රතුපස්වල මිලිටරි ප‍්‍රහාරය පිලිබඳ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් වාර්තාව ආන්ඩුව ද ආයෝජකයන් ද ආරක්ෂා කරයි

විලානි පීරිස් විසිනි, 2015 ඔක්තෝබර් 21

“වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ ජල ගැටලුව සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂනය විසුරුවා හැරීමේදී ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අදාල වාර්තාව” හා වැලිවේරිය “රතුපස්වල ජල ගැටලුව රාජ්‍ය ආයතනවල වගකීම” යනුවෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (මාහිකො) පරීක්ෂන වාර්තා දෙකක නිගමන හා නිර්දේශ පසුගිය අගෝස්තු මාසයේදී එලිදක්වා ඇත්තේ ආන්ඩුව ද ආයෝජකයන් ද ආරක්ෂා කර මහජන විරෝධය සමහන් කිරීමේ අරමුනෙනි.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට 2013 අගෝස්තු 1 දා එල්ල කල මිලිටරි ප‍්‍රහාරයෙන් පාසැල් සිසුන් දෙදෙනෙකු හා තවත් තරුනයෙකු මියගිය අතර ප‍්‍රහාරය සම්බන්ධයෙන් පලාතේ මහජනතාව අතර පමනක් නොව සමස්ත දිවයින පුරා කම්කරු පීඩිතයන් අතර දැඩි විරෝධයක් වර්ධනය විය.

මාහිකො සභාවට මේ පිලිබඳව පැමිනිලි මාලාවක් ලැබුන අතර මහජනතාවගේ විරෝධය සමහන් කිරීම සඳහා පරීක්ෂනයක් ආරම්භ කෙරුනි. අදාල රාජ්‍ය ආයතනයන්ගෙන් හා මහජනතාවගෙන් ද හමුදාව හා පොලීසියෙන් ද ලබාගත් ප‍්‍රකාශ අන්තර්ගත කරමින් ඉදිරිපත් කරන පරීක්ෂන වාර්තාවේ නිගමන මගින් එකල පැවති ආන්ඩුව එම හමුදා ප‍්‍රහාරයට වගකිව යුතු බව ද පලාතේ ජලයට කර්මාන්ත ශාලාවෙන් විෂ ඇතුලු වී ඇති බව ද යටගසනු ලබයි.

වාර්තාව පෙන්වාදෙන පරිදි “ප‍්‍රදේශයේ ලිංවල ජලයේ පී.එච්. අගය අඩු වී ඇති බවට ප‍්‍රදේශයේ ජනතාව කරන ප‍්‍රකාශ සත්‍ය” නමුත් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් “කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපවිත‍්‍ර ජලය සහ ඝන අප ද්‍රව්‍ය වල බලපෑමක් සිදු වී ඇද්ද යන්න තවදුරටත් තහවුරු කර ගත යුතු කාරනයක්ය.”

කර්මන්ත ශාලාවෙන් ජලය හා පරිසර දූෂනය සිදුවූයේද යන්න අවිනිශ්චිත බව පවසතත් කර්මාන්ත ශාලාව සම්බන්ධව රජයේ ආයතන නිසි පරිදි කටයුතු නොකල බව වාර්තාවටම පිලිගැනීමට සිදුව ඇත.

එය මෙසේ පවසයි: “ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය කරන බවට චෝදනා එල්ල කරන කර්මාන්ත ශාලා වලට අදාලව සිදුකල යුතුව පැවති තාක්‍ෂනික ක‍්‍රියාකාරකම මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් නිසි පරිදි ඉටු වී ඇති බවක් ගම්‍ය වූයේ නැත.” “කර්මාන්ත ශාලවේ වාර්ෂික බලපත‍්‍ර අලුත් කිරීමේ ක‍්‍රියාවලිය හුදෙක් කර්මාන්ත ශාලා මගින් සපයන තොරතුරු මත පදනම්ව සිදුවූ බවත්” වාර්තාව ප‍්‍රකාශ කරයි. එය මෙසේ ද පවසයි. “ආයෝජන මන්ඩලය විෂයය සීමාව තුල කටයුතු නොකිරීම නිසා නැවත යථාවත් කිරීමට නොහැකි ගැටලුකාරී තත්වයන් නිර්මානය කිරීමට දායකවී ඇත.”

කර්මාන්ත ශාලව නිදොස් කිරීමට මාහිකො දරන ප‍්‍රයත්නයේදී රජයේ රස පරීක්ෂක විසින් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාව ගැන කිසිවක් සඳහන් නොකිරීමට වග බලාගෙන ඇත.

වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කම්හලේ ස්ථාන හතරක දී එනම් අපජලය පිට කිරීමේ කි‍්‍රයා දාමයට අදාල ක්ලෝරිනීකරන අපජල පිටවුම් කරාමය, ඔක්සිකරන කානු, ඔක්සිකරන කානුවල අපජල පිටවුම, ජල ප‍්‍රතිකාරක අවසන් පිටවුම් කරාමය යන ස්ථානවලින් ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් රජයේ රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දී ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම හා රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්මත උපරිම ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවත් කම්හලේ අපජල සංයුතිය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ ප‍්‍රමිතීන් උල්ලංඝනය කරන බවත් පැහැදිලිව පෙන්වා දේ.

මෙම ජල සාම්පල ලබා ගන්නා විට ඔක්සිකරන කානු හැර ප‍්‍රතිකාරක පද්ධතියට අයත් අන් කවර කි‍්‍රයා දාමයක් හෝ කි‍්‍රයාත්මක නොවුන බව ද රස පරීක්ෂක පවසයි. මෙහි අර්ථය නම් කම්හලෙන් පිට කෙරෙන අපජලයේ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුලත් වන බව යි.

හමුදා ප‍්‍රහාරය පිලිබඳ කෙරෙන පරීක්ෂනයේදී යුද්ධ හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවට සහ බලය ඉක්මවා කටයුතු කර ඇති බවට මාහිකො නිගමනය කරන නමුදු හමුදාව මෙහෙයවූයේ කවුද යන්න සඳහන් නොකරයි.

මාහිකො නිර්දේශ කරන්නේ “උද්ඝෝෂන විසුරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අනදෙන නිලධාරීන් හා ප‍්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කල යුතු” බවය. “හමුදා අනකින් තොරවම වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ද පියවර ගත යුතු” බව වාර්තාව පවසයි.

එනමුත් වාර්තාවම පෙන්වා දෙන පරිදි ප‍්‍රහාරය සඳහා හමුදාව පැමින සිටියේ හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්චා කිරීමෙන් අනතුරුවය. වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. “මෙම උද්ඝෝෂනය පැවැති දින කොලඹදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, ගන්නා ලද තීරන පිලිබඳව දැනුම්දීම සඳහා යුද්ධ හමුදා බල සේනාධිපති බි‍්‍රගේඩියර් දේශපි‍්‍රය ගුනවර්ධන ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් කන්ඩායමක් වැලිවේරිය නගරයේ උද්ඝෝෂනය පවත්වමින් සිටි උද්ඝෝෂකයන් අතරට” පැමින ඇත. පනිවිඩය දැන්වීමට පැමිනි මෙම හමුදා කන්ඩායම පැමිනියේ ආයුධ සන්නද්ධව බව වාර්තාව යට ගසයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ආයුධ සන්නද්ධව පැමිනි හමුදාව වෙඩි තැබුවේ ආන්ඩුවේ අනුමැතිය සහිතව බවයි.

උද්ඝෝෂකයන්ට පමනක් නොව අසල සිටි මහජනයා ට හා ටෙලිකොම් කම්කරුවන්ට ද දේවස්ථානයට ආරක්ෂාව පතා ගිය මහජනයාට ද හමුදාව ඉතාමත් ප‍්‍රචන්ඩ ලෙස පහර දී ඇති බව කොමිෂම පිලි ගනී. “රැකවරන ස්ථානවල සිටිය දී පවා සොයා ගොස් පහරදීම, උද්ඝෝෂනයේ යෙදී සිටි පිරිස දේවස්ථානයට දිවගිය විට එහිදී පහරදීම, වැලිවේරිය නගරයේ පිහිටි ටෙලිකොම් ආයතනය වැනි ආයතනවලට ඇතුලු වී පහරදීම, නිවාසවලට ඇතුලු වී පුද්ගලයන්ට පහරදී හා දේපල හානි සිදුකිරීම, උද්ඝෝෂනයේ යෙදී සිටි පුද්ගලයින්ට වෙඩිතබා තුවාල සිදු කිරීම එම වෙඩි තැබීම් හේතුකොටගෙන පුද්ගලයින් 03 දෙනෙකු මියයාම” යනාදී වශයෙන් ප‍්‍රහාරයේ ප‍්‍රචන්ඩ ස්වභාවය වාර්තාවෙන් පැහැදිලි කෙරේ. නමුත් මෙවන් රුදුරු ප‍්‍රහාරයක් ඉහල අනකින් තොරව සිදුවිය නොහැකි බව ඉතා පැහැදිලිව පෙනෙද්දීත් වාර්තාව එසේ නිගමනය නොකරයි.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ සහ එම ආන්ඩුවේ ඇමතිවරයෙකු වූ වර්තමාන ජනාධිපති සිරිසේන ගේ වගකීම මුලුමනින් යට ගසා හුදෙක් හමුදාවට දඬුවම් දීමට නිර්දේශ කරන මෙම වාර්තාව සියලු ව්‍යාජ වාම කන්ඩායම්වල ද පැසසුමට ලක්වී ඇත.

වැලිවේරිය සාමකාමී මහජන උද්ඝෝෂනය මැඩලීම සඳහා උතුරු-නැගෙනහිර යුද්ධයේ දී මෙන් ම රුදුරු මිලිටරි මෙහෙයුමක් කි‍්‍රයාවට දැමීම, විය යුතු පරිදි ම කම්කරුවන්ගේ ද දුගීන්ගේ ද බරපතල විරෝධයට තුඩු දුන්නේය. මෙම විරෝධය සමහන් කරනු වස් “වෙඩි වැදී මියගිය පුද්ගලයින්ගේ ලඟ ම ඥාතින්ට වන්දි ලබාදීම. වෙඩි වැදීමෙන් හා පහරදීම් වලින් තුවාල ලබා ඇති අයට සාධාරන වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම” ආදී උපාමාරු වාර්තාවෙන් නිර්දේශ කෙරෙයි.

ප‍්‍රහාරයන්ට ගොදුරුවූවන්ට වන්දි ලැබිය යුතු නමුත් ප‍්‍රහාරයට සහ පරිසර දූෂනයට වගකිවයුතු ආන්ඩුව සහ සමාගම එම වගකීමෙන් මුදාලීමෙන් මෙම තත්වයන් දිගටම පවත්වා ගෙන යාමට කොන්දේසි සකසා දෙයි. දැනටමත් ගාල්ලේ පිහිටි ඩීඑස්අයි කර්මාන්ත ශාලාවෙන් පිට වන රසායනික අපද්‍රව්‍ය හේතුකොටගෙන ප‍්‍රදේශයේ ජනයා අතර පිලිකා රෝගය පැතිර යන බවට සහ කොලඹට නුදුරු බියගම නිදහස් වෙලඳ කලාපයේ කි‍්‍රයාත්මක වන, ඕස්ටේ‍්‍රලියාව මූලස්ථානය කරගත්, ඇන්සල් සංගතයට අයත් කම්හල භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් නිසා එහි සේවය කරන කම්කරුවන් හෘද, පෙනහලු හා පිලිකා රෝගයන්ට ගොදුරු වන බවට චෝදනා එල්ල වෙමින් පවතී. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කර්මාන්ත ආශ‍්‍රිතව මෙම ප‍්‍රශ්න මතු වුවත් ආන්ඩුව ද අදාල සමාගම් ද ඒවා යට ගසනු ලබයි.

රතුපස්වල මිලිටරි ප‍්‍රහාරය සහ එහි වගකිවයුත්තන් දැනුවත්ව වසන් කිරීම හුදෙක් වැලිවේරිය ජනතාවට පමනක් නොව ධනපති ආන්ඩු එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින සමස්ත කම්කරු-පීඩිත මහජනතාවටම බලගතු අනතුරු ඇඟවීමකි.

එම ප‍්‍රහාරයෙන් තහවුරු කෙරුනේ ධනපති ආන්ඩු විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සමග ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී වර්ධනය කෙරුනු මිලිටරි-පොලිස් විධික‍්‍රම කම්කරුවන්ගේ සහ පීඩිත මහජනතාවන්ගේ අරගල මැඩීම සඳහා යොදා ගැනීමට දැනුවත්ව තීන්දු ගෙන ඇති බවයි. වැලිවේරිය ප‍්‍රහාරයට පෙර, ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව සටන් වැදි කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ විරෝධතාවයක දී කම්කරුවෙකු ඝාතනය කල රාජපක්ෂ ආන්ඩුව අනතුරුව ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව පැවැත්වූ ධීවර උද්ඝෝෂනයක දී ධීවරයෙකු මරා දැමීය.

පසුගිය 12 වන දා, පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල හම්බන්තොට බඳගිරිය ප‍්‍රදේශයේ ජනතාවට එරෙහිව එල්ල කෙරුනු පොලිස් ප‍්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව මෙම පොලිස්-මිලිටරි විධික‍්‍රමයන් ඉදිරියට ගෙන යමින් සිටින බවයි. මාහිකො විසින් රතුපස්වල ප‍්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසන් කරන්නේ එය මෙම ප‍්‍රහාරයන් කි‍්‍රයාවට නංවන ධනේශ්වර සංස්ථාපිතයේම උපකරනයක් බැවිනි.

Share this article: