සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව විරෝධතාවේ යෙදුනු සිසුන්ට එරෙහිව මුර්ග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2015 නොවැම්බර් 01

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා පාඨමාලාව (එච්එන්ඩීඒ) හදාරන සිසුන් පසුගිය 29 දා කොලඹ දී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට එරෙහිව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) පිටුබලයෙන් සංවිධානය කෙරුනු මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනේ අන්තර් උසස් ජාතික ගනකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විසිනි.

එච්එන්ඩීඒ ඩිප්ලෝමා සහතිකයට හිමිව තිබූ උපාධි සම තත්වය යලි ස්ථාපිත කිරීම, එච්එන්ඩීඒ සිසුන්ගේ මහපොල වාරිකය ද රු.5000 දක්වා වැඩි කිරීම හා උසස් තාක්ෂන පාඨමාලා මුදලට විකිනීම නතර කිරීම ආදී ඉල්ලීම් ඇතුලත් සටන්පාඨ පුවරු ඔසවාගත් 500 ක් පමන සිසුහු කොලඹ කොටුව සිට පා ගමනින් පැමින වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ හිඳගත්හ. ඔවුහු සටන්පාඨ කියමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියහ.

කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් පොලිස් ප‍්‍රහාරය ආරම්භවිය /ඡායාරූප අනුග්‍රහය: ෂෙහාන් ගුනසේකර

කුලු පොලු සහිතව සිටි 200 කට අධික පොලිස් භටයන්ගෙන් හා ජල විදින යන්ත‍්‍රයන්ගෙන් සන්නද්ධව සිටි පොලිස් කැරලි මර්දන ඒකකය මාර්ග බාධක යොදා සිසුන් අමාත්‍යංශයට ඇතුලුවීම වලකාගෙන සිටි අතර සිසුන් වෙතට පැමිනි ඉහල පොලිස් නිලධාරියෙක් ඇමතිවරයා හමුවීමට නොහැකිබව පවසමින් වහා විසිර යන ලෙස සිසුන්ට විධානය කලේය. එය ප‍්‍රතික්ෂේප කල සිසුන් මාර්ග බාධකය ඉවත් කිරීමට යත්න දරනවාත් සමගම කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් පොලිස් ප‍්‍රහාරය ආරම්භ විය. ප‍්‍රහාරයෙන් ආරක්ෂාවීම සඳහා දිවගිය සිසුන් හඹා ගිය පොලීසිය ඔවුනට කුරිරු ලෙස පහර දුන්නේ ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොතකාය. පහර කෑ බිම වැටී සිටි සිසුවියන්ට ද පහර දුන් පොලීසිය ඔවුන් බිමදිගේ ඇදගෙන ගොස් පොලිස් ට‍්‍රක් රථ වලට නංවා ගත්හ. ප‍්‍රහාරයෙන් තුවාල ලද සිසුන් 6 දෙනකු රෝහල් ගත කෙරුනු අතර සිසුන් 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනින.

ගැහැනු ලමයින්ට දනහිසින් පහලට ගහල බිම වැටුනම ඒත් ගැහුවා /ඡායාරූප අනුග්‍රහය: ෂෙහාන් ගුනසේකර

උද්ඝෝෂනයට සහභාගී වූ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයෙකු වන රොෂාන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතාකරමින් තම අත්දැකීම විස්තර කලේය: “අපිට ඇමති හමුවෙන්න විධියක් නෑ ඒ නිසා විසිරිලා යන්න කියල පොලිස් ලොක්කෙක් කිවුව. අපි කිවුව අපිට ඇමතිව හමුවෙන්නේ නැතුව යන්න බෑ කියල. ඉන්න එපා හිටියොත් කුඩුවෙන්න ගහනවා කියල එයා කිවුව. එතකොට සිසුන් කීප දෙනෙක් පොලිස් බැරියර් එක හොලවන්න ගත්තම ඒක වැටුනා. එත් එක්කම පොලිසිය අධිපීඩන ජල ප‍්‍රහාර එල්ල කලා. කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් ඈතට ගහලා ඉස්රහින් හිටපු ශිෂ්‍යයෝ කොටු කරල බැටන් පොලු වලින් සිසුන්ට ගැහුවා. මටත් බැටන් පාරවල් කීපයක්ම වැදුන. දුවන සිසුන් හඹාගෙන ඈතට එලවාගෙන ඇවිත් පොලුවලින් ගැහුවා. අල්ලගත්ත සිසුන් පොලිස් වාහනය ලඟ තියාගෙන අතින් පයින් ගැහුවා. ගැහැනු ලමයින්ට දනහිසින් පහලට ගහල බිම වැටුනම ඒත් ගැහුවා. සිසුන් දෙන්නෙක්ගේ ඔලුව පැලුනා. 30කට වැඩිය දෙනෙක්ට බේත් දාන්න සිද්ධ වුනා. ඊයේ වෙනකොටත් 6 දෙනෙක් රෝහලේ නැවතිලා ප‍්‍රතිකාර ගත්ත.”

පොලිස් ප්‍රහාරයෙන් ඔලුව පැලුන සිසුවෙක් /ඡායාරූප අනුග්‍රහය: ෂෙහාන් ගුනසේකර

උද්ඝෝෂනයට සහභාගී වූ එච්එන්ඩීඒ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකු වන කසුන් සමරතුංග ලෝසවෙඅට මෙසේ කියා සිටියේය: “බැටන් පොලු රැගත් කැරලි මර්දන පොලිස් භටයන් 200ක් පමන යොදවා තිබුනා. බැරියර් අඩු ප‍්‍රමානයක් දාල පහර දීම සඳහා විශාල පෙර සූදානමක් සහිතව පොලීසිය සිටිබව හොඳින් පෙනෙන්නට තිබූනා. අපි කිවුවේ අපිට පෙලිසියත් එක්ක ගැටෙන්න ඕන නැහැ අපේ ඉල්ලීම් ඇමතිට යොමුකරන්නයි අපි ආවේ කියලා. එත් පොලීසිය අපිට අමානුෂික විධියට පහර දුන්නා.”

ශ‍්‍රී ලංකා උසස් තාක්ෂනික අධ්‍යාපන ආයතනයට (එස්එල්අයිඒටීඊ) අනුබද්ධ සිවු අවුරුදු එච්එන්ඩීඒ පාඨමාලාවට වානිජ්‍යවේදී උපාධි සමතාවය 1990. 10. 30 දිනැති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 46/90 චක‍්‍රලේඛය මගින් ප‍්‍රදානය කෙරුනු බවත් වසර 24 කට පසුව 2014. 04. 03 දිනැති 10/2014 චක‍්‍රලේඛය මගින් එය අහෝසි කෙරුනු බවත් එච්එන්ඩීඒ සිසුහු පැවසූහ. පාඨමාලා හැදෑරීමෙන් පසුව පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක‍්‍රමයක් සැකසීමේ න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.

සිසු හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ දුන් ව්‍යාජ පොරොන්දු වලට විපරීතව ඔවුනගේ ආන්ඩුවට යන්තම් මාස දෙකක් ඉක්මීමත් සමග එල්ල කල මෙම ප‍්‍රහාරය සමස්ත කම්කරු පීඩිත මහ ජනතාවට කරන ලද බරපතල අනතුරු හැඟවීමකි. එනම් ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේදී පැනනගින කුමන හෝ විරෝධතාවයකට පොලිස් මිලිටරි බලය යහමින් යොදාගනු ඇති බවයි. පසුගිය ඔක්තෝබර් 12 දින හම්බන්තොට බඳගිරිය වැසියන් පිරිසුදු පානීය ජලය ඉල්ලා කල උද්ඝෝෂනයට පොලිසිය යොදවා පහර දීමෙන් ආන්ඩුව තම සූදානම පෙන්නුම් කලේය.

ආසියානු මානව හිමිකම් කොමිසම සිසුන්ට එරෙහි පහරදීම හෙලාදකිමින් ප‍්‍රහාරයට කැරලි මර්දන පොලීසිය යෙදවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිස් කොමිසම පරීක්ෂනයක් කල යුතු යයි නිවේදනය කලේය. එම නිවේදනයේ මෙසේ සඳහන්ය: “විරෙධතාවයන්හි සහභාගී වීම ශ‍්‍රී ලංකාවේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය අයිතියකි. ලංකාව ද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා මානව හිමිකම් ප‍්‍රඥප්තිය ද මෙම අයිතිය පිලිගනී. විරෝධතාකරුවන්ට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමකි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුල පුරවැසියන්ගේ සාමකාමී රැස්වීමේ නිදහස රැකීමේ අදහස සම්පූර්නයෙන්ම අතුරුදහන්ව ඇති අතර සෑම විරෝධතාකරුවෙක්ම රජයේ හතුරෙකු ලෙස සලකනු ලැබ තිබේ”.

මෙම නිවේදනය විසින් සඳහන් නොකරන කරුන වන්නේ පොලිස් පහරදීම් පිටුපසින් පවතින්නේ ආන්ඩුවේ දේශපාලන හස්තය බවත් ඊනියා පොලිස් කොමිසම පත් කොට ඇත්තේ එම දේශපාලන නායකත්වය විසින්ම බවත්ය.

කෙසේ නමුත් මෙම පොලිස් පහරදීම හා බියවැද්දීම් නොතකා එම ප‍්‍රහාරයට විරෝධතාව දක්වනු වස් ඊට පසු දින (30 දා) කැලනිය, ජයවර්ධනපුර හා රජරට යන සරසවි වල සිසුහු උද්ඝෝෂන පාගමන්වල යෙදෙමින් තම අයිතීන් සඳහා සටන් කිරීමට ඇති සූදානම පෙන්නුම් කලහ.

පහර දීමට එරෙහි මහජන විරෝධය මතුවත්ම පහර දීම ආන්ඩුවේ අනු දැනුමකින් සිදු නොවූවක් ලෙස පින්තාරු කිරීමට උත්සාහ ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ සිද්ධිය පිලිබඳ වාර්තාවක් කැඳවන ලෙස නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරන අමාත්‍ය තිලක් මාරපනට නියෝග කලේය. පැහැදිලිවම මෙය ප්‍රෝඩාවකි. සිසුන්ට කල පහර දීම ආන්ඩුවේ නියෝගයෙන් හා පෙර සූදානමින් යුතුව සිදුකරන ලද්දකි.

වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහනට යටින් ඔහුට ඇත්තේ ඉතා දුෂ්ට ඓතිහාසික වාර්තාවකි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුළු ලංකාවේ කම්කරු පන්තිය දිනාගත් සීමිත නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් පවා කප්පාදුකිරීමට අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනඒමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිව සිටිමින් කටයුතු කලේ ඔහුය. 1988/89 වකවානුවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කල රනසිංහ පේ‍්‍රමදාස ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි ඔහු එම ඝාතන අධීක්ෂනය කලේය.

යුද්ධය අවසන්වී වසර 6 කට පසුවත් වත්මන් ආන්ඩුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනත මගින් ආරක්ෂක වියදම් සඳහා මෙතුවක් වෙන් කෙරුනු ඉහලම මුදල, එනම් රුපියල් බිලියන 306 ක් වෙන්කොට ඇත්තේ අන් කිසිවකට නොව ආන්ඩුවේ ඉදිරි ප‍්‍රහාරයන්ට එරෙහිව නැගිටීමට නියමිත කම්කරු පීඩිත මහජනතාව ලෙයින් මැඩීමට බව ඉතා පැහැදිලිය.

ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්ති නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් සිසුන් වලකා ඔවුන් විරෝධතා දේශපාලනය තුල සිර කරමින් සිටින අවිශිබම ද මෙම පොලිස් ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වගකිව යුතුය. ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවනු ලබන අවිශිබම අඩු නපුර තෝරාගැනීමේ නරුම දේශපාලන උගුලේ සිසුන් ගිල්වා දමමින් එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති මෛතී‍්‍රපාල සිරිසේන දිනවීම සඳහා ජනවාරි ජනාධිපතිවරනයේදී වක‍්‍රව දරදිය ඇද්දේය.

අනතුරුව වික‍්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා ද එවන්ම ක‍්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේය.

සිරිසේන බලයට පත්වූ පසු ඔහුට ලිපියක් යැවූ අවිශිබම “අපි ඔබතුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි පවසමින් සිසුන් අතර මිත්‍යාවන් වගා කිරීමට කි‍්‍රයා කලහ. දැන් මාධ්‍ය සාකච්ඡා අමතමින් අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර කියාසිටින්නේ සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාත්මක කරන්නේද මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මර්දන ප‍්‍රතිපත්තියම බවයි. මේ අනුව අවිශිබම මෙම විරෝධතාවන් සංවිධානය කර ඇත්තේ සිසුන් පොලිස් ප‍්‍රහාරයන්ට ලක් කොට ආන්ඩු දෙකේ සමානත්වය පෙන්වීමටයි.

ඒ හෝ මේ ධනපති ආන්ඩුවලින් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමේ නාමයෙන් එකක් පසපසු එකක් විරෝධතා උද්ඝෝෂන සංවිධානය කිරීම හරහා අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙන සිසු රැඩිකලීකරනය වාෂ්පකර හැරීමේ එහි දේශපාලනයයි. පෙසප මෙන්ම අවිශිබමය, සිසුන් කම්කරු පන්තික නායකත්වය යටතේ බලමුලු ගැන්වීමටත් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයටත් සපුරා විරුද්ධය. ශිෂ්‍යයන් තීරනාත්මක ලෙස අවිශිබමයෙන් කැඩී වෙන්විය යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කියා සිටින්නේ එබැවිනි.

පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.

Share this article: