෝ සංවිධාන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ගේ වගකීමෙන් ලිස්සායාමට මෙවන් වංචනික ප‍්‍රකාශ නිකුත් කරමින් සිටී.

ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික නොහැකියාව වසන් කිරීම සම්බන්ධයෙන් සිසුන් අතර ප‍්‍රමුඛතම කාර්යය ඉටු කරන්නේ අවිශිබමය සහ එහි නායකත්වයේ ලැග සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුකෙරීගෙන යන දැවැන්ත කප්පාදුවට එරෙහිව රැඩිකලීකරනය වන සිසුන් බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාර තුල අතරමං කරනු ලැබ ඇති අවිශිබමය සහ පෙසප මෙම ප‍්‍රහාරයන්හි සෘජු වගඋත්තරකරුවන්ය.

තම රැඩිකල්භාවය පෙන්වා සිසුන් ඇදබැඳ තබාගනුවස් එක් විරෝධතාවයකින් පසු තවත් විරෝධතාවයක් ආකාරයට අවිශිබමය විසින් පසුගිය වසර ගනනාව මුලුල්ලේ කැඳවා ඇති විරෝධතාවන්ගේ ලැයිස්තුව මාගලක් මෙන් දිගුය. එම විරෝධතාවන්ගේ පාඩම් උකහා ගනිමින් අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැඹුරින් විමසා බැලීම වෙනුවට යලියලිත් එවැනිම විරෝධතාවන්හි සිසුන් සිරකර තබමින් ඔවුනගේ ඇස් නිලංකාර කිරීම අවිශිබමයේ පිලිවෙතයි.

අවිශිබමයේ ග‍්‍රහනයෙන් මිදී අධ්‍යාපනය ඇතුලු සකල සියලු සමාජමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් වලට එල්ල කෙරෙන මෙම සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරයන්ගේ මූලය, එනම් ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික අසමර්ථභාවය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට සිසුන් හැරී ගත යුතුය. මෙම අවබෝධය ලබා දීමටත්, එම අවබෝධයෙන් තාර්කිකව ගලා එන නිගමනයක් ලෙස, සමාජ ප‍්‍රතිවිප්ලවය පරාජය කිරීමේ ඒකායන මාර්ගය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීම බව තහවුරු කිරීමටත්, ඒ අනුව කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් බලමුලු ගැන්වීමටත් සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පමනි.

Share this article: