“මහා පසුබෑම” හා ගැඹුරු වන කප්පාදු පිලිවෙත

The “Great Recession” and the deepening austerity drive

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 16

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ආර්ථික විශ්ලේෂක මාටින් වුල්ෆ් නොවැම්බර් 11දා පලකල තීරුවකින්, 2008 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව, ඔහුම හඳුන්වන “මහා පසුබෑමේ” ප්‍රතිපලය ලෙස, ලෝක ආර්ථික නිමැවුමේ ඇතිව තිබෙන ගැඹුරුවීම පෙන්වා දෙයි.

වුල්ෆ්ට අනුව, “ප්‍රකෘතියක් දැනට සිදුවෙමින් ඇති” නමුත් ඒ “සීමිත අර්ථයකින් පමනි.” එය කෙතරම් සීමිත ද හා ඊට කිසියම් අර්ථයකින් “ප්‍රකෘතියක්” යයි කිව හැකි ද යන්න, ඔහුම පවා පෙන්වා දෙන ගෝලීය ආර්ථික ප්‍රවනතාවන් මඟින් පෙන්නුම් කරනු ලබයි.

ඔහු මෙසේ ලියයි. අර්බුදයෙන් බැටකෑ බොහෝ රටවල් දැන් සාධනීය වර්ධන අනුපාත සලකුනු කරන අතර දල දේශීය නිෂ්පාදිතය තවමත් ඇත්තේ, “අර්බුද පූර්ව අවධියේ ප්‍රවනතා මඟින් අපේක්ෂිත මට්ටමට බොහෝ පහලිනි. බෙහෝ අවස්ථාවල වර්ධනය ප්‍රකෘතියට පත්ව නැත. ප්‍රධානකොටම පලදායිතාවයේ වර්ධනය පහත වැටී ඇති බැවිනි. යුරෝ කලාපයේ දදේනි 2015 දෙවන කාර්තුවේදී පවා ඇත්තේ, අර්බුද පූර්ව අවධියේ මට්ටමට වඩා පහලිනි. අර්බුදයෙන් බැට වැදුනු සාමාජිකයින් සිටින්නේ, ඒ මට්ටමට වඩා බොහෝ ඈතින්ය. ඔවුහු අහිමිවූ දශකයන්ගෙන් පීඩා විඳිති.”

මෙම විශ්ලේෂනය තීරනාත්මක නිගමන දෙකක් ඉදිරිපත් කරයි: 2008 අර්බුදය වාරික වශයෙන් ඇතිවූ පහත වැටීමක් නොව ධනපති ආර්ථික ක්‍රියාකාරිත්වයේ බිඳවැටීමක්ය‍ යන්න හා “ප්‍රකෘතියකට” අවශ්‍ය බව කියා සිටිමින්, ආන්ඩු හා මධ්‍යම බැංකු විසින් හඳුන්වාදෙන ලද විසඳුම් මුලුමනින්ම අසාර්ථකවී ඇතැයි යන්නය. සැබවින්ම වුල්ෆ් සිය ප්‍රකාශ තුල සඳහන් කරන සමීක්ෂනය පැහැදිලි කරන්නේ, ඒවා පසුබෑම උග්‍ර කර ඇති බවයි.

විභව නිමැවුමේ ඇතිව තිබෙන අලාභ, ස්විට්සර්ලන්තය සලකුනු කරන ශුන්‍යයේ සිට ග්‍රීසිය, හන්ගේරියාව හා අයර්ලන්තය සලකුනු කරන සියයට 30 දක්වා වන පරාසයන් තුල පවතින බව පෙන්නුම් කරන, ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෝරන්ස් බෝල් විසින් කරන ලද සමීක්ෂනය කෙරෙහි වුල්ෆ් අවධානය යොමු කරවයි.

බෝල්ගේ ප්‍රතිපල සංක්ෂිප්ත කරමින් වුල්ෆ්, “එකතුව වශයෙන් මේ වසරේ එම රටවල විභව නිමැවුම, අර්බුද පූර්ව අවධියේ සිතුවාට වඩා සියයට 8.4කින් අඩුවනු ඇති බව නිගමනය කරයි. මහා පසුබෑමෙන් සිදුව ඇති මෙම අලාභය, ජර්මනියේ ආර්ථිකය අතුරුදහන් වුවහොත් පෙන්වන තත්වයට සමානය.,

හැම විටම පවතින්නාක් මෙන් වුල්ෆ්ගේ ප්‍රකාශ පිලිබඳ ප්‍රශ්නය වන්නේ, ඔහුට ගෝලීය ආර්ථිකයේ වැදගත් ප්‍රවනතා හා අදාල නිශ්චිත කාරනා තර්කානුකූලව ඉස්මතු කිරීමේ හා පෙන්වා දීමේ හැකියාව තිබෙන නමුත් ලාභ පද්ධතියේ තිරසාර ආරක්ෂකයෙකු ලෙස ඔහු, මෙම සංසිද්ධීන් නොවැලැක්විය හැකි පරිදි ධනපති ආර්ථිකයේම ව්‍යුහය තුලින් පැනනඟින ප්‍රතිවිරෝධයන්හි ප්‍රතිවිපාක බව සඳහන් කරන තරම් දුර කිසිවිටෙකත් ගමන් නොකිරීමයි. එහි ප්‍රතිපලය වශයෙන් ඔහු, වඩාත් බුද්ධිමත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් යම් විසඳුමක් ඇතැයි යන අදහස හැමවිටම දරා සිටියි. අත්‍යවශ්‍ය ලෙස ඔහු සලකන ප්‍රතිකර්ම යොදා නොගන්නා කල ඔහු එම අසාර්තකත්වයන් බැර කරන්නේ, එක්කෝ අධිෂ්ඨානය නැතිනම් මොලය නැතිකමටය.

ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳ වැටීමේ තැන් සිට සත් වසරක් ගතවීමෙන් පසුව පවා, තවමත් අර්බුද පූර්ව නිමැවුම් මට්ටම් කරා පැමින නැති යුරෝ කලාපයේ ප්‍රශ්නය ගැන කථාකරමින් ඔහු අවධාරනය කරන්නේ, ආන්ඩු හා මූල්‍ය බලධාරීන් “ඊට වඩා හොඳින් කටයුතු කල යුතුව තිබුන” බවත් අද පවා යුරෝපය, “අධිෂ්ඨානයෙන් හා අවශ්‍ය ආයතනවල හිඟයෙන් පෙලෙන” බවත්ය.

එවන් විසඳුම් කරා නොගියේ මන්දැයි කිසිවිටෙකත් සොයා බලා නැත. මන් ද යත් එවන් මොනම හෝ පරීක්ෂනයක්, වත්මන් ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වඩාත් කාර්යක්ෂම පියවර ගැනීමට “අධිෂ්ඨානය නොමැති වීමේ” ප්‍රතිපලය හෝ යම් ආකාරයක අතපසුවීමක් නොව, සැබවින්ම වෙහෙස නොබලා ක්‍රියාවට නඟා තිබෙන වෙනත් න්‍යායපත්‍රයක ප්‍රකාශනය ලෙස මතුවීමේ කාරනය නිසාය.

එසේ නොවන බවට සියලු සාක්ෂි තිබියදීත් වුල්ෆ් කියන්නේ, පොදු ආයෝජනයේ වඩා ඉහල මට්ටම් හරහා “ඉල්ලුම සඳහා ආක්‍රමනශීලී සහයෝගයත් දිගු කාලීන සැපයුමට දායකත්වයත්“ යන දෙකේම සම්මිශ්‍රනයෙන් නිමැවුම් තත්වය ඉහල නංවා වර්ධන අනුපාත ඒවායේ පූර්ව ප්‍රවනතාවය අත්කර ගැනීමත් සමඟ “වර්ධනයේ අනුපාතය පූර්ව ප්‍රවනතාවය කරා යලි එලඹිය හැකි” බවයි.

“පැසවන පසුබෑම් සෞභාග්‍ය කෙරේ දිග්ගැසෙන බලපෑම් ඇතිකර තිබෙන බවත්, ඉල්ලුම යථා තත්වයට පත්කිරීම සඳහා ක්ෂනිකව ක්‍රියාත්මක වීම තීරනාත්මක බවත්” පවසන එක් අදහසක් සාක්ෂි ලෙස ඔහු පෙන්නුම් කරයි. එහෙත්, ලෝකය පුරා ආන්ඩු හා ආර්ථික බලධාරීන්, සෞඛ්‍ය, අධ්‍යාපනය, විශ්‍රාම සහන හා අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හරිමින්, පොදු ආයෝජන පිරිවැය නොදැරීම ඇතුලු විරුද්ධ පැත්තට ගමන් කරන්නේ මන් ද යන ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ.

ආර්ථික වර්ධනය කෙරේ ආන්ඩුවල වියදම් කප්පාදුව ඇතිකර තිබෙන බලපෑම, ඇමරිකාවේ හිටපු භාන්ඬාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් විසින් සම කතෘත්වය දරන ලද 2014 වාර්තාව පෙන්වාදෙන බව වුල්ෆ් සඳහන් කරයි. එතැන් සිට සමර්ස්, ලෝක ආර්ථිකය වාරික පහත වැටීමක් අත් නොදකින බවත්, ඔහු කියන පරිදි “ලෝක පරිමාන පල්වීමේ”අවධියකට ඇතුල්වී තිබෙන බවත් එය 1930 ගනන් වලට සමාන බවත් අදහස් කරයි.

2014 වාර්තාව ලෝක ආර්ථිකයේ කැපී පෙනෙන පහතට නැඹුරුවක් පෙන්වමින්, විශේෂයෙන්ම යුරෝ මුදල දියත් කල 1999 තත්වයට සම්බන්ධව යුරෝ කලාපය තුල, එවක පැවතිය යුතු තත්වයට වඩා දදේනි පහල අගයක පැවති බව විස්තර කරයි. අර්බුද පූර්ව වර්ධනයේ මට්ටම දිගටම පැවතියා නම් තිබිය යුතු නිමැවුමේ මට්ටමට වඩා යුරෝ කලාපය 2019 වන විට සියයට 15ක් පසු පසින් සිටිනු ඇතැයි ජාමූඅ ගනන් බලා ඇත.

සමර්ස්-ෆේටාස් විශ්ලේෂනය, දිගටම සිදුවන ජාමූඅ වර්ධන පුරෝකථනයන්හි අධි තක්සේරුව විමසා බලමින්, 2008 පටන් සැබෑවටම ඇතිව තිබෙන ප්‍රතිපල සන්සන්දනය කල අතර “පීලිපැනීම් තාවකාලික වූයේ නම්, අපට බලාපොරොත්තු විය හැක්කේ, නිමැවුම හරි මඟට පිවිසෙන කල පුරෝකථන වැරැද්ද අඩුවනු ඇති බවයි.” යනුවෙන් පවසා ඇත.

එහෙත් සියලු දියුනු ආර්ථිකයන් සම්බන්ධ පුරෝකථන වැරදි “බොහොමයක් එක දිගටම පැවතීමේ” කාරනය අදහස් කලේ, පලමු කම්පනය, එනම් 2008 අර්බුදයේ, ව්‍යාප්තිය අඛන්ඩව සිදුවෙමින්, එය ස්ථිර තත්වයක් බවට පත්වන බවයි.”

කතුවරු නිගමනය කලේ, “මූල්‍ය ස්ථාවරත්වය” පිලිබඳ ආන්ඩුවල වැඩපිලිවෙල, එනම් නය පහත හෙලිමේ අරමුනෙන් වියදම් පහත දැමීම, වර්ධනය ද පහත හෙලා ඇති බවයි. වියදම් කැපීම වැඩිවන විට නිමැවුමේ පහත වැටීම තියුනු වන අතර, දදේනිට නයෙහි අනුපාතය තවත් ඉහල යමින්, තව තවත් වියදම් කැපීමට තල්ලු වීම බවයි. “කප්පාදු පිලිවෙත් වර්ධනය කෙරේ සැලකිය යුතු තරම් තාවකාලික හානියක් සිදුකර ඇතිවා පමනක් නොව, නිමැවුම පහත වැටීම ස්ථාවර තත්වයක් බවට පත්වෙමින්, හරියටම අනෙක් ප්‍රතිපලය ඇතිවීමේ හැකියාව නිර්මානය කර තිබේ.

“අර්බුදයේ ස්වභාවය හා දිග්ගැසීමේ තත්වය සලකන කල” ප්‍රති-චක්‍රීය මූල්‍ය පිලිවෙතක් පවත්වාගැනීම “වඩාත් ආක්‍රමනකාරී විය යුතුව තිබුන” බව ඔවුහු දිගටම කියා සිටිති. වෙනත් වචන වලින් කිවහොත්, ආන්ඩුවල වියදම් කැපීම වෙනුවට කල යුතුව තිබුනේ ඒවා ඉහල නැංවීමය.

එහෙත් මෙහිදී ද ප්‍රශ්නය මතු වන්නේ වුල්ෆ් සමඟ මතුවූ ආකාරයටමය. එවන් පිලිවෙතක් ආරම්භයේ පටන්ම අනුගමනය නොකලේ මන් ද, හා දත්ත හා සංඛ්‍යා මඟින් දැන් නිශ්චිත ආකාරයකින් තහවුරු කර තිබෙන පරිදි, ආන්ඩුවල කප්පාදු විනාශකාරී බලපෑමක් ඇතිකරන බව දැන සිටියේ නම්, කප්පාදු න්‍යායපත්‍රය අකුලාගත යුතුව නොතිබුනේ ද?

මෙම ප්‍රශ්න වලට පිලිතුරු දීමේදී ධනේශ්වර ආර්ථිකයේ මූලික ලක්ෂන සමහරක් විමසා බැලිය යුතුව ඇත. මෙය වනාහි වත්මන් න්‍යායපත්‍රය පිලිබඳ “විවේචකයින්” කිසිවෙක් භාර නොගන්නා දෙයකි. ඊට හේතුව වඩාත් තර්කාන්විත පිලිවෙත් අනුගමනය කලා නම් ගැඹුරුවන බිඳවැටීම නතරකර ගත හැකිව තිබුනේය යන මිත්‍යාව ඔවුන් වැලඳගෙන සිටීමයි.

සමර්ස්-ෆේටාස් වාර්තාව, එවන් විශ්ලේෂනයක් සිදුකල යුතු දිශාව වක්‍රාකාරයෙන් පෙන්වා දෙයි. 2007 මුල පටන් බොහෝ දියුනු ආර්ථිකයන්හි දදේනි වර්ධනය මන්දගාමී වීමට පටන්ගෙන තිබුනු බව කතුවරු සඳහන් කරති. මෙම ප්‍රවනතාවය 2008දී පසුබෑමක් බවට හැරීමට පෙර වසර අවසානයේ වඩ වඩාත් පැහැදිලිව මතු වෙමින් තිබුන අතර 2009දී එය තියුනු ලෙස ගැඹුරු විය.

කෙසේ වෙතත් මෙම ප්‍රවනතා, ඊටත් වඩා එහාට ගිය ක්‍රියාවලියක ප්‍රතිපලය විය. ධනපති අර්ථශාස්ත්‍රඥයින්ගේ විශ්ලේෂනය අවධානය යොමු කලේ, දදේනි අනුව ගනනය කල නිමැවුමේ මාරුවීම් කෙරෙහිය. එහෙත් ධනපති ක්‍රමයේ ගාමක බලවේගය එවන්වූ ආර්ථික වර්ධනය නොව, ලාභ සමුච්ඡය කිරීමය. එසේම ලාභ අනුපාතිකය මඟින් ගනනය කරනු ලබන ප්‍රාග්ධනය සඳහා වන ප්‍රතිලාභයයි.

1990 දශකය තුල පෙන්නුම් කල ලාභ අනුපාතිකයේ ඉහල නැඟීම, දශකය අවසානයේ පහතට නැඹුරු වීමට පටන් ගත් අතර 2001 ඇමරිකාව තුල පසුබෑමකට තුඩු දුන්නේය. එරට මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට පටන් ගැනීම මඟින් එයට තාවකාලික අස්වැසිල්ලක් ලැබුනි. ඊලඟ දශකයේ පලමු අර්ධය තුල ඇමරිකාවේ හා ගෝලීයව, ලාභ මුදල් උත්පාතයක් සඳහා අරමුදල් සැපයීමට එය ඉවහල් වූ අතර ජාමූඅ වාර්තාකල පරිදි 1970 ගනන් මුල් වසරවලින් පසුව ලෝක ආර්ථික වර්ධනය 2006දී එහි මුදුනටම ලඟා විය.

එහෙත් ලාභ අනුපාතිකය මත ඇතිකල පහතට නැඹුරු පීඩනය, සැබෑ ආර්ථිකය තුල නිෂ්පාදන ආයෝජනය කැපී යාමට තුඩු දුන්නාවූ හා වඩ වඩාත් මූල්‍ය සමපේක්ෂනයේ පිහිට පැතීමේ ප්‍රවනතාවය ජය ගත්තේ නැත. ඒ වෙනුවට සමපේක්ෂන නාඩගම 2008දී ඉහවහා ගියේය. එය යථාකාලයේදී ඉහල නැඟීමකට ඉඩ සැලසුවේ නැති අතර වැඩෙන පල්වීමකට ද අඛන්ඩ පසුබෑමකට ද 2012දී යුරෝපය තුල හටගත් ආකාරයේ තවත් මූල්‍ය අර්බුද වලට ද තුඩු දුන්නේය.

මේ සන්දර්භය තුල සලකන කල, වියදම් කැපීම, රැකියා හා ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාර හා ශ්‍රම වෙලඳපොල ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ නිමක් නැතිව කෙරෙන ඉල්ලීම්වල නොවරදින පන්ති තර්කනයක් ඇති බව පෙනී යා යුතුය. ධනපති ආර්ථිකයේ ගාමක බලවේගය වන ලාභ සමුච්ඡයකරන ක්‍රියාවලියේ ආස්ථානයෙන් බලන කල, ආන්ඩුවල සමජ සේවා වියදම් සේම මූර්ත වැටුප්වල වැඩිවීම නියෝජනය කරන්නේ, නොඑසේ නම් ලාභයේ රූපයෙන් ප්‍රාග්ධනය සඳහා එකතු වන ධනය ක්ෂයවීමකි. එබැවින් ඒවා පහතට ඇද දැමිය යුතුය.

වෙනත් වචන වලින් කිවහොත් ලොව පුරා ආන්ඩු විසින් සිදුකරමින් සිටින හා ගැඹුරු කරමින් ඇති කප්පාදු වැඩසටහන්, අර්බුදය කෙරෙහි දැක්වෙන යම් ආකාරයක අතාර්කික ප්‍රතිචාරයක් නොවේ. නොඑසේ නම් වුල්ෆ්, සමර්ස් හා අනෙකුත් විය හැකි විවේචකයින් කියන ආකාරයේ, මෝඩකමේ, අධිෂ්ඨානය නොමැතිකමේ හෝ වෙනත් කුමන හෝ කාරනයක නිර්මානයක් නොවේ. ඒවා වනාහි, ධනේශ්වර ආර්ථිකයේ නිර්දය පන්ති තර්කනයේ නිමැවුම්ය. එක් ධ්‍රැවයක ධනය එක්රැස් වීම, අනෙක් ධ්‍රැවයේ දුප්පත්කම, කාලකන්නිකම හා දරිද්‍රතාවය එක්රොක්වීම මත රඳා පවතින්නේ යයි මාක්ස් එතරම් නිවැරදි ලෙස පවසා ඇත්තේ මෙයයි.

Share this article: