ශිෂ්‍යාවගේ ඝාතනය උතුරු පලාතේ විරෝධතාවන් අවුලුවයි

Killing of student sparks protests in northern Sri Lanka

සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2015 මැයි 23

යාපනය අර්ධද්වීපයේ පුන්කුඩුතිව් දූපතේ දෙමල සිසුවියක් දූෂනය කර කෲර ලෙස ඝාතනය කිරීමට විරුද්ධව, යුද්ධයෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල විරෝධතාවන් පැනනැගුනි. දුෂ්ට වූ උද්ඝෝෂනයකින්, සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ) සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම විරෝධතාවන් “ත්‍රස්තවාදය හිස එසවීමට“ සමාන තත්වයක් ලෙස හංවඩු ගසමින් දෙමල විරෝධී වාර්ගික ආතතීන් උත්සන්න කලෝ ය .

පුන්කුඩුතිව් විද්‍යාලයේ දහඅට හැවිරිදි උසස් පෙල සිසුවියකවූ විද්‍යා සිවලොහන්තන් මැයි 13 දා පාසලට යාමෙන් ඉක්බිතිව අතුරුදන් විය. පසුව ඇයගේ මෘත ශරීරය ගරාවැටුනු නිවසක තිබී හමු වූයේ දූෂනයට ලක්කර අතහැරදමා ගොස් තිබියදී ය. මෙම ලොමුදැහැගැන්වෙන අපරාධයට සම්බන්ධ යැයි සැකපිට පොලිසිය මේ දක්වා පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි 15 වනදා පුන්කුඩුතිව්හි සිසුහු සහ ගුරුවරු සිසුන් සඳහා ආරක්ෂාව ඉල්ලා සිටිමින් අපරාධයට විරුද්ධව විරෝධතාවක් පැවැත්වූහ. එතැන් පටන් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම විරෝධතා පැවැත්විනි. සැකකරුවන් උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනු බදාදා දිනයේ පාසල්, කඩසාප්පු වසා දමමින් ගමනාගමනය නවතාලමින් ජනතාව සම්පූර්න විරෝධතාවක් (හර්තාලයක්) පැවැත්වූවෝ ය. සංවේගයට පත් කම්කරුවෝ ද පැය කිහිපයකට වැඩ නවතා දැමූහ. දහස් ගනන් ජනතාව සිය කෝපය ප්‍රකාශ කිරීමට උසාවි භූමියද ඇතුලු යාපන නගරයේ විවිධ ස්ථාන කිහිපයකම එක්රැස් වූහ.

යාපනය හන්දියේ පැවති විරෝධතාව

විරෝධතාවන් බියවැද්දවීමට හා මර්දනය කිරීමට පොලිස් කමාන්ඩෝ භටයින් ඇතුලු සිය ගනනක් සන්නද්ධ පොලිස් බලකායන් සහ හමුදාව යාපනයේ වීදිවල දිගේලි කෙරින. සැකකරුවන් උසාවිය වෙත රැගෙන එනවාත් සමඟ කැලඹුනු මිනිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගැස් ප්‍රහාර එල්ල කලේ ය. ගල්මුල් ප්‍රහාර එල්ලකොට පොදු දේපලවලට හානි පැමිනවීමේ චෝදනා මත 130 ක පමන පිරිසක් විරෝධතා මධ්‍යයේ පොලිස් අත්අඩංගුවට ගැනිනි.

21දා යාපනය මහේස්ත්‍රාත් අත්අඩංගුවට පත් සියලු දෙනා ජුනි 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලේ ය. ඊයේ දිනයේදී ද උතුරේ යාපනය, කිලිනොච්චි, වවුනියා, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල ද නැගෙනහිර පලාතේ මඩකලපුව සහ ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කවල ද තවත් විරෝධතා පැවැත්වින. ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ඉලංගකෝන් තත්වය පිලිබඳ ‘තක්සේරුවකට’ සහ ‘වැඩිදුර පියවර සඳහා උපදෙස් දීමට’ යාපනයට ගියේ ය. සැබවින්ම එහි අර්ථය වූයේ, ජනතාවට එරෙහිව පොලිස් පියවරයන් ශක්තිමත් කිරීම යි.

යාපනයේ ශිෂ්‍ය උද්ඝෝෂනය

වසර ගනනාවකින් උතුරු ප්‍රදේශයේ පුපුරාගිය එවැනි විශාලතම විරෝධතාව මෙය යි. මෙම හද කම්පාකරවන සිද්ධියට සිය කෝපය පලකරන අතරම දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජීවිත 200,000 ක් පමන බිලිගත් යුද්ධය සහ මර්දනයකින් පසුව මෙම ජනයා අභිමුඛව සිටින බලාපොරොත්තු විරහිත තත්වය විසින් ඔවුන් නිසැකවම මේ විරෝධතාවලට තල්ලුකර දැමෙන්නට ඇත. කම්කරු පන්තිය බෙදා වෙන්කිරීමට, 1948 “නිදහසේ” සිට ශ්‍රී ලංකා පාලක ප්‍රභූව විසින් අවුලවන ලද වාර්ගික වෙනස්කම් වලට දෙමල ජනයා භාජනය කෙරී තිබේ.

මැයි 19 දා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මිලිටරිමය පරාජයෙන් හය වැනි වසර සලකුනු කලේය. යුද්ධයේ අවසාන මාසවලදී පමනක් ශ්‍රී ලංකා හමුදාවේ මෘග ප්‍රහාර වලින් දස දහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කෙරුනි. වර්ගවාදී මනෝගතිය නොනැසී පවත්වාගැනීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රමුඛ ආන්ඩුව 19 සහ 20 දිනවල යුද ජයග්‍රහනය සැමරුවේ ය.

ලක්ෂ සංඛ්‍යාත මිලටරි භටයින් උතුරු හා නැගෙනහිර පලාත් අල්ලා ගෙන සිටී . යුද විනාශයේ කැලැල් මැකී ගොස් නැත. ජනතාවගෙන් බහුතරයකට හරිහමන් ආදායමක් නැති අතර තවමත් හමුදාව විසින් අල්ලාගත් ඉඩම් ආපසු ජනතාව වෙත ලබා දී නැත. ඇතැමෙක් තවමත් රැඳී සිටින්නේ මුලික පහසුකම්වත් නොමැති තාවකාලික කඳවුරුවල ය. තරුණ ජනයා රැකියා නොමැතිකමින් පීඩාවට පත්ව සිටිති. වසර ගනනක රඳවාතබා ගැනීමෙන් පසු මුදා හැරුනු තරුනයින් තවමත් සැලකෙන්නේ සැකකරුවන් ලෙසිනි.යොවුන් දැරිය ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම, දීර්ඝ කාලීන විඳවීම් නිසා නිර්මානය වූ පැතිරුනු සමාජ වෛරය ප්‍රකෝප කර ආරක්ෂක අංශ වල සහය ඇතිව ඇතැම් මැර කල්ලි ක්‍රියාත්මක වන බවටද ජනතාව සැක පලකරයි.

දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මන්ත්‍රීන්ද ඇතුලත් දෙමල ධනපති දේශපාලකයෝ ඝාතනය කෙරුනු දැරිය පිලිබඳ සංවේගය පලකරන අතරම අපරාධකරුවන්ට මරණ දඬුවම ඉල්ලා සිටී. පාලක එජාපයේ මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ඉල්ලා සිටින්නේ “වරදකරුවන්ට ප්‍රසිද්ධියේ මරන දඬුවම” ලබාදෙන ලෙස යි. රාජ්‍යයේ අත් ශක්තිමත් කරන මෙවැනි ඉල්ලීම් ඉලක්ක කෙරී ඇත්තේ, ජනතාවගේ කෝපය සැබෑ ප්‍රශ්නවලින් ඉවතට හැරවීම සඳහා ය.

බදාදා උද්ඝෝෂනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ටීඑන්ඒ නායක සහ උතුරු පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් පොදු දේපල හානිකිරීම සහ ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් ජනතාවට දෝෂාරෝපනය කරමින් මෙසේ සඳහන් කලේය, “ මෙම අවස්ථාවේදී අපි පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතු අතර ඔවුන් සතුරන් ලෙස නොදැකිය යුතුයි. පොලිසිය සහ අප අතර නොඑකඟතාවක් ඇතිකර ගැටුමකට අරඅදිමින් මෙම අවස්ථාව කඩාකප්පල් කිරීමට සැරසෙන දුෂ්ට පිරිසක් සිටින බව ඉතාම පැහැදිලියි.” උතුරේ හා නැගෙනහිර ජීවන කොන්දේසි පිලිබඳ ජනතාවගේ කවර හෝ අසහනයක්, ඉන්දියාවේ හා ඇමරිකාවේ පිටුබලය ලබන කොලඹ ආන්ඩුව සමඟ බලය බෙදාගැනීමේ ගනුදෙනුව සාක්ෂාත් කරගැනීමේ වෑයමට හරස් වේය යනුවෙන් දෙමල ප්‍රභූව බියට පත්ව සිටී.

භයානක හැරීමක් ගනිමින්, සිංහල ධනපති පන්තියේ කොටස් හා අන්තවාදීන් දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීම සඳහා මහජනයාගේ විරෝධතාවන් පාවිච්චි කිරීමට වෑයම් කරමින් සිටියි. ආන්ඩුවේ කොටස් කරුවෙක් වන හා සිරිසේනගේ ආධාරකරුවන් වන ජාහෙඋ උතුරේ “නීතිය හා සාමය ස්ථාපිත කරන්නැයි“ පොලිසියෙන් හා මිලිටරියෙන් ඉල්ලා සිටියේ ය. ජාහෙඋයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්නසිංහ ව්‍යාජව කියාපෑවේ සිංහල මිනිසුන්ට යාපනයෙන් පිටවන්නැයි මිනිසුන් තර්ජනය කර ඇති බව යි. “වර්ගවාදී, බෙදුම්වාදී හා ත්‍රස්තවාදී කල්ලි තිරය පිටුපස සැඟවී ගෙන යලිවතාවක් ඔවුන්ගේ හිස එසැවීමට උත්සහා කරමින් සිටින“ බව ද ඔහු කීවේ ය.

හිටපු ජනාධිපති රාජපක්ෂ විරෝධතාවන් එල්ටීටීඊයේ මුලාරම්භයට සමාන කොට දැක්වුවේ ය. මහියංගනයේ ප්‍රසිද්ධ රැස්වීමක කතාකරමින් ඔහු කීවේ, “එල්ටීටීඊ එක පටන් ගත්තෙත් ඔය විදියට යි. මේක භයානක තත්වයක්. ඒ නිසා පොලිසිය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යි. රටේ උතුරේ වුනත් දකුනේ වුනත් නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුතු යි.“

කිසිදු කරුනු ඉදරිපත් කිරීමකින් තොරවම, මෙම සිදුවීම් “හොඳින් සංවිධානය කල“ ඒවා බව කී රාජපක්ෂ “පවත්නා තත්වය වහාම වෙනස් කල යුතු“ බවද කීවේ ය.

ජනවාරි මස පැවති ජනාධිපතිවරනයේදී බලය අහිමිවූ රාජපක්ෂ, සිරිසේන ආන්ඩුව “එල්ටීටීඊ ත්‍රස්තවාදය“ සඳහා පදනම් දමමින් සිටින්නේ යැයි කියමින් ඔහුගේ වර්ගවාදී සගයන් දියත් කර තිබෙන ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් මතින් යලිවතාවක් දේශපාලනික පෙරමුනට ඒමට වෑයම් කරමින් සිටී. රාජපක්ෂගේ ආධාරකරුවන් අවධාරනය කරන්නේ, ඊලඟ මහමැතිවරනයේදී ඔහු අගමැති අපේක්ෂකයා විය යුතු බව යි.

යුද්ධයේ නිර්දය අවසන් භාගයට වගකිවයුතු හා යුද ජයග්‍රහනයට හිමිකම් කියාපාන රාජපක්ෂ “යුද විරුවන් විසින් දිනා දුන් මව්බිම රැකගමු“ යන ස්වෝත්තමවාදී පාඨය යටතේ වෙනම යුදජය සැමරුමක් පැවත්වුවේ ය. දේශපාලන අර්බුදයකට මුහුනදීමෙන් පසු ඔහුගේ මූලික දේශපාලන වැඩසටහනවී ඇත්තේ වර්ගවාදය ඇවිස්සවීම යි.

රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් පමනක් නොව, ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදකට මුහුනදී සිටින සිරිසේන හා යූඇන්පී ආන්ඩුව ද කම්කරු පන්තිය බේදභින්න කිරීමටත් ධනේශ්වර රාජ්‍යය රැකීමටත් වර්ගික ආතතීන් යොදා ගැනීමට සූදානම් ය.

Share this article: